Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Vavuniya

‘දැන් මේ ජනතාව කොහේ යන්නද?‘

වවුනියා භාරදිපුරම් ප‍්‍රදේශයේ දීර්ඝ කාලයක සිට ජීවත් වන සිය ගණනක් ජනතාව ඊයේ(08) උදෑසන පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්වී බලහත්කාරයෙන් ඔවුන් එතෙක් ජීවත්වූ ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. මෙම ජනතාව ජීවත් වූ ඉඩම්, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත්වන බව පවසා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් මෙම ජනතාව එසේ පලවා හැර තිබේ. එහි ජනතාව පවසන්නේ, තමන් වතුකරයේ සිට පැමිණ පදිංචි වී අවුරුදු 40ක් පමණ ගත වෙලත් දැන් තමන්ව මෙසේ කිසිදු සරණක් නැතිව ඉවත් කිරීම අසාධාරණ බවය.

[යාපනයේ වලිකාමම් ජනයාගේ ඉඩම් හමුදාව ලබා ගැනීම නිසා එයට විරෝධය දැක්වූ වලිකාමම් ජනයා | Image: Vikalpa file]
[යාපනයේ වලිකාමම් ජනයාගේ ඉඩම් හමුදාව ලබා ගැනීම නිසා එයට විරෝධය දැක්වූ වලිකාමම් ජනයා | Image: Vikalpa file]

මේ පිළිබඳව ‘විකල්ප‘ වෙත අදහස් දැක්වූ දෙමළ ජාතික සංධානයේ, සිවශක්ති ආනන්දන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා මෙසේ පැවසීය:

‘‘වවුනියාව පම්බයිමඩු ප‍්‍රදේශයේ අක්කර 200ක පමණ කැළෑ ප‍්‍රදේශයක් විනාශ කර එහි මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරමින් සිටිනවා. මෙම ජනතාව පදිංචි වීමට පෙර සිටම ඉඩම් අනුමැති බල පත‍්‍රය ලබා දීමට ද කටයුතු කරමින් සිටින අතර මේ පිටුපස අමාත්‍ය රිසාඞ් බදුර්දීන් සිටීම නිසා, මුස්ලිම් ජනතා පදිංචි වීම් කටයුත්ත සීග‍්‍රයෙන් කරමින් සිටිනවා.

නමුත් වවුනියා භාරදිපුරම් ප‍්‍රදේශයේ අවුරුදු 40ක් ජීවත් වන ජනතාවට රජය තවම ඉඩම් අනුමැති පත‍්‍රය ලබා දී නැහැ. මෙම ජනතාව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල ජීවත් වන බවට චෝදනා කර ඉවත් කරනවා. අමාත්‍ය රිසාද් බදුර්දීන්ගේ අනපරිදි මාස 3ක් තුළ වවුනියාව පම්බයිමඩු ප‍්‍රදේශයේ අක්කර 200ක පමණ කැළේ ප‍්‍රදේශයක් විනාශ කර තිබෙනවා. මෙම ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව 400 දෙනෙක් පදිංචි කරවීමට කටයුතු කරමින් සිටිනවා. අවතැන් වූ මුස්ලිම් ජනතාවට අයිති ප‍්‍රදේශවල නැවත පදිංචි කිරීමට අපි එරෙහි වන්නේ නැහැ. ජනතාව නැවත පදිංචි කිරීම පිළිබදව රජයේ මෙම වෙනස්කොට සැලකීමේ ත්ත්වය නිසා ජාතීන් දෙකක් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් ලබාදීමේ කටයුතු පිළිබඳව රජයට නිසි ප‍්‍රතිපත්තියක් නැහැ. සිංහල පදිංචි වීම් රජය සහ හමුදා සහයෙන් සිදු වෙනවා. අමාත්‍යවරයෙක් සහයෙන් මුස්ලිම් පදිංචි වීම් සිදුවෙනවා. මෙවැනි තත්ත්වයේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කියා දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගන්නවා. දැන් මේ ජනතාව කොහේ යන්නද?‘‘ ඔහු පැවසී ය.