Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ලෝකයා හමුවෙහි සිංහල බුද්ධාගම මාරයකු කළ ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය

Image courtesy : Huffington Post taken by Ishara S.KODIKARA/AFP/Getty

ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් දේවස්ථානයට පහර දුන්නේ අප නොවේ යැයි බුදු දහමේ නාමයෙන් පෙනී සිටින අන්තවාදී කල්ලි සියල්ලම දැන් පපුවේ දෑත් ගසා දිවුරයි. මෙම දිවිරිලි කොතක් කෙරුන ද ග්‍රෑන්ඩ්පාස් හි මස්ජිඩ් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරය ඉස්ලාම් දහමට එරෙහිව පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ප්‍රහාරය නොවන්නා සේ අවසාන ප්‍රහාරය ද නොවනු ඇති බව තේරුම් ගැනීමට දිවැස් ඥානයක් අවශ්‍ය නැත.

එසේ නමුත් ජාතික හෙළ උරුමයේ හිටපු සංඝ මංත්‍රියකු විසින් මෙහෙයවන සිංහල රාවය නම් ප්‍රචන්ඩ ව්‍යාපාරයේ දෙවැනියකු දේවස්ථානයට ප්‍රහාරය දුන් මැර කන්ඩායම මෙහෙයවන ජායාරූප අන්තර් ජාලයේ පළ වී තිබේ. ගව ඝාතන විරෝධී පා ගමනක් මෙහෙයෙවමින් ප්‍රචන්ඩ ලෙස හැසිරෙමින් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මංකොල්ලකමින් තංගල්ලේ සිට කොළඹට පැමිණි මෙම සංවිධානය ජනාධිපතිවරයා විසින් සාදරයෙන් පිළිගත්තේ මාස දෙක තුනකට පෙර ය. එමෙන්ම දෙමසක් ඇතුළත ඔවුන්ගේ ඉල්ලීම ඉට කරන බවට ජනාධිපති පොරොන්දු වූ බවට ද ජනමාධ්‍ය වාර්තා පළ විය. පසුගිය සතියේ පළ වු එවැනි වාර්තාවකින් කියැවුණේ ගව ඝාතනය තහනම් කැරෙන නීති සකස් කරන ලෙස ආන්ඩුව නීතිපති දෙපාර්ථමේන්තුවට දැනුම් දී ඇති බවයි.

මෙම කරුනු විසින් මොනවට පෙන්නුම් කැරෙන්නේ මෙකී අන්තවාදී ප්‍රචන්ඩ සංවිධාන සමඟ රාජපක්ෂ දේශපාලනය පවත්වා ගෙන යන අශුද්ධ සන්ධානය යි. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ මැර පිරිසකගේ හඳුනා ගත හැකි පින්තූර විරකේසරී පුවත් පත විසින් පළ කර තිබේ. එසේ නමුත් ඇමැති මර්වින් සිල්වාගේ පුත්‍ර රත්නය වන මාලක සිල්වාගේ මුහුණ මහ දවාලේ කැපූ මිලිටරි පන්නයේ දාමරිකයින් අත් අඩංඟුවට පත් නොවන අයුරින්ම මෙම මැර පිරිස් ද අත් අඩංඟුවට නොගැනෙන බව සහතික කර කිව හැකි ය. හරියට පැපිලියානේ පැෂන් හවුසියට ප්‍රහාර එල්ල කළ දාමරික භික්ෂුව ඇතුළු පිරිසට නිදහස ලැබූ පරිදි ය. අද මෙරට නීතිය යනු බලය යි. බලය යනු නීතිය නොවේ.

වැලිවේරියේ දී පොලීසිය මිනී මැරුවේ ය. නැත්නම් මැරෙව්වේ ය. එනමුත් සිය ඇස් පනා පිට ආගමික දේවස්ථානයකට පහර දෙන මැරවර පිරිස් නතර කලේවත් අත් අඩංඟුවට වත් ගත්තේ නැත. අද ශ්‍රී ලංකාවේ පොලීසිය කොතරම් රාජපක්ෂකරණය වි ඇත් ද යත් “පොලීසිය දේශපාලන සිර කූඩුවෙන් නිදහස් කරනු” යැයි කතුවැකියක් ලිවීමට පසුගිය සති අන්තයේ සන්ඩේ ටයිම්ස් කතුවරයා පෙළඹී තිබුණි. පොලීසිය ඉන්නේ රාජපක්ෂවරුන්ගේ සාක්කුවේ ය. ඒ බව දැන් ආන්ඩුවේ ඇමැතිවරුන්ට ද දුක සේ පිළිගැනීමට සිදුව තිබේ.

රාජපක්ෂ ආන්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු අට දෙනාම ( ඇත්ත, මේ සියළු මුස්ලිම් විරෝධී ප්‍රහාර සිදු වන්නේ මුස්ලිම් දේහපාලනඥයින් අට දෙනෙකු ම අරලිය ගහ මන්දිරයේ දංකුඩ සමඟ ඇමැති රජ සැප වළදන අතර තුරය!) ජනාධිපතිවරයාට බැගූපත් ඉල්ලිමක් කරමින් කියා සිටියේ පොලිසියේ ක්‍රියා කලාපය ගැන තමන්ට හරි දුකක් ඇති බවත් ග්‍රන්ඩ්පාස් ප්‍රහාරයට සම්බන්ධ මැරවර පිරිස් අත් අඩංඟුවට ගන්නා ලෙසත් ය. එහෙත් ජනාධිපති මේ ඇමැති අට දෙනාට සාකච්ජාවක් නොදුන්නා පමණක් නොව එම බැගැපත් ලියුම යැවූ දිනයේ යළිත් එකී දාමරිකයෝ මස්ජිඩ් දේවස්තානයට පහර දීමට පැමිනියේ ඇමැතියන්ට ඔච්චම් කිරීමට මෙනි. පැපිලියාන ප්‍රහාරය ද මෙම අන්තවාදී කල්ලියේ ම වැඩක් බවට වාර්තා පළ වූ අතර ඒ අවස්ථාවේදීත් ජනාධිපතිගෙන් සාකච්ජාවක් අයැදූ රවුප් හකීම්ට ලැබුනේ බිංදුවකි.

පොලීසිය රාජපක්ෂකරනය වී සිටින්නේ විපක්ෂයට හෝ සුළුතර ප්‍රජාවන්ට පහර දීමට පමණක් යැයි සිතා සිටි ආන්ඩුවේ සිංහල ඇමැති හවුලකට පසුදාක ආයුධ සහිත අංක තහඩු නැති ඩිපෙන්ඩර් වාහන වයඹ පලාත් සභා මැතිවරණයේ යෙදී සිටින බවට බැගෑපත් ලිපියක් ජනාධිපතිවරයාට යවන්නට සිදුවිය. ඒ වාහන වෙන කාගේවත් නොව ජොනීගේ බව කුරුනෑගල නොදන්නා අයෙක් නැති තරම් ය‍. ඒ ලියුමත් මුස්ලිම් ඇමැතියන්ගේ ලියුම මෙන්ම අරලියගහ මන්දිරයේ කණු කූඩයේ සැතපුනි.

නීතිය සිය අතට ගනිමින් සුළුතර ප්‍රජාවන්ගේ ලබ්දින්ට සහ ආගමික ස්ථානයන්ට පහර දෙමින් සිටින දාමරික පිරිස්වලට ලැබෙන රාජ අනුග්‍රහය දැන් මෙරට පමණක් නොව ලෝකයා ම දන්නා කුප්‍රසිද්ධ රහසකි. බුදු දහම රැක ගැනීම නොව එය දේශීය දේශපාලන වේදිකාවෙහි අලෙවි කළ හැකි ප්‍රදර්ශනාත්මක භාන්ඩයක් ලෙස වැඩි දියුණු කිරීම සිය අරමුණ කර ගෙන සිටින පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනය විසින් ඇත්ත වශයෙන්ම නම් ලෝකයා හමුවෙහි සිංහල බුදු දහමට කරන්නේ පෙර නොවී විරෑ නිගරුවකි.

ශ්‍රී ලාංකිකයින් දශ ලක්ෂයක් පමන සේවයේ යෙදී සිටින මැද පෙරදිග සෑම රටකම ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය වර්තා කෙරුනේ “බෞද්ධ ත්‍රස්ත කන්ඩායම් විසින් ඉස්ලාම් ලබ්දියට එරෙහිව කරනු ලබන ප්‍රහාර දාමයෙහි එකක්” ලෙස ය. නිදසුනක් ලෙස “සවුදි ගැසට්” හි පළ වූ ලිපියෙහි මෙසේ සඳහන් විය:

“දෙමළ සුළුතරය සමඟ කැරුනු තිස්වසරක යුද්ධයෙන් ශ්‍රී ලංකාවේ පාලකයින් පාඩම් ඉගෙන ගෙන නැති බව පැහැදිළි ය. අද ඔව්හු රටෙහි අනෙක් සුළුතරය වන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරය පතුරවමින් සිටිති. මේ ත්‍රස්ත ක්‍රියාවන්ට ඍජුව සහාය නොදක්වන බව පෙන්වන නමුත් එරට පාලකයින් කරන්නේ බොදු බල සේනා වැනි බෞද්ධ ත්‍රස්ත කණ්ඩායම් සිය කිළිටි කාර්යයන්හි යෙදෙන විට අනෙක් පැත්ත බලා ගැනීම ය. මේ වනාහී අතීතයේ නාසීන් විසින් කළ වාර්ගික ශුද්ධ කිරීම් … සිහි ගැන්විමකි”.

බ්‍රිතානය මූලස්ථානය කර ගත් රොයිටර්ස්, ඒ.එප්.පී. නම් ප්‍රංශ පුවත් සේවය, ඇමෙරිකානු බහුජාතික පුවත් සේවාව වන ඒ.පී. නොහොත් ඇසොසියේටඩ් ප්‍රෙස්, චීන පුවත් සේවාව වන ෂිංහුවා යනාදී ප්‍රධානතම අන්තර් ජාතික පුවත් සේවාවන් ග්‍රෑන්ඩ්පාස් මස්ජිඩ් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරය සඳහන් කරන ලද්දේ බෞද්ධ භික්ෂුවක විසින් නායකත්වය දෙන ලද බෞද්ධ මැර කල්ලියක ක්‍රියාවක් ලෙස ය. ලොව පුරා දහස් ගනන් ජනමාධ්‍ය මෙම වාර්තා යළි පළ කරන අතර ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ගොඩ නැගෙන්නේ ඒ අනුව ය. සිංහල බුදු දහමට රාජපක්ෂවරුන් ලබා දී ඇති අන්තර් ජාතික අවමානයට මෙම වාර්තා විසින් පිළිබිඹු කරයි.

ෂිංහුවා මෙසේ කීවේ ය: “ශ්‍රී ලංකාවේ අගනුවර මුස්ලිම් දේවස්ථානයට බෞද්ධ මැර කල්ලියක් පහර දීමෙන් පසු …; මසකට පෙර අන්තවාදී සිංහල රාවය නම් කල්ලිය මෙම දේවස්ථානය ඉවත් කර ගත යුතු බව දැනුම් දුන්නේ ය. මෙයට පෙරද බොදු බල සේනා සහ සිංහල රාවය සංවිධාන මුස්ලිම් දේවස්ථානයන්ට පහර දුන් අතර ( මුස්ලිම් ඇමැතිවරුන්ගේ ලිපිය උපුටා දක්වමින් ) එම ප්‍රහාර සම්බන්ධයෙන් රජයේ ඈලිමෑලි ප්‍රතිචාරය විසින් දැන් මෙම මැර පිරිස් වඩා දාමරික කර තිබේ”. මේ වනාහී බටහිර පුවත් සේවාවක් නොවේ. චීන ආන්ඩුවේ පුවත් සේවාව යි.

රොයිටර්ස් වාර්තාවේ ශීර්ෂ පාඨ මෙසේ විය: “බෞද්ධ මැර කල්ලියක් මුස්ලිම් දේවස්ථානයට පහර දෙයි. 12කට තුවාලයි. මේ වනාහී බෞද්ධ බහුතරය විසින් සුලුතර මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල කරන ප්‍රහාර වැළක මෑත සිදුවීම ය”.

ප්‍රංශ පුවත් සේවය (ඒ එප් පී) මෙසේ වාර්තා කලේ ය: “බෞද්ධයින් විසින් මෙහෙයවනු ලැබූ මැර කල්ලියක් මුස්ලිම් දේවස්ථානයකට පහර දීමෙන් පසු මුස්ලිම් සුළුතරය යළි ප්‍රචණ්ඩ ප්‍රහාරයක් ඇති වනු ඇතැයි බියෙන් පසුවෙති “.

සී.එන්.එන්. (ඇමෙරිකානු) බී.බී.සී. ( බ්‍රිතාන්‍ය) අල් ජසීරා (මැද පෙරදිග) යන දශ ලක්ෂ ගණනින් ප්‍රෙක්ෂකයින් සිටින ප්‍රධාන පෙලේ අන්තර් ජාතික රූපවාහිනී සේවා ග්‍රැන්ඩ්පාස් මස්ජිඩ් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරය මෙසේ වාර්තා කළේ ය:

“සිංහල බෞද්ධයෝ කොළඹ මුස්ලිම් දේවස්ථානයකට පහර දෙති “. – අල් ජසීරා

“බෞද්ධ මැර කල්ලියක් ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේවස්ථානකට පහර දෙති “. සී.එන්.එන්.

“බෞද්ධ මැර කල්ලියක් පහර දීමෙන් පසු ශ්‍රි ලංකාවේ මුස්ලිම් දේවස්ථානය වසා දමයි” . බී.බී.සී.

මෙම සෑම වාර්තාවකම පාහේ අන්තවාදී බෞද්ධ මැර හමුදා සමඟ රාජපක්ෂ පාලනයේ රහස් දීගය පිලිබද ඉඟි සපයා තිබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් රැක ගැනීමට සටන් කරන පිරිස් ජාතියේ අභිමානය කෙළෙසන්නේයැයි දෙසේ දෙවොල් තියන නමුත් ඇත්ත වශයෙන්ම නම් ඒ කාරියේ යෙදී සිටින්නේ රාජපක්ෂ පාලනය සහ එහි අන්තවාදි ආගමික අතුරු හමුදා බව මේ සියළු වාර්තා විසින් පෙන්නුම් කරයි.

බුදු දහමේ නාමයෙන් කැරෙන මෙම ජාතිවාදී ප්‍රචණ්ඩ මැර දේශපාලනයට ශ්‍රී ලංකාවේ බහුතර බෞද්ධයන් සම්බන්ධ නැත. එනමුත් සෑම විටම අන්තවාදී සුළුතරයන් බලවත් වන්නේ බහුතරයේ නිහඬ භාවය හෝ වඩාත් දේශපාලනික අර්ථයෙන් කියන්නේ නම් එම යුක්ති ගරුක බහුතරයට හඬක් දීමට සමත් ව්‍යාපාරයක අඩුව විසිනි. අද ශ්‍රි ලංකාවේ ඛේද ජනක යථාර්තය එය යි.

Sunandaසුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya