[Imamge: Vikalpa File | August 11, 2012 | Jaffna | ඝාතනය කළ ඩෙල්රැක්ෂාන්ගේ අවසන් කටයුතු අවස්ථාවේ ඔහුගේ මව සහ සමීපතමයින් වාවා ගතනොහැකි ශෝඛයෙන්…]

##
[ඝාතනය කළ ඩෙල්රුක්ෂාන්ගේ පියාගෙන් CID ය ප්‍රශණ කරයි]

මරා දැමුණු මරියදාස් ඩෙල්රුක්ෂාන් ගේ පියාගෙන් ප්‍රශ්ණ කිරීම සදහා රහස් පොලීසිය විසින් පෙරේදා(15) යාපනයේ නිවසට ගොස් තිබෙන බවත්, සීඅයිඩී ය විසින් ඩෙල්රුක්ෂාන්ගේ පියාගෙන් විමසා ඇත්තේ ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ව අදුරනවද? සෙල්වරාජා ගජේන්ද්‍රන් අදුරනවද?, ඒ ගොල්ලන් ඔයාලට සල්ලි දුන්නද?, කීයක් ද දුන්නේ?, සල්ලි දෙනකොට මොනවට හරි අත්සන් කරා ද? යන ප්‍රශ්ණ ඩෙල්රුක්ෂාන්ගේ පියාගන් අසා තිබෙන බව ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් පැවසීය.

ඝාතනයට ලක් වූ දෙමළ දේශපාලන සිරකරුවෙක් වූ නේවිස් මරියදාස් ඩෙල්රුක්ෂාන්(34)ගේ අවසන් කටයුතු සිදුකළේ 2012 අගෝස්තු(11) සෙනසුරාදා ය. ඒ ඔහුගේ උපන් ගම වන යාපනය, පාෂෛයූර් ප්‍රදේශයේ ය. නේවිස් මරියදාස් ඩෙල්රුක්ෂාන් මෙන්ම එවැනිම ලෙස ඝාතනය කළ වව්නියාවේ ගනේෂන් නිමලරෑබන් ගේ ඝාතකයන් කවුද යන්න කෙසේ වෙතත් විශේෂයෙන් නිමලරෑබන්ගේ පියා විසින් අධිකරණයේ ගොනු කර තිබු සිය මූලික අයිතිවාසිකම් පෙත්සම ද අගවිනිසුරැ වරයා විසින් ඉවත් කරනු ලැබූවේ ශිෂ්ඨ සමාජයන් පුදුම කරවන අන්දමේ ‘‘ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් නෑ – අගවිනිසුරු – බීබීසී‘‘ ප්‍රකාශයක් ද කරමිනි.

එවන් තත්ත්වයක් තුළ සිය දරැවන් අහිමි වූ දෙමව්පියන්ට යුක්තිය කෙසේ වෙතත් නිදහසේ ජීවත්විමට වත් නොදී නිරන්තර ප්‍රශ්ණ කිරීම්වලට ලක් කිරීමෙන් ප්‍රතිසංධානයක් ඇති කිරීමට හැකි දැයි උතුරේ සමාජ ක්‍රියාකාරීන් ප්‍රශ්ණ කරනු ලබයි.

කෙසේ නමුත් මරා දැමුණු නිමලරෑබන්, ඩෙල්රුක්ෂාන් වැනි අයගේ දෙමාපියන්ට උදව් උපකාර කළ, ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුලු දේශපාලන ක්‍රියාධරයන්ට කිහිප වතාවක් ත්‍රස්ථ විමර්ෂණ ඒකකයට සහ රහස් පොලීසියට ගොස් කට උත්තර ලබා දීමට සිදු වූ බවත් වාර්තා විය. රහස් පොලීසිය මුළික වශයෙන් මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්ණ කල බවත්, ඒ සම්බන්ධයෙන් වන ලිපි ලේඛන අපි ඔවුන්ට ඉදිරිපත් කළ බවත් මේ සම්බන්ධයෙන් විමසීමේදී ඔවුන් ‘විකල්ප‘ වෙත පැවසීය.

ඩෙල්රුක්ෂාන්ගේ මරණයෙන් පසු ඔවුන්ගේ දෙමාපියන් විසින් ඔවුන් ඉතාමත් දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වන්නේ යැයි කියමින් කිසියම් උපකාරයක් කරන ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ න් ඉල්ලා සිටි බව ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් පවසයි. ඉන් පසු තමන්ගේ දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් එකතු කරගත් රැපියල් 50000ක් ඩෙල්රැක්ෂාන්ගේ දෙමාපියන් වෙත පිරිණැමූ බව ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් වැඩිදුරටත් පවසයි.

‘ඒවගේම මරා දැමුණු නිමලරෑබන්ගේ දෙමව්පියන්ට ද අපි උදව් කරලා තිබෙනවා. ඒ සම්බන්ධ ලිපිගොනු අපි සතුව තිබෙනවා.‘
යැයි ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් වැඩිදුරටත් අපත් සමග පැවසීය. ‘ඒ වගේම ඩෙල්රුක්ෂාන්ගේ තාත්තාගෙන් ප්‍රශ්ණ කරලා පසුව සිංහලෙන් ලියපු ලියවිල්ලකට රහස් පොලීසිය අත්සන් කරන්න කියලා තිබෙනවා. නමුත් ඩෙල්රුක්ෂාන්ගේ පියා කියලා තියනවා, මම සිංහල දන්නේ නෑ. ඒ නිසා මට අත්සන් කරන්න බෑ කියලා. ඊට පස්සේ, එහෙනම් හෙට සීඅයීඩී කාර්යාලයට එන්න. අපි පරිවර්තනය කරලා තියන්නම් එන්න කියලා තිබෙනවා‘‘ යැයි ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් විකල්ප සමග පැවසීය. ඒ අනුව ඩෙල්රුක්ෂාන්ගේ පියා අද(17) සවස රහස් පොලිස් කාර්යාලයට යෑමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.