Image : Vikalpa File

ජනමාධ්‍යවේදීහු පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ ගැටළු සම්බන්ධ සාකච්ජාම ය වැඩ මුළුවක් පවත්වමින් සිටිති. ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ ආසියා පැසිපික් අංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුද ඔවුන් හා එක්ව ඔවුන් හා එක්ව සිටිති. මෙම වැඩමුළුව පැවැත්වෙන්නේ ආරාධිතයින් සඳහා පමණකි.

හදිසියේම එතැනට ආගමන විගමන නිලධාරීහු සහ තවත් නිලධාරීහු පිරිසක් කඩා පනිති. ඉන් එක් අයකු වැඩ මුළුවට සහභාගි වන ජනමාධ්‍යවේදීන්ගේ ජායාරූප ගැනීමට පටන් ගනී. එවිට ජනමාධ්‍යවේදීහු විරුද්ධත්වය පළ කරති. ‘අපි පොලීසියෙන්‘ යැයි එම නිලධාරියා කියන්නේ එවිට ය. මෙම නිලධාරීන් අයත් වන්නේ පොලීසියේ බුද්ධි අංශයට බව ජනමාධ්‍යවේදීන් තේරුම් ගන්නේ එවිට ය.

මෙම සිදුවන්නේ කුප්‍රකට අඥාදායකයකු රට පාලනය කරන සිම්බාබ්වේහිදී හෝ යුද්ධ අග්නි ජාලාවෙන් වැසී ගිය සිරියාවේ දී නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රට පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම මත ගොඩ නැගුණු පොදු රාජ්‍ය මන්ඩලයේ නායකත්වය ගැනීමට සැදී පැහැදී සිටින මාධ්‍ය නිදහස සකලාකාරයෙන්ම තහවුරු කර ඇතැයි කියන ශ්‍රී ලංකාවේදී ය.

එළෙස කඩා වැදුණූ ආගමන විගමන නිලධාරීහු විදේශිකයින්ගේ ගමන් හැඳුනුම් පත් සිය බාරයට ගෙන ජාත්‍යන්තර ජනමාධ්‍යෙවේදීන්ගේ සංගමයේ ආසියානු පැසිපික් කලාපීය අධ්‍යක්ෂිකා ජැකොලීන් පාර්ක් සහ ජේන් වතර්ටන් නොනිල අත් අඩංඟුවට ගනිති. ඔවුන්ට විරුද්ධ චෝදනාව වන්නේ සංචාරක වීසා ලබා ගෙන ශ්‍රී ලංකාවට පැමිණ ජනමාධ්‍යවේදී වැඩ මුළුවකට සහභාගි වූයේ ය යන්නයි.

නමුත් අවසානයේ දී ආගමන විගමන නිලධාරීන් ඇයට කියා සිටිනනේ ඔවුන්ට මහත් අත් වැරදීමක් සිදු වූ බවයි. පොලිස් බුද්ධී අංශ කිසිවක් නොකියාම ඔවුන්ට යන්නට හැරියේ ය.

එනමුත් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් යළි යළි සිය කකුළ කටේ ඔබා ගැනීම පුරුද්දක් කර ගෙන සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ මෙම ජනමාධ්‍යවේදීන් දෙදෙනා ශ්‍රී ලංකාවට හතුරැකම් කරන බැවින් අත් අඩංඟුවට ගත් බවය. නමුත් මේ ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලම ලබා ගෙන ඇත්තේ සංචාරක වීසා ද නැත් ද යන්න නොවිමසා මේ ජැකොලින් පාර්ක් සමඟම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස සම්බන්ධ සාකච්ජාවකට 2007 වසරේදී සහභාගි විය.

ජනමාධ්‍ය වැඩමුළුවට කඩා පැන ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ නියෝජිතයින් අත් අඩංඟුවට ගන්නා ලද්දේ සංචාරක වීසා පිළිබඳ ප්‍රශ්ණයක් උඩය යන බොරුව කෙහෙළිය රඹුක්වැල්ලගේ එම ප්‍රකාශයෙන් පැහැදිළි විය. මෙම කඩා පැනීමෙන් සහ පසුව කෙරුණූ දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලින් පැහැදිළි වූයේ මේ වනාහී ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස මර්දනයට ලක් කිරීමේ තවත් එක් පියවරක් බවයි. අනෙක් අතට කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවට පැමිණ සම්මන්ත්‍රණ යනාදිය පවත්වන්නේ ද සංචාරක වීසා ලබා ගනිමින් බවට කළ මෙරට ප්‍රධාන දේශපාලන විපක්ෂය කළ චෝදනාවට කෙහෙළිය රඹුක්වැල්ල තවම උත්තර බැඳ නැත.

පසුව අත් අඩංඟුවට ගැනීම අත් වැරදීමක් යැයි කියා සිටි ආගමන විගමන නිළධාරීහු සහ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් සමඟ එක්ව දින දෙකක් පුරා පැය 15ක් ජැකොලීන් පාර්ක්ගෙන් ප්‍රශ්ණ කළහ. මෙම ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් බුද්ධි අංශ නිලධාරීහු ජැකොලයින් පාර්ක් පසුගිය පසලොස් වසර තුල ශ්‍රී ලංකාවට පැමිණි දහහත්වතාවක තොරතුරු අඩංඟු ලිපි ගොනු රැගෙන ආහ. ජනමාධ්‍ය ක්‍රියාධරයන් සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය කොතෙක් බිය ජනක විස්තීර්ණ විමසිල්ලක් පවත්වා ගන්නේ ද යන්න එමගින් පැහැදිළි වී යැයි පසුව ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය කියා සිටියේ ය. මෙයට අමතරව පොලිස් නිලධාරීහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරැ සහ ජේෂ්ඨ මාධ්‍යවේදියකු වන සුනිල් ජයසේකරගෙන් ද පැය හයක් පුරා ප්‍රශ්ණ කළහ.

ප්‍රශ්ණ කිරීම් අතරතුර ජැකොලින් පාර්ක්ගේ පරිඝණකයට සම්බන්ධ කරන ලද උපකරණයක් මගින් එහි වූ සියළු දත්ත ලබා ගත් පොලිස් බුද්ධි අංශය යළි පාවිච්චියට ගැනීමට බැරි වන සේ පරිගණකයේ වූ සියළු දත්ත විනාශ කර දැමූහ.

කවරකුගේ පරිගණකයක ඇති දත්ත පරීක්ෂා කිරීමට නම් පොලීසිය උසාවියෙන් අවසරයක් ලබා ගත් යුතුය. මන්ද යත් එය නිවෙසකට පැමිණ නිවසෙහි ඇති ලිපි ගොනු පරීක්ෂා කිරීම හා සමාන කරුණක් නිසා ය. වැඩ මුළුවකට කඩා පැන එහි සිටින ජනමාධ්‍යවේදීන්ගේ ජායාරූප බලයෙන් ගැනීමට ද පොලීසියට නීතියෙන් අවසරයක් නැත.

මේ වනාහී ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. මෙරට ක්‍රියාත්මක වන්නේ රාජපක්ෂවරුන්ගේ කැලෑ නීතිය බව අපි හැම අත් දැකීමෙන්ම දනිමු. එසේ නමුත් රාජපක්ෂවරු ලෝකයට කියන්නේ වෙනත් කතාවකි. එනම් ශ්‍රී ලංකාව වනාහී නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පරාදීසය කියා ය.

මෙම අත්අඩංඟුවට ගැනීම ද දීර්ඝ ප්‍රශ්ණ කිරීම් ද විසින් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පොදු රාජ්‍ය මන්ඩලීය සමුළුව අභියස යලිත් වරක් හෙළිදරව් විය.

ජනමාධ්‍ය වැඩමුළුව කඩා කප්පල් කර නිදහස් මාධ්‍ය ක්‍රියාධරයින් බිය ගන්වනු පිණිස පොලිස් බුද්ධි අංශ සමඟ ආගමන විගමන නිලධාරීන් වැඩමුළුවට කඩා වැඳුණු දිනයේ ම පැරිසිය මූලස්ථානය කර ගත් දේශසීමා නැති මාධ්‍යවේදියෝ සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට විවෘත ආයාචරනයක් කරමින් මර්දනයට මුහුණ දී සිටින දේශීය සහ විදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන සේ ඉල්ලා සිටියේ ය.

අන්තර් ජාතික ජනමාධ්‍ය වාර්තා කළේ මෙම සමස්ත සිදුවීම පොදු රාජ්‍ය මන්ඩලීය සමුළුව ආසන්නයෙහි ශ්‍රී ලංකාන්ඩුව විසින් කරන ලද අනතුරු ඇඟවීමේ සංඥාවක් බවයි. ප්‍රශ්ණ කරන ලද ආකාරය බිය ගන්වන සුළු වූ බවත් තමන් එළඹෙන පොදු රාජ්‍ය මන්ඩල සමුළුවට හමුවෙහි අනවශ්‍ය පශ්න ඇති කරන බවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් චෝදනා කළ බවත් එම ජනමාධ්‍යවේදීන් දෙදෙනා කීවේ යැයි ද අන්තර් ජාතික ජනමාධ්‍ය වාර්තා කළේ ය. එකී ප්‍රශ්ණ කිරීම් සිදු කෙරුනු ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය සහ ජනමාධ්‍ය නිදහස සඳහා ක්‍රියා කරන පිරිස් වෙත එළඹිය හැකි අනතුරු ද ඔවුන් පසු පස මර්ධන යන්ත්‍රය හඹා යන අන්දම ද දක්නට ලැබුණේ යැයි ඔවුන් දෙදෙනා සඳහන් කළ බව ද එම වාර්තාවන් ලොව පුරා රැගෙන ගියේ ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රබලතම ජනමාධ්‍ය සංවිධානය වන ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා කමිටුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සිදුවීම විසින් පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුළුව අභියස ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ නිදහස් මාධ්‍ය ක්‍රියාකාරීන් මුහුණ දී සිටින අනතුරු දායක තත්ත්වය පෙන්නුම් කරන බවයි. මෙම මර්ධනයට මුහුණ දී සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිර්භීත කැපවීම ද එම ප්‍රකාශයෙහි අගය කෙරුණි. එය කියා සිටියේ මෙවැනි බිය ගැන්වීම් මැද පවා පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිළිබඳව ප්‍රසිද්ධ ආයාචනයක් කිරීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමත්ව ඇති බවයි.

රටවල් 106ක දශ ලක්ෂයකට ආසන්න සාමාජිකත්වයක් ඇති බ්‍රසල්හි මූලස්ථානය කර ගත් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය ප්‍රකාශයක් කරමින් මෙම මර්දනකාරී පියවරයන් හෙළා දකිමින් සිය නියෝජිතයින් කිසිදු වීසා නීති කෙළෙසීමක් කර නැතැයි ශ්‍රී ලංකාන්ඩුවට අභියෝග කළා ය. එය තවදුරටත් කියා සිටියේ පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුළුව අවසන් වීමෙන් පසු විසංවාදී අදහස් මර්දනය කරමින් නිදහස් මාධ්‍ය ක්‍රියාධරයින්ට තර්ජනකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බවයි.

නිමල්කා ප්‍රනාන්දු සහෝදරිය මරා දැමිය යුතු බවට රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන ක්‍රෝධ ව්‍යාපාරය ද මෙම මර්දනකාරී තත්ත්වයේම දිගුවකි. මෙම දේශපාලන ඝාතකයින් විසින් මැඩළීමට තැත් දරන්නේ ඇයගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියයි.

මෙම සමස්ත සිදුවීම විසින් පෙන්නුම් කැරෙන සත්‍ය නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස සඳහා සැබැවින්ම ක්‍රියා කරන පිරිස් මුහුණ දී සිටින මර්නකාරී සහ අනතුරුදායක තත්ත්වය යි. මෙවැනි තත්ත්වයක් යටතේ අප සතු පරම යුතුකම වන්නේ දේශීය සහ අන්තර් ජාතික සහයෝගිතාවය ගොඩ නැගීම මිස එක්නෙකාට පහර ගසා ගැනීම නොවේ.

##

නිවැරදි කිරීමයි

පසුගිය සතියේ මෙම තිරෑව කියවූ ස්වයං – පිටුවහලේ ජීවත් වන සහෝදරයකු වහාම ඊමේලයක් එවමින් කියා සිටියේ මගේ ලිපියේ මහත් වරදක් ඇති බවයි. ලක්ෂ 500ක් විය යුතු තැන ලක්ෂ පහක් සේ දක්වා ඇතැයි ඔහු ලියා එවීය. එය සම්පූර්ණ ඇත්ත ය. මා අතින් සිදුව ඇති එම වරද මහත් ය. සුචරිත ගම්ලත් ශබ්ද කෝශයේ අත් පිටපත පුස්කමින් තිබුණේ එය ලක්ෂ පහකින් මුද්‍රණය කළ නොහැකි දැවැන්ත කාරියක් වූ නිසාම ය. උපුල් ශාන්ත සන්නස්ගල ඒ සඳහා ලබා ගත් බැංකු ණය ලක්ෂ 500ක් වන අතර එය දැන් ලක්ෂ 700ක් දක්වා ඉහළ නැග ඇති බව මගේ මුලාශ්‍රය වූ ජයසිරි අලවත්ත කළ සම්මුඛ සාකච්ජාවේදී සදහන්ව තිබුණි. මේ වරද පෙන්වා දුන් සැමට ස්තුතිවන්ත වෙමි. වරද පිළිගනිමි.

තවද පොතෙහි මිල රුපියල් දහ දහසක් නොව රුපියල් හත් දහසක් බව ද මට දැන ගන්නට ලැබුණි.

sd 120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya