Image Credit : businesstoday.lk

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති, හඩ්සන් සමරසිංහ සමග සිළුමිණ පුවත්පතේ සුනිල් මිහිඳුකුල විසින් සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පළ කර තිබුණේ ‘‘මට ‘හඩ්ඩා’ කීවාට මං හඩු වැඩ කරලා නෑ – හඩ්සන් සමරසිංහ‘‘ යන ශීර්ෂය යටතේ ය. කෙසේ නමුත් ඔහු විසින් මෙහෙයවන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ‘රට යන අත‘ නම් වැඩසටහන තුළ පසුගිය කාලය පුරාම ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට ඉතාමත් වෛරී සහගත ලෙස, මාධ්‍යකින් භාවිතා කල යුතු යැයි පිළිගත් ආචාරධර්මයන්ට ද පටහැනිව ඇතැම් කරැණු මේන්ම ඉතා භයානක දේවල් ප්‍රචාරය කරන ලද්දේ සජීවව ය. එහි ආසන්නම සිදුවීම නම් මානව හිමිකම් ක්‍රියාකාරිනී, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දුට එල්ල කරල ලද වෛරී සහගත මෙන්ම ඇයව අනියම් ආකාරයෙන් ඝාතනය කිරීමට සහය වීමක් ලෙසින්, ආණ්ඩුවේ ගුවන් විදුලියක් හරහා ප්‍රචාරය කරන ලද වැඩසටහනයි. එසේ සිදුකරන ලද පහත් ක්‍රියාවන් සත්‍ය ලෙසම හඩ්සන් සභාපති වරයා පවසන්නාක් මෙන් ‘හඩු‘ වැඩ ගනයට අයත් වන්නේ නැත. එය අයත් වන්නේ දරැණු අපරාධ ගණයේ වැඩවලට ය. නමුත් ලංකාවේ එම අපරාධය නම්කරනු ලබන්නේ ‘රට ජාතිය වෙනුවෙන්‘ කියාය.

පිළිවෙලින් පහත පළවන්නේ එම වැඩසටහන් පිලිබදව ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු දක්වන අදහස් සහ ඊට පසු ලංකාවේ කාන්තා අයිතීන් පිළිබදව කටයුතු කරන සංවිධාන සහ පුරවැසියන් විසින් එම හඩ්සන් සභාපතිවරයාගේ මාධ්‍ය භාවිතාවට විරැද්ධව පැවති සාමකාමී විරෝධයට ඔහුගේ ගුවන් විදුලි හෙංචයින් විසින් දක්වන ලද ප්‍රතිචාරයන්ය.

නමුත් ඔහුගේ මාධ්‍ය භාවිතාව ‘හඩු‘ ගදට ඩවා බියකරැය. බලන්න පහත ඉදිරිපත් කිරීම් [හඩ්සන් සභාපතිවරයාගේ ගුවන් විදුලියේ එම හඩපට, පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන අයුරැ, ඡායාරෑප සහ විඩීයෝපට සහිතයි]

‘ගුවන් විදුලිය ෆැසිස්ට්’ | ‘මගේ ජීවිතයට තර්ජනයක්’ – නිමල්කා ප්‍රනාන්දු[Video]

[ෆැසිස්ට් ගුවන්විදුලිය නිමල්කා ඝාතනයට සැළසුම් හදයි]

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පසුගිය 03 වනදා උදෑසන විකාශය වූ ‘රට යන අත‘ නම් ගුවන් විදුලි වැඩසටහනින්, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන නිමල්කා ප්‍රනාන්දු මහත්මියව ඝාතනය කිරීමේ සැලසුම් ප්‍රසිද්ධියේ, සජීවීව ප්‍රචාරය කර ඇතැයි වාර්තා වෙයි. රට යන අත වැඩසටහනට දුරකථන ඇමතුම් ලබා දෙමින් එහි පාඨකයන් යැයි කියා ගත් පිරිස් විසින් නිමල්කා ප්‍රනාන්දු ඝාතනය කළ යුත්තේ කෙසේ ද? ඝාතනය කළ යුත්තේ ඇයි? යන්න මෙන්ම ඇයට අපහාස වන අයුරින් විවිද ප්‍රකාශ සිදුකරමින් පැය ගණනාවක් මෙම වැඩසටහනින් අපහාස සිදුකර ඇත. මෙම ‘රට යන අත‘ වැඩසටහන මෙහෙයවා ඇත්තේ, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහයි.

කෙසේ නමුත් මෙම හඩ්සන් සමරසිංහ නම් සභාපතිවරයා පසුගිය කාලය පුරාම සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ජනමාධ්‍ය වේදීන් එල්ල කරමින් ඔවුන්ට අපහාස වන අයුරැන් මෙන්ම වෛරී ස්වාභාවයෙන් එම වැඩසටහන මෙහෙයවනු ලැබූ අවිචාරවත් සභාපතිවරයෙක් බව සිහිබුද්ධියක් ඇති පාඨකයන් දන්නා කරැණකි. විශේෂයෙන් අශිලාචාර ලෙස මෙවැනි සාහාසික ප්‍රකාශයන් සිදු කරන, ජනතාවගේ මුදල් වලින් යැපෙන මෙම නාලිකාවේ සභාපතිවරයාගේ හැසිරීම මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් යහමින් ඇතැයි කියන රාජපක්ෂ පාලනය මෙය අනුමත කරන බවක් පෙනෙන්ට තිබීමත් විශේෂයකි.

ගෝඨාගේ ‘ක්ලීනින් යුනිට්‘ එක?

ඉතාමත් ප්‍රසිද්ධියේ ස්ත්‍රියක් ඝාතනය කිරීමට සැළසුම් කිරීම, අපහාස කිරීම මෙන්ම ‘ගෝඨාබයගේ ක්ලීනින් යුනිට් එකට නිමල්කාව බාර දීම‘ වැනි ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම තුළ රාජපක්ෂ පාලනයේ ෆැසිස්ට් බව දැන් එල්පිටම හඩ්සන් සමරසිංහ නම් ගුවන් විදුලි සභාපතිවරයා විසින් එලි දක්වා තිබේ. එපමණක් ද නොවේ, හෙට අනිද්දා ‘ලොවක් හමුවන රටේ‘ ආරක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂට ක්ලීනින් යුනිට් එකක ඇති බව රජයේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙයි. මොකද්ද මේ ක්ලීනින් යුනිට් එක? මොකටද එහෙම එකක්? යන්න දැන් එළිපිටට ම පැමිණ තිබේ. එපමණක් ද නොවේ දැන් සත්‍ය ලෙසම දැන් ‘රට යමින් සිටින අත‘ මෙන්ම සත්‍ය ලෙසම ‘රට යන අත‘ මෙම ප්‍රකාශ වලින් මනාවට පැහැදිලි වෙයි. [සම්පූර්ණ ලිපිය සදහා…]

[Photos] හඩ්සන් ට එරෙහි විරෝධයේ දී, පොලිස් ආරක්ෂාව යටතේ මැරකම් කළ ගුවන්(විදුලි) චණ්ඩි[Video/Photos]

Marain

[හඩ්සන්ට් එරෙහි විරෝධයේ, පොලිස් ආරක්ෂාව යටතේ මැරකම් කළ ගුවන්(විදුලි) චණ්ඩි සහ පොලිස් ලොක්කා හදුනාගත හැකි එකම සළකුන වූයේ, පොලිස් ලොක්කා ගේ නිළ ඇදුම පමණි.]

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහගේ වෛරී මාධ්‍ය භාවිතාවට එරෙහි ස්ත්‍රී සංවිධානයක් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ඊයේ(02) සවස ගුවන් විදුලි සංස්ථාව අසල, කැදවා තිබූ විරෝධතාවයට පොලිස් ආරක්ෂාව යටතේ මැරකම් කළ ගුවන්(විදුලි)චන්ඩි මහත්වරැන්ගේ සහ නෝනාවරැන්ගේ නවතම ඡායාරෑප සටහනක් ලැබී තිබේ. [සම්පූර්ණ ලිපිය සදහා…]

(හඬපටය සහිතයි) හඩු ගඳ ඇති මේ ‘හු‘ කාගේද?[Video/Photos]

Rupawahini-Thugs

2013 නොවැම්බර් මස 04 වන දින ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ උදෑසන විකාශනය වූ ”රට යන අත” කාලීන සංවාද සාකච්ඡාවේදී එහි සභාපති හඞ්සන් සමරසිංහ විසින් කාන්තා ක‍්‍රියාකාරිනියක් හා මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් වු නීතීඥ නිමල්කා ප‍්‍රනාන්දු ගේ ජීවිතයට මරණීය තර්ජනක් වන ආකාරයෙන් එල්ල කරන ලද, වෛරී ප්‍රකාශයන් හෙළා දකිමින් පසුගිය 02වන දා සවස ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට ස්ත්‍රී ව්‍යාපාරයක් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් පවත්වන ලද විරෝධයට පොලීසියේ සහය ඇතිව එම ස්ථානයට පැමිණි මැරයින් පිරිසක් විසින් හු කියමින්, විවිධ අසබ්‍ය වචන කියමින් පැමිණ සිටි ස්ත්‍රීන් හිංසනයට පත් කළේ ය. [සම්පූර්ණ ලිපිය සදහා..]

##

පහත පළවන්නේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා සමග සිළුමිණ පුවත්පතේ සුනිල් මිහිඳුකුල විසින් සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවයි. එය උපුටා ගත්තේ ලංකා සී නිව්ස් වෙබ් අඩවියෙනි.

* මොකක්ද ඔබේ සම්පූර්ණ නම?

හඩ්සන් සමරසිංහ

* රොක් හඩ්සන් කියලා හොලිවුඩ් නළුවෙකුත් ඒ කාලේ හිටියා නේද?

ඔව්. ඒඩ්ස් හැදිලා මළේ.

* ඇයි ඔබේ තාත්තා මේ වගේ නමක් දාලා තියෙන්නේ?

මොකට දැම්මද කියලා මටවත් හිතාගන්න බැහැ. ඒ කාලේ සුද්දන්ගේ නම් නේ දාන්නේ. එඩ්වින්, මාටින් වගේ.

* ඔබ නැති තැන සමහරු ඔබට කියන්නේ ‘හඩ්ඩා’ කියලා?

එහෙම කියනවයි කියලා කියනවා. ඒත් මං හඩු වැඩ කරලා නැහැ.

* උපන්නේ?

1943 ඔක්තෝබර් 24.

* ගම?

පේරාදෙණිය ගොඩගන්දෙණිය.

* තාත්තාගේ නම?

සීමන් සමරසිංහ

* මොකක්ද රැකියාව වශයෙන් කළේ?

කුලී වැඩ. ඔය පේරාදෙණි විශ්ව විද්‍යාලය හදන කොට පස් කැපුවේ අපේ තාත්තා. දැන් විශ්ව විද්‍යාලය තියෙන හරියට ඉස්සර කිව්වේ කුරුඳු ගොඩැල්ල කියලා. මමත් තාත්තා වගේ ම පස් කපලා තියෙනවා.

* අම්මා?

පොඩිහාමිනේ. එයා ආප්ප පිච්චුවා. මම තමයි උදේට පේරාදෙණි හන්දියේ කඩවලට ආප්ප ගෙනිච්චේ. අම්මා ආප්ප පිච්චුවට වංශවත් පවුලක කෙනෙක්. ඔය කරතොට ධම්මාරාම හාමුදුරුවන්ගේ කිට්ටුම ඥාතියෙක්.

* පවුලේ හිටියේ ඔබ විතරද?

නැහැ. නංගියි, මල්ලියි.

* ඔබ ගියේ මොන පාසලට ද? ධර්මරාජ, ත්‍රිත්ව, සෙන්ට් ඇන්තනීස්?

මොන පිස්සුද මම ගියේ ගමේ පොල්අතු ඉස්කෝලෙට. මට වැඩිපුර ඉගෙනගන්න ලැබුණේ නැහැ. ඉස්කෝලේ යවනවට වඩා කඩේට ආප්ප ගෙනියන්න, හරකුන්ට තණකොළ කපන්න යැවීම හොඳයි කියලා ගෙදර අය හිතුවා.

* ඔබ කොළඹට එන්නේ කොහොමද?

මම කොළඹට එන්නේ මහිලා සමිති ව්‍යාපාරයේ ආරම්භක කර්තෘතුමිය වන මේරි එස්. රත්නම් මැතිනියගේ මාර්ගයෙන්. මම වැල්ලවත්තේ මෙතෝදිස්ත සභාවට අයිති තැනක නැවතිලා හිටියා. එක අතකට ඒක අනාථ නිවාසයක් යැයි කියන්න පුළුවන්. ඒ කාලේ අපිට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මම හතර සැරයක් මෙතැනින් පැනලා යනවා. අන්තිම සැරේ ආපහු ගියේ නැහැ.

* ඊට පස්සෙ මොනවද කළේ?

කඩවැද්දුවේ ජිනවංශ හාමුදුරුවෝ අපේ අම්මගේ පැත්තෙන් මාමා කෙනෙක් වෙනවා. උන්වහන්සේ මාර්ගයෙන් මම වැල්ලවත්ත ධර්මෝදය පිරිවෙනට ආවා. එතැන මම ඇබිත්තකම් කළා. ඒ ඉන්න අතරෙ තමයි මං විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත් වුණේ. මාව කැලණිය විශ්ව විද්‍යාලයට තේරුණා.

* ඔබ විශ්ව විද්‍යාලයට ගියා? කවුද ඔබත් එක්ක හිටපු අය?

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි මගේ සමකාලීනයෙක්. ගිහියන් වශයෙන් ගත්තම ඩී.අයි.ජී. ධර්මසේකර සමකාලීනයෙක්. එයා ඒ කාලේ තද වාමාංශිකයා. ‘ක්‍රැස්තෝ’ කියලනෙ කිව්වෙ.

* ඔබ ගුවන් විදුලියට සම්බන්ධ වුණේ කොහොමද?

පාමංකඩ හන්දියේ තැපැල් කන්තෝරුවේදී ගැසට් එක බලද්දි මං දැක්කා ගුවන් විදුලියට නිෂ්පාදකවරුන් ඉල්ලලා. මම ඉන්ටර්වීව් එකට යනකල් රේඩියෝ සිලෝන් එක කොහෙද තියෙන්නෙ කියලවත් දන්නේ නැහැ. ඒ වගේම රේඩියෝ එකක් අතින්වත් අල්ලලා තිබුණේ නැහැ. ඒ කාලේ අපේ ගෙවල්වල රේඩියෝ නැහැ. ඉන්ටර්වීව් එකෙන් මං පාස් වුණා. ඒ කාලේ දැන් වගේ දේශපාලන පන්දමට රස්සා දුන්නෙ නැහැ. එහෙම ගත්ත නම් අපි තාමත් ඉන්ටර්වීව් එකේ. මාව දැම්මේ නාට්‍ය අංශයට. මම ජීවිතේට නාට්‍යයක් අහලා නැහැ. මුල්ම දවසේ මම රස්සාවට ආවේ බේල් කලිසමක් ඇඳගෙන. ඒක නුවරඑළියට ගැළපෙන කලිසමක්. සමහරු මං දිහා බැලුවේ හරියට සත්තු වත්තට අලුත් සතෙක් ආවම බලනව වගේ.

* නිෂ්පාදකවරයෙකු වුණු ඔබ කොහොමද නිවේදකයෙක් වුණේ?

ඩඩ්ලි සේනානායක මහත්තයා ඒ ‍කාලේ අගමැති. එතුමා කිරිවෙහෙරේ කොත් පැලදීමේ උත්සවය ආවරණය කරන්න මමත් ගියා. නිවේදකයා සේසිරි විජේසේකර. ඩඩ්ලි එනකොට එතැන සේසිරි නැහැ. හිටපු අය මට අතින් සංඥා කරලා කිව්වා වැඩේ පටන් ගන්න කියලා. මං කතා කළත් ලෙඩක්; කතා නොකර නිකං හිටියත් ඒත් ලෙඩක්. ඕනෑ දෙයක් වෙන්න කියලා මමත් දන්න සිංහල ඔක්කොම දාලා විස්තර ප්‍රචාරය කරගෙන ගියා.

ඩඩ්ලි උඩට ගිහින් දකුණු අතින් යකඩ බටේ අල්ලගෙන වම් අතින් කොත පැලඳුවා. මම ඒකත් ඒ විදියටම කිව්වා. මොකද වෙච්ච දේ විස්තර කරන්න එපැයි? මෙන්න ඔය ගොල්ලන්ගේ ‘දිනමිණ’ පත්තරේ යනවා ඩඩ්ලි වමතින් කොත පලඳයි. රටට තවත් අපලයක් කියලා. ඒ දවස්වල වල්ගා තරුවක් පායලා තිබුණා. ඒ අපලෙත් ඩඩ්ලිගේ ඇඟ උඩින් තමයි ගියේ. මාව වැඩ තහනම් නොවී බේරුණේ අනූ නවයෙන්.

* ඒත් පස්සෙ කාලෙක ඔබේ වැඩ තහනම් වෙනව නේද?

ඒ බණ්ඩාරනායක මැතිනියගේ කාලේ. මම අදටත් කල්පනා කරනවා මගේ වැඩ තහනම් කිරීමට හේතුව මොකක්ද කියලා. මොකක් හරි හේතුවක් තියෙන්න එපැයි, මම කිසි වරදක් කරලා නැහැ. මගේ වැඩ තහනම් කරලා තියෙන්නේ හදිසි නීතිය යටතේ. ලංකාවේ කම්කරු ඉතිහාසය කවදහරි ලියනකොට ලියාවි, මේක හදිසි නීති රෙගුලාසි යටතේ වැඩ තහනම් කරලා සම්පූර්ණ වැටුප තහනම් කළ එකම සිද්ධිය කියලා. අඩුම ගාණේ මට පඩි භාගයක්වත් දුන්නේ නැහැ.

* ඉතිං ඒ කාලේ ඔබ කොහොමද ජීවත් වුණේ?

ඒ දවස්වල මං වැටිලා හිටියේ ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ගේ පන්සලේ. පන්සල රෑ නවයට දහයට වහනවනේ. මං එන්න පරක්කු වුණොත් පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකේ හරි කොටුව ඉස්ටේෂන් එකේ හරි පරණ පත්තර කෑල්ලක් එළාගෙන නිදා ගත්තා. මට ගොරෝසු හමක් ආවේ මේ වගේ කටුක අත්දැකීම්වලින්. අපේ රටේ කිසිම මාධ්‍යවේදියෙක් මං තරම් දුක් විඳලා නැතුව ඇති. මේ පුටුවට එනවා තියා මේ පුටුව හදපු වඩුවගේ ගෙදර තිබුණු තත්වයවත් මට තිබුණේ නැහැ.

* ඔබේ වැඩ තහනම් කරලා තියෙන්නේ එවක සහභාගි වූ රිජ්වේ තිලකරත්න. ඔහු බොහෝ ම හොඳ පරිපාලකයෙක් විදියටයි අපි නම් අහලා තියෙන්නේ?

එයා අති දක්ෂයෙක්. ඒකේ විවාදයක් නැහැ. ඒත් මෙතැනට මෛත්‍රි බෝසතාණන් වහන්සේ ආවත් ඒ තත්ත්වයට පත් කරන කණ්ඩායමක් හිටියා. ඔයා දන්නවද කරුණාරත්න අබේසේකර මැරුණේ කොහොමද කියලා‍. ගුවන් විදුලි සංස්ථාවේ කවුරු හරි එයාට වහ දුන්නා. කරු අයියා දවසක් මට ෂර්ට් එකේ බොත්තම් ගලවලා පපුව පෙන්නුවා. පපුවේ පැත්තක් පිච්චිලා “මං ජීවත්වුණත් ජීවත් නොවුණා වගේ තමයි” කියලා කරු අයියා මට කිව්වා.‍

ගුවන් විදුලිය තරම් අණවින, කොඩිවින, හදි හ‍ූදියම් තියෙන තැනක් තවත් නැතුව ඇති. රිජ්වේ තිලකරත්නට මෙතැන හිටපු අය නොමඟ යැව්වා. මාත්තෙක්ක විසි දෙ‍න්නෙක් එළියට දැම්මා. අනෙක් අයට පඩි භාගයක් ගෙව්වා. මට සතයක්වත් නැහැ. අවුරුදු 4 ක් මම එළියේ හිටියා. හදිසි නීතිය ඉවත් කළාට පස්සේ ආපහු වැඩට ගත්තා.

‍* ඔබ එන එන ආණ්ඩුවේ ගුවන්විදුලි සංස්ථා සභාපති. එහෙම වෙන්නේ කොහොමද?

අපේ රටේ මිනිස්සු දේශපාලනය කරන්නේ හරිම ගොන් විදියට. දේශපාලනය හිස මුදුනේ තියාගෙනයි වැඩ කරන්නේ. මගේ ප්‍රශ්නය ශ්‍රී ලංකා ද යූ.එන්.පී. ද, සමසමාජ ද කියන එක නෙමෙයි. මට වැඩ කරන්න අවස්ථාව ලැබුණොත් මං ඒ වැඩේ හරියට කරනවා. මට පක්ෂ, පාට වැදගත් නැහැ.

* ඔබ වරක් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවටත් ගියා නේද?

ඒක තමයි මම ජීවිතේ කරපු ලොකුම ගොන්කම. පාර්ලිමේන්තු නොගිහින් හිටියා නම් මීට වඩා හොඳ වැඩක් කරන්න තිබුණා. ඒකෙන් මට සත පහක වැඩක් වුණෙත් නැහැ; රටට වැඩක් වුණෙත් නැහැ.

* ඡන්දේ ඉල්ලන කාලේ ඔබව හැඳින්වුණේ ‘පුංචි ප්‍රේමදාස’ කියලා?

ඒක තිබ්බෙ පෝස්ටර් එ‍කකනේ.

* ඒ දවස්වල ඔබව ඝාතනය කරන්නත් ප්ලෑන් තිබුණා?

සොත්ති උපාලි ආවනේ මාව මරන්න. මට බෝම්බ ගැහැව්වා‍. වෙඩි තිබ්බා. ඒත් හරි ගියේ නැහැ. ඒක පක්ෂය ඇතුළෙන් ම කරපු දෙයක්. මනාප ඡන්ද ක්‍රමයේ බියකරු පැත්ත තමයි ඒ‍. මම ඇමෙරිකාවට පලා ගියේ ඊට පස්සේ. ඔක්කොටම කලින් පණ බේරගෙන ඉන්න එපැයි.

* ඇමෙරිකාවේ ගිහින් මොනවද කළේ?

ඉගෙන ගත්තා. පාට් ටයිම් ජොබ් එකක් විදිහට හෝටලයක වැඩ කළා. වයිට් හවුස් එක ළඟ තියෙන මැඩිසන් හෝටලයේ. එතැනට යසර් අර්ෆත් වගේ දේශපාලනඥයෝ, එලිසබෙත් ටේලර් වැනි හොලිවුඩ් නිළියෝ ආපු ගියපු තැනක්.

* මේ ඔබ ගුවන් විදුලියේ සභාපති වෙලා ඉන්න තුන්වැනි වතාව?

මේක දියුණු කරන්න මම නොගන්න ‍උත්සාහයක් නැහැ. තවමත් අපිට ලාබ ලබනවා කියලා ලොකු ‍බෙරයක් ගහන්න බැහැ. මං මෙතැන්ට ආපු දවස්වල මහ දවල් ලයිට් කපනවා. මොකද ලයිට් බිල් ගෙවල නැහැ. පඩි ගෙවන්න සල්ලි නැහැ. අවුරුදු ගාණක අර්ථ සාධක මුදල් ගෙවලා නැහැ.

* ඒ කියන්නේ තවමත් යැපෙන්නේ මහා භාණ්ඩාගාරයෙන්?

ලයිසන් එක නැති කරන කොට අපිට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගෙව්වා. අපි ඒකට 28% ක බදු ගෙවනවා. අද ආයතනයේ තත්ත්වය දිහා බලන කොට මේක පවත්වගෙන යන එක ලේසි දෙයක් නෙමෙයි. හාර පන්සීයක් ඉන්නව. වැඩක් නැති මිනිස්සු. සත පහකට වැඩක් නොකරන අය. උදේට ඇවිත් ටෙලිෆෝන් එකෙන් කතා කර කර ඉඳලා හවසට ගෙදර යනවා.

* ගුවන්විදුලිය පිරිහුණේ පෞද්ගලික ගුවන් විදුලි නාළිකා ආපු නිසා ද?‍

නැහැ. හිටපු පාලකයෝ තමයි මේකට වගකියන්න ඕන. ඕනෑම ඇමැති කෙනකු කතා කළාම ‘Yes sir’ කියලා මිනිස්සු ජොබ්වලට දානවා. මම නම් මොනම ඇමැති කෙනෙකුටවත් ‘ Yes sir’ කියන්නෙත් නැහැ. කාවත් වැඩට ගන්නෙත් නැහැ. ඒ නිසා ඔය හුඟ දෙනෙක් තරහයි මාත්තෙක්ක.

* ඔබටත් ලොකු වැටුපක් ගෙවන්න ගියාම එතැනටත් සෑහෙන වියදමක් යනව ඇති.

මොන? ලංකාවේ සංස්ථා සභාපතිවරුන්ගෙන් අඩුම පඩිය හම්බුවෙන්නෙ මට. මට ගෙවන්නෙ 51 දාහයි. 9 දාහක් බදු කියලා කපනවා. මොනවට කපනවද දන්නේ නැහැ. රූපවාහිනී සංස්ථා සභාපතිට මටත් වඩා පඩි වැඩියි. මිනිහට 90 දහක් ගෙවනවා.

‍* ඔබ ‍උදේට ඉදිරිපත් කරන වැඩසටහනට කවුරුත් බණිනවනේ?

බැන්නට අත හරින්නෙ නැතුව අහනවනේ. මගේ වචන සැර වැඩියි. අපේ රටේ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කතා කරන්න ඕනෑ. ප්‍රශස්ති ගායනා කරලා වැඩක් නැහැ. මේ පුටුවෙ ඉඳන් මම ජනාධිපතිතුමාවත් විවේචනය කරනවා. ජනාධිපතිතුමා මාරක ළි‍ඳේ බයිසිකල් පදිනවා සැන්ඩෝ වගේ. ඇමැතිවරු උඩ ඉඳන් ටිකට් කඩනවා. මං ඒ වගේ දේවල් කියනවා. එහෙම කියන්නත් කොන්දක් තියෙන්න ඕනෑ. මට මේවයේ එල්ලිලා ඉන්න ආශාවක් නැහැ. ඕනෑ වෙලාවක මගේ මේසේ ලාච්චු අස් කරලයි තියෙන්නේ.

* ඔබේ මාධ්‍ය ජීවිතයේ අමතක නොවනම සිද්ධිය මොකක්ද?

කිරි වෙහෙරේ විස්තර ප්‍රචාරය තමයි ජීවිතේට අමතක නොවන්නේ. අද්භූත බලවේග ගැන මගේ විශ්වාසයක් නැහැ. ඒත් එදා හිතට ඇතිවුණු ශාන්තිය තාම තියෙනවා.

* ඔබ හඳහන් එහෙම විශ්වාස කරනවද?

මට හඳහනක් ඇත්තෙත් නැහැ. තිබුණත් විශ්වාස කරන්නෙත් නැහැ.

* ඔබේ බිරිය ගැන දරුවන් ගැන අපි මොකවත් දන්නෙ නැහැ.

අපොයි ඒවා ලියන්න එපා. මට දුවලා දෙන්නෙක් ඉන්නවා.

* අඩි පුඩි එහෙම ගහනවද?

ඉස්සර නම් බිව්වා. දැන් නම් කටේ තියන්නේ නැහැ.

* ඒ කියන්නේ සමහර අය වගේ එකපාරට උගුරට හලා ගන්නවද?

නැහැ බොන්නේ නැහැ. සිගරට් එකක් නම් කවදාකවත් බීලා නැහැ.

– සුනිල් මිහිඳුකුල /Silumina

@සම්මුඛ සාකච්ඡාව උපුටා ගැනීම : lankacnews.com