කොළඹ, මහජන පුස්තකාලයේ, ‘ජනතා සටනේ නව අභියෝග‘ නමින්, ඊයේ(22) පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේ දී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් එහි ප්‍රධාන ක්‍රියාකාරීකයෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නියමුවෙක් වන ලාල් කාන්ත මහතා ඉතාමත් වැදගත් සහ ප්‍රගතිශීලි යෝජනාවන් කිහිපයක් ඉදිරිපත් කළේ ය.

ඔහු එහි දී ඉදිරිපත් කල ප්‍රධාන යෝජනා දෙකක් විය. එකක් වන්නේ,

1948 සිට මේ දක්වා ආණ්ඩු කරන ලද මහජන නියෝජිතයින් හා එයට සම්බන්ධ පුද්ගලයින් විසින් කොල්ලකන ලද, හොරකං කරන ලද මුදල්, දේපල ඇතුලු රාජ්‍ය සම්පත්, ඉදිරි ජනතාවාදී ආණ්ඩුවකදී නැවත ආපසු ලබා ගැනීමට ක්‍රියාත්මක වීමත්,

අනෙක ලෙස, විධායක ජනාධිපතික්‍රමය අහෝසි කර රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම ත් ය.

එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ, උදාහරණ ලෙස ගනිමින්, හුදකලාව සටන් කරන, පරිසර සංවිධානවලට ඔවුන්ගේ සටන් පාඨය, ‘‘පරිසරය සුරකිනු‘‘ වෙනුවට ‘‘පරිසරය සුරකිනු‘‘ – ‘‘ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනු‘‘ යනුවෙන් ද, මාධ්‍ය සංවිධාන වලට, ‘‘මාධ්‍ය නිදහස සුරකිනු, වෙනුවට, ‘‘මාධ්‍ය නිදහස සුරකිනු‘‘ – ‘‘ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනු‘‘ යනුවෙන් සිය සටන් පාඨ වෙනස් කර ගත යුතුව ඇති බවය.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ යහපාලනය නැවත ස්ථාපිත කල යුතු යැයි කතා කරන සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට, හෝ පක්ෂයකට ලාල් කාන්තගේ මෙම යෝජනාවට එකග නොවී සිටීමට නොහැකිය. මෙය එක් පැත්තකින් මූලධාර්මික ප්‍රශ්ණයට ආමන්ත්‍රණය කිරීමක් වැනිය.

නමුත් ලාල් කාන්ත මහතාගේ මෙම දීර්ඝ යෝජනාවට, යෝජනා නොකළ ප්‍රධාන දේශපාලන කලාපයක් ඇත. එය ලාල් කාන්තට මෙන්ම ඔහු නියෝජනය කරන ජවිපෙ ත් විවිධ අර්තනිරෑපනයන් දෙමින්, කල්මරමින්, මග හරිනු ලබන ලංකාවේ ප්‍රධානම දේශපාලන කලාපයකි.

එය නම්, ලංකාවේ නිදහසින් පසුව දෙමළ ජනයා මුහුණ දුන්, තවමත් මුහුණ දෙමින් තිබෙන දේශපාලන අර්බුධය යි. එයත් සමගම වසර 30කට වඩා වැඩි කාලයක් දෙමළ ජනයා මත පතිත කරන ලද අයුක්ති සහගත මර්දනය යි.(එය යුදමය වශයෙන් 2009 මැයි මසදී අවසන් කලත්…) ජවිපෙ ආශිර්වාදයෙන් රාජපක්ෂලා විසින් දෙමළ මිනිසා මත පතිත කළ බිහිසුණු මර්දනයයි.

එබැවින් දෙමළ මිනිසාගේ ආත්මය පවා තලා දමමින් සිදු කල ව්‍යසනයට තමන් හවුල් නිසා, ලාල් කාන්තලාට ඉහත සටන් පාඨ කියැවුනත් ‘දෙමළ මිනිසාට යුක්තිය ඉෂ්ඨ කර දිය යුතු යැයි‘, ඉදිරි ජනතාවාදී ආණ්ඩුවකට යෝජනා කිරීමට හෘද සාක්ෂියට අනුව නොහැකි බව බොහෝ දෙනා දනී. නමුත් විධායක ජනාධිපතික්‍රමය, දූෂණය, කොල්ලකෑම ආදී සියලු දේට විරැද්ධව සටන් පාඨ හදන මේ සහෝදරයන්ට, ඒ පිළිබදව විවේචනයකින් වත්, දෙමළ සමාජයට දශක ගණනාවක් තිස්සේ සිදුකළ අපරාධයන්ට, යුක්තිය ඉෂ්ඨ කළ යුතු යැයි කියන්නට කටක් ඇරෙන්නේ නැත. ඒ ජවිපෙ දේශපාලනය තුළ ඇති සාධාරණත්වයේ සහ යුක්තියේ තරමය.

මෙයින් පැහැදිලි වන එක් කරැණක් තිබේ. එනම් යුද්ධයෙන් වසර 5කට ආසන්න වෙමින් තිබිය දී පවා දකුණේ දේශපාලනය විසින්, දෙමළ මිනිසාගේ දේශපාලන ප්‍රශ්ණය ආමන්ත්‍රණය කිරීමට දක්වන දේශපාලන මැළිකමයි. එය රාජපක්ෂ පමණක් නොව දකුණේ බොහෝ පක්ෂ, ව්‍යාපාර සහ සංවිධාන විසින් වර්තමානය වන විට පෙන්නුම් කරන ප්‍රධාන ලක්ෂණයකි.

ඇතැම් විට ලිබරල් ගතිකයන් වලට කිසියම් උනන්දුවක් දක්වන, සමාජවාදය විශ්වාස කරන, වෘත්තීය සමිති නායකයෙක් යැයි පැවසෙන ලාල් කාන්ත වැනි අය පවා දෙමළ මිනිසාට සිදුකරන ලද අයුක්තිය, අයුක්තියක් ලෙස නොදකින්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ඊනියා මානුෂික මෙහෙයුමේ පෙරගමන්කරැ තමන්ගේ පක්ෂය(ජවිපෙ) නිසා බව ඔහු මග හරින දෙයින් නැවතත් මතු වෙයි.

කෙටියෙන්ම කිවහොත්, උතුරේ මිනිස් ජීවිත දහස් ගණනක් සුනුවිසුනු කර දමමින්, මර්දකයා ආරක්ෂා කරමින්, පෙරමුණු බල ඇණිය ලෙස ගමන් කරමින්, රාජපක්ෂ ආණ්ඩුවට ඉන්ධන සැපයූයේ ජවිපෙ ය.

නමුත් අද ඒ මහින්ද රාජපක්ෂට විරැද්ධව පෙරමුණු හදන ලාල් කාන්ත ඇතුලු ජවිපෙ, දෙමළ සමාජයට සිදුකල අපරාධය ගැන කිසිදු විවේචනාත්මක හෝ ප්‍රගතිශීලි අදහසක් මතු කරන්නේ නැත. එසේම එදා දෙමළාට විරැද්ධව මහින්ද සරණ යමින්, අද මහින්දට වි‍රෝධය දැක්වීම එක් පසෙකින් දෛවයේ සරදමක් වැනි ය.

එයින් පෙනී යන්නේ තවමත් ඔවුන්ගේ දේශපාලනය තුළ දෙමළාගේ දේශපාලන ප්‍රශ්ණය අදාල නැති බව ය. ඔවුන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම අවශ්‍ය නැති බවය. දශක ගණනාවක් තිස්සේ, සිදු වූනු අයුක්තියට, යුක්තිය අවශ්‍ය නැති බවය. එය ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රශ්ණයක් ලෙස ආමන්ත්‍රණය කළ යුතු නැති බවය. එම නිසා, ලාල් කාන්තලා කොතරම් අලුත් සටන් පාඨ යෝජනා කලත් එය උතුරත්, දෙමළ ජනයා සමගත් ඒවා ඒකාබද්ධ නොකරන තාක් කල් යුක්තිසහගත, ප්‍රජාතන්ත්‍රවාදී, ලංකාවක් කෙසේ වෙතත් දකුණේ ප්‍රජාතන්ත්‍රවාදයවත් ස්ථාපිත කර ගත හැකි වන්නේ නැත. එය එසේ නොවන්නේ දෙමළ සමාජය විසින් ඉල්ලා සිටින යුක්තිය අද ජාත්‍යන්තරකරණය වී හමාර වීමත්, තුවක්කුවෙන් තලා, පොළව යට වළලා දැමූ ජීවිතවල, ඇටකටු පවා වසර ගණනාවකින් පසුව මතු වන්නේ ලෝකය ද මවිත කරමින් සේම අපරාධයන්ගේ පරිමාව බිහිසුණු ලෙස කියාපාමින් වීමය.

එබැවින් ලාල් කාන්ත මහතාගේ ඉහත සටන් පාඨයන්වලට, ‘‘දෙමළ සමාජයට යුක්තිය ඉෂ්ඨ කරනු‘‘ – ‘‘ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනු‘‘ යන්න දැන්වත් එකතු කර ගත හැකි නම් බොහෝ දෙනෙක් ඉල්ලා සිටින යහපත් ලංකාවක සිහිනය(වත්) ලගා කර ගත හැකි වනු ඇත.

[සංවාදයට විවෘතයි]

වසන්ත බංඩාර