Image Credit: geneva.usmission.gov

ජිනීවා හී සීතල තවම හිරි ගඩු නංවන සුළු ය. වෘක්ෂ ලතාදිය තවමත් දලු ලා ද නැත. ගගන තලය අඳුරුය. වසන්තය එළඹෙන්නට තවමත් දින කිහිපයක් තිබේ.

එසේ නමුත් ශ්‍රී ලංකාවේ නම් ජිනීවාවට අදාළ මානව හිමිකම් වසන්තයක ළකුණු දාශ්‍යමාන වෙයි. මේ නම් මාර්තු මාසය‍ට පෙර මෙරට පහළ වන මානව හිමිකම් මිරිඟුව ය. එහෙත් බැලූ බැල්මට පෙනෙන්නේ සැබෑ වෙනසක ළකුණු ය! මේ වනාහී අරුමයකට මෙන් කලු ජනවාරියට පසු පැමිනෙන පෙබරවාරි ‘මිරිඟු වසන්තය‘ යි!

මේ බලන්න:

අමාත්‍ය නිමල් සිරිපාල නියෝජිත කණ්ඩායමක් රැගෙන සත්‍ය සෙවිමේ කොමිසමක් අටවා ගන්නේ කෙසේ දැයි ඉගෙන ගැනීමට පෙබරවාරි දෙවන සතියේ දකුණු අප්‍රිකාවට යන්නේ සිය කැමැත්තෙන් ම ය. ඒ ශ්‍රී ලංකාවේ යුද්ධයේ විපාක පිළිබඳ ඇත්ත සෙවීම පිණිස ඉගෙන ගැනීමට ය.

හදිසියේ ම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අතුරුදහන්වූවන් සෙවීමේ කොමිසම හනි හනියේ ජනවාරි අග සිට උතුරටත් නැගෙනහිරටත් දුවමින් වාර්තාවක් සකස් කිරීම පිණිස දරදිය අදියි.

අතුරුදහන්වූවන් සෙවීමේ කොමිසමට සාක්ෂි නොදෙන්නේ නම් වහාම මරණ සහතික සහ රුපියල් ලක්ෂයක සහනාධාරයක් දීමට නාමල් රාජපක්ෂ ජනවාරි අග සතියේ දී කිළිනොච්චියට වේග ධාවනයක යෙදෙයි.

එපරිද්දෙන්ම හදිසියෙන් හදිසියෙන් යුද්ධයෙන් නැතිවූ ජිවිත සහ ගොඩනැගිළි පිළිබඳ පැවැත් වූ සංගනනයේ දත්ත එක්ලස් කර වාර්තාවක් සකස් කිරීමට නිලධාරීහු පෙබරවාරි දෙවන සතියේ සිට දිවා රෑ වැඩ කරති.

මාස ගණනාවකට පෙර පත් කිරීමෙන් පසු මේ තාක් අතුරුදහන් වී සිටි මාත‍ලේ සමූහ මිනී වළ පිළිබඳ පත් කරන ලද ජනාධිපති කොමිසම පෙබරවාරි අන්තිම සතියේ වැඩ අල්ලයි.

වසර දහයක් පුරා පුස්කමින් තිබෙන තොරතුරු අයිතියේ පණත සහ 2008 සිට වසරක් පාසා ගෙන බවට දිවුරා පොරෙන්දු වූ සාක්ෂිකරැවන් ආරක්ෂා කිරීමේ පනත මාර්තු මාසය තුළ ගෙන එන බවට ආණ්ඩුවේ මානව හිමිකම් කොමසාරිස් ප්‍රතිභා මහානාම පෙළහර පායි.

ලංකාන්ඩුවේ අත් අඩංඟුවේ තබා ගෙන සිටින දකුණු ඉන්දීය ධීවර බොට්ටු නිදහස් කිරීමට තමා සූදානම් බව ජනාධිපති රාජපක්ෂ පෙබරවාරි අග සතියේ ප්‍රකාශ කරයි.

තමන් ජාතික රූපවාහිනියේ සභාපතිව සිටි කාලයේ කිසිදු විවේචනාත්මක වැඩ සටහනකට ඉඩ නොදුන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක ශ්‍රී ලංකාවේ විසංවාදී අදහස් සඳහා ඕනෑ තරම් ඉඩ මේ තියෙන්නේ යැයි පෙබරවාරි අග සතියේ දී දෑත් විදහා පෙන්වයි.

වසර ගණනාවක් අතහැර දමා තිබූ දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා යළි ආරම්භ කිරීමට ජනාධිපතිවරයා මේ පෙරවාරියට දෙමසකට පෙර ආරාධනයක් යවයි.

වෙන මොන කතා ද? ලලිත් වීරතුංගගේ කතා, නිවාඩ් කබ්රාල් ගේ බයිස්කොප් යනාදිය මේ වසන්ත‍‍යේ අඩහැරය ගාන ය. අඩුවකට ඇත්තේ ඊයේ පෙරේදා වන තුරුම ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ආරක්ෂාව බාරව සිටි දැන් දුප්පත් හුලාගේ ජෝක් කෑලි පමණි.

පසුගිය 2012 සිට සෑම වසරකම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මාර්තු සැසිවාරය ආරම්භ වීමට පෙර මෙවැනි මායාවන්ගෙන් ශ්‍රී ලංකා ධරනී තලය වර්ණවත් වෙයි. ඉන් පසු මාර්තු සැසිවාරය සඳභා පැමිණෙන ලංකාණ්ඩුවේ නියෝජිත පිරිස් ‘මෙන්න වැඩ‘ යැයි ඒ මායාවන් ඇස්බැන්දුමක් සේ මානව හිමිකම් කවුන්සිලය තුළ මුදා හරියි.

ලංකාවෙහි සිදුවන ආසියානු විශමයන් හා සමාන මේ වැඩ කිඩ සියල්ල පෙන්වන්නේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ඉලක්ක කොට ගෙන බව අලුතෙන් කියන්නට අවශ්‍ය නැත. ඒ නිසාම ‍එළෙස ගැනෙන සියලු පියවර නිශේධාත්මක යැයි නිගමනය කිරීම වැරදි ය. ප්‍රශ්ණය නම් යුද්ධයෙන් ඉතිරි වූ මානව හිමිකම් කෙළෙසීම් ආමන්ත්‍රණය කිරීමට රාජපක්ෂ ආණ්ඩුවට ඇත්ත උවමනාවක් තිබේ නම් ඒ සඳහා මාර්තු මාසය කට ළගට එනකම් බලා සිටින්නේ මන්ද යන්න ය.

මාර්තු පසු වී ජූනි මාසය වන විට රොෂාන් චානකලාට ලැබෙන්නේ වෙඩි ය. අගොස්තු මාසය වන විට වතුර ඉල්ලන රතුපස්වල ජනයාට ‍ජීව උණ්ඩ ලැබේ. නොවැම්බර් දෙසැම්බර් වන විට බොරු කොමිෂන් පත් කිරීම ඇරඹේ. ලංකාවේ රාජපක්ෂ ඍතු මාරු වෙන්නේ ඔන්න ඔහොම ය.

පසුගිය වසර ගණනාව ම පුරා මාර්තු මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයට පැමිණි රජයේ ජේෂ්ඨ නියෝජිතයා වූයේ අමාත්‍ය මහින්ද සමරසිංහ ය. ඔහු එම සැසිවාරයන්හි දී විසින් දෙන ලද මානව හිමිකම් පොරොන්දු එක් කළ හොත් එය නව ගජබින්නාලංකාරයක් ලෙස මුද්‍රණාද්වාරයෙන් පිට කළ හැකි ය. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට යැයි කියවෙන්නේ අතීතයේ සිට ය‍. ඒ අනුව යමින් අමාත්‍ය සමරසිංහ ගේ වපසරිය වන වතුවගා ක්‍ෂේත්‍රයේ විශේෂයෙන්ම කදුරට දෙමළ ජනයාගේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට ඔහු ගත් පියවර විමසුව හොත් කුමක් වෙයි ද?

මෙවර මානව හිමිකම් කවුන්සිලය සඳහා පැමිණෙන ලංකාණ්ඩුවේ නියෝජිත පිරිසේ නායකත්වය අමාත්‍ය ජි.එල්. පීරිස්ට පැවරී ඇතැයි කියනු ලැබේ. මේ ජී.එල්. පීරිස් ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ හොරණෑකරුව සිටි අවදියේ අන්තර් ජාතික ප්‍රජාවේ වටිනාකම ගැනත්, එල්ටීටීඊ සංවිධානය ගැනත් බලය බෙදීම සහ පෙඩරල් ක්‍රමයක අවශ්‍යතාවය ගැනත් 17 වන සංශෝධනයේ වටිනාකම ගැනත් යනාදී වශයෙන් කරන ලද කතා එක් කර පොත් පිංචක් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් අතර බෙදා හැරිය හොත් කුමක් වනු ඇත් ද?

ඔක්කොම පචෝරිස්ලා බව එත්තු යනු ඇත.

පෙනෙන විදිහට රාජපක්ෂ ආණ්ඩුව පෙන්වීමට යන් අලුත් ම මානව හිමිකම් මිරිඟුව නම් සත්‍ය සෙවීමේ කොමිසමක් පිළිබද ප්‍රබන්ධයකි. ඇත්ත වශයෙන්ම නම් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද්ධ මානව හිමිකම් ප්‍රශ්ණ විසදීම සඳහා දකුණු අප්‍රිකානු පන්නයේ සත්‍ය සෙවීමේ කොමිසමක් යොදා ගත හැකි ද යන සාකච්ජාව මතු වූයේ මෙයට දෙවසරකට පෙර ය‍. එම අත් දැකීම සාකච්ජා කිරීමට ලංකාවට පැමිණී දකුණු අප්‍රිකානු දූත පිරිස හමුවට රාජපක්ෂ ආණ්ඩුව එතරම් උනන්දුවක් නෙදැක්වූයේ යැයි එකළ ආණ්ඩුවේ හෙරණෑකරැවකු වූ මහාචාර්‍ය රාජීව විජේසිංහ පවසයි. දැන් මේ තකහනියේ තමනගේම ඉල්ලීමක් උඩ රාජපක්ෂ ආණ්ඩුව දකුණු අප්‍රිකාවට දුවන්නේ වෙන කිසිවක් නිසා නොව එළඹෙන මාර්තු මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ඉදිරිපත් වීමට නියමිත යෝජනාවෙන් ගැලවීමේ මඟක් ලෙස ය‍. චේතනා පරිශුද්ධ නැති බව පැහැදිළි ය.

අමාත්‍ය නිමල් සිරිපාල හැදැරීමට ගිය දකුණූ අප්‍රිකාවෙහි සත්‍ය සෙවීමේ කොමිසම ඇති කරන ලද්දේ නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වයෙන් එරට ඇති වූ සැබෑ වෙනසකින් පසු ය. එරට සිදු වු පරිවර්ථනය විසින් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවන අවස්ථාව වන විට එරටට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ලබා දී තිබුණි. බලයේ සිටි සුදු ජාතික පක්ෂයත් ‍මැන්ඩෙලා නායකත්වය දුන් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයත් විශ්වාසවන්ත සාකච්ජා මාලාවක් පසු කර තිබුණි.

අද ශ්‍රී ලංකාවේ පවතින්නේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය පවා විලංගුවේ දැමෙන පාලනයකි. ප්‍රජාතන්ත්‍රවාදය යන්න තමන්ට වාසි දායක ලෙස කඩින කඩ පවත්වන නිදහස් ද සාධාරණ ද නැති මැතිවරණයන්ට සීමා කොට තිබේ. ප්‍රති සංධානය අවශ්‍ය වන්නා වූ දෙමළ ජනයාගේ නියෝජිතයින් සමඟ ඇයි හොඳයියක් නැත. ඔවුන්ට ව්‍යවස්ථාවෙන් අයත් බලතල හෝ ලබා දී නැත.

මැන්ඩෙලාගේ දකුණු අප්‍රිකාව සහ රාජපක්ෂගේ ශ්‍රී ලංකාව අහසට පොළව මෙන් පරස්පර ය. නොරත රත වැන්න. පෑහීමක් නැත. ඊට දිය හැකි අපූරැම උදාහරණය නම් මැන්ඩෙලා විසින් එරට මහාධිකරණයෙහි ප්‍රථම කලු ජාතික විනිසුරු පදවිය හෙබවීමට පත් කළ නීතිඥවරිය යි. මැන්ඩෙලා ද සිරගත කොට තිබූ රොබොන් දූපතෙහි රඳවා සිටි දේශපාලන සිරකරුවනට නිතඥ සහාය ලබා ගැනීමට දායක වූ ඇය අද මානව හිමිකම් කවුන්සිලයේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන නවී පිල්ලේ ය‍‍. දකුණු අප්‍රිකානු සත්‍ය සෙවීමේ කොමිසමෙහි සභාපතිවරයා වූ අග රදගුරු ඩෙස්මන්ට් ටූ ටූ යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදු වූ මානව හිමිකම් කෙ‍ළෙසීම් සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් පැවැත්විය යුතු බව කියා සිටී.

දකුණු අප්‍රිකානු මානව හිමිකම් ව්‍යාපාරයේ සම්ප්‍රදාය එවැනි ය. රාජපක්ෂ සම්ප්‍රදාය ඊට කොතරම් වෙනස් දැයි අපි හැම දනිමු. අද දකුණූ අප්‍රිකානු සත්‍ය සෙවීමේ කොමිසමෙන් ගත හැකි ආදර්ශ ගැන කරන කතා ව්‍යාජයක් වන්නේ මේ නොපෑහීම නිසා ය.

ඉතිං, දකුණු අප්‍රිකානු ආදර්ශය ගැන මොන කතා ද?

පූර්ව මාර්තු ශ්‍රී ලංකාවේ ජිනීවා වසන්තය මුලාවකි. මේ මුලාව යටින් ඇත්තේ සීතලයෙන් ගල් ගැස් වූ රාජපක්ෂ මර්දනය යි. එය දිය කර යැවෙන ග්‍රීෂ්ම සමය, වසන්තය මෙන්ම ජිනීවා කෙරෙන් පැමිනෙන්නේ නැත. ඒ වැඩෙනු ඇත්තේ අප විසින්ම අවුලුවා බෝ කර යැවිය යුතු ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනි දළු විසිනි. ජිනීවා මගින් සංකේතවත් කැරෙන අන්තර් ජාතික බලපෑම ඊට ඉවහල් විය හැකි නමුත් දේශිය අරගලය වෙනුවට ආදේශකයක් විය නොහේ.

sd 120සුනන්ද දේශප්‍රිය |Sunanda Deshapriya