Image Credit: Ruki Fernando FB

”බැටළු පැටවකු ගඟකින් දිය බොනු දැක වෘකයෙක් ඌ ගිල දැමීමට හොද හේතුවක් සොයනු රිසි විය. මෙසේ ඌ ගඟ ඉහළ සිටිමින් ම තමාට දිය බොන්නට බැරි වන පරදි ගඟ මඩ කළේ යැයි, බැටළු පැටවාට චෝදනා කළේ ය. බැටළු පැටවා පිළිතුරැ දෙමින් ‘තමා දිය බීවේ දිවගින් බවත් කොයිහැටිත් තමා ඉන්නේ ගඟ පහළ බැවින් ඉහළ දිය කැළතීමත් තමාගෙන් විය නොහැකි බවත් කීවේය.‘‘ මෙසේ ඒ කරැණ හේතුවක් කර ගැනීම වැරදී ගිය කල ‘තා පසුගිය අවුරැද්දේ මගේ තාත්තාට නින්දා කළා නොවේ දැයි‘ වෘකයා කීවේය. තමා ඒ කාලේදී ඉපදීවත් නැතැයි බැටළු පැටවා කියත්ම ‘කට උත්තරවලින් නම් හිඟයක් නෑ‘, ඒ කොහොම උනත් මා, තා කනවා.. කනවාමයි‘ කියා වෘකයා ගොරවමින් පැවසීය.”(@Aesop’s Fables)

දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි ලෙස අවසන් කර ලබන මැයි 19 වනදාට වසර 5ක් ගත වේ. එසේම යුද්ධයෙන් පසු සහජීවනය ඇතිවී සාමකාමී රටක් බවට පත්කර ඇති බවත්, එල්එල්ආර්සී වාර්තාවේ(උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම) නිර්දේශ බහුතරයක් ක්‍රියාත්මක කර ඇති බවත් මේ දිනවල ජීනිවාවල ආණ්ඩුවේ ඇමතිවරැන් මතුරමින් ඇත්තේ ‘ලෝකය යනු ලංකාව යැයි ද, ලංකාව යනු හම්බන්තොට‘ යැයි සිතාගෙන බව, ලංකාවේ ඇමතිවරැන් එහි දී සිදුකරන කතා ඇසුවාම කෙනෙකුට සිතෙන්නට පුලුවන.

Ruki Fernando
Ruki Fernando

නමුත් මේ වසර 5 ට ආසන්න වන මොහොතේ කිලිනොච්චියේ සංචාරයක නිරතවෙමින් සිටි ප්‍රභල මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන රැකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමා පසුගිය 16වනදා අත්අඩංගුවට ගෙන 18වනදා මධ්‍යම රාත්‍රියේ නිදහස් කිරීමට රාජපක්ෂ පාලනයට සිදු වන්නේ ද මානව හිමිකම් පිළිබද වැදගත් සාකච්ඡාවන් ජාත්‍යන්තරයේදී සිදුවෙමින් තිබෙන අතරතුරය.

Fr.Praveen
Fr.Praveen

දේශීයවත්, ජාත්‍යන්තරවත් ඔවුන් නිදහස් කිරීම වෙනුවෙන් නැගූ ප්‍රභල හඩ හමුවේ, එක් පැත්තකින් ඔවුන් නිදහස් කිරීමට රාජපක්ෂ ආණ්ඩුවට සිදුවිය. කෙසේ නමුත් ඔවුන් නිදහස් කිරීම සිදු කරන ලද්දේ මහේස්ත්‍රාත්තුමියකට මෙම ක්‍රියාකාරීන් දෙදෙනා ඉදිරිපත් කිරීමෙන් පසු බව වාර්තා විය. එම නිදහස් කිරීමේදී කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර නිදහස් කළ බව ද වැඩිදුරටත් වාර්තා විය.

නමුත් නිදහස් කිරීමෙන් පැය ගණනකට පසු විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවිය කියා සිටියේ ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ දිටගම සිදුවන බවයි.

එසේම නිදහස්ව පැමිණි රැකී ප්‍රනාන්දු ජනමාධ්‍යට පවසා තිබුණේ , නිදහස් කිරීමෙන් පැය කිහිපයකට පසු ගල්කිස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ගල්කිස්සේ පිහිටි තම නිවසට පැමිණ, තම මවට සහ පියාට විශේෂ පරීක්ෂණයකට සහභාගි වීම සඳහා ඊයේ(20) බ්‍රහස්පතින්දා දිනයේ දී පැමිණෙන ලෙස දන්වා ඇති බවය.

නිදහසේ අර්ථයට පහරදීම

දැන්, කිසිදු චෝදනාවක් නැතිව නිදහස් කරන ලද රැකී ප්‍රනාන්දු, නිවසට ගිය සැනින් පොලීසිය පැමිණ, ඔහුගේ දෙමාපියන් පරීක්ෂණයක් සදහා පොලිසියට පැමිණෙන්නැයි කියන්නේ ඇයි?

මෙය ඉතාමත් බැරෑරැම් ලෙස විමසීම වටී. පාලකයන් විසින් වෙනත් මත මර්දනය කිරීමට යොදා ගන්නා ‘මර්දන පනත්‘ වලින් පීඩාවට පත්කල නොහැකි වූ විට මර්දකයා වෙනත් ක්‍රම සොයයි. ඉන් ප්‍රධාන දෙයක් නම් ඔවුන්ගේ සමීපතමයින් බිය ගැන්වීම, ඉන් නොනැවතී සිය අණසකට යටත්කොට ඇති ජනමාධ්‍ය උපයෝගී කර ගනිමින් සමාජය තුළ පීඩාවට පත්කිරීම ගන්නා උත්සහය අනෙකයි.

ඉන් මර්දකයා උත්සහ කරනුයේ ‘නිදහස් කලත්‘ පොදු සමාජය ඉදිරියේ වරදකරැවෙකු බවට පත් කර මානසිකවත් ඇතැම්විට ශාරීරිකවත් මර්දනය කිරීමය. එයින් පසු ඔවුන් විසින් සිදුකරන විරෝධතා දැක්වීම්, පීඩනයට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටීමි වැනි, පාලකයින්ට ඔරොත්තු නොදෙන ප්‍රගතිශීලී ක්‍රියාකාරීත්වයන් අඩපණ කිරීමය. නිදහස් කළ මානව හිමිකම් ආරක්ෂකයෙක් වන රැකි ප්‍රනාන්දුගේ දෙමාපියන් පොලීසි වලට කැදවීමේ අරමුණ ද එවන් දෙයකි. අනෙක් පසින් ඔවුන් බිය වැද්දීමයි. එසේ නොමැති නමි නිදහස් කළ අයගේ දෙමාපියන් පොලීසියට කැදවන්නේ කුමකටද? එය මේ පාලකයින්ගේ මර්දනයේ ම කොටසක් ය. කිසිදු චෝදනාවක් නැති වූ විට පොලීසියට ගෙන්වා, පොලිස් හෝ හමුදා සපත්තුව ඉදිරියේ බිය වැද්දීමය.

මෙවැනි සිදුවීම් පිළිබදව විමසීමේ දී රාජපක්ෂ පාලනයේම තවත් බිහිසුනු සිදුවීමක් 2008 වසරේ සිදුවිය. ඒ ජනමාධ්‍යවේදී ජේ. එස්. තිස්සනායගම් අත්අඩංගුවට ගැනීමය. එහිදී ජනමාධ්‍යවේදී ජේ. එස්. තිස්සනායගම් දින 100කට වඩා වැඩි කාලයක් නඩු නොපවරා ත්‍රස්ත විමර්ෂණ ඒකකය බාරයේ තබා ගත්තේය. ඉන්පසු 2009 අගෝස්තු 31 වනදා ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ චෝදනා නගමින්, කොළඹ මහාධිකරණය විසින් වසර 20ක සිර දඩුවමක් ලබා දුන්නේ ය. පසුව දේශියවත්, ජාත්‍යන්තරවත් පැන නැගි ආ ප්‍රභල විරෝධයත්, විශේෂයෙන් බැරක් ඔබාමා වැනි ජනාධිපතිවරැන් මෙම සිරගත කිරීම ගැන ප්‍රකාශයන් ද සිදුකිරීම හමුවේ 2010 මැයි 03වනදා, අධිරාජ්‍ය විරෝධී යැයි කියන රාජපක්ෂ ආණ්ඩුවට සිදු වූයේ ජනමාධ්‍යවේදී තිස්සනායගම් නිදහස් කිරීමටය.

J. S. Thissanayagam
J. S. Thissanayagam

නමුත් නිදහස් කරන ලද තිස්සනායගම්ට නැවතත් ‘නිදහසේ‘ සිය වෘත්තීය කරගෙන යාමට තරම් පරිසරයක් ලංකාව තුළ නොතිබු හෙයින් ඔහුට සිදු වූයේ ලංකාවෙන් පිටුවහල් වන්නටය.

ඒ ‘නිදහස්‘ කළ ජනමාධ්‍යවේදී තිස්සනායගම්ට අත්වූ ඉරණමය.

එපමණක් ද නොවේ, අත්අඩංගුවට ගත් ජනමාධ්‍යවේදිනියක වන මෞනුසාමි පරමේශ්වරී අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලද්දේ ද එවැනිම ලෙසය. නමුත් ඇයට ද ‘නිදහස්‘ කළ පසුත් ‘නිදහස‘ අහිමි කළාය. ජනමාධ්‍යවේදීනී මෞනුසාමි පරමේශ්වරී ත්‍රස්තවාදිනියකැයි රජයේ ප්‍රධානීන් දිගින් දිගටම චෝදනා එල්ල කිරීම නිසා ඇයට ද සිදු වූයේ ලංකාවෙන් පිටුවහල් වන්නටය.

මෞනුසාමි පරමේශ්වරී
මෞනුසාමි පරමේශ්වරී

ඒ ද, ‘නිදහස්‘ කළ ජනමාධ්‍යවේදීනී මෞනුසාමි පරමේශ්වරී ට අත් වූ ඉරණමය.

මේ දෙදෙනාම ලංකාවේ පුරවැසියන්ය. ජනමාධ්‍යට සම්බන්ධ අය ය. මර්දන පනත් යටතේ නඩු නොපවරා මාස ගණන් රදවා තබා ගනිමින් තිබීම පුරවැසියෙකුගේ අයිතීන්ට මරැ පහරකි. එසේ වුවත් පසුව චෝදනා ගොනු කර බන්ධනාගාර ගත කිරීමෙන් පසුත් ‘නිදහස් වී‘ යළි සිය සමාජයට පැමිණි පසු ඔහුට හෝ ඇයට ජීවත්වීමට, සිය වෘත්තීය කරගෙන යාමට ‘නිදහස‘ තිබිය යුතුය.

එහෙත් රාජපක්ෂ පාලනය කිසි විටෙකත් එම නිදහස අතිවිදීමට අවස්ථාව දී නැත. එදා දුන්නේද නැත. තිස්සනායගම්ලා, පරමේෂ්වරීලා ඇතුලු බොහෝ පිරිසක් අද ද පිටුවහලේ ජීවත් වන්නේ ඒ නිසාය. අද ද එය නොදෙන බවට මේ වන විටත් ඔප්පු වෙමින් තිබේ.

ඒ වෙනත් මත දරන්නන් ‘මර්දනය‘ කිරීම සිය පාලනයේ ප්‍රධාන යතුර බවට පත් කර ගත් පාලකයන්ගේ ස්වාභාවයය. එයට ඔවුන් නීති සාදා ගනිති. නීති මගින් කරන්නට බැරි වූ තැන කැලෑ නීතිය වන් ‘නිතිමය ස්වාභාවය තැවරෑ‘ ප්‍රචණ්ඩත්වය, බිය වැද්දීම යොදා ගනියි. පසුව එය දේශප්‍රේමය ලෙස අර්ථ ගන්වයි.

එබැවින් එම දේශප්‍රේමය තුළ වෙනත් මතයක් දැරීම නිසා දඩුවම් ලබා ‘නිදහස් වූ“ අයෙක් හෝ කිසිදු චෝදනාවක් නැතිව ‘නිදහස් කිරීමට‘ සිදු වූවෙකුට රාජපක්ෂ පාලනය තුළ ‘නිදහස‘ නම් අතිවිදිය හැකි වන්නේ නැති බව මේ පාලන කාලය තුළම බොහෝ සිදුවීම් වලින් සනාථ කර තිබේ. නරුමකම නම් කිසිදු හිරිකිතයකින් තොරව එය, යළි යළිත් සනාථ කරමින් තිබීමය.

පසු සටහන | අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ගොනු නොකර නිදහස් කල මානව හිමිකම් ආරක්ෂක රැකී ප්‍රනාන්දුගේ විදේශ ගමන් බලපත්‍රයත්, ඔහුගේ Ipad යත් අධිකරණ නියෝගයකින් අදාළ බළධාරීන්ගේ භාරයට ගැනීමට උත්සහයක් පවතින බවත්, එසේම ඔහුට ජනමාධ්‍ය හෝ කිසිවෙකු ඉදිරියේ කිසිදු අදහසක් ප්‍රකාශ නොකිරීමට ද බළධාරීන් උපදෙස් දී ඇතැයි ද ඊයේ(21) රාත්‍රී වාර්තා විය.

Sampath-TTසම්පත් සමරකෝන් | Sampath Samarakoon