මේ උතුරේ දමිළ ජනතාවගේ රක්ත රුධිරය අස දකුණ කිරිබත් තලු මරා ගෙවෙන සයවන රමණ(මරන) වසරයි. මා සුළුතරය වෙනුවෙන්, සුළුතරයන්ගේ ‘බහුතර සිහිනය’ වෙනුවෙන් ‘තුන් හෙළයන්’ගේ ආතල් කැඩීම සම්බන්ධව පළමුව කමන්න!

“ජාතිය” සම්බන්ධවත්, “ජාතිකත්වය” සම්බන්ධවත්, “ජාතික විමුක්ති ව්‍යාපාර ” සම්බන්ධවත් කිසිම දැනීමකින් හෝ අධ්‍යයනයකින් තොරව ‘ජාතක කතා’ කියවා කොමෙන්ටු පළ කරනා හෙළ බොදු කුරුල්ලන් දකින විට බුද්ධ භාෂිතය මට සිහි වේ. බුද්ධා ස්වකීය වදනින් ම, භාවිතයෙන් ම ‘යුධ විරෝධියෙකි.’ හෙතෙම නානසාර ගණින්නාසේ මෙන් “කපහන්,කොටහන්, ගිනි තියාපියව්, හැඳි ගෑවිලා පලයව්” කීවේ, දෙසූවේ නැත. හෙතෙම “සාමය සහ සහජීවනය” ප්‍රිය කළේය.

සරල ලෙස ගනිද්දී ප්‍රහසනයට කිට්ටු වුවත්, ගැඹුරුතම වශයෙන් බලද්දී මේ වසර සය ගෙවෙද්දී, ‘මරා සහ ගෝටා’ දේශපාලනික වශයෙන් පරාජයට පත් කෙරෙද්දී “ දේශපාලනික” යමක් සිදුව ඇත. එය “සමස්ත ජාතිවාදීන්ගේ පරාජයක් නොවුණත් ලේ පිපාසිතවුන්ගේ තාවකාලික දේශපාලනික පරාජයකි.” ඒ සමඟම ඊට පෙර බේබිලාට මහා මාර්ග සැකසූ පීඩිතයාට උණ්ඩයෙන් සැලකූ ‘රොබෝ ශ්‍රම හමුදාව’ අවිහිංසක මුව පොව්වන් වීමට තතනයි. අප ඔවුන් මොහොතකටවත් සුරතල් කිරීමට බිය වෙමු. මක්නිසාදයත් අම්මා,අක්කා,නංගී,පෙම්වතී නොහඳුනන අවම වශයෙන් “ස්ත්‍රී ගරුත්වය” වුව නොදන්නා මේ බහුතර පොව්වන් වේශය සඟවා ගත් රකුසන් හෙයිනි…එනයින් පීඩිත දමිළ ජන පිරිසට එරෙහිව ඔවුන් මත ඉහළින් ලැබුණු ෂෙල් වෙඩි, මල්ටි බැරල් ඕඩර්ස් කමාන්ඩ් කළ සෙබළුන් “අහිංසකලා” වීමට තතනයි. ඔවුහු කිසිකලෙක “තමා රැකියාව වශයෙන් සිදු කළේ මුදලට මිනීමැරීම” බව නොපවසයි. එය හෘද සාක්ෂිය සම්බන්ධ ප්‍රශ්නයකි. මහින්ද පපුවට පාරවල් තුනක් ගසමින් “ හාන්දුරුවනේ, මේ මගෙ මා-චූ භූමිය” කියයි. මේ අඟුල්මල්ලා පපුවට නොගසා මහා ශෝකයකින් පපු අතගා “අපි ගොඩක් අය හොඳයි. සමහරු තමයි නරක. මගෙ අප්පා, මගෙ බාප්පා, මගෙ මාමා ආමි, ආච්චි නේවි..ඒ වෙලාවෙ මරන්න වුණා. දේශපාලකයන්ට මේක ‘මානුෂික මෙහෙයුමක්’ වුණාට මේක අපිට ‘මිනිස්සු මරණ යුද්ධයක් යකෝ ” යැයි කියයි. ප්‍රශ්නය යනු, “ස්වකීය භූමිය තුළ ම කිසිදු හව්හරණක් නොලබා, සිඳුණු ඇටමිදුළු සහ බිඳුණු හදවත් සහිතව දිවි පිදූ මහා දෙමළ ජන පවුර “සැබෑ ම වින්දිතයන්” විය යුතුව තිබියදී, ඊට කෙළින්ම වගකිවයුතු හමුදා ඛණ්ඩ “නිරූපිත වින්දිතයන්” වීමට තතැනීමයි.

සින්ඩරෙල්ලා මනසිකාරයෙන් හෙළ බොදු සින්ඩ්‍රෝමයේ ගිලුණු, වර්ග සංහාරිකයන් නොදන්නවා වූවාට මේ “ජාතික ගැටලුව” යනු සපුරාම දේශපාලනික ප්‍රශ්නයකි. ඉදින් ඊට ලැබිය යුත්තේ “දේශපාලනික පිළිතුරකි.”

අනෙක් අතට සමාජීය වශයෙන් හා සයිබරීය ඇතුලාන්තයෙනුත් මේ ජාතිවාදී මිනිස් අවකාශ දකිද්දී, “ස්වයන් නීර්ණය” කෙසේ වෙතත් අවම වශයෙන් 13+ හෝ බලය බෙදීම සම්බන්ධව වුව තව දුරටත් මුනිවත රකින “ඉදිරිගාමී වම” යයි කියාගන්නා පිරිස් එය මඟහැරීම කෙතරම් වරදක්ද ?. ඔබ තව දුරටත් හෘද සාක්ෂිය හා සෙල්ලම් කරද්දී , “ජාතික ගැටලුවේ යතාර්ථය” පසෙකලා “යථ ” සොයද්දී ජාතිවාදීන් මහ ජාතික ආධිපත්‍යය වෙනුවෙන් “මිනීමරු- පන්සල් මරා” නැවතත් කරලියට ගෙන ඒමට දත කයි.

ඉදින් ආරක්ෂක සෙබළුන් සහ උන්මාදිත දකුණ තවමත් සිතන්නේ මේ මිනිසුන් මැරූ අමානුෂික යුද්ධය ඉවරයක් කළේ තමන් බවත්, ‘අණ ලැබුණු පසු කළු ඔළු ගෙඩි කුඩු වන්නට වෙඩි පිට වෙඩි තැබීම නියම ගේම් එකක්’ බවත් නම් එය කමා කළ නොහැකිය. “තිලීපන්” සහෝදරයා කීවාක් මෙන් “අරගලය පුපුරා යන්නේ, පීඩිත සාමූහිකත්වය උතුරා හැලෙන්නේ අන්න එතැනදී” ය!

10526161_625099914284290_1351076398723688294_nකසුන් මහේන්ද්‍ර හීනටිගල | Kasun Mahendra Heenatigala