‘පසුගිය ඔක්තෝම්බර් මස 12 වැනිදා බන්ධනාගාර 14 ක පමණ සිටින දේශපාලන රැදවියන් 200 කට අධික පිරිසක් උපවාසයක් ආරම්භ කරන විට ආණ්ඩුව ඇතුලු විපක්ෂ නායකවරයා විසින් දීපාවලියට පෙර විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වූ නමුත්, ඒ විසඳුම තවමත් ලැබී නැති බවත්, එය රැවටීමක් නිසාවෙන් නැවතත් මාරාන්තික උපවාසයක් එම සිරකරුවන් විසින් ආරම්භ කරලා තියනවා.‘ යැයි දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ සම්බන්ධීකාරක සත්‍යවේල් පියතුමානන් ‘විකල්ප‘ වෙබ් අඩවියට පැවසුවේය.

රැදවියන් විසින් සිදු කල ඔක්තෝබර් උපවාසයේදී ආණ්ඩුවේ ඇමතිවරුන් මෙන්ම ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙසත් ප්‍ර‍කාශ කලේ දීපවාලියට පෙර රැදවියන් පිරිසක් නිදහස් කිරීමටත් අනෙක් පිරිසට එරෙහිව තිබෙන චෝදනා ඉතා ඉක්මනින් සොයාබලා නඩු පැවරීමට හෝ ඇප ලබා දීමට කටයුතු කරන බවයි.

‘‘ආණ්ඩු විසින් දීපාවලියට පෙර සිරකරුවන් 32 ක්ද පසුව නොවැම්බර් මස 20 වනදාට පෙර තවත් 30ක්ද නිදහස් කරන බවට ප්‍රකාශ කළා. නමුත් මේ වන විටත් එසේ නිදහස් කරන්නේ කුමන වර්ගයේ සිරකරුවන් ද ඔවුන් ඇප මත මුදා හරින්නේ ද යන්න ප්‍රකාශ කර නෑ. ලෝකයට පේන්න තමයි ආණ්ඩුව මේ වගේ ප්‍ර‍කාශ කරන්නේ. ඒ නිසා අපි කියන්නේ කියූ විදිහට පොරොන්දු ඉටු කරන්න කියලා‘‘

සත්‍යවේල් පියතුමා වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් මෙසේ රදවා ගෙන සිටින දේශපාලන රැදවියන් බොහොමයකට තවමත් කිසිදු චෝදනාවක් ගොනු කිරීමට ආරක්ෂක අංශ සමත් වී නැත. එසේ රදවා සිටින රැදවියන් සමහරක් වසර 18ක්,15ක් 10ක්,8ක් තරම් දිගු කාලයක් තිස්සේ රදවා සිටියි. ඒ පිළිබද රුකී ප්‍ර‍නාන්දු විසින් ‘විකල්ප‘ වෙබ් අඩවියකට ලියූ වාර්තාවක සටහන් වන්නේ

‘‘මෑතකදී මා සම්බන්ධවී කටයුතු කල වාර්තාවක සොයා ගැනීම් වලට අනුව 2015 වසරේ මුල් බාගය වනවිට නඩු විභාග අවසන් නොවීම නිසා වසර 18ක් 19ක් තරම් කාලයක් තිස්සේ රැඳවුම් භාරයේ සිටින රැඳවියන් සිටින අතරම ඇතැම් අවස්ථාවලදී චෝදනා ගොනු කිරීමටද වසර 15ක් තරම් කාලයක් ගෙන තිබේ. එම වාර්තාවේ සොයා ගැනීම් වලට අනුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේදී අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, චෝදනා රහිත දීර්ඝකාලීන රඳවා තබා ගැනීම්, දිගු කාලයක් ගත වන අධිකරණ ක්‍රියාවලීන්, එක සැකකරුවෙකුට එරෙහිව බහුවිධ චෝදනා එල්ල කිරීම්, අමානුෂීය තත්ත්ව යටතේ රඳවා තබා ගැනීම්, කෘර වදහිංසා පැමිණවීම් සහ බලහත්කාරයෙන් පාපොච්චාරනය කරවීම් සිදු වී ඇති බව පැහැදිලි විය. එසේම දිගු කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් බොහෝ විට කෘර වදහිංසා පමුණුවමින් අමානුෂික ලෙස කල ප්‍රශ්න කිරීම් හේතුවෙන් මෙම රැදෙවියන්ගේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය මට්ටමද දැඩි ලෙස පිරිහීමට ලක්ව ඇත. බොහෝ අවස්ථාවලදී එම රැඳෙවියන් නොදන්නා භාෂා වලින් ලියා ඇති පාපොච්චාරනයන්ට ඔවුන් ලවා බලහත්කාරයෙන් අත්සන් කරවාගෙන ඇත. මෙම හේතුන් නිසා බොහෝ රැඳෙවියන් සිය තාරුණ්‍යය ගත කර ඇත්තේ සිර මැදිරි තුලයි..‘‘

යනුවෙනි.

කෙසේ නමුත් පොරොන්දු වූ පරිදි රැදවියන් නිදහස් කිරීමට හෝ ඇප ලබා දෙන ලෙස බලකරමින් අද(10) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් බාරදීමට සූදානම් කර ඇති බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය පවසයි.