Image By: www.thenewsminute.com

2015 ජනවාරි 9දා උදෑසන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල පොල්වත්තක සිටිය දී අත්අඩංඟුවට ගත් ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම 09දා වන විට සිය අඳුරු කුටිය තුළ වසරක කාලයක් සම්පූර්ණ කරයි. හුදකලා කුටියක රඳවා සිටින ඔහු බැලීමට අවසර දී ඇත්තේ ඒ මහතාගේ බිරිඳට පමණි. ඔහුගේ වැසිකිළිය ද නිදන කාමරය ද සක්මන් මළුවද බවට දැන් පත්ව ඇත්තේ මෙම කුඩා අඳුරු කාමරය යි. සමාව ඉල්ලා වරද බාර ගන්නේ නම් ඔහු නිදහස් කරන ලෙස තමා ඉල්ලා සිටින බවට ප්‍රකාශයක් නිමල් සිරිපාල විසින් මෑත දී කරන ලදී.

2015 ජනවාරි 08දා ජනාධිපතිවරණ ප්‍රතිපල විකාශනය, එළිවන ජාමයේ අතර මැද නතර කරන ලද ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලංකාව බටහිරට උගස් කොට කොටි සංවිධානය යළි පණ ගන්වා අසල්වැසි රටක් හා එක්ව ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිදරව් වී ඇතැයි ජාතිය අමතා ප්‍රකාශ කළේ ය‍.
එම චෝදනා සත්‍ය බවට සාක්ෂි ඉදිරිපත් කරන ලද්දේ එජාප හිටපු ලේකම් අත්තනායක සමඟ ජනාධිපතිවරණ දින රාත්‍රී රාජපක්ෂ සමඟ එක් වූ එජාප ප්‍රධානියකු සහ හෙළ උරුමයෙන් කැඩි ගිය බුද්ධිමතුන් දෙදෙනෙකි.

ඇමෙරිකානු ජනාධිපති ඔබාමා ද ඉන්දීය අගමැති මෝඩි ද ජනාධිපති රාජපක්ෂට 9දා උදෑසන දුරකථනයෙන් කතා කොට සිරිසේන මහතාගේ ජිවිතයට අනතුරක් නොවන බවට සහතිකයක් ලබා ගත් බව තතුදත් විදෙස් පුවත් සේවා වාර්තා කළේ ය. එසේ නොවී නම් යොදවා තිබූ ඝාතන කණ්ඩායම් තුනෙන් එකක් විසින් නියතවම ඔහු අත්අඩංඟුවට ගැනීමේ දී විරුද්ධකම්පෑම යන කාරණය පෙන්වා මරා දමන්නට ඉඩ තිබූ බව ද වාර්තා විය.

නියෝජ්‍ය පොලිස්පති සේනානායක 09දා අළුයම මැතිවරණ කාර්යාලය සිය යටතට ගත් අතර එහි විදුලිය විසන්ධි කරන ලදී. රාජගිරිය පෙදෙසෙ සම්පූර්ණයෙන්ම යුද හමුදා පාලනයට යටත් කොට තහනම් කලාපයක් බවට පත් කරන ලදී. එම අවස්ථාවේදීම රටපුරා ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වැටලූ දාමරික පිරිස් ජන්ද පත්‍රිකා ගිනි තබා විනාශ කරන ලදදේ නිල ආරක්ෂයින් බලා සිටිය දී ය.

තමා බේරා ගත් රට යළි කිසිදු විටෙක බෙදා වෙන් කිරීමට ඉඩ නොතබන බවට 09දා උදෑසන තර්ජනාත්මකව ජාතිය ඇමතූ රාජපක්ෂ සමඟ පොලිස්පති, හමුදාපති, නාවික හමුදාපති සහ ජි.එල්, සහ මොහාන් යන පීරිස්ලා දෙපොල ද පෙනී සිටියේ ය.

රාජපක්ෂගේ තීරණය අන්තර් ජාතික නීතිය අනුව නිවැරදි බවට දීර්ඝ ප්‍රකාශයක් ජී.එල්. පීරිස් කළ අතර මොහාන් පිරිස් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ඉහළින්ම අනුමත කරන බවයි.

ජනාධිපතිවරණය ප්‍රතිඵල කුමක් වුවත් තව දෙවසරක කාලයක් ජනාධිපති ධුරය අයත් වන්නේ රාජපක්ෂ මහතාට බැවින් මෙම තීරණය රට රැක ගැනීමේ කෝණයෙන් ඉතාම නිවැරදි තීරණයක් බව ජනවාරි 09දින උදෑසන 6.00ට සියලු නාලිකා මගින් විකාශනය කරන ලද විශේෂ රූපවාහිනී සාකච්ජාවකට එක්වෙමින් ද ජනාධිපති රාජපක්ෂගේ කතා ලියන්නන් වන ජයතිලක, දිසානායක සහ සමරනායක පැහැදිළි කළෝ ය.

09 දින එළිය වැටීමට පෙර කොළඹ වටා යුද හමුදා ආරක්ෂක වළල්ලක් යෙදවා අවසන් බවත් මෙම ක්‍රියාන්විතය යුද්ධ ජයග්‍රහණයෙන් පසු මෙරට සිදුවන අතිශය තීරණාත්මක මෙහෙයුම බව යුද හමුදාපති විශේෂ නිවේදනයක් මගින් කියා සිටියේ ය.

ගාලු මුවදොර පිටියෙහි කඳවුරු බැඳ සිය ගුවන් යානා නාශක තුවක්කු ස්ථාන ගත කළ ගුවන් හමුදාව කියා සිටියේ සිය දිවි දෙවැනි කොට ශ්‍රී ලංකා ගගන තලය බෙදුම්වාදීන්ට සහය දෙන රටවලින් ආරක්ෂා කිරීමට සූදානම් බවයි. තොරාගත් පිරිස් කැඳවා ගුවන් හමුදා වෙඩිමුර සංදර්ශන පැවැත්වීමට ගාලු මුවදොර පිටිය වෙන් වී තිබේ.

රාජද්‍රෝහියකු සේ හංවඩු ගසන ලද මෛත්‍රීපාල සිරිසේන විරෝධී පෝස්ටර් බාරව ලේක්හවුසිය කටයුතු කරයි.

2015 ජනවාරි 09දා මධ්‍යනය වන විට සියයකට වඩා විපක්ෂ නායක නායිකාවන් සහ සිවිල් සමාජ ප්‍රධානීන් නිවාස අත්අඩංඟුවට පත් කරන ලදී. ඔවුන් බොහෝ දෙනෙකුගේ නිවාස දාමරික නිල් බලකා පිරිස් විසින් ගිනි තබන ලදී. මංගල සමරවීර, අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයට ගෙන යන ලද්දේ ජනාධිපති ආරක්ෂක අංශය විසිනි. හිටපු මංත්‍රී විජිතමුනි ද සොයිසා වාහන අනතුරකින් ගිනිගෙන මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ ය. එවැනිම මාරක අනතුරකින් දිවි ගලවා ගත් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක දැන් ගමන් කරන්නේ රෝද පුටුවෙනි.

තිස්ස අත්තනායක එජාප නායකයින්ගේ දූෂණ සොයන අධි බලැති කොමිසමෙහි ජනාධිපතිගේ නියෝජිතයා ලෙස කටයුතු කරයි. එම කොමිසමට නඩු විමසා දඩුවම් නියම කිරිමේ බලය ද තිබෙන අතර චූදිතයින්ගේ ප්‍රකාශ සාක්ෂි වශයෙන් එය පිළිගනී. මාරපන එම කොමිසමෙහි විත්තියේ නීතිඥ ලෙස පත් කරන ලද්දේ ජනාධිපති රාජපක්ෂ විසිනි.

ප්‍රදේශ ගණනාවකදී ම මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කරන සේ ඉල්ලා විදී බට ජනපිරිස් වෙඩි තබා ඝාතනය කරන ලද ජායාරූප අන්තර් ජාල මුහුණු පොතට එක් කරන ලද්දේ රහස් කේත භාවිතයෙනි. අඩුම වශයෙන් දහසකට වැඩි පිරිසක් එළෙස ඝාතනය කරන ලද බව අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරයි. මුහණු පොත මාස දෙකක් යන තුරු වසා තබන ලද අතර දැන් එය සීමා සහිතව විවෘත කර තිබේ.

සියළුම දුරකථන සහ අන්තර් ජාල ප්‍රකාශන නිරීක්ෂණය කිරීම පිණිස නෙළුම් පොකුණ ජනමාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙයි. වීන සහ ඉරාන ඉංජිනේරුවන් සිය ගණනාවක් එහි උපදේශකයින් ලෙස සේවය කරයි.

රාජද්‍රෝහී පිරිස් සොයා බලා අත්අඩංගුවට ගැනීම නාමල් නිල් බලකායට පැවැරී තිබේ. එයට ආයුධ සැපයීම රක්නා ලංකා විසින් සිදු කැරේ. එමෙන්ම එය ස්වකීය රැදවුම් කඳවුරුද පවත්වා ගනී.

මවිතකර බෝම්බ පිපිරීම් ගණනාවක්ම සිදු වූ උතුරු නැගෙනහිර යුද්ධ පාලනයකට පත් කරන ලදදේ කොළඹට රැස්වූ දසදහස් ගණන් දැක්වූ ජයඝෝෂා මැද ය. උතුරු නැගෙනහිර යාම පිණිස මුර කපොලු ගණනාවක් පසු කළ යුතු ය‍.

කලබල නොකරන ලෙසත් තමා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රාජපක්ෂ පාලනය සමඟ කටයුතු කරමින් ප්‍රශ්ණ විසදා ගන්නා තුරු නිහඩව නිවෙස් වලට වී සිටින ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය ජනවාරී මාසය පුරාම සියලු රෑපවාහිනී නාලිකාවන්හි ප්‍රචාරය කරන ලදී. ඔහු දැන් ඉතා සුලු කණ්ඩායමක් සමඟ පාර්ලිමේනතු විපක්ෂ නායක ධුරය හොබවයි.

සුවිශේෂ බලතල සහිත රටරැක ගැනීමේ මාධ්‍ය ඒකකය ජනවාරි 09දා සිට මේ දක්වාම ජයතිලක, සමරනායක සහ දිසානායක යන තිදෙනා යටතේ ක්‍රියාත්මක වෙයි. සෑම දිනකම සියලු රූපවාහිනී නාලිකා ඒකාබද්ධ කර පැයක ශ්‍රී ලංකා මාතා නම් වැඩ සටහනක් එම තිදෙනා විසින් මෙහෙයවයි. එහි සේවය පිණිස යුද හමුදා මාධ්‍යවේදීන් කැඳවන ලදී. සෑම ජනමාධ්‍ය ආයතනයකම එවැනි ආරක්ෂක අංශ මාධ්‍යවේදීහු දැන් නිල වශයෙන් යොදවා සිටිති. ඔවුන් සම්බන්ධිකරණය කරන්නේ රාජපක්ෂ උපදේශකයකු ලෙස සිටි සුමනසේකර විසිනි. එහි රෑපවාහිනී අංශය රාජපක්ෂවාදී රෑපවාහිනීකරුවකු වූ සමරවික්‍රම භාරයේ පවතී.

(මන:කල්පිත රචනයකි).

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya