Image Credit: theverge/GattyImage

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ(ජන.25) කොළඹ අභයාරාම විහාරස්ථානයේ උත්සවයකදී, සමලිංගිකත්වය ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ‘දූපත් කතාවක්‘ සිදු කර තිබුණා.

එතනදී ජනාධිපතිතුමා මෙහෙම කිව්වා.

‘‘ඔය එක එක්කෙනා ලෝකේ රටවල් වල තියන විදිහට මම ආණ්ඩු කරන්න ලෑස්ති නෑ. මම මේක කලිනුත් කියලා තියනවා. ඔබ වහන්සේලාම මෙතන සදහන් කලා මේ, සමලිංගික කතාව පිළිබදව. ඔව්! කැබිනට් එකට ආවා මම තමයි විසි කෙරුවේ. ඒත් එක්කම ඔය පත්‍රිකාවල ගණිකා වෘත්තිය ගැනත් ආවා නීති ගත කරන්න. මම තමයි ඒවා විසි කෙරුවේ. මමයි ඒවා විසි කෙරුවේ. මමයි ඒ තීන්දු තීරණ ගත්තේ. ඉතින් ඒක නිසා තව මට බොහෝ දේවල් කියන්න පුලුවන්. මම ප්‍රතික්ෂේප කරපු දේවල්. රටට අහිතකර දේවල්. ඒ වගේම රට වෙනුවෙන් ගත්ත තීන්දු තීරණ. අර්ජුන මහේන්ද්‍රන් එළියට දැම්මෙ මමයි. ලෝකෙම පිළිගන්න ආචාර්ය කුමාරස්වාමි පත්කෙරුවේ මමයි.‘‘

ජනාධිපතිතුමා, ජනාධිපති වෙන්නේ පොළොන්නරුවෙ, ඉපදිලා, ඒ පැත්තේ හැදී වැඩිලා, පංසල් ඇසුරු කරලා. හැබැයි පංසල් වල ඇතුළ ගැන හරියටම දන්නවද කියලා කවුරු හරි ඇහුවොත්? ජනාධිපතිතුමා ඇත්තටම නොදන්නවා වෙන්න පුලුවන්. නැතිනම් දැනගෙන ඉන්නවා වෙන්නත් පුලුවන්. ඒ කොහොම නමුත් එතුමාගේ කතාවේ එතුමාටත් හොරෙන් නියම වචන කිහිපයක් පිට උනා. ඒ තමයි ‘ලෝකේ රටවල් වල තියන විදිහට‘ ඒ කියන්නේ ලෝකේ ගැන ජනාධිපතිතුමාගේ ගමේ කියවීම. (ගම යනුවෙන් අර්තගන්වන්නේ දියුණු සහ නොදියුණු තත්ත්වයන් මතය)


නීතිය

කොහොම නමුත් එතුමාත් ඔය ආරක්ෂා කරන්න හදන බ්‍රිතාන්‍ය නීතිය(ගමේ බාසාවෙන් කිව්වොත් සුද්දාගේ නීතිය) ගැන තවදුටත් නැවත වරක් කියවා ගත්තොත් නම් යහපත්ය. එහෙම කියන්නේ, මේ වෙනකොට බ්‍රිතාන්‍ය යේ පවා සමලිංගික විවාහය නීති ගත කර තිබියදී, ලංකාවේ තවමත් බ්‍රිතානයන් විසින් පනවල ලද නීතීයක් කරතබාගෙන යාමේ උත්ප්‍රාසය ජනාධිපතිවරයාගේ නීති උපදේශකවරු දැන්වත් කියා දීම වටින්නේ ය.

ජනාධිපතිතුමා ලෝකෙට කෝචෝක් කලාට, කෙනෙක් ගේ ලිංගික නැඹුරුතාවය මත පදනම් වෙලා වෙනස්කම් කිරීම අද දවසසේ ශිෂ්ඨ ලෝකය පිළිගන්නේ නැහැ කියලා එතුමා දන්නෙ නැතුව ඇති. නොදැන සිටින්නට ඉඩක් නැති වන්නේ ජනාධිපති වෙන්න කලින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හරි එැවැනි සංවිධානයක ධූරයක් දැරුවා කියලා, කොළඹ ලොකු බෝඩ් ගහලා තිබ්බා. ඒ කියන්නේ එතුමා දන්නවා. ‘නෑ එතුමා දන්නවා‘ ‘කොහොම කියන්නද, වටේට හාමුදුරුවොත් තියාගෙන‘ මිතුරෙක් කීවේ ඒ කතාව අසා සිටිමින් අතරතුර ඇති වූ කතාබහකදීය.

එම නිසා ජනාධිපතිතුමා තීරණය කළ යුතුයි ඔහු නියෝජනය කරන්නේ ‘ශිෂ්ඨත්වය ද‘ ‘ගෝත්‍රිකත්වය‘ ද කියලා. ලිංගිකව පමණක් නොවේයි, දේශපාලනිකවත් වෙනස් කම් සිදුකළ ගෝත්‍රික ආඥාදායකත්වයක් ජනවාරි 8 වනදා මැදමුලනට යවා ‘යහපාලන‘ සංකල්පය ඇතුලත් මෛත්‍රී ජනාධිපති පුටුවේ වාඩි කළේ නැවත වරක් ගෝත්‍රිකත්වය සමග අත්වැල් බැදගන්න නොවන බවත් ද මතක් කල යුතුය.

ශිෂ්ඨත්වය

අනෙක, වැඩිහිටියන් දෙදෙනෙක් සිය කැමැත්තෙන් ආදරය කිරීම, ලිංගිකව එක්වීම, සංස්කෘතික, සදාචාර හේතු මත හිටගෙන එයට විරුද්ධ වෙන්න, වෙනස්කොට සලකන්න ශිෂ්ඨ ජනාධිපතිවරයෙකුට හෝ ශිෂ්ඨ රාජ්‍යකට හැකි ද?

සමලිංගිකත්වය කියන දෙය කෘතීම තත්ත්වයක් නොවන බව පොළොන්නරුවේ ඉපදුන ජනාධිතිතුමා දන්නේ නැතිවීම කණගාටුවට කරුණක් වුවත්, දැන්වත් එය ඉගෙන ගැනීම පීඩාවට පත්වන වෙනස් ලිංගික රුචිකත්වයක් ඇති ‘මිනිසුන්ට සහ ගැහැණුන්ට‘ කරනු ලබන ගෞරවයක්. එම ගෞරවය සියලු දෙනාට දක්වන පොදු ගෞරවයක් විය යුතු ය. එය මණුෂ්‍යත්වය සදහා වන දිගුවක් විය යුුතුය. එසේ නැතිනම්, ලිංගික නැඹුරුතාවය මත පදනම්ව වෙනස් කොට සැලකීමක් රාජ්‍ය විසින් සිදුකරනවා නම් එම රාජ්‍ය ගමන් කරන්නේ ශිෂ්ඨත්වය දෙසට නොවන බවත් කිව යුතුය.

ලෝකය

ජනාධිපතිතුමාගේ කතාවේ තවත් වැදගත් දෙයක් ඔහු කියයි. පළමුව ලෝකේ විවේචනය කරමින්, දෙවනුව ‘ලෝකෙම පිළිගන්න ආචාර්ය කුමාරස්වාමි මමයි පත් කලේ‘

බලන්න, ඛේදවාචකය… ‘කුමාරස්වාමි ලෝකය පිළිගන්නවා.‘ කියන අතරතුර, ශිෂ්ඨ ලෝකය පිළිගන්නා, සමලිංගික අයිතිය ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි. නැත. ප්‍රතික්ෂේප කරන විලාසය(බලන්න එම වීඩියෝව)තුළ ඇත්තේ ද අගෞරවනීය හැගීමකි. කිසිදු ශිෂ්ඨ රාජ්‍යක පුරවැසියෙක් ජනාධිපතිවරයෙක් ගෙන් මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තු වන්නේ නැත. එක් පැත්තකින් මානවවාදීත්වය ගැඹුර ලෙස ඛාදනය කල රාජ්‍යක්, ඒවාට පිළිතුරු සොයමින් වෙහෙසකර වෑයමක නිරතව සිටින කාලයක…

මේ දෙබිඩි බව කොතරම් ගැඹුරුද? කොන්කිරීමට, හිංසනයට පත්කරන ලද ප්‍රජාවක් පිළිබද අදහස, ලෝකය තමන් කැමති, තමන් දන්නා පමණින් ගෙන හැර දැක්වීම කෙතරම් අසංස්කෘතිකද?

අනෙක් පසින් අප ප්‍රශ්ණ කළ යුතු වන්නේ, වැඩිහිටියන් දෙදෙනෙක් ගේ ආදරය හෝ ලිංගිකත්වය ට (ගේ, ලෙස්බියන්, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික එහෙම නැතිනම් ලිංගික සමාජභාවය) එබී බලන්න, ඔවුන්ව කොන් කරන්න, ඔවුන්ව පීඩාවට පත්කරන්න කිසිම ජනාධිපතිවරයෙකුට හෝ රාජ්‍යකට අයිතියක් නැත. එය එසේ කරනවා නම් එම රාජ්‍ය හෝ ජනාධිපතිවරයා ගමන් කරන්නේ අශිෂ්ඨත්වය දෙසට මිස ශිෂ්ඨත්වය දෙසට නම් නොව බව සදහන් කළ යුතුමය.

අවසානයට ජනාධිපතිවරයා, පසුගිය දා බැදුම්කර සිදුවීම සහ ඊට අදාල කරුණු පිළිබදව පැවති පාර්ලිමේන්තු විවාදය ගැන සදහන් කලේ ‘දෙගොල්ලොම නෑවා‘ යනුවෙනි.

දැන් ජනාධිපතිතුමා සිදුකළ, සමලිංගිකත්වය පිළිබද කතාවෙනුත් කියන්නට ඇත්තේ ‘ඔබත් ශිෂ්ඨ ලෝකය ඉදිරියේ නා ගනිමින් ඇත.‘ යන්නය.