ලංකාවේ යුද්ධයේදී මරා දැමුණු මිණිසුන් සිහි කිරීම සදහා ඔවුන්ගේ නම් ගල් පුවරුවල කොටා, මුල්ලිවෛක්කල් දේවස්ථානයකට යාබද භූමියක තැන්පත්කර ඔවුන් සිහි කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් යහපාලන ආණ්ඩුව විසින් ගනු ලැබූවේ පසුගිය 17 වනදා ය. එම වාරණ නියෝගය නිකුත් කර තිබුණේ එම සැමරුම සංවිධානය කිරීමට මූළිකත්වය දුන් අඩයාලම් සංවිධානයේ සම කැදවුම්කරු, එලිල් රාජේන්ද්‍රම් පියතුමා වෙතය.

Fr. Elil Rajendram

සිහිකිරීම යෙදී තිබූ 18 වනදා එම වාරණ නියෝගය අභියෝගයට ලක් කරමින් එලිල් රාජේන්ද්‍රම් පියතුමා වෙනුවෙන්, මුලතිව් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් නීතිඥ කුමාරවඩිවේල් ගුරුබරන් අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේ මළවුන් සිහි කිරීම ජනතාවගේ අයිතියක් බවයි.

නමුත් අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයේ සදහන් වූ “රටේ ඒකාග්‍රතාව, ජාතික ආරක්ෂාව සහ ජාතික සමගිය ට” සතුරු ලෙසින් එය බලපානු ඇත යන්න නැවතත් පොලීසිය විසින් මුලතිව් අධිකරණයේදී එහි දිගුවක් ලෙස ප්‍රකාශ කලේ, අනාගතයේ අති විය හැකි, ත්‍රස්ථවාදී තත්ත්වයක් හේතු කොට ගෙන මෙම වාරණ නියෝගය ගත් බවයි.

කෙසේ නමුත් මළවුන්, විමුක්ති කොටි සාමාජිකයන් වුවත් ඔවුන් සිහි කිරීමේ කිසි වරදක් නැති බව අධිකරණය හමුවේ තර්ක කළ නීතිඥ ගුරුබරන් පොලීසියෙන් ඉල්ලා සිටියේ ගල් පුවරු වල හිටපු සටන්කාමීන්ගේ නම් ඇතිදැයි සහතික කර ගැනීම සඳහා ඔවුන් සතු එල්ටීටීඊ සාමාජිකයන්ගේ නාම ලේඛනය ඉදිරිපත් කරන ලෙසයි.

පැය කිහිපයක විවාදයකින් පසුව මුල්ලිවයික්කාල් ශාන්ත පාවුළු දේවස්ථානය තුළ දේව මෙහෙය ට පමණක් අධිකරණය විසින් අවසර ලබා දුන්නත්, ගල් පුවරු සවිකර තිබූ ප්‍රදේශයේ කිසිදු කටයුත්තක් සිදු කිරීමට අධිකරණය විසින් අවසර දුන්නේ නැති බවට 18වනදා අප වාර්තා කලේය. මළවුන් සිහිකිරීමට එරෙහිව යහපාලන පොලීසිය විසින් ලබා ගත් වාරණ නියෝගය, එළබෙන මැයි 31 දා මුලතිව් අධිකරණයේදී නැවත විමර්ශනය කිරීමට නියමිතය.

(එලිල් පියතුමා අනුස්මරණ ගල් තබා ඇති භූමිය සකස් කරමින්)

දිගින් දිගටම බලපෑම්

අධිකරණ නියෝගය අනුව දේවස්තානයේ දේව මෙහෙය පමණක් පවත්වමින් මරා දැමූවන්ගේ සමීපතමයින් පිටව ගියත් 18 වනදා රාත්‍රියේ නැවතත් පොලීසිය පැමිණ එලිල් රාජේන්ද්‍රම් පියතුමාට සහ ගල්වල මළවුන්ගේ නම් කෙටු ශිල්පියා ට වව්නියා පොලීසියේ පෙනී සිටින ලෙස ලියවිල්ලක් බාර දුන්නේ ය. එපමණක් නොව එලිල් රාජේන්ද්‍රම් පියතුමා ඇතුලු එහි සිටි සියලු දෙනා බියගන්වන ආකාරයට නිරන්තරයෙන් ඔවුන් සිටින ස්ථානයේ සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිළදාරීන් යතුරු පැදිවලින් එහා මෙහා යමින් බිය ගන්නවන ආකාරයේ හැසිරීම් ද එදවස පුරාම පෙනන්නුම් කළේය.

පසුව වව්නියාව පොලීසියේ පෙනී සිටි එලිල් පියතුමාට පොලීසිය පවසා ඇත්තේ සමරුව සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක වීමේදී යම් අඩුපාඩුවක් සිදු ඇත්දැයි සොයා බැලීම සදහා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට තමන් පවසා ඇති බවයි.

වැළපීම විශ්ව අයිතියකි – සත්‍ය සහ යුක්තිය සදහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය

මේ අතර නිවේදනයක් නිකුත් කරමින්, ජොහැන්ස්බර්ග් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන, සත්‍යස සහ යුක්තිය සදහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය(ITJP) පවසා සිටින්නේ

“වැළපීම විශ්ව අයිතියකි; තම දරුවන් එල්ටීටීඊ සාමාජිකයන් වුවද – මෙහිදී අපි ඒ බවක් නොදන්නෙමු – ඔවුන් වෙනුවෙන් මෑනිවරුන් හා පියවරුන් ශෝක වීම වලක්වා ලිය නොහැක්කි,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය. “මෙය මරණයෙන් අනතුරුවත් දෙමළ ජනයා අපරාධකරුවන් බවට පත් කිරීමකි. නිතර දෙවේලේ සංහිඳියාව ගැන කතා කරන රටක ම මෙය සිදුවීම අතිශයින්ම විකාර සහගතය.”

‘යහපාලනයේ‘ සංහිදියාව මුල්ලිවෛක්කාල් හී සුළගට ගසා ගෙන ගියාය.

2012 මැයි මස 17 වන දිනක පලෛයි කතෝලික දේවස්ථානයක ලියුම්කරු සහ තවත් කිහිපදෙනෙක් රැදී සිටියේ පසු දින පැවත්වෙන යුද්ධයෙන් මිය ගිය වූවන් සිහි කිරීමේ වැඩසටහනක් පිළිබද සාකච්ඡා කරමිනි. එක්වරම කඩා වැදුනු හමුදාවෝ එහි වූ පියතුමාට මෙසේ පැවසීය.

‘හෙට කරන වැඩේ කරන්න එපා. කිසිම දෙයක් හෙට සිදුකරන්න දෙන්න එපා කියලා අපිට ඕඩස් ලැබිලා තියෙන්නේ‘ හමුදා නිළධාරියා කීවේය.

‘මොන වැඩේද? පියතුමා ඇසීය.

‘ඔබතුමා කරන්න යන ඔය එල්ටීටීඊ අයව සිහිකරන්න කියලා කරන වැඩේ‘ හමුදාව කීවේය.

‘අපි එල්ටීටීඊ අය සිහිකරන්න කියලා විශේෂයක් නෑ. හැබැයි අපි අපේ මැරුණ අය සිහි කරනවා. ඒක පූජාවක්. ඒක අපි කරනවා.‘ පියතුමා නැවත පිළිතුරු දුන්නේ ය.

‘නෑ.. නෑ මුකුත් කරන්න දෙන්න බැහැ‘ හමුදා නිළධාරියා කීවේය.

‘අපි සිහි කරන්නේ මැරුණ අය, මේ පල්ලිය ඇතුලේ ඇයි අපිට මෙහෙම කරන්නේ. යුද්දෙදි කුඩා අත දරුවෝ මිය ගියා, ඇවිද ගන්නවත් බැරි වයසක අය මිය ගියා, එතකොට ඒ අයත් එල්ටීටීඊ ද? ඒ අපේ මිනිස්සු..‘ පියතුමා නැවතත් පැවසීය.

‘මුකුත් කරන්න බැහැ‘ හෙට කිසි කෙනෙක්ට එළියට එන්නත් බැහැ‘ හමුදා නිළදාරියා තවත් කියා ගෙන ගියේය.

ඒ මහින්ද රාජපක්ෂ සමයේ මළවුන් සිහි කරන්නන් ට, සිය හමුදාව යොදා තර්ජනය කරමින් මිනිසුන්ට වැළපීමට තිබෙන අයිතියට පහර දුන්නේ එලෙසිනි.

‘‘එක ගෙදරක… එක් කාමරයක අවමඟුලකි, තවත් කාමරයක උපන්දින සාදයකි’‘ නමින් එදවස අප ලීවේය.

එපමණක් ද නොවේ. 2012 වසරේ ජූලියේ දී රාජපක්ෂ ආණ්ඩුව සමයේ, සිරමැදිරියක් තුළ පහර දී මරා දැමුණු දේශපාලන රැදවියන් වූ වව්නියාවේ ගණේෂන් නිමළරූබන් සහ යාපනයේ දිල්රුක්ෂාන් මරියදාස් ගේ මළ සිරුරුවලටත් රාජපක්ෂ ආණ්ඩුව බිය විය. ඒ මළ සිරුරු මිහිදන් කිරීම සදහා ඥාතීන්ට බාර දීම සති කිහිපක්ම රාජපක්ෂ ආණ්ඩුව කල් හැරියේය. පසුව එම මළ සිරුරු නිදහස් කලේ අධිකරණයෙන් ලබා ගත් නියෝගයන්ට යටත්වය. එම නියෝගයේ මළ සිරුරු මිහිදන් කිරීමේ ක්‍රියාවලිය ද සදහන් තිබිණි. ඒ මළ සිරුරුවලටත් රාජපක්ෂගේ තිබුණු බියය.

දැන් ‘යහපාලනය‘ මියැදුනු මිනිසුන්ගේ නම් කෙටූ ගල් පුවරුවලටත් බිය වී ඇත්තේය. යහපාලන ආණ්ඩුව මරා දෑමූවන්ගේ නම කෙටු ගල් පුවරුවකට බිය වන්නේ ද, එදවස රාජපක්ෂ මළ මිනීවලටත් බිය වූ අයුරින්මය. ඒ අධිකරණයෙන් වාරණ නියෝගයන් පිහිටක් සේ තබාගෙනය.

කෙසේ නමුත් ඒ මුග්ධ රාජපක්ෂ පාලනය පෙරළා දමා ‘යහපාලන‘ ආණ්ඩුව පිහිටුවන්නට ඒ දෙමළ මිනිසා 2015 ජනාවාරි 8 දා සිය ඡන්දය භාවිතා කලේ සිහින මැවූ සිය නිදහස වෙනුවෙනි.

එහි එක් ප්‍රතිඵලයක් ලෙස 2015 මැයි මස උතුරේ සහ නැගෙණහිර දෙමළ මිනිසාට, මරාදැමුණු සිය සමීපතමයින් සිහි කිරීමට වූ අයිතිය හිමි වෙමින් තිබිණි. 2016 දී මුල්ලිවෛක්කාල් වල දී ද, කිලිනොච්චියේ ද ඇතුලු උතුරේ සහ නැගෙණහිර මිනිසුන් සිය ආදරණියන් සිහිකර පහන් දල්වා නිවෙස් වලට ගියේ ය. එයට එරෙහිව පොලීසිය වාරණ නියෝග ගත්තේ නැත. පසුව කිසිදු අකාරයේ නීතිවිරෝධී දෙයක් සිදු වූ බවට වාර්තා පල වූයේ ද නැත.

නමුත් 2015න්, වසර 2කින් පසුව ‘යහපාලනය‘ සිය මාවත වෙනස් කර ගත් සැටියකි. වසරකට වරක් තම ආදරණියන් සිහිකිරීම ත්‍රස්තවාදීන් සැමරීමක් යැයි කියමින්, රාජපක්ෂ අඩිපාරේම යමින් මුල්ලිවෛක්කාල් සිහි කිරීමට වාරණ නියෝගයක් ගත්තේ ය. එයින්, ‘යහපාලනය‘ තුළ ද සැගව තිබූ ‘සංහිදියාවේ ඇත්ත මුහුණ‘ සහ ‘ඊනියා දේශප්‍රේමී මහින්ද අවතාරය‘ එළියට විසි වූයේ, සංහිදියාව සදහා ජිනීවා-ශ්‍රී ලංකා එකගත්වය ක්‍රියාත්මක කිරීමට තවත් වසර දෙකක් කල් ඉල්ලා මාස 2කක් යන්නට ද මත්තෙනි. එබැවින් මරා දැමුණු තමන්ගේ ආදරණියන් සිහි කිරීම නවතා දැමීමට අධිකරණ නියෝගයන් ගන්නා ආණ්ඩුවකින් කුමන අන්දමේ සංහිදියාවක් බලාපොරොත්තු විය හැකිද?

දකුණේ අප, අපගෙන්ම අසා ගත යුතු ප්‍රශ්ණය එයයි!

සම්පත් සමරකෝන් | Sampath Samarakoon
(මුලිලිවෛක්කාල් සංචාරයෙන් පසු..)

සබැදි සටහන්

‘යහපාලනයේ’ උසාවි නියෝග සහ බිය වැද්දීම් මැද, උතුරේ ‘ඝාතක බිමේ’ මිනිස් වේදනාවන් [Photos]

රාජපක්ෂ මර්දනය දැන් රනිල්-මෛත්‍රී ආණ්ඩුවෙන්: දකුණට තහනම් හා කඳුළු ගැස්; උතුරට බියවැද්දවීම් සහ තහනම් නියෝග

##
කියවාගමුද?