Image Credit: ABC News

පසුගිය දිනෙක පැවැති දේශපාලන පිළිසදරකදී විය යුතු පරිදිම 2020 ජනාධිපතිවරණය සහ ගෝඨාභය රාජපක්ෂ යන මැය ඇදී ආවේය. ‘ඉතිං ඔය ගෝඨාභය ඉස්සරහට ගෙන එන කරන කෙනෙක් නෑනේ දැයි’ ඇසුණි. ඊට පිළිතුරු වශයෙන් මා කීවේ වෙන කවරකු නැතත් ඩෙංඟු මදුරුවන් සහ තැන තැන ගොඩ ගැසෙන කසළ විසින් ලබා දෙන ප්‍රතිචාරය ගෝඨාභයගේ සහායට වැඩ කරන බවයි.

කසළ සහ ඩෙංඟු වසංගත විසින් රනිල් – සිරිසේන පාලනය යටින් බිද දමමින් තිබේ. මෙරට සාමන්‍ය නාගරික ජනයා හදිසි ප්‍රශ්ණය ව්‍යවස්ථා සංශෝධන හෝ බලය බෙදීම හෝ සයිටම් හෝ නොවේ. කසළ සහ ඩෙංඟුය. මෙම ප්‍රශ්ණ දෙකම වත්මන් ආණ්ඩුකරණයේ අසමත් භාවයේ පිළිඹිබුවකි.

මෙරට නියම බුදු සසුනක් තිබුණේ නම් සංඝයා ගමින් ගම වඩිනු ඇත්තේ ඩෙංඟු මර්දනය සහ කසළ බැහැර කිරීම ක්‍රමවත් කිරීම පිළිබඳව දේශනා කරමිනි. එමෙන්ම 1930 ගණන්හි ඇරඹි අන්දමේ මහජන වමේ ව්‍යාපාරයක් තිබුණේ නම් එහිද මූලිකත්වයක් විය යුතුව තිබුණේ ඩෙංඟු මර්දනය ගමින් ගමට ගෙන යැමය.

නමුත් ඇමැති මනෝ ගනේසන් කී පරිදි රට ඒකීය නමුත් කුණ ෆෙඩරල්ය. ආණ්ඩුවට කසළ එක් කිරීම සහ බැහැර කිරීම පිළිබද ප්‍රතිපත්තිමය වැඩ සටහනක් නැත. සමහර විට මෙම කියමන ඩෙංඟු රෝගය සම්බන්ධයෙන් ද එළෙසම ආදේශ කළ හැකිය. එපමණක් නොව දේශපාලනය ද බෙදී ගොසිනි. මෙකී වසංගත පිටුදැකීම සම්බන්ධයෙන්ම ජාතික සම්මුතියක් නැත.

වායු සමීකරණය කරන ලද නිවෙස්, කාර්යාලය සහ වාහන සපිරි මෙරට දේශපාලන පංතියට ඩෙංඟු මාරාන්තික නැත. 2017 වසර තුළ ඩෙංඟු රෝගයට ගොදුරු වූ 80,000ක් තරම් ජනයා අතර එකදු මැති ඇමැතියකු නැත්තේ එනිසාය. ඔවුන්ට රෝගය වැළදුනද එක්සත් ජාතින්ගේ සංවිධානයේ කතාවකට යන්නේ යැයි කියා මහජන මුදලින් එතෙර සුපිරි රෝහලකට යා හැකිය.

මා ජීවත්වන අසල්වැසි යායම ඩෙංඟු මදුරුවා විසින් ග්‍රහණයට ගෙන දැන් මාසයකට වැඩිය. ඩෙංඟු රෝගියකු නැති නිවසක් අප නිවස අවට නැති තරම්ය. පිටුපස නිවසෙහි මව සහ කුඩා දියණිය රොහල් ගත වී පැමිණියේ දින දෙකකට පෙරය. ඉදිරිපිට නිසෙහි ද කුඩා දියණිය ඩෙංඟු රෝගයෙන් රෝහලේය. නිවෙස් දෙකකට එපිටින් සැමියා සහ බිරිඳ අයිඩිඑච් රෝහලෙහිය. අප නිවසෙහි ද ඩෙංඟු මදුරුවාට ගොදුරු වී ගොඩ ආවේ දැඩි සත්කාර ඒකකයට ස්තුති වන්නටය.

මේ වනාහී 1930 ගණන් හි මෙරට මහාජනයා දහස් ගණනින් වළපල්ලට යැවූ මැලේරියා වසංගතය සිහි ගන්වන ඛේදවාචකයකි. එම වසංගතයට ගොදුරු වු දොඩන්දූව උපන්ගම වූ මගේ පියාගේ සහෝදරයින් පස් දෙනෙකුම මිය ගියෝය. ඔහුගේ වැඩි මහල් සහෝදරයා වසංගතයෙන් බේරා ගැනීම පිණිස බාරකාර පවුලකට දී ඇති අතර පවුලේ ඉතිරි වූයේ ඔහු පමණි.

අද වෙනස මිය නොයාම පමණි. වංසගතයට බිලි වී ඇති පෙදෙස්හි හැම ගෙදරකම දෙතුන් දෙනෙකුට ඩෙංඟුය. රොහල් රොගීන්ගෙන් පිරී ගොසිනි.

මදුරු ගහණය තෙගුණයකින් ඉහළ යන බවට කියැවෙන මෝසම් වැසි කඩා වැටෙන ඔක්තෝබරය වන විටත් තත්වය අපාලිතවම පැවැතිය හොත් වසංගතය කුමන මට්ටමක් දක්වා ඉහළ යනු ඇත්දැයි සිතීමත් බිය ජනකය.

මෙසේ තිබියදීත් මුල්ලෙරියාව ප්‍රදේශීය සභාවට අයත් අප ජීවත් වන අසල්වැසි යායෙහි මදුරු මර්දන කිසිදු වැඩ සටහනක් පසුගිය පස් වසර පුරාම ක්‍රියාත්මකව නැත. ඩෙංගු වසංගතයට මෙම පෙදෙසෙහි බොහෝ වැසියන් ගොදුරු වී සිටියද කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු හෝ ඩෙංඟු මර්දන නිලධාරීන් හෝ පැමිණියේ ද නැත. රනිල් – මෛත්‍රී යහ පාලනයේ ආනුභාවයෙන් පළාත් පාලන ජන්ද දෙවසරකටත් වඩා කල් දමා ඇති බැවින් ප්‍රාදේශීය සභාවක් නැති නමුත් අපට සිනහසෙන එහි හිටපු සභාපති සෝලංග ආරච්චිගේ අති විශාල කටවුට් නම් අඩුවක් නැත.

ඩෙංගු රෝගයෙන් අප අසල්වැසි යායම ගිලගෙන ඇති බව සමාජ ජාලයන්හි මා දිගින් දිගටම ලියූ නමුත් ඉන් ඇතිවූ සෙතක් ද නැත.

බැරිම තැන පසුගිය සිකුරාදා මම ඩෙංඟු මර්දන ඒකකයට මෙම තත්ත්වය දැනුම් දී අපට උපකර කරන සේ ඉල්ලා විද්‍යුත් ලිපියක් නොහොත් ඊමේලයක් යැවීමි. මා මවිත කරමින් හැරෙන තැපෑලෙන් පැය කිහිපයක් ඇතුළත පිළිතුරු විද්‍යුත් ලිපියක් ලැබුනි. ඉන් කියා තිබුණේ එම ලිපිය අදාළ කාර්යාංශ වෙත යවන ලද බවයි.

සති අන්තය අවසන් වී එළඹුන පසුගිය සදුදා සෑම නිවසකටම තට්ටු කරමින් ඩෙංඟු මර්දන යුද හමුදා කණ්ඩායමක් පැමිණියෝය. වතුර බිඳක් හෝ එක්විය හැකි සෑම තැනකම ඇස ගැසූ ඔව්හු ඒ පිළිබඳව වැසියන් දැනුවත් කොට තෙදිනකින් යළි පරීක්ෂක කණ්ඩායමක් පැමිණෙනු ඇති බැවින් ගෙවතු පිරිසිදු කරන ලෙස දැන්වූහ.

ඩෙංඟු මර්දන ඒකකයට මල් මිටක් පිදිය යුත්තේ එවැනි කාර්යක්ෂම සේවයක් සැළසීම වෙනුවෙනි. තට්ටු කරන්නාට දොර හැරේ යන්න තවමත් සැබෑ බව එමගින් පෙනුනි.

විශ්මය පටන් ගැනුණේ ඉන් පසුවය. සෑම නිවැසියකුම සිය ගෙවතු පිරිසිදු කරන්නට වූහ. එය කනට මිහිරි නාදයක් විය. අනතුරුව තවත් (අ)මිහිරි නාදයක් නන්වමින් සතියක්ම නෑවිත් තිබූ කුණු ටැක්ටරය ද ආවේය. එදා සවසම තවත් පිරිසක් පැමිණ නිවෙස් සහ අවට දුමායනය කළහ.

ආණ්ඩුවක් කෙසේ වෙතත් ඩෙංඟු මර්දන ඒකකයක් තිබෙන බව මහජනයාට තේරුම් යන්නට ඇත. ඉදින් අප අසල්වැසි යායෙහි කිසිවකු ඉන් පෙර ඩෙංඟු මර්දන ඒකකයට කතා නොකළේද? ඒ මහජනයා නොදැනුවත් නිසාද? ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසාද? මෙවැනි තත්වයකදී කළ යුත්තේ කුමක්දැයි රූපවාහිනී මාධ්‍ය සරළව සහ කාවදින ලෙස ප්‍රචාරය නොකළ නිසාද? මෙම පෙදෙසෙහි වසංගතය පැතිරී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාශය දැන නොසිටියේද? ඩෙංඟු රෝගය පැතිරීමේ අවදානම් කලාප රතු පාටින් දැක්වෙන පරිඝණක මෘදුකාංගයක් මෙම ඒකක සතුව නැත්ද?

මෙම සංසිද්ධිය කපා කොටා විශ්ලේෂණය කර අවශ්‍ය නිගමනයන්ට බැසීමට තරම් නිහතමානී ඥානයක් අදාළ අංශයන්ට ලැබේවායි පතමු.

කුණු ගැන කතාව කෙටියෙන් මෙසේය.

අප ජීවත්වන්නේ කොලාන්නාව සහ මුල්ලෙරියාව ප්‍රාදේශීය සභා මායිමේය. කොලොන්නාව ප්‍රාදේශීය සභාව වෙන් කරන ලද කසළ පොලිතීන් මලුවල භාර ගනී. මා දන්නා තරමින් ලොව පුරා ක්‍රමවත්ව කසළ බැහැර කරන සෑම රටකම දිරන හෝ නොදිරන පොලිතීන් මලුවල කසළ බාර ගනී. නමුත් මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව කසළ මලු බාර ගන්නේ නැත. සමහර විට දෙසතියක් කසළ ටැක්ටරය නොපැමිණෙන අතර ඒ තාක් වැසියන් විවිධ භාජනයන්හි කසළ තබා ගත යුත්තේ පණුවන් බෝ කරමිනි. ටැක්ටරයේ හඩ ඇසෙන විට කසළ පිරුණු බරැති භාජන ඔසවාගෙන පාරට යා යුතුය. ඉන්පසු ඒ භාජන සොදා ගත යුතුය. ඒ මදිවාට කසළ ටැක්ටරය එන නිසි දිනයක් නැත.

කසළ එක් කළ යුතු පොලිතීන් මලු සඳහා නිසි ප්‍රමිතියක් ඇති කිරීමට ආණ්ඩුව පියවර නොගන්නේ මන්ද?

අද මෙරට පවත්නා සෑම සුපිරි වෙළද සැල් ජාලයක්ම දිනපතා දස දහස් ගණනින් පොලිතීන් මලු පාරිභෝගිකයිනට නොමිලයේ ලබා දෙයි. කසළ බැහැර කිරීම ක්‍රමවත් කර ඇති රටවල් දැනට දශක ගණනාවක් පුරා නොමිලයේ පොලිතීන් මලු පාරිභෝගිකයිනට ලබා දීම තහනම් කොට තිබේ. මිලදී ගත හැක්කේ ද දිරායන කඩදාසි හෝ හණ හෝ රෙදි මලුය. එසේ නමුත් අප කසළ බැහැර කිරීමට යොදා ගන්නේ විවිධ වර්ණයන්ගෙන් යුතු පොලිතීන් මලුය.

ආණ්ඩුවට පරිසරය රැක ගැනීමට නම් මෙළෙස සුපිරි වෙළද සැල්වලින් බෙදා හරින ලක්ෂ සංඛ්‍යාත පොලිතීන් මලු තහනම් නොකළ හැක්කේ ඇයි? ඒ වෙනුවට කුණූ බහාළන පොලීතීන් මලු සහනදායි මිලකට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ නොහැක්කේ ඇයි? කසළ බැහර කළ යුතු අන්දම ගැන මහජන සේවා වැඩ සටහන් ප්‍රචාරය කරන සේ රූපවාහිනී නාලිකා සමඟ එකඟතාවයක් ඇති කර නොගන්නේ ඇයි?

ඩෙංඟු වසංගතය සහ කුණු ප්‍රශ්ණය ගැන දේශාපාලනඥයින්ගේ බහුබූත දේශණා ප්‍රචාරය කිරීමට යොදවන කාලය එම කරුනුම අරභයා ආකර්ශණිය මහජන සේවා වැඩසටහන් සඳහා යොදා ගන්නේ නම් අඩුම වශයෙන් පියවර කිහිපයක් හෝ ඉදිරියට යාමට හැකි වනවා ඇත.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya