2016 අගෝස්තුවේ අඟ මා, කොළඹ විශ්ව විද්‍යාලයේ, අල කැන්ටිම ළඟ බංකුවක හිදගෙන, විකල්ප කතෘතුමා වෙත දුරකථන ඇමතුමක් ලබා දුනි. ඒ, යුද්ධයේ එක් වින්දිත කොටසක් වූ, වන්නි දෙමළ ජනයාගේ හඬ, විකල්ප අවකාශය වෙත එක් කිරීම වෙනුවෙනි. එදා සිට අද දක්වාම, ‘විකල්පය’ සියලු පීඩිත ජනයාගේ හඬට යම් අවකාශයක් වෙන් කරයි. මේ ලිපිය ඒ වෙනුවෙන් නොවේ. මෙය, වසර 10ක් සැපිරීම නිමිතිව, ‘විකල්ප’ වෙබ් අඩවිය සංවිධානය කළ, #UnFrmaed ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවෙනි. එම, ජයාරූප එකතුව, කළු ජනේරුවේ 30 වන දින, මම, මිතුරියක සමඟින් නැරඹුවෙමි.

ශ්‍රී ලංකාව අවුරුදු 30කට අධික කාලයක් යුද්ධයකින් බට කෑවේය. 2009 මැයි 18 වැනි දා ජනවාර්ගික යුද්ධය අවසන් වුයේ, විමුක්ති කොටි සංවිධානය, හමුදා මිලිටරි බලයෙන් පරාජය කරමිනි. එකී පරාජය, මානුෂිය මෙහෙයුමක් ලෙස, රාජපක්ෂ රෙජිමවාදීන් හදුන්වා දුන්න ද, යුද්ධය, අමානුෂික උපකරණයක් බව මතක තබා ගත යුතුය. යුද්ධය අවසන් වනවිට, අදටද හරිහමන් ලෙස ගණන් බේරා නොමැති, ජිවිත සංඛ්‍යාවක්, උතුරු-නැගෙනහිරට මෙන්ම දකුණට ද අහිමි විය.

දකුණේ, ද්‍රරිද්‍රතාවෙන් පිඩා විදි, යෞවන- යෞවනියන්, තම වයසක දෙමාපියන් ජිවත් කරවීමට, උකස් කර ඇති කුඹුර බේරා ගැනීමට හෝ වෙනත් ආර්ථික සහ සාමාජ සාධක හේතුවෙන් යුධ හමුදා ශ්‍රමික-ශ්‍රමිකයන් විය. 2005 න් පසු, දේශපාලන බල අරගලය වෙනුවෙන්, මෙකි යුධ හමුදා ශ්‍රමික-ශ්‍රමිකාවන්, රණවිරු-රණවීර වරියන් ලෙස භෞතිස්ම කලෝය. යුද්ධය අවසානයේ දී ඔවුන්, පාර සහ කාණු පිරිසිදු කරමින්, නගරසනීපාරක්ෂක සේවා සපයන ශ්‍රමිකයන් බවට පත්විය. මෙම රණවිරු ෆැන්ටසිය අවසානයේ, රාජපක්ෂ රෙජීමයේ තවත් එක් ලුම්පන් වරුන් කොට්ටාශයක් විය. යුධ හමුදා ලුම්පන් වරුන්ගේ පීඩනය, උතුරු- නැගෙනහිරට මෙන්ම දකුණට ද තදින් දැනුනි. රතුපස්වල වෙඩි ප්‍රහාරය එහි එක් අවස්ථාවකි. අනෙක් අතට හමුදා ලුම්පන් වරුන්ට ද නොකී කතා ඇත. ඔවුන්, රාජ්‍ය නිලධාරි ලාංජනය යටතේ, අතකොලු වූයේ ඇයි සහ ඒ වෙනුවෙන් ලද සහ ගෙවූ වන්දිය කුමක්ද? මෙන්ම ඔවුන්, රාජ්‍ය යාන්ත්‍රනය තුල, බත්බැල මෙහෙවරේ යෙදවූයේ කවුද කියා අප ද දැනගත යුතුය. එම කරුණු කිසිදා රාමුවූ බිත්ති සැරසිල්ලක් නොවනු ඇත. එහෙත්, එය විකල්ය දේශපාලනයට මෙන්ම යලි හිස ඔසවන මෙරට ප්‍රජාත්‍රන්තවාදී ආයතන වෙනුවෙන් ද වැදගත් වේ.

විමුක්ති කොටි සංවිධානය, යුධ වැදුනේ අරමුණක් වෙනුවෙනි. එය, අපට කිසිදා ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඔවුන්ගේ එකම අරමුණ වුයේ, නිදහස්, යුක්තිගරුක සහ අයිතිවාසකම් සුරක්ෂණය වන රාජ්‍යයකි. ඒ වෙනුවෙන්, ඔවුන් ගෙන ගිය අරගලය, මර්ධනකාරී වුයේ, ජනප්‍රිය දේශපාලනයේ ගොදුරක් බවට ඔවුන් ද පත් වූ හෙයිනි. කෙසේ නමුත් අද දෙමළාගේ විමුක්තිය කොහෙද? පොහොට්ටුව ණයට ගෙන, රට බෙදීම නවත්වන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ මහතාව, සිංහල-බෞද්ධ සමාජය පිළිගනු ලබන්නේ, ‘ඔහු යුද්ධය අවසන් කළ’ බව පවසමිනි.

යුද්ධය අවසන් කිරීම යනු කුමක්ද?

වෙඩි හඬ නැසී යාම පමණකි. අදටත් උතුරු-නැගෙනහිර සහ දකුණේ ජනයා, තමන්ගේ අතුරුදහන් කරණු ලබු, ආදරණියයන් වෙනුවෙන් බලා සිටින්නේ, මානසික යුද්ධයක් කරමිනි. ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන්, සොබාදහම තමන් වෙත ලබා දුන්, අතපය අහිමි ඔවුන්, බත්පත වෙනුවෙන් වෙහෙසෙන්නේ යුද්ධයක් කරමිනි.

අදටත්, ස්ත්‍රී ලිංගයක් සහිතව උපන් හෙයින්, අව්වේ, පිරිමි සමඟ උරෙන්නුර ගැටෙමින් ශ්‍රමය වැගුරුවද, අසමාන ගෙවීමකට හිමිකම් කියන ස්ත්‍රිය ගෙනි යන්නේ ද ජීවන යුද්ධයකි. අවි ආයුධ ගැටුම අවසන් වුයේ නම්, චුදීතයන් මහජන උසාවියක් වෙත පමුණුවා, වින්දිතයන් වෙත යුක්තිය ඉටු කළ යුතුව තිබුණි. එහෙත් එවැනි අවසානයක් අදටත් නොමැති නමුත්, සිංහල-බෞද්ධ සමාජය, යුද්ධය අවසාන බව තරයේම විශ්වාස කරයි.

අවි ආයුධ ගැටුම අවසන් වුව ද, එවැනි ගැටුමක ආරම්භක හේතුන් අදටත් එසේම පවතී. #Unframed හී යුද්ධයේ මුලික හේතු පිළිබද සාකච්ඡාවක් නොවුනද, යුද්ධයේ අමානුෂික ප්‍රතිපල සහ එම අමානුෂික ඝාතන, ශරීර අවයව අහිමි කිරීම් සහ අතුරුදහන් කිරීම් වෙනුවෙන් වර්තමාන කොළඹ කේන්ද්‍රීය සාමය නිශ්ශබ්දවීම, කාච සටහන් මගින් එලි දක්වයි.

උතුරේ දී, මිනිසුන් මරා දැමීම සාමාන්‍ය, දෛනික කාරනාවක් විය. අතුරුදහන් කිරීම ද එසේය. එපමණක් නොවේ. ෂෙල් වෙඩි වලින් ආවරණය වීමට, බංකරයට දිව යාමද, අස්ථිර ජීවන පදනමද ඔවුන් සමඟ බැදුණි. යුද්ධය අවසන් වූ බවට, බහුතරයක් විශ්වාස කරණ පදනමක, යුද්ධයේ වින්දිතයන් ගේ ජිවිත යුද්ධයේ දී හා සමව ගලා යයි. පුදුකුඩුඉරිප්පු හි සෙල්ලම්මා ගේ කතාව එහි එක් උදාහරණයකි. ශ්‍රී ලංකාව යුධ හමුදාව විසින් බලහත්කාරයෙන් අලාගෙන සිට, පසුව විනාශ කර, ඉවත්ව ගිය ඇයගේ නිවස, අදටත්, නවීකරණය කරගැනීමට නොහැකිව, වෙඩි උණ්ඩ වලින් හිලකළ බිත්ති සහිතව, එසේම පවතී. ඇයගේ, නිවස මායම් වන්නේ, හමුදාව බලහත්කාරයෙන් ගොඩ නගාගෙන තිබෙන හමුදා කදවුරටය. සාමය වෙනුවෙන් කැප වූ සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවට, අදටත් යුද්ධය හේතුවෙන් දුක් විදින සෙල්ලම්මාවරු පෙන්වා දීම, #Unframed මගින් සිදුවේ. එසේම, අතුරුදහන් කරණ ලද පුද්ගලයන් ගේ කතාව නැවත නැවත මතක කර දීමද #Unframed තුල සිදුවිය.

ඒත්, #Unframed යනු සෙල්ලම්මාට හෝ සන්ධ්‍යා එක්නලිගොඩට පිළිතුරු සොයා දෙන මාර්ගයක් නොවේ. ඉතිහාසය නැවත නැවත මතක් කර දෙන මුත්, ඉතිහාස වරදට, පිළියම්, #Unframed තුල නොවිය. වරද නැවත නොකිරීමට බල කිරීමද #Unframed හි අඩංගු වුයේ නම් වැදගත් වේ.

කෙසේ නමුත්, මා #Unframed දකින්නේ, ආදරයේ වේදනාව ප්‍රකාශ කළ එක් අවකාශයක් ලෙසය. පුද්ගල, ජීවිත, අවස්ථා සහ ආදරය අහිමි කිරීම සන්නිවේදනය කළ නොහැකි මානුෂිය වේදනාවෝ වෙති. තමාගේ ශ්‍රමය සුරාකෑම, තේ දළු කඩන කතගේ ආඛ්‍යානය තුල වූ අතර, රැලි වැටී ගිය ඇයගේ දෑත්, වැහැරී ගිය අයගේ සිහින පිලිබඳ කතා කරයි. කම්කරු පන්තියේ සියලු ජනතාවගේ දෑත් අඩුව හෝ වැඩිව රැලි ගැසී ඇත. දුර්වර්ණය. ටයිප්රයිටරයේ සිට සිමෙන්ති තාච්චිය දක්වාම භාවිතා කර වැඩ කරණ ඔවුන්ගේ දුක සමානය. මේ ආරථික හෝ දේශපාලන ප්‍රතිසංස්කරණ, කම්කරු පන්තියේ වේදනා වෙනුවෙන්, තිරසාර විසදුම් සම්පාදනය නොකළේය. එය, හින් සීරුවට මතක් කර දීම #Unframed මගින් සිදුවිණි.

සමස්තයක් ලෙස, #Unframed පිඩිත ජනයාගේ හඬ නියෝජනය කළ එක් රුපකයක් විය. දෙමළ සහ මුස්ලිම් ජනයාට, සිංහල-බෞද්ධ නොවීම හේතුවෙන් තම හඬ අහිමි වූ පශ්චාත් යුධ තත්වයක, #Unframed තැනු ඡායාරූප වේදිකාව අගය කරමි.

අරුණි සමරකෝන් | Aruni Samarakoon