(මෙම විඩියෝව ඉහත දර්ශණය නොවන්නේ නම් මෙයට පිවිසෙන්න )

‘..අපි අද යන්නේ අපේ ඉඩම්, මේ පාරෙන්ම නිදහස් කර ගන්න. කරුණාකරලා අපේ ඉඩම් ටික නිදහස් කරලා දෙන්න. පොඩි ළමයාට කිරි දීලා රවට්ටන විදිහට අපිව රවට්ටන්නේ නැතුව, අපේ ඉඩම් අපට අරන් දෙන්න. ඒ බලා පොරොත්තුවෙන් තමයි අපි අද යන්නේ. දෙසැම්බර් 31 දෙනවා කිව්වා, ඊට පස්සේ ජනවාරි 25 දෙනවා කිව්වා, අද වෙනතුරු කවුරුත් කිසිම තොරතුරක් අපිට කිව්වේ නෑ. ඒ නිසා තමයි අද යන්නේ. ජනාධිපතිතුමා මොකද්ද කියන්නේ කියලා අපිට දැනගන්න ඕන. අද පිළිතුරක් දුන්නේ නැතිනම් අපි මැරුනත් ඔතනම ඉන්නවා. හාල් මිටක් හොයාගෙන කැදක් හරි බීගෙන අපි ඉන්නවා. අපිව හැමදාම රවට්ටන්න බෑ.’

දින 700කට ආසන්න කාලයක් අව් වැසි නොතකා සාමාකාමී විරෝධයක නිරතව සිටි කේප්පාපිලව් ස්ත්‍රීන් පසුගිය ජනවාරි 26වනදා සිය විරෝධතා ස්ථානය වෙනස් කරමින් සිය ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින හමුදා කදවුර ඉදිරිපිට සිය විරෝධතාවය ඇරඹීමට තවත් කිලෝමීටර 2කක් හමුදා කදවුර ගේට්ටුව අභියසට ගමන් කරන අතර තුර පැවසුවාය.

‍ලේ වැකි යුද්ධයේ 2008 වසරේ දී කේප්පාපිලව් මිනිසුන් සිය ඉඩම්වලින් පළා ගියේ යුද්ධයේ පීඩනය දරා ගත නොහැකිව සිය ඇදිවත පමණක් සමගය. ඉන් පසුව හෙක්ටායර 202කකට ආසන්න ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා හමුදාවෝ ‘යුද්ධය’ මුවාවෙන් අත්පත් කර ගත්තේ කේප්පාපිලව් මිනිසුන් සරණාගත කදවුරු තුළට ගාල් කරන අතර තුරය. විශේෂයෙන් 2009 දී යුද්ධය මිලිටරි ලෙස අවසන් කිරීමෙන් පසු කේප්පාපිලව් මිනිසුන් මැණික් ෆාම් නමින් ප්‍රසිද්ධ අනාථ කදවුර වෙත ගෙන යන ලද අතර ඔවුන් එහි වසර ගණනාවක් රදවා තැබිණි. 2012 වසරේදී මැණික් ෆාම් වසා සරණාගත කදවුර වසා දැමුණු අතර, එම කඳවුරේ ඉතිරිව සිටි 560 ක් වූ කෙපාපිලව් ඉඩම් හිමි මිනිසුන් සෝරිපුරම් හි පිහිටි කැලෑබද ප්‍රදේශයක නැවත පදිංචි කරන ලද්දේ අවම පහසුකම්වත් නොමැතිවය.

”..කෙප්පාපිලව් අපේ පාරම්පරික ඉඩම් අපිට ලබා දෙන්නයි කියලා අවුරුදු 08 ක් තිස්සේ අපි අරගල කරනවා. 2012 වර්ෂයේ 09 මාසේ කෙප්පාපිලව් පාරම්පරික ඉඩම් ලබා දෙනවා යැයි කියලා, කෙප්පාපිලව් මිනිසුන්ව වට්‍රාපලෛ පාසලකට කතා කරලා කැලෑවක් හෙළි කරා. ඒ එළිකරපු ස්ථානය දැන් තාවකාලික තැනක් විදිහට තියෙනවා. ළඟදීම ඔයාලගේ ඉඩම් ලබා දෙනවා තාවකාලිකව ඉන්න කියලා තමයි ගෙනත් දැම්මේ. ඒත් කිසිදු පහසුකමක් සලසා දුන්නේ නැහැ. සෑම එක පවුලකටම පර්චස් 20 ක් දෙනවා කියලා තමයි කිව්වේ. මේ වනතුරුත් ඒ ජනතාවට වතුර ප්‍රශ්ණයවත් විසදලා දුන්නේ නැහැ. පොදු ලිඳක් තමයි ඒ මිනිස්සු සියල්ලෝම භාවිතා කරන්නේ. මේ අවුරුද්දේ නියං කාලේ අහු වුන නිසා ඒ ජනතාව ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපේ ජීවන රටාව බිංදුවටයි තියෙන්නේ. මෙච්චර කාලයක් අපි ඉවසීමෙන් හිටියේ…” යැයි 2017 පෙබරවාරියේ දී කේප්පාපිලව් හී ඉඩම් අල්ලා අරගලයේ යෙදෙන, එස්. චන්ද්‍රලීලා මහත්මිය ‘විකල්ප’ සමග පැවසුවේය.

කෙප්පාපිලවු ග‍්‍රාම නිලධාරි කොට්ඨාසය පිහිටා ඇත්තේ මුලතිවු දිස්ත්‍රික්කයේ මාර්ටිනේපත්තු ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුළය. එය සූරියපුරම්, සීනියමොට්ටයි, කෙප්පාපිලවු හා පලකුඩියුරුප්පු යන ගම්මාන හතරෙන් සමන්විත වන අතර, ප්‍රධාන වශයෙන් ගොවීන් හා ධීවරයින් ලෙස ඔවුන් සිය ජීවනෝපාය සරිකරගෙන ඇත. කේප්පාපිලව් හී මහපොළව සාරවත් රතු පසකට හිමිකම් කියන අතර, පිරිසිදු පානීය ජලය සහ කලපු සම්පත්වලින් පොහොසත් සශ්‍රීක ප්‍රදේශයකි. එහි ජීවත් වූ ඇතැම් මිනිසුන් ගේ ඉතිහාසය අවුරුදු 60-70ක් දක්වා වඩා ඈතට දිවෙන බවත් පැවසෙයි.

2009 වසරේ යුද්ධයේ අවසාන කාලයේ මැණික් ෆාම් කදවුරේ රදවා සිටි පිරිසට මේ පිරිස ද අයත් වූ අතර, තමන්ගේ නිවෙස්වලට ආපසු යන්නට පුන පුනා ඉල්ලීම් සිදුකලත්, ඔවුන් අවතැන් වීමට පෙර ඔවුන්ට කෙතරම් ඉඩම් ප‍්‍රමාණයක් අයිතිව තිබුණේ ද යන්න පිළිබද කිසිවක් නොසලකා පවුල් 150 කට පමණ එක් පවුලකට අක්කර කාල බැගින් අලුත් ඉඩම් වෙන්කර දෙනු ලැබුණේ ඊනියා නැවත පදිචි කිරීම් නාමයෙනි. එම මිනිසුන්, ඔවුන් ඔවුන්ගේ මුල් ඉඩම්වලට යාබදව පිහිටි මුලින් සූරියපුරම් යනුවෙන් ප‍්‍රකට ප‍්‍රදේශයකට නැවත අවතැන් කෙරිණ. මෙය දැන් හඳුන්වන්නේ කෙප්පාපිලවු ආදර්ශ ගම්මානය යනුවෙනි.

කෙප්පාපිලවු මිනිසුන් 2012 සිට ඔවුන්ගේ ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා සාමකාමී විරෝධය පෑම් ගණනාවක් පවත්වා තිබිණි. ඔවුන්ගේ මුල් පදිංචි ස්ථාන ආපසු ලබා දෙන ලෙස කරන ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳව නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඞී. එම්. ස්වාමිනාදන් හා කර්මාන්ත හා වාණිජ ආමාත්‍ය රිෂාඞ් බදුයුද්දීන් මුණ ගැසී තිබුණි. එපමණක් ද නොවේ ඔවුන් ඉඩම් ඔප්පු 60 ක පිටපත් සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයට ලිඛිත අභියාචනයක් ද අනතුරුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිපියක් ද ඉදිරිපත් කර තිබුණි.

කේප්පාපිලව් හී තමන්ට අයිති ඉඩම් ඉඩම් ආපසු ලබා ගැනීමේ සියලු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු 2016 මාර්තු 24 වෙනි දින ඒ ඉඩම් අහිමි මිනිසුන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. එම මාරාන්තික උපවාසයෙන් දින 3කට පසු උතුරේ දේශපාලන පක්ෂවල නියෝජිතයන් පැමිණ තමන් සමග සාකච්ඡා කල බවත්, උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලිපියක් මගින් කාරණය පිළිබඳව කටයුතු කිරීමට ද ඉදිරි මාස තුන ඇතුළත ඊට විසඳුමක් ලබා දීමට ද පොරොන්දු වී තිබෙන බවත්, අප හා පැවසුවේ ඉඩම් නිදහස් කර ගැනීමේ අරගලයේ ප්‍රභල ක්‍රීයාකාරීකාවක් වන චන්ද්‍රලීලාය. ඒ මිට වසර 2කකට පෙර 2016 වසරේ දීය. ඒ පොරොන්දුව මත නැවත වරක් උපවාසය අවසන් කෙරිණ. ඉන් දින 5කට පසු උතුරු පළාත් මහඇමතිවරයා මුණ ගැසීමට අවස්ථාව ලැබුණ ද ඉඩම් නිදහස් කර ගැනීම පිළිබද කිසිදු පොරොන්දුවක් දීමට මහඇමතිවරයා උනන්දු වූයේ නැත.

කෙසේ නමුත් දිගින් දිගටම සිය ඉඩම් ඉල්ලා අවස්ථා ගණනාවක සාමකාමී අරගලවල යෙදුනත් ඔවුන්ට සිය ඉඩම් හිමි වූයේ නැත. එබැවින් 2017 මාර්තු සිට කේප්පාපිලව් හමුදා මූලස්ථානයට පිවිසෙන ස්ථානයේ අඛණ්ඩ සාමකාමී උපවාසයක් ආරම්භ කරමින් සිය විරෝධය දිවා රාත්‍රී පුරා, පොලීසියේ නීති විරෝධී බලහත්කාරකම් හමුවේ රැගෙන ගියේ ය. අවස්ථා ගණනාවක මුලතිව් පොලීසිය විසින් එම සාමකාමී උපවාසය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස නියෝගයන් නිකුත් කරන ලෙස මුලතිව් අධිකරණයෙන් ඉල්ලා සිටියත් අධිකරණය එම වින්දිත මිනිසුන්ගේ සාමකාමී විරෝධය දැක්වීමේ අයිතිය ආරක්ෂා කිරීමට අද දක්වා ක්‍රියා කිරිම මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍ය අගයන සැමගේ අගය කිරීමට ලක් විය.

එබැවින් පොලීසියට සහ හමුදාවට සිදු වූයේ බලා සිටීමට පමණි. කෙසේ නමුත් ඒ අඛණ්ඩ සාමකාමී ක්‍රියාකාරීත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, පිවිසුම් දොරටුවේ සිට වම් පස ප්‍රදේශයේ පිහිටි ඉඩම් හෙක්ටයාර 53ක් නිදහස් කිරීමට ‘යහපාලන’ ආණ්ඩුවට සිදුවිය. කෙසේ නමුත්, ශ්‍රී ලංකා හමුදාවේ 59වන සේනාංකය කේප්පාපිලව් හී පවුල් 104කට අයත් ඉඩම් හෙක්ටායර 141ක පමණ තවමත් රැදී සිටියි.

කෙසේ නමුත් උතුරේ ජනතාවගේ ඉඩම්වලින් සියයට අනූවක් නිදහස් කළා යැයි ආරක්ෂක අංශ ප්‍රකාශ කළත්, හියුමන් රසිට්ස් වොච් නිකුත් කළ වාර්තාවකින් කියැවුනේ ‘no publicly available accurate and comprehensive mapping of land occupation’ යනුවෙනි(https://www.hrw.org/report/2018/10/09/why-cant-we-go-home/military-occupation-land-sri-lanka#)

තත්ත්වය මෙසේ තිබියදී, 2018 ඔක්තෝබර් 4 වැනි දින ජනාධිපති මාධ්‍ය අංශය විසින්, නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් ‘ඉඩම් අයිතිය පිළිබඳ ජනතා සන්ධානය’ ප්‍රකාශයක් නිකුත් කලේය.

“උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමකදී, “උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් සම්බන්ධයෙන් ඇති සියලූම ගැටළු විසඳීමෙන් අනතුරුව, දෙසැම්බර් 31 වැනි දිනට පෙර, ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත නිිදහස් කිරීමේ කි‍්‍රයාවලිය සම්පුර්ණ කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය”, යනුවෙන් 2018 ඔක්තෝබර් 4 වැනි දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් වාර්තා කරන ලදී. යනුවෙන් එම නිවේදනයේ දැක්වීය.

එහි තවදුරටත් සදහන් වූයේ,

‘අපගේ ඉඩම් බලහත්කාරයෙන් ලබාගෙන ඇති අතර, යුද්ධය අවසන් වීමෙන් වසර 10කට ආසන්න කාලයක් තිස්සේ තවමත් බොහෝ සෙයින් දුක් පීඩා විඳින අප, ඔබ විසින් මෙම පොරොන්දුව ඉටු කරන ලෙසත්, මාස කිහිපයකට පෙර ඔබ විසින් ලබාදුන් උපදෙස් අනුව බලධාරීන් කටයුතු කරන බවට වගබලා ගන්නා ලෙසත්, ඉල්ලා සිටින්නෙමු. අගමැතිතුමා සහ සියලූම දේශපාලන පක්ෂ හා සන්ධාන නායකයින් මෙයට සම්පුර්ණයෙන් සහාය දක්වන ලෙසටත්, මෙම තීරණය ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙසටත්, අපි ඉල්ලා සිටින්නෙමු.’

යනුවෙන් ‘ඉඩම් අයිතිය පිළිබඳ ජනතා සන්ධානය’ අදාළ බළාධාරීන්ගේ ඔවුන්ගේ පොරොන්දුව යලි සිහිපත් කළේ, පසුගිය ජනවාරි 2වනදාය.(Full Statement)

ජනවාරි 26 තවත් වටයකින් ඉදිරියට


දෙසැම්බර් 31වනදා ට පෙර ඉඩම් ලබා දෙනවා යැයි කියූ ජනාධිපතිවරයාගේ පොරොන්දුව ඉටු නොවුන තත්ත්වය තුළ දී, කේප්පාපිලව් හී විරෝධතාවයේ නිරත ධෛර්යවන්ත ස්ත්‍රීන් මූළික 10කට ආසන්න පිරිසක් සිය විරෝධතා පුවරු ද සමග හමුදා කදවුරේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ට සිය විරෝධය රැගෙන ගියේ පසුගිය ජනවාරි 26වනදා උදෑසනය. එයට ද පොලීසිය විසින් වාරණ නියෝගයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. නමුත් අධිකරණය විසින් උද්ඝෝෂණ කිරීමට ජනතාව සතු අයිතිය පිළිගෙන තිබූ අතර, එම සාමකාමී විරෝධතාවයට බාධා නොකරන ලෙස පොලීසයට අවවාද කර තිබුණේය. මාර්ග අවහිර නොකිරීමටත්, කඳවුරට ගල් නොගැසීමටත් සහ පොදු ජනතාවට බාධා වන අයුරින් කිසිඳු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු නොකරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා විරෝධතාවය සංවිධානය කරන ධෛර්වන්ත ස්ත්‍රීන්ට අවවාද කොට තිබුණි.

ජනතාවගේ විරෝධතා දැක්වීමේ අයිතියට බාධා කරන පොලීසිය


නමුත් ස්ත්‍රින් 10කට ආසන්න ප්‍රමාණයක් හමුදා කදවුර ගේට්ටුව අසලට පැමිණෙන විට පොළිස් නිළධාරීන් 45කට ආසන්න ප්‍රමාණයක්, බස් රථයක්, ලොරියක්, ජීප් රථයක් සහ කාරයක් හමුදා ගේට්ටුව ඉදිරියේ නතර කර තිබුණේය. මද වේලාවකින් අනිකුත් ගම් වැසියන් පිරිසකුත් එම විරෝධාතාවයට එක් වූ අතර, පොළිස් වාහන පාර අසල නතර කර තැබීම හේතුවෙන් විරෝධතාකරුවන්ට සිය විරෝධය දැක්වීමට ඇති සියලු අවස්ථා පොලීසිය හිතාමතාම අවහිර කර තිබුණේ අධිකරණය විසින් පිළිගත් ‘විරෝධය දැක්වීමේ අයිතියට’ ද හිතා මතාම උල්ලංඝණය කරමිනි. ඒ නිළ ඇදුම් ද ඇදගනය. එහි දී කැපී පෙනෙන ‘සිදුවීමක්’ වූයේ, පොලීසිය සිටිය යුත්තේ සිවිල් ජනතාවගේ අයිතින් ආරක්ෂා කිරීමට වුවත් එම අවස්ථාවේ පොලීසියේ හැසිරීමෙන් නිරීක්ෂණය වූයේ ඔවුන් සිවිල් ජන අයිතින් ආරක්ෂා කිරීම වෙනුවට, නීති විරෝධීව මිනිසුන්ගේ සාම්ප්‍රදායික ඉඩම්වල යුද්ධයෙන් පසුව ද වාඩි ලා සිටින හමුදාවේ අවශ්‍යතාවයන් මනා ලෙස ඉටුකරන බවය. පොලීසිය එවැනි ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස කටයුතු කරන විට එම පීඩිත ජනයා පොලීසිය සමග කිසිදු ආකාරයක ගැටුමකට නොගියේ, වසර ගණනාවක් පුරා තම හිසමතට එල්ල කළ පීඩනය මෙම වෙනස් කොට සැලකීමට වඩා බියකරු, මෙන්ම වේදනා දනවන්නක් බව යළි යළිත් සිහිගන්වමින්ය.

ඔතන ලිප පත්තු කරන්න එපා, පොලිස් ට්‍රක් එක තියනවා’ යැයි දහවල් ආහාර පිසීමට එම ස්ත්‍රීන් සූදානම් වන විට පොලීසියේ නිළධාරියෙක් කීවේය.

අනේ මහත්තයෝ ට්‍රක් එක පොඩ්ඩක් පස්සට ගන්න එතකොට හරි නේ’ ස්ත්‍රියක් ඉතා සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නාය.

ඔයාල යන්න’ නිළ ඇදුමේ බලයෙන්, ගිනි අවුවට වඩා තිව්‍ර ලෙස පිළිතුරු දුන් පොලිස් නිළධාරියා, ‘මෙතන ඕවා කරන්න බෑ’ නැවත වරක් කීවේ, සිය සාම්ප්‍රදායික භුමිය ඉල්ලා දින 700කට ආසන්න ප්‍රමාණයක් සාමකාමී ලෙස උපවාසයේ යෙදී සිටින වින්දිත ස්ත්‍රියකටය.

විරෝධතාකරුවන් 15කට වැඩි නැති පිරිස, හමුදා ගේට්ටුව ට විරුද්ධ පසින් සිය පුවරු ඔසවා ගනිමින් සිය කුඩා දරුවන් ද සමග සිය සාමකාමී විරෝධය පවත්වාගෙන ගියේ, සිය භූමියේ අයිතිය වෙනුවෙනි. ඒ පොලීසියේ 45 දෙනෙක්ගේ වටලෑමට මැදිවය ය.

හමුදා ඡායාරූප


සිය සාම්ප්‍රදායික ඉඩම් අල්ලා සිදුකරන සාමකාමී අරගල, අතුරුදහන්කළ සිය සමීපතමයින්ගේ තොරතුරු ඉල්ලා සිදුකරන උපවාස වීඩියෝ කිරීම, ඡායාරූප ගත කිරීම පසුගිය කාලය පුරාම යුද හමුදාව, ගුවන් හමුදාව සහ ආරක්ෂක අංශවලට සම්බන්ධ සිවිල් ඔත්තුකරුවන් ඇතුලු පිරිස්ගේ දෛනික කාර්යක් වී තිබුණි. 26වනදා කේප්පාපිලව් හි දීත් යුද හමුදාව එම කාර්ය රහසිගතව සිදුකළත් එය රහසක්ව පවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි විය. විරෝධතාකරුවන් සහ එම ස්ථානයට පැමිණෙ සියලු දෙනා සිය කැමරාවල සටහන් කර ගැනීමට ඔවුන් වෙහෙසක් ගත් අතර එයට පොලීසියේ නොමද සහය හිමි වී තිබුණේ රාජපක්ෂ පාලන සමයේ, සාමකාමී විරොධතාවයන්ට සිදුකල බලපෑම් යළි යළිත් සිහිගන්වමිනි.

‘එයාලා හදන්නෙ පොටෝ අරගන අපිව බයකරන්න, අපිට අය මොනවද වෙන්න තියෙන්නේ. උන දේවල් හොදටම ඇති. අපි ඔය පොටෝවලට බය නෑ. අනිත් එක අපි නීති විරෝධි වැඩක් කරන්නේ නෑ. එයාලා තමයි ඔය වැඩ කරන්නේ. පොටෝ අරගන්න එකත් නීති විරෝධියි.’ ඒ ධෛර්යවන්ත ස්ත්‍රින්ගේ මුවගින් පිට වූ වචනය.

ආරක්ෂක අංශ මෙසේ ඡායාරූප සහ විඩියෝ ගත කිරීම් සිදු කරන්නේ ඔවුන් කවුද කියායැයි දැන ගැනීමට නොව එම ජනයා බිය ගැන්වීමට බව, පසුගිය කාලය පුරා උතුරේ සිදුවුනු සාමකාමී අරගල සියැසින් දැක ඇති ලියුම්කරුගේ නිරීක්ෂණයයි. එය තුවක්කුවෙන් කළ නොහැකි දේ කැමරාවෙන් කිරිමට ගන්නා ලද ලැජ්ජා සහගත වෑයමක් ලෙස යමෙක් කිවහොත් එය වැරදි නැත.

නැවත නැවතත් උසාවි නියෝග

කේප්පාපිලව් ජනයා 26වනදා සිට නොනවත්වා සිය විරෝධය දැක්වීම සිදුකරන බව ප්‍රකාශ කිරීම හේතුවෙන්, විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය සිය උපරිම වෑයමක් ගත් නමුත් ඒ සියල්ල ව්‍යවර්ත වූයේ, ඒ ධෛර්ය සම්පන්න ස්ත්‍රීන්ගේ ඉවසිමත්, සිය අරමුණ ඉෂ්ට කර ගැනිමට ඇති ප්‍රභල ඕනෑකමත් නිසාය.

නමුත්, පොලිසිය සිය අවසන් උත්සහය ද ගත්තේය.

ජනවාරි 26වනදා සෙනසුරාදා දිනයක් වුවත්, නැවත වරක් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් අධිකරණ නියෝගයක් ලබා ගත්තේය. මුලතිව් අධිකරණයේ හී වැඩබලන මහසේත්‍රාත්වරයා විසින් B/109/2019 අංක දරණ අධිකරණ නියෝගයක් නිකුත් කලේය. අධිකරණ නියෝගය රැගෙන පොලීසිය පැමිණෙන විට රාත්‍රිය උදාවි තිබුණු අතර අධිකරණ නියෝගයෙන් කියැවුනේ හමුදා කඳවුරේ ගේට්ටුවේ සිට මාර්ගයේ දෙපසට මීටර 75ක් දක්වා දුර, විරෝධතාකරුවන්ට තහනම් සීමාවක් වන බවත්, මීටර් 75කට පසුව ස්ථානයක සිය විරෝධය දැක්විමට අවසර ඇති බවත්ය.

වලං, පිගං ප්‍රමාණයක්, කෑමට බත් සහ අල ගෙඩි ප්‍රමාණයක්, වතුර කෑන් කිහිපයක් සමග සිටි ස්ත්‍රීන් 10දෙනෙක් ගේ විරෝධතාවයකට පොලීසියේ 45 දෙනෙක්, තවත් අධිකරණ නියෝගයක් ගෙන ඔවුන්ගේ ධෛර්ය නැති කිරීමට ගත් උත්සහාය යුද්ධයෙන් වසර 10ක් ගෙවෙන මේ මොහොතේ සාමය, සංහිදියාව සහ මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කිරන සියලු දෙනා නැවත නැවතත් කියවා ගත යුතු තත්ත්වයකි.

මීටර් 75කින් එහා අගලක් සමග විරෝධයක්


අපි අධිකරණ නියෝගයට ගරු කරනවා’ ස්ත්‍රින් හරියටම මිටර 75ක් සළකුනු කිරිමෙන් පසු හමුදා ගෙට්ටුවෙන් එපිට සිය විරෝධය සදහා රාත්‍රියේම සූදානම් වූයේ ඝන කලුවරේ, අගාධයක් සහිත ස්ථානයක කුප්පි ලාම්පු එළියෙනි. පොලීසිය ද ඉන් මීටර 50කට වන්නට හමුදා ගෙට්ටුව අසල රැදී සිටියේ හමුදාව ආරක්ෂා කිරිම, ජනතාව ආරක්ෂා කිරීමට වඩා වැදගත් බව සිතමින් බව පෙනෙන්නට විය.

මදුරුවන්ගේ නොනැවතුනු වද දිම් හමුවේ කුප්පි ලාම්පු එළියෙන් රැය පහන් කලේ, සෑම තැනම අලංකාරවත් ලෙස දැල්වෙන සිය ඉඩම්වල, හමුදාව විසින් තැනූ ලයිට් එළි දෙස සිය දෑස් යොමාගෙන ය. . තම ඉඩම් දෙස බලා සිටි ස්ත්‍රින් ගේ වේදනාබර දෑස්, රාත්‍රියේ හමුදා කදවුර තුළ දැල්වෙන් ලයිට් එලියෙන් ‘යහපාලනය’ තවමත් නොදුටු සේයකි.

ඒ වෙනුවට ඔවුන් හමුවට පැමිණෙන සියලු දෙනා සුපුරුදු ලෙස විඩියෝ ගත කිරීමට හමුදා කැමරා අටවාගෙන බලා සිටි කොහේ හෝ ගම්මානයක තරුණයෙක් කදවුරේ විසල් වැට අසල හොරගල් ඇහුලුවේය. වරෙක උස්ව ඉදිකෙරුනු මුර අට්ටාලයකට නැග සිය කැමරාව විරෝධතා කරුවන් වෙත මානාගෙන සිටියේ ය. තවත් වරෙක ගසකට මුවා වී සිය කැමරාව මානා ගත්තේ සතුරෙක්ට සිය තුවක්කුව එල්ල කරන්නාක් මෙන්ය. ‘ඇයි හැංගිලා ගන්නේ, ගන්න අපිව’ ස්ත්‍රීන්ගේ ධෛර්වන්ත අදහස තුළ කිසිදු ආකාරයක තරහක් හෝ වෛරයක් මුසුව ඇතැයි නොදැක්කෙමි.

‘මේ තියෙන්නේ අපේ ඉඩමට යන පාර, අඹ ගස් විතරක් 22ක් තියනවා, අනිත් ඒවා පොල්, දැන් මෙතනින් යන්න බැහැ පාර වහලා, අර පෙන්නේ අඹ ගස් විතරයි’

සිය ඉඩම ට අත දිගු කරමින් සිය සාම්ප්‍රදායික භුමියේ සාරවත් බව වචන වලට පෙරලන්නට ඇයට ගත වූයේ සුලු වේලාවකි.

ඒ ඔවුන්ගේ බිමයි.

ඔවුන්ගේ සියලු මතකයන් රැදි, සුවද රැදි, වේදනා රැදි ඔවුන්ගේ බිමියි.

එහි අයිතිය ඇත්තේ ඔවුන්ට මිසක් වෙන කිසිවෙකුටවත් නොවෙයි.

ශිෂ්ට මිනිසුන් තේරුම් ගත යුත්තේ එයයි.

තවත් අධිකරණ නියෝගයකින් පොලීසිය පරාජය වෙයි

සියලු අධිකරණ නියෝග පිළිපදිමින් සාමකාමි ලෙස සිය විරෝධය දක්වමින් කදවුර ගේට්ටුවෙන් මීටර 75ක් වන්නට වන ස්ථානයේ සිටින ස්ත්‍රීන් එතැනින් ඉවත් කිරීම සදහා නැවත වරක් පොලීසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත්තේ පසුගිය පෙබරවාරි 6වනදාය. පොලීසිය විසින් ඉල්ලා ඇත්තේ ‘හමුදා කදචුරටට නොපෙනන‘ තැනකට මෛ විරෝධය ගෙන යන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය. නමුත් නැවත වරක් අධිකරණය විසින් ‘ජනතාවට සාමකාමී ලෙස විරෝධය දැක්වීමේ අයිතිය’ යලි තහවරු කරමින් පොලීසියේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ධෛර්වන්ත ස්ත්‍රීන්ගේ ඉවසිලිවන්ත භාවයත්, වීර්යයත් හමුවේ පොලීසියේ අයුක්ති සහග ඉල්ලීම් නැවත වරක් පරාජයට විය. කෙසේ නමුත් පොලීසියේ මෙම හැසිරීම හුදකලා සිදුවීමක් නොව එයට හමුදාව ද සම්බන්ධ බව ඕනෑම අයෙක්ට පෙනේන සත්‍යකි. නමුත් මහ පොළවේ සත්‍ය සහ කේප්පාපිලව් මිනිසුන්ගේ නොපසුබට ධෛර්යත් හමුවේ, ‘මිලිටරියේ’ මෙන්ම පොලීසියේ අධිපතිවාදී, අයුක්ති සහගත ක්‍රියාවලිය ජයග්‍රහණය කරන්නේ නැත. ඒ වෙනුවට, යුද්ධයෙන් වසර 10ක් ගතවෙමින් සිටිය දී ද පෙන්නුම් කරමින් ඇත්තේ, ඉඩම් අහිමි ජනයා තවදුරටත් සිය මිලිටර් සපත්තුවෙන් යටකරමින් සිය මිලිටරි ඕනෑ එපාකම් සකස් කර ගැනීමට ගන්නා මුග්ධ උත්සහයකි. ඒ උතසහය පරාජය කිරීම මානව හිමිකම් සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන්ගේ යුතුකමක් වන්නේය.

මේ සටහන ලියන මොහොත දක්වා සිය සාමකාමී විරෝධයේ නිරත කේප්පාපිලව් මිනිසුන් ඉල්ලා සිටින්නේ අන් කිසිවක් නොව, වසර ගණනාවක් සිය ජීවිතය, ජිවත් කරවූ සිය සාම්ප්‍රදායික භුමිය යි. ඒ භූමියේ අයිතියයි. ජනාධිපතිවරයාට නැවත මතක් කරන්නට ඇත්තේ තමන් උතුරේ මිනිසුන්ට ලබා දුන් පොරොන්දුව ඉෂ්ට කරන ලෙසයි. එසේ නැතිව මානව හිමිකම්, රාජ්‍ය නොවන සංවිධානවලට දවස පුරාම දෙස් දොවොල් තැබීමෙන් සිය පොරොන්දුව ඉෂ්ට වන්නේ නැති බවත්, කල යුත්තේ ඒ මිනිසුන්ගේ අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කරන ලෙසත්ය.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon(කේප්පාපිලව් සංචාරයකින් පසුව)