Cartoon By: Shanika Somathilaka/twitter

ජනාධිපති සිරිසේන මහ රෑ වැඩකාරයෙකි. මෙවර ඔහුගේ මහ රෑ වික්‍රමය වූයේ රාජ්‍ය පාලිත රූපවාහිනී සංස්ථාව තමන් යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමයි. මෙවැනි දේ සිදුවන්නේ යුද්ධ කාලවලදී ය. මෙම පවරා ගැනීමටත් යුද්ධ පසුබිමක් තිබේ. ඒ සිරිසේන-රනිල් යුද්ධයයි.

මෙම පවරා ගැනීම සිදු වූයේ ජනාධිපතිවරණ නාම යෝජනා කැදවීම අත ළගටම පැමිණ තිබියදි වීම තත්ත්වය තවත් බරපතල කරයි. පසුගිය 03දා පැවැති සිරිසේන නායකත්වයෙන් යුතු ශ්‍රීලනිප 68වන සංවත්සරයේ ප්‍රචාරය සඳහා රූපවාහිනි සංස්ථාව පාවිච්චි කරන ලද්දේ කිසිදු ලැජ්ජාවක් බයක් නැතිව ය. එම ප්‍රචාරය අගමැති වික්‍රමසිංහට එල්ල කරන ලද දරුණු ප්‍රහාරයක් බවට ද පැමිනුණි.

පසුගිය 10දා සවස් යාමයේ ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන බලහත්කාරයෙන් රාජ්‍ය පාලිත රූපවාහිනිය අල්ලා ගන්නට සිය අන්තේවාසිකයින් කණ්ඩායමක් යැවුවේ ය. ඒ එහි පාලනය, එජාපය විසින් පාලනය කරන අයිටීන් හි ප්‍රධානියකුට පැවරීම බල ගැන්වීමට ය. මෙම කණ්ඩායමෙහි පැමිණීම නිසා රූපවාහිනී ආයතනය තුළ ගැටුම්කාරි තත්වයක් උද්ගතවීමට ආසන්න විය.

අයිටීඑන් නාලිකාව ද අද පවත්වාගෙන යන්නේ එය සතුව තිබූ මිලියන සිය ගණනාවක ස්ථිර තැන්පතු උලා කෑමෙනි. එහි සේවක සංඛ්‍යාව එක් දහස පනී. (රාජපක්ෂවාදි ජනප්‍රිය රූපවාහිනී නාලිකා පවත්වාගෙන යන්නේ සිය ගණනාවක සේවක පිරිසක් පමණක් යොදා ගැනීමෙනි.) එජාපයේ දේශපාලන හොරණෑවක් වන අයිටීඑන් ප්‍රධානියකු රූපවාහිනී සංස්ථාවේ සභාපති කිරීමට රුවන් විජේවර්ධන උත්සාහ කළේ එය ලාභ ලබන ආයතනයක් කිරීමට යැයි කීම ගල් පැලෙන බොරුවකි. රූපවාහිනිය රනිල්ගේ ඥාතියකු වන විජේවර්ධන විසින් අල්ලා ගැනීමට ගියේ එහි සිරිසේනට සහ සජිත් ප්‍රේමදාසට දෙන ප්‍රචාරය නැවැත්වීමට ය.

සිරිසේන වුවත් වික්‍රමසිංහ වුවත් රාජපක්ෂ වුවත් රාජ්‍ය ජනමාධ්‍ය සළකන්නේ තමන්ට රිසි පරිදි දේශපාලන ප්‍රචාරය ගෙන යා හැකි එමෙන්ම හෙංචයියන්ට රැකියා ලබාදිය හැකි උපාංග ලෙස ය. විජේවර්ධන රූපවාහිනිය අල්ලා ගැනීමට ගියේත් සිරිසේන මහ රෑ ගැසට් නිවේදනයක් මගින් එය තමන් යටතට ගත්තේත් ඒ් නිසා ය. ඇත්ත ප්‍රශ්ණය එයයි.

නිකමට හිතන්න. රාජ්‍ය ජනමාධ්‍ය ස්වාධීන කොමිසමක් යටතට පත් කර තිබුණේ නම් මේ දෙන්නාටම මේ නැටුම නටන්න ලැබෙන්නේ නැත.

රාජ්‍ය ජනමාධ්‍ය සම්බන්ධයෙන් එවැනි වෙනස ඇති කරන සේ බලකිරීමට 2002 පරිවාස ආණ්ඩුව සැදු අවස්ථාවෙහි ජනතා විමුක්ති පෙරමුණට මහඟු අවස්ථාවක් තිබුණි. එමෙන්ම 19වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද අවස්ථාවෙහි ද ජවිපෙට, දෙමළ ජාතික සන්ධානයට සහ යහපාලන සිවිල් සමාජ කණ්ඩායම්වලට ඒවැනි අවස්ථාවක් තිබුණි. නමුත් අප වැනි පිරිස් හැර ඒ කිසිවකු රාජ්‍ය ජනමාධ්‍ය ප්‍රජාතන්ත්රීයකරණය කරන ලෙස බලපෑම් කළේ නැත.

ජවිපෙ කල්පනා කරනු ඇත්තේ වීනයේ, වියට්නාමයේ සහ කියුබාවේ මෙන් ජනමාධ්‍ය රාජ්‍ය යටතේ තිබිය යුතු යැයි කියා ය. අඩුම වශයෙන් රාජ්‍ය ජනමාධ්‍ය එළෙසම තිබිය යුතුයැයි එය කල්පනා කරන්නේ සම්ප්‍රධායික කොමියුනිස්ට් රාමුවට පිටින් සිතීමට බැරි නිසා විය හැකි ය. රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් ජවිපෙට ඉදිරිගාමි දැක්මක් නැත.

යහපාලන සිවිල් සමාජ කණ්ඩායම් කල්පනා කළේ රාජ්‍ය මාධ්‍ය එජාප ආණ්ඩුව යටතේ තබාගෙන ප්‍රචාරක කටයුතු කළ යුතු යැයි කියා ය. ඒබැවින් ඒවා ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමට විරුද්ධ විය. තවමත් යහපාලන සිවිල් සමාජ කණ්ඩායම් සහ මාධ්‍යවේදීන් එජාපය පිටුපස යමින් කරු ජයසූරිය වේදිකාවට වැඩම්මවීමට පාවාඩ එළමින් සිටින්නේ ද මෙම බැදීම නිසා ය.

දෙමළ ජාතික සන්ධානය හුදෙක් කලාපීය දේශපාලන පක්ෂයක් බැවින් එය මෙවැනි ප්‍රශ්ණ ගැන උන්නදුවන්නේ නැත. එහි අවධාරණය තිබෙන්නේ බලය බෙදා ගැනීම ගැන පමණකි. එය රාජ්‍ය මාධ්‍ය හෝ පොදුවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ ගැන උනන්දුවක් දක්වාම නැත.

සිරිසේනට සහ රනිල්ට (විජේවර්ධන යනු රනිල්ගේ ඉත්තෙකි) මහජනයාගේ මුදලින් නඩත්තුවන දැවැන්ත රාජ්‍ය මාධ්‍ය යාන්ත්‍රණය සිය දේශපාලන බූදලයක් සේ සළකා ගැලවිජ්ජා සදහා යොදා ගැනීමට හැකිව තිබෙන්නේ මෙන්න මේ නිසා ය. සිරිසේනගේ ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් පසු එවකට ජනමාධ්‍ය ඇමැති වූ සමරවීර රාජ්‍ය මාධ්‍ය මහජන සේවා ජනමාධ්‍ය බවට පත් කිරීමට යැයි කමිටුවක් ද පත් කළේ ය. අද ඒ කමිටුවට සිදු වූ දෙයක් නැත. ඒවැනි වෙනසක් ඇති කර ගැනීම සඳහා ඇති වූ විවිධ සිවිල් සමාජ සාකච්ජා එකී කාමරවලින් පිටතට ගියේ නැත.

සිරිසේනගේ මහ රෑ ගැසට් නිවේදනය මෙන්ම රූපවාහිනී සංස්ථාවට සිය හෙංචයියන් යවා බලයෙන් සභාපතිකම ගැනීමට වික්‍රමසිංහ දැරූ වෑයම ද හෙළා දැකිය යුතුය. මෙම ගැටුම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුරවැසියන් ලෙස අපගේ ආරම්භක ස්ථානය විය යුත්තේ රාජ්‍ය මාධ්‍ය, ස්වාධීන මහජන සේවා මාධ්‍ය බවට පත්කිරීමේ අවශ්‍යතාවය මිස මේ අශිෂ්ඨ බලපොරයේ කවර පාර්ශවයක හෝ අතකොළු බවට පත්වීම නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍යයේ මූලික වගකීම වන්නේ පුරවැසියා දැනුවත් කිරීමයි. සමජයට බලපාන වැදගත් කාරණා සම්බන්ධයෙන් වාද විවාද සඳහා වේදිකාවක් සැපයීමයි.

හිටපු ජනමාධ්‍යවේදියකු විසින් විශ්ව බලයෙන් ලෙඩ සුව කරන බව කියා කැඳවන ලද විසි දහසක පමණ පිරිසක් ගිනි කාෂ්ඨ අව්වේ පිච්චී ඉන් තිදෙනෙකු මිය ගියේ ද පසුගිය සතියේ ය. සිරිසේන විසින් රූපවාහිනි සංස්ථාව සිය යටතට ගැනීමට අප සමාජයෙහි ඇති විරුද්ධත්වය පෑම් වලින් සියයට එකක හෝ විරෝධයක් මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ඇති වූයේ නැත.

එපමණක් නොව මෙම ඛේදවාචකය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය විසින් නිහඩතාවයේ කුමන්ත්‍රණය මගින් යටපත් කරන ලදී. ඇයි කියා පොඩ්ඩක් කල්පනා කර බලන්න.

ඒ මෙවැනි කපටි අද්භූත මායාකාරයන් ගැන විශ්වාසය ගොඩ නගන්නේ තමන් විසින්ම බව ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය දන්නා නිසා ය. අද සමහර සති අන්ත පුවත්පත් ජිවත්වන්නේම මෙවැනි අද්භූත ව්‍යාජ කතා විකිණීම මගිනි.

කලකට පෙර නිකවැරටියේ බෝගසක බුදුන් පහළ වී ඇතැයි කියා පතුරුවන ලද වංචාවට දස දහස් ගණන් ජනයා හසු කරවන ලද්දේ ද ජනමාධ්‍ය විසින්ම ය. ඉන්පසු පංසලක වතුර බී ලෙඩ සුවකර ගැනීමට දස දහස් ගණන් කුරුණෑගලටම ආහ. දැන් විශ්ව බලයෙන් ලෙඩ සුව කර ගැනීමට දහස් ගණනින් යති.

අනෙත් අතට, රටේ දේශපාලන නායකයින් පේළි සැදී ඉන්දියාවට ගොස් නොපෙනන දෙවියකු ඉදිරියේ බියෙන් ත්‍රස්තව යාඥා කරන රටක, ඉන්දියාවේ ඒ දෙවියා ළගට යන්න බැරි ජනයා හොරොව්වපතානටවත් නොගිහින් වෙන මොනවා කරන්නද? මෙලෙස විශ්ව බලයෙන් ලෙඩ සුවකර ගැනීමට දස දහස් ගණනින් ඇදී යාමෙන් පෙන්නුම් කෙරනේනේ මෙරට ජනයා කොතරම් අසරණ වී ඇත්ද යන්නයි. අසරණ වූ ජනයා මුලා කර ගැනීම හොර විශ්ව බල වෙදුන්ට මෙන්ම දේශපාලකයින්ටත් පහසුය.

ජනමාධ්‍ය විසින් නොවිමසන ලද ඊළඟ කතාව ද පසුගිය සතියේ දිග හැරුනේ විශ්ව බලයෙන් තිදෙනෙකු මිය ගිය ඒ හොරොව්වපතාන පංසලෙන්ම ය. එහි අකල්හි මහණ කරන ලද කුඩා දරුවන් දෙදෙනෙකුට ගිහියකු විසින් පහර දෙන වීඩියෝව ලැව් ගින්නක් මෙන් පැතිර ගියේ ය. මේ කුඩා දරුවන් දෙදෙනා චොකලට් පෙත්තක් හොරා කෑම පහර දීමට හේතුව විය.

මෙම සිදුවීම විසින් මතු කරන ලද ඇත්ත ප්‍රශ්ණ වූයේ දරුවන් මහණ කිරීම සාධාරණ ද ඔවුන් කොතරම් අපයෝජනයන්ට ලක් වන්නේ ද සහ අප සමාජයේ ඇති ප්‍රචණ්ඩත්වයයි. අප ඒවා ගැන කතා නොකර සමස්ත සිදුවීමම පහර දුන් පුද්ගලයාට දඩුවම් කිරීමට ලඝු කරමු. එම දරුවන් දෙදෙනොට පහර දීමෙන් පෙන්නුම් කැරෙන්නේ අප සමාජය දරුවන්ට එරෙහිව කායික පහරදීම් කරන අන්දමයි. නමුත් ඒ ගැන අපි කතා නොකරමු. දරුවන් මහණ කිරිම අපි ප්‍රශ්ණ නොකරමු.

ඇත්ත ද බොරුද කියා ඔබම කල්පනා කර බලන්න.

හොරව්පතාන වීඩියෝව සමාජය කැළඹූ අන්දමින්ම එතෙර මෙතෙර යුක්තිගරුක ජනයා කැළඹූ තවත් විඩියොවක් සමාජ ජාලයට එක් වූයේ ද ගිය සතියේ ය. ඒ කලුතර බෝධිය බලන්නට ගිය මෙරට සිය ආගමික උත්සවයට ආ බෝරා මුස්ලිම්වරුන්ට සිංහල බෞද්ධයකු විසින් බැන වදින වීඩියෝවකි. එම කණ්ඩායමට පිරිමි දෙදෙනෙකුද කාන්තාවන් තිදෙනෙකු ද ඇතුලත් විය. අර කී සිංහල බෞද්ධයා විසින් බැනවදිමින් ඒ පිරිස එලවා ගනු එම වීඩියෝවෙන් දැක්වේ. එම සිංහල බෞද්ධයා ඉංග්‍රීසියෙන් මෙසේ කියයී. ‘මේක අපේ රට. මොකටද මෙහාට ආවේ? මේක ඉන්දියාව වගේ මුස්ලිම් රටක් නොවෙයි. යනව.’ ඒ අතර සිංහලෙන් මෙසේ කියයි. ‘මුං ගෙන්න එපා බං’

ඒ අතර සිටි බෝරා කාන්තාවක් ආපසු යන ගමන් මෙසේ කියන්නේ හිතෙශී මුහුණුවරිනි. ‘අපට සමාවෙන්න’.

නියම බෞද්ධයා කව්ද?

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya