iMage:660citynews/AP Photo


‘ඊනියා විනය වියරුව’ පරාජය කිරීම මෙන්ම ‘අලුත් දේශපාලන සංස්කෘතියක්’ ද දිනා ගත යුතුය

ජනාධිපතිවරණ වේදිකාවන් වල උණුසුම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. ඒ උනුසුමින් පිලිස්සෙන ගානට ඇතැම් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණවල ඇතැම් දේ සදහන් ව තිබේ. ‘ඩිජිටල් රටක් හදන ගමන් ශාන්තිකර්ම සදහා අවශ්‍ය උපකරණ ලග තබා ගැනීමට නීත්‍යානුකුල අයිතියක් දෙනවා’ යැයි කියන කතා එක උදාහරණයකි. ඒ රටත් තුළ චෝදනා ලත්, එම රටේම ජනාධිපති අපේක්ෂක ධූූරය ලැබූ ගෝඨාබයගේ ප්‍රතිපත්තිය. එය ලෝකයටම එකකි. ඔහුම, වී වගාව සදහා පොහොර, නොමිලේ දෙනවා යැයි කියන විට, ජානාධිපතිධූර අපේකෂක සජිත්, ‘මම සියලු බෝග සදහා පොහොර නොමිලේ දෙනවා‘ යැයි කියන්නේය. ඒ කියනකොට ‘ඒ පොහොරත් එක්ක වකුගඩුවකුත් දෙන්නැයි’, සමාජ මාධ්‍යන් හි අයෙක් ලියා තිබිණි.

මේ සටහන ලියන්නේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති විශ්ලේෂනය සදහා නොවේ.

මේ වේදිකාවල ඇසෙන කතාවක් ගැන අදහසක් මතු කිරීමටය. එනම් ජාතික ජන බලවේගය, ‘පොදු අපේක්ෂකයෙක්‘ ට සහය දෙනවා වෙනුවට, වෙනම තරග කිරීමෙන් වෙන්නේ ගෝඨාබයට එරෙහි සටන දුර්වල කිරීමක්.., ඔවුන්ට තිබුණේ හංසයාට සහය දෙන්න…., ඔවුන් කරන වැඩෙන් ශක්තිමත් වෙන්නේ ඒකාධිපති ගොඨාබයයි…, ආදී නොයෙක් කතා ඇසෙයි. ඒවා වල පොදු ලක්ෂණය ගත් විට 2015 මෙන් රාජපක්ෂලාට විරුද්ධ කදවුරට ජවිපෙ සහය දිම තමයි වැදගත් ම දෙය. වෙනත් විකල්ප වැඩක් නැත යන්නය. එහි අනෙක් අරුථ නම්, ජවිපේ වැනි පක්ෂ සැම දාම ප්‍රධාන යැයි කියා ගන්නා පක්ෂවල යෝජනා වෙනුවෙන් සහය දිය යුතුය. එය තීරණය වන්නේ ඡන්ද පදනම මතයි. ඒ කියන්නේ සංඛ්‍යාව මතයි. එජාපයට, ජවිපෙට වඩා ඡන්ද වැඩි බැවින් සෑම විටම ජවිපෙ වැනි ඡන්ද අඩු පක්ෂ, විශේෂිත අවස්ථාවල ඔවුන්ට අනුව ක්‍රියාකල යුතුය. එය ජාතික වැදගත්කමක් ලෙස ඒ මහා යැයි සම්මත පක්ෂ විසින් රූපාන්තරනය කරනු ලබයි. නමුත් එහි අනෙක් පැත්ත ගැන කවදාවත් කිසිවෙකුත් සිතන්නේ නැත. ඒ මහා යැයි කියන පක්ෂ, ඡන්ද පදනමින් කුඩා යැයි කියන පක්ෂවල අදහසට එකගව ඔව්නට සහය දීමට කල්පනා කරන්නේ නැත. එය ඇතැම් විට විකාර යක් යැයි කියයි. එයින්ම පෙනෙන්නේ ඡන්ද සංඛ්‍යාව මත තීනුද් කරනු ලබන අධිපති තත්ත්වයිකි. නමුත් දැන්වත් සංඛ්‍යාව පදනම් කර ගෙන සිදුකරනු ලබන අධිපති තත්ත්වය වෙනුවට, ගුණය මත සිදු කරන ක්‍රියාවලියක් වෙනුවෙන් පෙනී සිටීමට ලංකාවේ දේශාපලනයට නොහැකිද?

දැන් මෙම ජනාධිපතිවරණයේදී,

කෙනෙක් මෙහෙම යෝජනාවක් කරොත්, 2015 දී මහින්ද ‘රාජපක්ෂ වියරුව’ පැරදවීම සදහා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්(ඇතැමුන් කියන විදිහට කතා කලේත් එදයි, වැඩවලට ආපු කෙනෙකුත් නෙමෙයි, සිවිල් සමාජයට උදව් කරපු කනෙකුත් නෙමෙයි, අපි දන්නෙත් නෑ, එදවස කීවේ ය) මෛත්‍රීපාල සිරිසේන ගෙන ආවේය. එයට ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු බොහෝ දේශපාලන පක්ෂත්, සිවිල් සමාජයත් ඒ ‘පොදු අපේකෂකයා’ දිනවා,. රාජපක්ෂ පාලනය පරාජය කිරීම සදහා පෙරමුණු ගත්තේය. එය ඉටු විය. සිපුරුදු පරිදි ප්‍රතිපත්තිමය කරුණු දක්වා ජවිපේ ඉවත් විය. ඒ පොදු අපෙක්ෂකයා ජනාධිපති වීමෙන් පසු රාජපක්ෂලාගේ ගෝලයන්ට විවිද තානාත්ර ද දුන්නේය. පසුව රාජපක්ෂත් සමග එක්වී ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් රාජපක්ෂ අගමැතිකරවා, දින 52කක් මුලු රටම ආගාධයකට තල්ලු කලේය. ඒ පොදු අපේක්ෂකයා රට කෙරවූ එක් ආකාරයකි.

දැන්, මෙම වරණයේදී, සෑම පැත්තකින් හොදටම දන්නා, විදිමත් ප්‍රතිපත්ති ප්‍රකාශණයක් ඇති, සිවිල් සමාජයේ බුද්ධිමතුන්, කලාකරුවන්, සාහිත්‍යවේදීන් ඇතුලු විශාල පුරවැසි කණ්ඩායමක් සමග එක් පෙරමුණක් ලෙස සංවිධාන ගත වී ඇති ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක දිනවීම තුළින් ගෝඨාබය පරාජය කිරීමටත් එජාපය සහ අනිකුත් අය පෙරමුණ ගත යුතු යැයි යෝජනා කරන්නේ නම් එජාපය ඇතුලු ඇතැම් සිව්ල් කන්ඩායම් කියන්නේ කුමක්ද?

කෙටියෙන් කියන්නේ නම්, සිරිසේන යොදාගෙන මහින්ද පරාජය කළා මෙන් අනුර යොදාගෙන ගොඨා පරාජය කිරීම එජාප ප්‍රමුඛ කදවුරට දැනට තිබෙන වඩාත් වාසිදායකම මෙන්ම ජනතාවට හිතකර ක්‍රියාමාර්ගය නොවන්නේද?

එයට පෙර වදනක් සපයන්නේ නම්, සිවිල් සමාජයේ ඇතැමුන් සජිත් ප්‍රේමදාස ගැන කිවේ මෙසේයි. ‘සජිත් කිසි දවසක සිවිල් සමාජයේ කිසිදු වැඩකට පැමිණ නැති කෙනෙක්, කිස දවසක පාරට ආපු නැති කෙනෙක්, කිසි දවසක ජාතික ප්‍රශ්ණය, මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාරයන් ගැන කිසිවක් නොකියු කෙනෙක්, අවම වශයෙන් ගෝඨාබයට විරුද්ධව පහුගිය කාලයේ කිසිවක් හෝ කතා කලා යැයි අපට මතක නැත‘ මේවා සෑහෙන දුරකට ඇත්තය. එසේම, සජිත්ගේ අදහස් ලිබරල් ද නැත. ඒවා යාවත්කාලීන ද නැත. නූතන දේශපාලන දැක්මක් එහි පෙනෙන්නට ද නැත. සහණාධාර සහ නිවාස හැරුණු කොට රටකට අවශ්‍ය නව දේශපාලන දිශානතියක් ඔහුගේ අදහස් වල නැත. වික්‍රමසිංහ ඒ අර්ථයෙන් ඉදිරිගාමීය. ලිබරල් ය. සජිත් ප්‍රේමදාසට අපේක්ෂක ධූරය ලැබෙන්නේද වික්‍රමසිංහගේ ලිබරල් සංස්කෘතික විභවය නිසාය. එම නිසා සජිත් ප්‍රේමදාස යනු ලංකාවේ අලුත් දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික දිශාවකට පාර කීමට තරම් අප්ඩේට් නැති චරිතයක් පමණි.

නමුත්, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාසට සාපේකෂ්ව, නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය, අධ්‍යාපනය, යහපත් ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම, විශේෂයෙන් මේ දිනවල සියල්ලෝම තලු මරන, ජාතික ආරක්ෂාව ගැන, සිටින ජනාධිපති අපේක්ෂකයන්ට වඩා ඉදිරිගාමී දැක්මක් ඇති අපේක්ෂකයෙකි. (2009 ට පෙර රාජපක්ෂත් සමග එක්ව මානෙල් මල් අතැතිව උතුරු සංහාරය සදහා ශක්තිය සැපවුවා ද මිනිසුන්ට මතකය. නමුත් ඔවුන් ඒ පිළිබද නිශ්චිත අදහසක් තවමත් කියා නැති මුත්, ඇතැම් අවස්ථාවල දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ‘අපේ අතිනුත් අතපසුවීම්, වැරදීම් සිදුවුවා’ යන්නය. එය දියුණු අවස්ථාවකි.)

එබැවන් ගෝඨා පරාජය කිරීමට මෙන්ම, නව දේශපාලන සංස්කෘතියක් සදහා සත්‍ය ලෙසම හංසයා ඇතුලු කණ්ඩායම පෙනී සිටින්නේ නම් කළ යුතු විකල්ප ක්‍රියාමාර්ගය අනුර කුමාර දිසානායක ජනාධිපතිධූර අපේක්ෂකයා වෙනුවෙන් සිය පාක්ෂිකයන් ගේ ඡන්දය ලබා දීම සදහා පෙරමුණ ගැනීම නොවේද? (මෙයට මේ දේශපාලන ධාරාවන් දෙකෙහි දේශපාලන අදහස නොගැලපෙන බවක් කෙනෙක්ට ප්‍රකාශ කළ හැකිය. එවිට පැන නගින ප්‍රශ්ණය නම්, එම දේශපාලන අදහස් තිබියදී පවා 2015 දී මහින්ද පරාජය කිරීම සදහා ජවිපේ එකතු කරගත්තේ කුමන තත්ත්වයන් ගේ සමාන කමක් තිබිය ද යන්න ය. එබැව්න ඒ ප්‍රශ්ණය අදට වලංගු වන්නේ නැත)

එය අනෙක් පසින් තාර්කික වන්නේ ගෝඨාබය පන්නයේ බියකරු අදේශපාලන තත්ත්වය මේ රටෙි මිනිසුන් දන්නා නිසාත්ය. එසේම වසර ගණනාවක් එජාපයේ දේශපාලනය ද මිනිසුන් අත්හදා බලා ඇති නිසාත් ය. එසේම මේ අවස්ථාවේ එජාපය තමන්ගේ දේශපාලන ව්‍යාපාතියේ යම් ඉදිරිගාමී කඩ ඉමක් මතු කර ගැනීමට නම්, යෝජනා කර ඇති ඉහත අලුත් යතුර උපයෝගී කර ගන්නට ධෛර්යක් ඇත්නම්, එක්සත් ජාතික පක්ෂයත්, එයට සම්බන්ධ සිවිල් සංවිධාන කණ්ඩායම් මෙන්ම මේ රටේ සමස්ත ජනතාවටම ජය අත්වනු ඇතැයි යම් අයෙක් උපකල්පනය කරන්නේ නම් එය වැරදි නැත. එසේ නොමැතිව ගෝඨාබය පරාජය කරමින් හංසයා ජයග්‍රහණය කලා වුවද, පවතින තත්ත්වයේ විශාල වෙනසක් ලාංකීය දූපත්වාසීන්ට අත් නොවනු ඇත. අවසානයේදී ‘නපුර’ පරාජය කලා වුව ද, නව දේශපාලනික, ආර්කිත සහ සංස්කෘතික පුනරුදයක් අපට හමු නොවනු ඇති.

එය එසේ වන්නේ පසුගිය 71 වසරම ලංකාව පාලනය කල සියලු පක්ෂ, බලවේග ඡන්දවලින් ජයග්‍රහණය කර ඇතත්, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික අර්ථයෙන් පරාජය වී ඇති නිසාය.

එසේ කිරීම සදහා වික්‍රමසිංහට, සමරවීර ඇතුලු යම් පිරිසකට ඒ සදහා කිසියම් ධෛර්යයක් තිබෙනවා යැයි විශ්වාස කල හැකි වුවත්, එජාපයේ බොහෝ දෙනෙක්ට එම යෝජනාවම නයාට අදු කොල මෙන් විය හැකිය. එය එසේ වන්නේ ලංකාවේ දේශපාලන පක්ෂවල බොහෝ දෙනෙක් වේදිකාවන්, සහ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ‘ජනතාව‘ ‘රට‘ ආදී පුරුෂාර්ථයන් ගැන කෑ ගැසුවත් ඔවුන් විසින් පසුගිය වසර 70 දීම ඔප්පු කර ඇත්තේ ‘තම පක්ෂය‘මම’ ‘පවුල’ ආදී ආත්මාර්තකාමී දේශපාලන ප්‍රවිශ්ටයන්ය.

අද ප්‍රශ්ණය ගතහොත්, ඒ කියන්නේ, ‘ගෝඨාගේ පැමිණිම ඉතාමත් භයානකයි‘, ඒ නිසා ඔහුව කෙසේ හෝ පරාජය කළ යුතුයි’ එය සත්‍යකි. නමුත් එයට ගත යුතු ක්‍රියාමාර්ගය නවීන, ජනතා හිතකාමී විය යුතුය. කෙටියෙන් කියන්නේ නම් ‘2015 සිරිසේන කරුමය’ නොවිය යුතුය. ඒ සදහා දැන්ට භාවිතා කර ඇති ක්‍රියාමාර්ගවල නියෝජිතයන්ට වඩා දේශපාලනිකව ඉදිරිගාමී වන්නේ අනුර කුමාර දිසානායක නොවේද? ප්‍රස්තුතය ගෝඨා පැරදවීම සහ අලුත් දේශපාලන සංස්කෘතියක් නම් එජාපය ප්‍රමුඛ සංධානය විසින් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායකට සහය දිය යුතු නොවේ ද? එසේ වුවහොත්, අත්වන ප්‍රතිපලය වන්නේ ගෝඨා පරාජය කිරීම නම් ප්‍රධාන කාර්ය පමණක් නොවේ. මේ රටේ දැනට පවතින දේශපාලන සංස්කාතිය ද, සංවර්ධනය ද, ශිෂ්ට දිශාවකට ගමන් කිරීමය. එය ලෝකයටත් යම් දේශපාලන ආදර්ශයක් වනු ඇත. ඒ සදහා අපට ධෛර්ය තිබේද? ප්‍රශ්ණය එයයි.

මේ අවස්ථාවේ සිරියස් ලිබරල් ක්‍රියාවලිය එය විය හැකිය. එය කලාපයේ අලුත් දේශපාලන සංස්කෘතියක් සදහා අභ්‍යාස කිරීමට හැකි නව උපායමාර්ගයක් ද වනු ඇත.

වසන්ත බංඩාර | Wasantha Bandara