මේ ළඟා වෙමින් තිබෙන්නේ මම මාවම සැක කරගත යුතු අවධියකි. තමා විසින් තමන්වම ගස් බැඳගන්නා, තමන් තමන්ටම දඬුවම් දී ගන්නා අවධියකි. මිනිසුන් තමන් විසින් තමන්වම පැහැරගෙන යනු ඇත. ස්ත්‍රීන් තමන්වම දූෂණය කර ගන්නා අතර අතුරුදහන් වූ මිනිසුන් තමන් විසින්ම අතුරුදහන්වේ. එසේ නැතිනම් අපි එය එසේ වූවා යැයි සිතනු ලබන අවධියකි. මේ ලබා ඇති කලියුගයේ බොහෝ දෙය සිදුවිය හැකි ය. මේ යුගයේ අපට අතීතය සම්පූර්ණයෙන්ම වාගේ අමතක වී ගොස් බොහෝ දේ මතකයෙන් ඈත් වනු ඇත. එසේ නැතිනම් අතීතය සහ වර්ථමානය අතර සම්බන්ධයක් නැති බව අප අපටම සපත කර ගනිමු.

පැහැර ගැනීමට ලක්වූ ස්ත්‍රීයක් තමන් මුහුණ දුන් වේදනාවන් ගැන කතා කිරීම අප ඇතුලු සමාජයක්ම විහිළුවක් කොට ගන්නා තත්ත්වයක් ඇතිවනවා පමණක් නොව දහසකුත් ප්‍රශ්න වලට, බොහෝ විට ඇයව එම අඩම්තේට්ටම් වලට ගොදුරු කරගත්තා වූ උන්ගෙන්ම, මුහුණ දීමට සිදුවන විට එහි සැබෑ තත්වය කුමක් විය හැකිද? ලංකාවේ අවිහිංසක රහස් පොලීසිවල “අවිහින්සා පර්යේෂනයනට” මුහුනදී ඇති අයට පවා අර ස්ත්‍රීය පැය 30 කට වැඩි ප්‍රශ්න කිරීමකට මුහුන දීම විහිලුවක්ව ඇත.

මහා රාත්‍රී මැද බිළිඳියක් සහ මව්වරු පොලිස් රථ වලට නැග යන්නේ සිය කැමැත්තෙන් බව අප පිළි ගන්නෙමු. අපට කිසිම සැකයක් මෙම බිලිඳිය සහ මව්වරුන් මැද රාත්‍රියේ පොලිස් රථවල නැගී සියකැමැත්තෙන් යාම පිළිබඳව ඔවුන්ගේ “සිය කැමැත්ත” ගැන ඇති වන්නේ නැත. එම පොලිස් නිලධාරීන් ඉතා නීති ගරුකව මෙම මව්වරුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ව රැයෙහි පොලිස් රථවලින් ගෙන ගිය බව පිළිගන්නෙමු.

ඒකාධිපතියන් බලයට ආ සෑම මොහොතකම රටක සමාජය පුරා බොහෝවිට අරක්ගන්නා තත්ත්වය අප සමාජය ද වසාගෙන ඇත. එක කණ්ඩායමක් සෑම පියවරක්ම ගන්නේ තමන් තමන්වම රවටා ගනිමිනි. අනෙක් කොටස බිය මුල්කරගෙන විවේචනාත්මක ලිවීම්, විවේචනාත්මක කතා, විවේචනාත්මක අදහස් ඉදිරිපත් කිරීම, ඔවුන් විසින්ම ඔවුනට තහංචි දමා ගන්නේ සිය කැමැත්තෙන් මිස කාගෙවත් බළ කිරීමට නොවේ.

ඒනිසා පැහැර ගැනීමට ලක් වූවා යැයි කියන තානාපති කාර්යාලයේ වැඩ කළ ස්ත්‍රිය පිළිබඳව අපට කිසිම විශ්වාසයක් නැති වන අතර, ලංකාවේ රහස් ඔත්තු සේවාවන්, ඒවායේ ක්‍රියාත්මක වන (මැර) කණ්ඩායම් පිළිබඳව අපට ඇත්තේ කිව නොහැකි තරම් විශ්වාසයකි. ඒ අන් කිසි කරුණක් නිසා නොව අප දන්නා මෑත ඉතිහාසය ලංකා සමාජය තුල, ලසන්ත ඝාතනය වූයේ තමන් විසින්ම බව අපද විශ්වාස කරන බැවිනි. ප්‍රගීත් එක්නැලිගොඩ ජීවත් වන බව (ඒ රාජපක්ෂලාගේ නිලදර සහ දේශපාලන තන්ත්‍රය පුනපුනා අපට සපත කල බැවිනි) අපි පිළිගන්නෙමු. අප හා එකට එක්වී වැඩ කළ පෝද්දල ජයන්ත සහ තවත් එවැනි අය තමන් විසින්ම තමන්ට පහර දී ගත් බවත් තමන්වම පැහැරගත් බවත් අප විශ්වාස කරන්නෙමු. එසේ නැතිනම් ඒ එදා ඒ වුනාට අද ඔවුන් එසේ නොමැතියැයි අපවම රවටා ගනිමු. කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් මරා දැමූ සිසුන් 11 දෙනා මෙන්ම හිරගෙය තුල ලයිස්තුවකට අනුව මරාදැමුන සැකකාර රැඳවියන් ආදී අපරාධ අප මතකයට නොනැඟෙන්නේ පුදුම දනවන ලෙසිනි.

මේ සියල්ල අපට අමතක වන්නේ ඔවුන් පවසන පරිදි අපට ඇත්තේ වසර 2500 ක ඉතිහාසයකට නෑකම් කියන පිරිසිදු කරුණාබරිත බෞද්ධ සංස්කෘතියක් බව අප දන්නා බැවින්ද? අප ලෝක සත්වයාටම මෛත්‍රී කරන මිනිසුන් වන හෙයින් අපේ මේ අහිංසක බවට අපහාස කිරීම සඳහා බටහිර බලවේග සමග එක්වී, තමන් තමන් විසින්ම පහර දී ගැනීම, අතුරුදහන්කර ගැනීම, හෝ තමන්වම මරා ගැනීම මෙම ප්‍රතිගාමීන් විසින් කරනුයේ අප රට ලෝකය ඉදිරියේ අපහාසයට පත් කිරීම සඳහාද? එ සේ නැතිනම් ඔවුන් අපව රැවටීමට දෙනු ලබන ගේමක්ද?

තමන් තමන්වම පැහැරගෙන යාම හෝ අතවරයකට ලක් කර ගැනීම කරනු ලබන්නේ බටහිර අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් බව අප විශ්වාස කරමු. අපේ රටට මේ යහපත් සමාජයට අපහාස කිරීම මෙසේ අතවරයන් ඇතිකරගන්නා අයගේ අරමුණ බව අප විශ්වාස කරන්නෙමු.

සිසිටිවි කැමරා 17ක පරීක්ෂණ කළ නමුත් මෙම පැහැරගැනීම හසු නොවූ බව අපේ ඒ රහස් පොලීසිය සහ අපේ රජය පවසයි. සීසීටීවී කැමරා වලට හසු නොවුණා නම් මේවා එසේ සිදුවූවායැයි කීම බොරුවකියි අපම තර්ක ගොඩනගමු. තාජුඩීන් මහ මග ඝාතනය වීමේදී එදා රජයට අනුව, එදා තිබුණේ රාජපක්ෂ රජය, තාජුඩීන් පිළිබඳ පර්යේෂණ කළ අයට සීසීටීවී කැමරා වලට කිසිවක් හසුකර ගැනීමට නොහැකි විය. පසුගිය රජය එම සීසීටීවී කැමරා සොයාගනු ලැබුවා වුවත් එදා රජයට අනුව තාජුඞීන් මියගියේ රිය අනතුරකින්ය. දැන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ වැඩ කළ කාන්තාව මේ සියල්ල කරනුයේ තමනට ස්විස්ලන්තයට ගොස් සිටීමට අවශ්‍ය පහසුකම් සදාගැනීමට බව අප අතර සිටින බොහෝ දෙනෙකු විශ්වාස කරන බව පෙනේ. පාඨලී චම්පික රණවක හිටපු ඇමතිවරයා වසර ගණනාවකට උඩදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීය. තව අය අත්අඩංගුවට පත්වනු ඇත. නමුත් ඒ සියල්ල එක එක “අපරාධ” සඳහා මිස දේශපාලන කාරනා වලට නොවනු ඇත.

තැන තැන යම් යම් සිදුවීම් සිදු වූවා වුවත් මේ සියල්ලට යටින් ඇති දේශපාලනමය කාරණය අපට බොහෝවිට මගහැරී ඇත. ඒ අප හිතාමතාම එය මඟ හැරීමට සූදානම් මනසක සිටින හෙයිනි.

සමහරවිට ඒ සැකය ඇති කරගන්නා අයම මීට ටික කලකට උඩදී මාර්ටින් නිමොලර් පූජකයාගේ කවිය අර්ථ ගන්වමින් කතා කර ඇත. ලියා ඇත. නමුත් ඔවුන් මාර්ටින් නිමොලර් කවියාගේ කවියෙහි සැබෑ අරුත තේරුම් ගෙන ඇත්ද යන්න ඔවුනටම සිතා බැලීමට අද පවතින වාතාවරණය කරුණු නොසලසන්නේද?

ජාත්‍යන්තර අත්දැකීම් වලින් අප කවි ලීවාටවත් ඒ පිළිබඳ අර්ථවත් ලිපි ලීවාටවත් මේ ජාත්‍යන්තර අත්දැකීම් වලින් අද අප මුහුණ දෙන තත්ත්වයට ගලපා ගැනීමට හැකියාවක් නැත්නම් ඒවා කොතරම් දැනහිටියත් ප්‍රයෝජනයක් නැත.

රංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarchchi