iMage: www.hbo.com

ඇතින්නියෙකුට පැටවෙක් ලැබුණම රැලේ ඉන්න හැම ඇතින්නියෙකුටම කිරි එරෙනවලූ. බළල් කුලයෙන් පැවත එන පූස් අම්මා එයාගේ දරුවන්ට සමාජයෙන් එල්ල වන පීඩනය දරා ගත නොහැකි වූ තැන ඒ අම්මා එයාගේ දරුවන්ව කනවලූ.

මේ සත්ව ලෝකයේ අම්මාවරුන් දෙදෙනෙක්.

මනුස්ස ලෝකයේ මෙවන් ලක්ෂණ තිබෙන අම්මාවරුන් නැතිද?

ටිකක් හිතන්න, තම පැටියා මරන්න කලින් පූස් අම්මා කී වතාවක් එයාගේ දරුවන්ව තැනින් තැනට මාරු කරමින් ලතැවෙනවද? එවන් උත්සාහයන් කීප වතාවක්ම ව්‍යර්ථ වූ තැන් හි පටන් ඇය වියරු වැටීම අරුමයක් නොවේ.

දාරක ස්නේහය භාවනාවක් කර ගත් අනේක වූ මව්වරුන් අභියස මුලාවෙන්, පසුතැවීමෙන් වියරු වැටුණු අසරණ මවුවරුන් බොහෝ සිටිනවා .එසේ වියරු වැටුනු මවුවරුන්ට සුන්දර හදවතක් මුණ නොගැහුණු කල්හි ඇය ගබ්සාව හෝ දරුවා මැරීම හෝ වෙනත් විකල්ප වලට නැබුරු වීම ස්වාභාවිකය.

ඇත්තෙන්ම මවකට දරුවෙක් ගබ්සා කිරීම හෝ මහමග දමා යාම හෝ දරුවා මරණයට පත් කිරීමට වඩා එම දරුවා ආදරයෙන් රැක බලා ගැනීම ඉතා පහසුය.

නමුත් ඇය වටා සමාජයෙන් එල්ලවන බලපෑම් හා බලාපොරොත්තු සුන් වීම හමුවේ මානසික සහනයක් හා අස්වැසිල්ලක් අවශ්‍ය මොහොතක ඇයට එල්ලවන පීඩනය හා ලැජ්ජාව හමුවේ ඇය වියරු වැටීම ස්වාභාවිකය.

අනාරක්ෂිත ලිංගික ක‍්‍රියාවලියක් හෝ රමණයකින් අනතුරුව අනපේක්ෂිත ගැබ් ගැනීමක් සිදු විය හැකියි. මෙවන් ආපදා වලක්වා ගැනීමට නොයෙකුත් උපත්පාලන ක‍්‍රම තිබියදී ඒවා පිළිබද දැනුවත් නොවීම හා අනුගමනය නොකිරීම ද ගබ්සාවට ඝෘජුව බලපානු ඇත.

අනපේක්ෂිත ගැබ් ගැනීමක දී ශිෂ්ඨ, අෂිශ්ඨ, නූතන, සම්ප‍්‍රදායික, දුප්පත්, පොහොසත් බේදයක් නැතිව සියලුම කාන්තාවන් සුලු මොහොතකට හෝ මානසික යුද්ධයකට මැදි වෙයි. එහිදී බොහෝ විට ඇය වටා පවතින සමාජය ඇයට දක්වන ප‍්‍රතිචාරය අනුව දරුවා මෙලොව එළිය දකී ද නැද්දැයි තීරණය වේ.

– අනාරක්ෂිත ගැබ් ගැනීමකදී දරු ගැබ පිළිබද තීරණය කාන්තාවට ලැබිය යුතු අයිතිවාසිකමක්ද? ඉතාමත් සංවේදී හා ඉතාමත් විවෘත මනසකින් විමසිය යුතු
කරුණක්.

පිළිතුර: ඔව්, කාන්තාවකට යම් නීති රීති මාලාවකට යටත්ව සීමාසහිත අයිතිවාසිකමක් තිබිය යුතුයි.

මන්ද නිදි පැදුරටත් නොකියා පෑළ දොරින් එළියට බහින මහා පුරුෂයා තමාගේ වගකීම හා යුතුකම නොඅදුනන නිසාවෙන් හා නිවස පිටුපස රෙදිවැලේ දිය රෙද්ද දකින සුනඛයන්ට ජාතක වෘකයන් තම ඍඡුු වූ ලිගුව ඔබා ගැනීමට ළගම ඇති ගුල සොයන නිසාවෙනි.

නමුත් එය එසේ වුව ද රටකට දරුවන් යනු සම්පතකි. දරුවන් යනු රටක අනාගතයයි. විනය ගරුක, නැණවත්, බුද්ධිමත් දරුවන් යනු රටකට ඉතා හොද ආයෝජනයකි.

අනාගතයේ දී එම විනය ගරුක, නැණවත්, බුද්ධිමත් දරුවා අනාචාරයේ හැසිරීමකදී උපත ලැබුවාද නැතිනම් ආදරයේ නාමයෙන් සිදු වූ උත්තරීතර රමණයකදී උපත ලැබුවා දැයි වැදගත් කරුණක් නොවනු ඇත. වැදගත් වන්නේ එම දරුවා විසින් අනාගතයේ තම රටට කරනු ලබන සේවයයි.

එම නිසා ලිංගික අතවරයන් හා අහිතකර සෞඛ්‍ය තත්වයන් සදහා ගබ්සාව නීතිගත විය යුතු අතර අනෙකුත් කාරණාවලදී මවක් ගබ්සාවක් කරා යා හැකි හේතූන් සදහා මානුෂීය විසදුම් ලබා දිය යුතුය.

– මවක් නීත්‍යානුකූල නොවන ගබ්සාවකට හෝ දරුවෙකු මහමග දමා යාමකට පෙළබෙන්නේ ඇයි?
අනපේක්ෂිත ගැබ්ගැනීමකදී ,
1. කාන්තාවට සමාජයෙන් එල්ලවන පීඩනය
2. ආර්ථික අස්ථාවරත්වය
3. වයස
4. විවාහක /අවිවාහක තත්වය
5. අනෙකුත් දරුවන්ගේ වයස් පරතරයන්
6. දරුවෙකුගේ පැමිණීමත් සමග සුන් වන අනාගත බලාපොරොත්තු, සැලසුම් හා අරමුණු
7. ඥාතීන්ගෙන් හා හිතවතුන්ගෙන් එල්ලවන බලපෑම්
8. මානසික බිද වැටීම

ලිංගික අතවරයකදී නම්,
9. ඒ හා සම්බන්ධ වේදනාත්මක මතකයන්
10. ශාරීරික අපහසුතා
ආදී නොයෙකුත් හේතූන් තිබිය හැකියි. නමුත් මේ ගැටලු වලට සමාජයක්, රටක් ලෙසින් එකාවන්ව අපට හැකිනම් වෙනස් වන්න, මානුෂීය වන්න, ආදරය හා විශ්වාසය බිදුනු ඇගේ හදවතට පිළියමක් වන්න අපිත් පූස් අම්මගෙන් රැලේ කිරි එරෙන ඇතින්නගේ තලයට එසවේවි.

මවකගේ උණුහුම ලැබෙනා තරමට
දරුවන් වේමය පුන්සද හෙටට
නුබයි මමයි අපියි එක්වෙමු මෙලෙසට
වදනා දරුවන් ඇස් වගේ රැකුමට

ඒ අහිංසක ජීවිත වෙනුවෙන් හැකිනම් අපට මානුෂීය මෙහෙයුමක් දියත් කිරීමට……..,

1. Single Parent සංකල්පය නීතිගත කිරීම මගින් දරුවා කෙරෙහි වන අවජාතක ලේබලය සමාජයෙන් අතුගා දැමීම
2. එම මව්වරුන්ට හා දරුවාට අවශ්‍ය ආර්ථික සහාය විධිමත් වැඩපිළිවෙලක් මගින් ලබා දීම
3. දරුවාද හදා වඩා ගනිමින් අවශ්‍යනම් ඇයට ඇගේ අධ්‍යාපන හා අනෙකුත් ඉදිරි අරමුණු වෙනුවෙන් සහාය ලබා දීම
4. ලිංගික අතවරයකදී නම්, ඒ සදහා ඇයව සුවපත් කරන මනෝචිකිත්සාවන් ලබා දීම
5. නීතිමය රාමුව මානුෂිය වීම

වාර්තාවන්ට අනුව වසරකට සිදුවන ගබ්සා අතුරින් 90% ක්ම විවාහක කාන්තාවන් වන අතර ඒ සදහා වන හේතූන් අතර ආර්ථික අස්ථාවරත්වය ප‍්‍රමුඛය.

නමුත් නීතිමය රාමුව පුලුල් කිරීම හා තුලින් දරුවන් නොමැති හා දරුවන් හදා ගැනීමට කැමති යුවලන් සදහා නිසි අධ්‍යයනයකින් මෙම මව්වරුන් සම්බන්ධ කරවීමක් හා දරුවාට අවම වයස අවුරුදු 18 වනතුරු නිරන්තර අධ්‍යනයකින් පසුවීම.

සුනඛයෙකුට ජාතක නරුම වෘකයෙකුට අසුවී දූෂණයට ලක්වූ අසරණියගෙන් එම සාහසික අවස්ථාවෙන් ඈ ලැබූ වින්දනය / තෘප්තිය කවරාකාර දැයි විමසන කලු කබා හැද ගත් නීතිය හසුරවන මුදලට විකිණෙන බහුතර නෝනා මහත්වරුන්ගෙන් සමන්විත රෙදි කඩකින් තම දෑස වසා ගත් නීතියේ හස්තය බොහෝසෙයින් වෙනස් විය යුතු අතර එවන් වූ ප‍්‍රශ්න කිරීම් හමුවේ වරක් දූෂණයට ලක් වූ ඇය දෙවන වරට වචනයෙන් සමූහ දූෂණයට ලක් වීම වැලැක්විය නොහැක.

ඇගේ කුසින් වදනා කල
උබේ තනෙත් කිරි ඒ නම්
උබයි අම්මා ඒ කිරි අම්මා
හෙට ඒ පුතු රජ කරනා

ඉෂන්කා ජයසිංහ | Ishanka jayasinghe