iMage: BBCSinhala

ගහකොළ, සතා සීපාවා, අහස, මහපොළොව,මිනිසා මෙන්ම අනෙකුත් පියවි ඇසට පෙනෙන නොපෙනෙන දේවල් දෙස විද්‍යානුකූල ඇසකින් හැදෑරීමට අප ආරම්භ කරන්නේ පාසලේ තුන වසරේ පටන්ය.

නමුත් ගහකොළට, සතා සීපාවාට, මහපොළොවට, අහසේ දිලෙන ඉර හද තරුවලට මෙන්ම තවත් අප වැනිම මිනිසෙකුට ආදරය කිරීමට අප උගන්නේ අප මව් කුසෙන් එළියට එන පළවෙනි තත්පරයේදීම නොවේ ද?

ඒ පළමුවැනි තත්පරයේදී අපට දැනෙනවා තවත් මිනිස් දුවකගේ ආදරණීය උණුහුමක්, ඒ උණුහුමත් එක්කම අපේ කදුළු නොදැනීම වේලිලා යනවා.

ඒ උණුහුමට කියන වචනය ”ආදරය” කියලා අපි ඉගෙන ගන්නවා. ඒ ආදරණීය ගැහැණියට ”අම්මා” කියනවා. ටිකෙන් ටික අපි ඉගෙන ගන්නවා තවත් මවක් අප අතරෙම අප නිසා බොහෝ දුක් ගැහැට විදිමින් ඉන්නවා කියලා. ඇය “සොබාදම් මාතාව” , ඇය අපේ අම්මා වගේම මහා දුක් කන්දක් දරාගෙන ඉවසීමෙන් අප දෙස බලාගෙන සිටිනවා.

සොබාදම් අම්මා ගැන අපිට ලස්සන කතන්දර කියා දෙන්නේ අපේ කිරි අම්මා. කිරි අම්මා කියා දෙන කතා වල ගස් වලට පණ තියෙනවා, මහපොළව වැළපෙනවා, අහස අඩනවා.

කිරි අම්මාගේ සුරංගනා කතා දෙස පාසලේදී විද්‍යාත්මක ඇසකින් පෙන්වනවා. මේ සියලු දේවල් අපේ හදවතට මෙන්ම අපේ බුද්ධියටත් ආදරය පොවන්න උත්සාහ කරනවා.

අවසානයේ අපි නොයෙකුත් ක්ෂේත‍්‍රයන් තෝරා ගෙන රටට සේවය කිරීමේ හීනය සඵළ කරගන්න වෙර දරනවා.

කෙනෙක් වෛද්‍ය ක්ෂේත‍්‍රය තෝරා ගෙන ශරීරයක් ගොඩ නගන විට තව කෙනෙක් ඉංජිනේරු වෘත්තියෙන් ඒ ශරීරයට සැප පහසු වාස භූමිය ගොඩ නැගීමට වෙහෙස වෙනවා.

කෙනෙක් නීති ක්ෂේත‍්‍රය තෝරා ගෙන නීතියේ දෙවගනගේ දෙනෙත් වැසුුනු රෙදිකඩ සත්‍යයේ කදුළු වලින් තෙමන්න උත්සාහ කරන විට තවත් අයෙක් ආදරණීය ගුරු වෘත්තිය තෝරා ගෙන දැයේ දරුවන්ගේ නැණස පෑදීමට උත්සාහ දරනවා.

කෙනෙක් ව්‍යවසායකයෙකු වීමෙන් රටේ ජාතික නිශ්පාදනයට ශක්තියක් වෙන අතර තව අයෙක් දේශපාලකයෙක් වී ස්වයං සුඛ විහරණය අරමුණු ඇතිව රටම විනාශයට ඇද දමනවා.

දේශපාලකයාගේ සම්ප‍්‍රාප්තිය

දේශපාලකයාගේ සම්ප‍්‍රාප්තිය සිදු වන්නේ ම පොළොවේ පස් කාගෙන මහ ජනයාගේ දෙපතුල ළග වැද වැටී හිගමනේ ගොස් “දෙන්නම් පොරොන්දු” වලට ඩැහැ ගන්නා මනාපයකිනි.

එලෙසින් කරළියට පැමිණෙන මොහුට තිබිය යුතු අවම සුදුසුකම් ප‍්‍රමාණයක් ඇත.

 මනාපය ඩැහැ ගන්නා තෙක් හොදින් කොන්ද නැමිය හැකි විය යුතු වීම
 මනාපය ඩැහැ ගන්නා තෙක් පොඩි දරුවන් වඩාගෙන මාධ්‍යයට පෙන්විය යුතු වීම
 අතර මගදී මුණ ගැහෙන ගැහැනුන් හා පිරිමින් සිඹ ගනිමින්, බදාගෙන ආචාර දැක්වීම
 “දෙන්නම් පොරොන්දු” රසවත් ලෙස ඉදිරිපත් කළ හැකි වීම
 රටට ආදරය බව පෙන්වීමට හැකි තරම් වෙර යොදා තම පපුවට ගසා ගනිමින් හැඩිම
 බොරුව ඇත්ත කර, ඇත්ත බොරු කර පෙන්විය හැකි වීම
 ලැජ්ජා බය නැතිම වීම ආදියයි.

එවන් වූ මනා සුදුසුකම් ගොන්නක් කර තබාගෙන කරළියට පැමිණෙන මේ මනුස්ස සත්වයාට වල් ඌරෙකුගේ ස්වභාවයට ඒමට ගතවන්නේ ඉතා සුළු කාලයකි. මේ වල් ඌරා ධනය හා බලය වෙනුවෙන් ඕනෑම අසූචි වලක් හාරා රස කරමින් අනුභව කරයි.

මොහු නීතිය රෝල් කර තමාගේ මුව තුලට ඔබා, හපයක් වූ පසු නැවත එය මුඛයෙන් පිටතට ගෙන දිග හැර ඔහුගේ පාක්ෂිකයන්ට පෙන්වා තමන්ගේ නිවැරදි භාවය ඔප්පු කර පෙන්වයි.

මේ හිවල් මානසිකයා රටේ පොදු දේපළ, මහජන මුදල්, ස්වාභාවික සම්පත් ආදිය අවභාවිතා කරනුයේ මස් වැද්දෙක් මෙනි.

ඔවුන්ගේ වල් වදුනු ආශාවන් සපුරා ගන්නේ “රට සංවර්ධනය මගින් “ආශ්චර්යයේ නව මාවතට” නම් වූ අලංකාරවත් ලෙස වර්ණ ගැන්වූ මනස්කාන්ත රූප රාමුවකින් වසා ගනිමිනි.

එවන් වූ සංවර්ධන පාට කණ්ණාඩියකට මුවා වෙමින් වල් වැදුනු “පරිසර ඇමති” පට්ටමක් සහිත ‘බබා’ විල්පත්තුව විනාශ මුඛයට ඇද ගනිමින් සිටින්නේ පෙර ජාති ආලයෙන් ඔද වැටී සිටි පරිසරය සුරකින බහුතර සහෘදයන් දිගු නිද්‍රාවකට ඇද දමමිනි.

මේ අතර පාසලේ හතර ශ්‍රේණියටවත් ගියා දැයි සැක සහිත ගම්පහ, මීගමුවේ පාර්ලිමේන්තු සභිකයෙකු ඇතුළු හෙංචයියන් කලපු ආශි‍්‍රතව ඇති ඉතා වටිනා කඩොලාන ගහනයන් ඉවත් කර ක‍්‍රීඩා පිටියක් ඉදි කිරීමට සූදානම් වේ.

මෙවන් වූ තුට්ටු දෙකේ ව්‍යාපෘති වලින් සහසුද්දෙන්ම පෙනී යන්නේ මේ ව්‍යාපෘතීන් දේශපාලන සුනඛයන්ගේ සුඛ විහරණය උදෙසා පමණක් බව නොපෙනීම ජාතියේ අවාසනාව නොවන්නේද?

එසේ නොමැතිව ඔවුන්ගේ ඒකායන අවංක අරමුණ සංවර්ධනය පමණක් නම් මේ කුඩා සාරවත් මාතෘ භූමිය තුල අවශ්‍ය තරමටත් වැඩියෙන් මුඩු බිම් සොයා ගත හැක. ඒවා සංවර්ධනය කිරීමෙන් ඉතා අනර්ඝ ඵලදායිතාවක් ලබා ගතහැකි වනු ඇත.

නමුත් පෙනී යන ආකාරයට මේ හිවල් දේශපාලුවන්ගේ අරමුණ ඉතා නිර්ලජ්ජිත, සූක්ෂ්ම සහ කපටි එකකි.

නිර්ලජ්ජිත පරිසර ඇමතිතුමා පස් කදු කැපීම, ගං ඉවුරු ආශ‍්‍රිතව වැලි ගොඩ දැමීම ,ඉතා වටිනා ශාක විශේෂයන් කිසිදු පැකිලීමකින් තොරව කපා දැමීම ආදිය සිදුකරන්නේ රටේ මුළු මහත් සුඛ විහරණය උදෙසා නොව ඔහුගේ ධන තන්හාව නිසා නොවන්නේද?

නමුත් අපේ පරිසර ඇමතිතුමා පාසල් කාලයේ ඉතා හදින් විද්‍යාව විෂය උගෙන ඇති බව පෙනී යන්නේ හරිත ගහණය විනාශ කිරීමෙන් වැඩි වන උෂ්ණත්වයට පිළිතුරක් ලෙස ඔහුගේ හෙංචයියන්ට වායු සමීකරණ යන්ත‍්‍රය බැගින් ප‍්‍රදානය කිරීමෙනුයි.

මෙවන් රංගනයන් රටේ එක් පැත්තක සිදු වෙද්දී තවත් පැත්තක හදිසියේ ක‍්‍රීඩාංගනයක අවශ්‍යතාවයක් පැන නැගුනි. නමුත් තවමත් අපට කුඩා බලාපොරොත්තුවක් ඉතුරු කරමින් “යකඩ ගැහැණියක් ” එයට විරුද්ධව හඩ නැගීය. ඇයට පින්සිදු වන්නට ඇගේ නොසැලෙන පෞරුෂය හමුවේ “ජීවත් වීමට ඔක්සිජන් අවශ්‍ය නැති” දේශපාලන බත් බැලයන් තාවකාලිකව ඔවුන්ගේ ව්‍යාපෘති අකුලාගෙන ගියද එම වටිනා කඩොලාන පරිසර පද්ධතියේ අනාගතය විසිදැලකට අසුවන ඉස්සෙකුගේ ඉරණමට සමාන නොවේ යැයි කිව නොහැක.

එබැවින් ඔබේ තෙවැනි ඇස විවෘත විය යුතුම වෙලාවයි. මෙවන් අදබාලයන්ට ඔබේ මනාපය ලබාදීම යනු ඔබේ දරුවාගේ ගෙල ඔබේ අත් දෙකින්ම සිර කිරීමයි.

තමන්ට උරුම වටිනා පරිසර පද්ධතීන්හි අයිතිය ඔවුන්ගෙන් උදුරා ගැනීමට විරුද්ධව හඩ නගන වයස අවුරුදු 17 ක කුඩා Greta Thunberg ට අනුව, “අප ඔවුන්ගේ සිහින හා නිදහස උදුරා ගත් හොරුන්ය.”

ඉෂන්කා ජයසිංහ | Ishanka Jayasinghe