අවුරුදු 5ක් වයසැති, දරුවෙක් ඇතුලු තවත් නිරායුද යෞවනයන් ඇතුලු දෙමළ වැසියන් 8 දෙනෙක් ඝාතනය කළ බවට ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය මගින් ඔප්පු වී, මරණ දණඩනය හිමිව බන්ධනාගාර ගතකර සිටි සුනිල් රත්නායක නැමති හමුදා සැරයන්වරයාට වත්මන් ජනාධිපති ගොඨාබය රාපක්ෂ විසින් සිය ජනාධිපති බලතල භාවිතා කරමින් ‘ජනාධිපති සමාව’ ලබා දෙන ලදි.

Rupert Colville

මෙම ‘ජනාධිපති සමාව’ සම්බන්ධයෙන් දේශීය මෙන්ම විදේශීය වශයෙන් තියුණු කතාබහකට ලක්වෙමින් තිබේ. එම තත්ත්වය අතරතුර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශක, රූපට් කොල්විල් විසින් අද(27) ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදි.

”…මෙය, දශක ගණනක් පැවති යුද්ධයේ දී වූ සිදුවීම් අතර චෝදනා ඔප්පු කළ හැකි වූ විරල මානව හිමිකම් නඩුවලින් එකකි. ශ්‍රී ලංකාවේ මිරුසුවිල් සමූහ ඝාතනය සිදු කළ වරදකරුට ජනාධිපති සමාව ලබා දී සිර දඬුවමින් නිදහස් කිරීම පිළිබඳව අපි ඉතා කණගාටු වන්නෙමු.” යනුවෙන් එම මාධ්‍ය නිවේදනය මගින් පවසා සිටියි.

පහත පළවන්නේ එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනයයි.

ශ්‍රී ලංකාවේ මිරුසුවිල් සමූහ ඝාතනය සිදු කළ වරදකරුට ජනාධිපති සමාව ලබා දී, සිර දඬුවමින් නිදහස් කිරීම පිළිබඳව අපි ඉතා කණගාටු වන්නෙමු.

2000 වසරේ දී පස් වියැති දරුවකු ද ඇතුළුව පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්, දශකයකටත් අධික කාලයක් පැවත් වූ නඩු විභාගයකින් අනතුරුව 2015 දී හිටපු හමුදා සැරයන් සුනිල් රත්නායක වරදකරු බවට තීන්දු කරන ලදී. නඩු විභාගය සඳහා විත්තිකරුවන් 5 දෙනෙකු ඉදිරිපත් කළ නමුත් චෝදනා ඔප්පු වූයේ සුනිල් රත්නායකට එරෙහිව පමණකි. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2019 මැයි මස දී එම තීන්දුව තහවුරු කරන ලදී.

මෙය, දශක ගණනක් පැවති යුද්ධයේ දී වූ සිදුවීම් අතර චෝදනා ඔප්පු කළ හැකි වූ විරල මානව හිමිකම් නඩුවලින් එකකි.

ජනාධිපති සමාව, වින්දිතයින් අවමානයට ලක් කරන්නකි. එසේම යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ අනෙකුත් බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව ප්‍රමාණවත් වගකීමක් ඇති කිරීමට ඇති අන්තර්ජාතික මානව හිමිකම් බැඳියාවන්ට අනුගත වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම පිළිබඳ මෙය තවත් එක් නිදසුනකි. ඉහත දැක්වූ උල්ලංඝනයන් සහ අපරාධවල වින්දිතයින්ට යුක්තිය ඉටු කරගැනීම සඳහා අයිතිවාසිකමක් ඇත. යුක්තිය හා හානිපූර්ණය කෙරෙහි ඇති සමාන හා ඵලදායී ප්‍රවේශය සේම කරන ලද වරදෙහි බරපතල භාවයට සරිලන දඬුවමක් වරදකරුවන්ට ලබා දීම ද ඊට අයත් වේ.

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ දී කෲර අපරාධ කරන ලද වරදකරුවන්ට සමාව ලබා දීම, මානව හිමිකම් කඩ කිරීම්වලට දණ්ඩ මුක්තිය ලබා දීම අවසන් කිරීම සම්බන්ධයෙන් මද පමණින් හෝ ශ්‍රී ලංකාව අත් කරගත් ප්‍රගතිය හානියට පත් කරයි.

[Spokesperson for the UN High Commissioner for Human Rights: Rupert Colville | Location: Geneva | Date: 27 March 2020]

END

##

එම මාධ්‍ය නිවේදනයේ ඉංග්‍රීසි පිටපත සදහා පිවිසෙන්න | මෙහි සිංහල අනුවාදය විකල්ප වෙබ් අඩවිය විසිනි.