iMage: UNESCO

සෑම වසරකම මැයි 3 වනදා ජනමාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දිනයයි.

මාධ්‍ය නිදහස යනු මුලික මානව අයිතිවාසිකමක් වන භාෂණ සහ ප්‍රකාශන නිදහසට(freedom of expression) ඇති අයිතියේම දිගුවක්. 1948 ලෝකයේ රටවල් විසින් සම්මත කර ගත් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියේ 19 වන වගන්තියෙන් මේ අයිතිය සහතික කොට තිබෙනවා.

මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දිනයක් සැමරීම ආරම්භ වුණේ 1993දී. එයට මුල් වූයේ 1991දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඒ පිළිබඳ සම්මත කරනු ලැබු යෝජනාවක්.

ශ්‍රී ලංකාව ද ඇතුළු එක්සත් ජාතීන්ගේ සාමාජික රජයන් වෙනුවෙන් මෙම දිනය සැමරීම සම්බන්ධීකරණය කරන්නේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ (UNESCO) විසින්.

ජනමාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දිනයේ 2020 තේමාව ‘බියෙන් සහ පක්ෂග්‍රාහිත්වයෙන් තොර මාධ්‍යකරණයක්’(Journalism without Fear or Favor) යන්නයි.

මෙවර දිනය සමරන්නේ කොරෝනා වසංගතය මුළු ලෝකයම පීඩාවට පත්කර ඇති මොහොතක. වසංගතය පිළිබඳ නිවැරදි තොරතුරු අපක්ෂපාතී සහ සමබර ලෙස මාධ්‍ය ග්‍රාහකයන්ට ලබා දීමේ වගකීම සියලු ජනමාධ්‍ය වලට තිබෙනවා.

එසේම මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට මෙම වගකීම ඉටු කිරීමට අවශ්‍ය නිදහස තහවුරු කිරීම ඉතා වැදගත්.

සාමාන්‍ය අවස්ථාවලටත් වඩා වසංගත ඇතුළු ආපදා හරහා මතු වන අර්බුදකාරී අවස්ථාවල කාලීන සිදුවීම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉහළයි. ආපදාවලදී එයින් පීඩාවට පත් අයට ලබා දෙන ද්‍රව්‍යමය සහනාධාර තරමටම ඔවුන්ගේ තොරතුරු අවශ්‍යතා ඉටු කර දීම ද වැදගත් වන බව 2004 මහා සුනාමියෙන් පසු ලෝක ප්‍රජාව මූලධර්මයක් ලෙස පිළිගෙන තිබෙනවා.

කොරෝනා මර්දනයේදී තොරතුරු සහ ප්‍රකාශන නිදහස වැදගත් වන්නේ හුදෙක් වෛරසයෙන් බේරී සිටීමට අවශ්‍ය සෞඛ්‍ය දැනුම සමාජගත කිරීමට පමණක් නොවෙයි. ආණ්ඩු විසින් ගනු ලබන රෝග නිවාරණ සහ මහජන සුබසාධන පියවර පිළිබඳ මහජන වගවීම සඳහාද ජනමාධ්‍යවල ගවේෂණ සහ එළිදරව් ඉතා වැදගත් වනවා.

එහෙත් කොරෝනා වසංගතය ගැන විවෘතව වාර්තා කිරීමේ සහ විග්‍රහ කිරීමේ නිදහස ආසියාවේ බොහෝ රටවල මෑත සතිවල සීමා වෙමින් තිබෙන බව මාධ්‍ය සහ ප්‍රකාශන නිදහස පිළිබඳ ක්‍රියාකාරිකයන් කියනවා.

කොරෝනා ගෝලීය වසංගතයක් ලෙස පැතිරීමට පෙර පටන්ම ආසියාවේ රටවල් ගණනාවක ප්‍රකාශන නිදහස සහ මාධ්‍ය නිදහස ටිකෙන් ටික සීමා වෙමින් පැවතියා. කොරෝනා අර්බුදය නිසා මෙම අහිතකර ප්‍රවාහයන් කඩිනම් වී තිබෙනවා.

දේශසීමා රහිත මාධ්‍යවේදියෝ(Reporters Without Borders, RSF) නමැති ජාත්‍යන්තර සංවිධානය මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේ 2020 වසරෙන් ඇරඹෙන දශකය, ජනමාධ්‍ය නිදහසට සහ ප්‍රකාශන නිදහසේ අයිතියට බෙහෙවින් තීරණාත්මක වකවානුවක් වනු ඇති බවයි.

“ජනමාධ්‍යවල ස්වාධීන ක්‍රියාකාරීත්වයට මෙන්ම පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ ප්‍රකාශන නිදහසට අගතිදායක සාධක ගණනාවක් COVID-19 වසංගතය නිසා තවත් උත්සන්න වනවා. වසංගත මර්දනයේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා ආණ්ඩු පුරවැසියන්ගේ සහ මාධ්‍යවල නිදහස සීමා කිරීම සාධාරණීකරණය කරමින් සිටිනවා,” RSF අනතුරු අඟවනවා.

මාධ්‍ය නිදහසට සහ පුරවැසියන්ගේ තොරතුරු අයිතියට අහිතකර ප්‍රධාන පෙළේ ප්‍රවණතා පහක් මෙම දශකයේ අභිසාරී වනු ඇති බව(converging crises) ඔවුන්ගේ විග්‍රහයයි.

එම ප්‍රවණතා වන්නේ: අධිකාරිවාදී (authoritarian) ආණ්ඩුවල බලවත් වීම; සන්නිවේදන තාක්ෂණ දියුණුවෙන් ඇති වන බලපෑම්; ප්‍ර ජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් පිරිහීමෙන් ඇතිවන හිදැස්; ජනමාධ්‍ය පිළිබද මහජන විශ්වාසය දිගටම අඩු වීම; සහ ජන මාධ්‍ය කර්මාන්තය ආර්ථික වශයෙන් පිරිහීමට ලක්වීම.

RSF සංවිධානයක් සෑම වසරකම ලෝකයේ රටවල් 180ක මාධ්‍ය නිදහස විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව තක්සේරු කොට ශ්‍රේණිගත කරනවා. 2020 සඳහා වන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය (World Press Freedom Index 2020) අප්‍රේල් 22දා ප්‍රකාශයට පත් කෙරුණා.

නීතිමය වශයෙන්, ආර්ථික වශයෙන් සහ හිමිකාරීත්වයේ පුළුල් බව පැත්තෙන් මාධ්‍ය නිදහස වඩාත් ම හොඳින් පවතින්නේ මෙම රටවල් 10යි: 1 නෝර්වේ රාජ්‍යය; 2 ෆින්ලන්තය; 3 ඩෙන්මාර්කය; 4 ස්වීඩනය; 5 නෙදර්ලන්තය; 6 ජැමෙයිකාව; 7 කොස්ටාරිකාව; 8 ස්විට්සර්ලන්තය; 9 නවසීලන්තය; 10 පෘතුගාලය.

අනෙත් අතට මාධ්‍ය නිදහස පිළිබඳ ගෝලීය දර්ශකය අන්තිම ස්ථාන පහ හිමිකර ගෙන සිටින්නේ: 176. ජිබුටි රාජ්‍යය; 177 චීනය; 178 එරිට්රියාව; 179 තුර්ක්මෙනිස්ථානය; 180 උතුරු කොරියාව.

ගෝලීය දර්ශකයෙ පහළින්ම සිටින රටවල් වසංගතය පිළිබඳ තොරතුරු වඩාත්ම වසන් කිරීම හරහා අර්බුදය බෙහෙවින් බරපතළ කරගෙන ඇති බව RSF පෙන්වා දෙනවා.

මෙරට ප්‍රකට ම උදාහරණ නම් දර්ශකයෙ 173 ස්ථානයේ සිටින ඉරානය සහ 177 තැන ගත් චීනයයි. මේ රටවල් දෙකම වසංගතයේ මුල් අවස්ථාවලදී ඒ පිළිබඳ දේශීය වශයෙන් තොරතුරු වසන් කිරීමට බෙහෙවින් උත්සාහ කළා.

චීනය තොරතුරු වසන් කිරීම නිසා වෛරසය ඇරඹුණු රටට සීමා කොට COVID-19 වසංගතය මර්දනය කර ගන්නට තිබූ වටිනා අවස්ථාව ගිලිහී ගිය සැටි සහ, එහි අතිශයින් බරපතළ ආදීනව මුළු ලෝකයට ම විඳින්නට සිදුවී ඇති සැටි මීට පෙර ලිපිවලින් මා විග්‍රහ කොට තිබෙනවා.

“අධිකාරිවාදී රාජ්‍යයන්ගේ පමණක් නොව සමහර ප්‍රජාතන්ත්‍රවාදී රටවල අවස්ථාවාදී නායකයන් පවා මෙම වසංගතය මුවාවෙන් අසාමාන්‍ය බලතල පවරා ගනිමින් සිටිනවා. එසේම සිය රටවල නීතියෙන් සහ ජාත්‍යන්තර නීති වලින් සහතික කොට තිබෙන පුරවැසි අයිතිවාසිකම් අනිසි ලෙස සීමාකරනු පෙනෙනවා,” RSF මහලේකම් ක්‍රිස්ටොෆ් ඩෙලොර් කියනවා.

මේ දිනවල කොරෝනා වෛරසය පැතිරීමට ඉඩ තිබෙන නිසා ලෝකයේ බොහෝ රටවල දේශපාලන පක්ෂවලට සහ සමාජ ක්‍රියාකාරිකයන්ට සුපුරුදු පරිදි රැස්වීමට හෝ උද්ඝෝෂණ පැවැත්වීමට හැකියාවක් නෑ.

එසේම රෝගයෙන් බේරී සිටීමට සහ එදිනෙදා අවශ්‍යතා සම්පාදනයට අප බොහෝ දෙනෙක් යොමු වී ඇති නිසා, හීන් සීරුවේ පුරවැසි අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් ආණ්ඩු විසින් සීමා කරනු ලැබීම එතරම් මහජන අවධානයට ලක් වන්නේත් නැහැ. මෙය බෙහෙවින් අවදානම් සහගත තත්ත්වයක්.

ශ්‍රී ලංකාවේ තත්ත්වය අප විමර්ශනය කළ යුත්තේ මෙම ගෝලීය සංදර්භය තුළයි. 2020 මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කොට තිබෙන්නේ රටවල් 180 අතරින් 127 වන ස්ථානයේ. 2019 දර්ශකයේ ශ්‍රී ලංකාව සිටි 126 වන ස්ථානයට වඩා එක තැනක් ආපස්සට ගොස් තිබෙනවා.

2015දී 165 ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව, ඉන් පසුව එළැඹුණු වසර පහ තුළ ටිකෙන් ටික දර්ශකයෙ ඉහලට පැමිණියා. 2020 සුළු පසුබැසීම නියෝජනය කරන්නේ මාධ්‍ය නිදහස පිළිබඳ ආපසු හැරීමක් ද යන්න අප මෙනෙහි කළ යුතුයි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ගන්නා පියවර නිසා පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රබල ලෙස අවධානය යොමු කොට තිබෙනවා.

ඉන්ටනෙට් අවකාශය හරහා අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ කරන අයට එරෙහිව මෙන්ම රජයේ නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා වන පරිදි ඔවුන්ගේ අඩුපාඩු විවේචනය කිරීම/මතුකර පෙන්වන තැනැත්තන්ට එරෙහිව ද දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව 2020 අප්‍රේල් 1 වනදා පොලිස් දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශය කළා.

2020 අප්‍රේල් 25 වනදා වැඩබලන පොලිස්පතිවරයාට නිල ලිපියක් ලියමින් මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම සිය නිරීක්ෂණ ඉදිරිපත් කරන්නේ “ප්‍රජාතන්ත්‍රවාදයක ප්‍රකාශන නිදහස සීමා කිරීම: නීත්‍යානුකූල සමතුලිතතාවක් තුළ වැඩ කිරීමේ අවශ්‍යතාව” යන මාතෘකාව යටතේ.

කොරෝනා රෝගය සම්බන්ධව සමාජ මාධ්‍ය හරහා කර ඇති සමහර පුරවැසි ප්‍රකාශ සම්බන්ධයෙන් පොලීසිය විසින් 2020 අප්‍රේල් 1 වනදාට පසු අත්අඩංගුවට ගැනීම් පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කළ බව ඇය කියනවා.

ඉංග්‍රීසියෙන් ලියා ඇති එම ලිපියේ වඩාත් වැදගත් කොටස් BBC සිංහල වෙබ් අඩවිය විසින් සිංහලට අනුවාදය කර තිබුණා. මේ උධෘතය එතනින්:

“අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම සඳහා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් පෙන්වා දීම අප කොමිසමේ රාජකාරිය වන අතර, හදිසි අවස්ථාවකදී වුවද ප්‍රජාතන්ත්‍රවාදයක එය නීතිමය රාමුවක් තුළ පැවතිය යුතුය. මේ අවස්ථාවේදී ඊට අදාළ නීතිය ව්‍යවස්ථාව වන අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් ද සැලකිල්ලට ගත යුතුය. අයිතිවාසිකම් පිළිබඳ සීමාවන් නීත්‍යානුකූලභාවය, සමානුපාතිකත්වය සහ සමානව සැලකීම පිළිබඳ පරීක්ෂණවලට අනුකූල විය යුතු බව එම නීති මගින් නියම කරනු ලැබේ…” https://www.bbc.com/sinhala/sri-lanka-52458539

ආචාර්ය උඩගම කියන්නේ, රාජ්‍ය නිලධාරීන් විවේචනයට ලක් කිරීමට ඉඩ නොදෙන බවට පැහැදිලි පණිවුඩයක් පොලිස් මාධ්‍ය නිවේදනය මගින් ලබා දී ඇති බවයි. එය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට “බියවැද්දීමේ බලපෑමක්”(chilling effect) විය හැකි බව ඇය පෙන්වා දෙනවා.

“ඕනෑම රාජ්‍ය ප්‍රතිපත්තියක් මෙන්ම ඕනෑම රාජ්‍ය නිලධාරියකු විවේචනය කළ හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ගුණාංගයක්. පුරවැසි විවේචන හරහා තමයි ආණ්ඩුකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් තීව්ර කෙරෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් වැදගත් තීන්දු ගණනාවක් හරහා විවේචනය කිරීමේ අයිතිය නපුරු කොට තිබෙනවා,” නීති මහාචාර්යවරියක ද වන ආචාර්ය උඩගම සිය ලිපියේ තව දුරටත් කියනවා (සිංහල අනුවාදය මගේ).

රාජ්‍ය සේවකයන් සහ මහජන නියෝජිතයන් විවේචනය කිරීමට අමතරව, දුස්තොරතුරු (disinformation) සහ වෛරී ප්‍රකාශවලට (hate speech) එරෙහිවද නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලීසිය කියනවා.

සමාජ මාධ්‍යවල දුස්තොරතුරු මුදා හරින මෙන්ම වෛරී සහගත ප්‍රකාශ සිදු කරන ඇතැම් දෙනා සිටින බව අපේ කටුක යථාර්ථයේ කොටසක්. මේවා සමාජයට හානිකර බවත්, විශේෂයෙන් හදිසි අවස්ථාවක ජනසමාජය කැළඹීමට හේතුවිය හැකි බවත් ඇත්තයි.

මේවාට එරෙහිව සමාජ මාධ්‍ය වේදිකා පරිපාලකයන් විසින් ද යම් පියවර ගන්නා අතර, ඒවා රට තුළ නියාමනය කළ යුත්තේ නීත්‍යානුකූලව සහ ප්‍රවේසම්කාරීවයි.
ප්‍රකාශන සහ භාෂණ අයිතිය යනු පරම අයිතියක් නොවෙයි. එය සාපේක්ෂ අයිතියක්. එනම් මෙම අයිතියට යම් යම් සීමා බල පවත්වනවා. මේ සීමා කුමක් විය යුතුද යන්න ලෝක මානව හිමිකම් නීතියේ පැහැදිලිව දක්වා තිබෙනවා.

1976 සිට ක්‍රියාත්මක වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) මෙයින් ප්‍රධානයි. ශ්‍රී ලංකා රාජ්‍යය ද මෙයට අත්සන් කොට, එය අපරානුමත කොට තිබෙනවා.

ඒ අනුව ප්‍රකාශන අයිතියට සීමා පැනවීම ඉතා සීරුවෙන් කළ යුත්තක්. ඒ සඳහා කොන්දේසි තුනක් සපුරා ගත යුතුයි. එනම් නීත්‍යානුකූල වීම, සුජාත භාවය සහ තර්ජනයට සමානුපාතික වීම යන කොන්දේසි තුනයි. මේවා සැකෙවින් විග්‍රහ කර බලමු.

• නීත්‍යානුකූල වීම (legality) යනුවෙන් අදහස් කරන්නේ රටේ දැනටමත් පවතින පාර්ලිමේන්තුවෙන් සම්මත කළ නීතියක් මත පදනම් වී ප්‍රකාශන නිදහස සීමා කිරීම යන්නයි. අදාල නීතිය පුරවැසි කාටත් ප්‍රවේශ විය හැකි පරිදි නීති පොත්වල තිබිය යුතුයි.

• සුජාත භාවය (legitimacy) යනු එසේ රටේ පවතින නීතියකින් ප්‍රකාශන නිදහසට ඇති කරන සීමාව, ජාත්‍යන්තර නීතියේ ද පිළිගත් අරමුණක් උදෙසා පමණක් විය යුතුයි (ICCPR මෙම සීමා අර්ථ දක්වන්නේ මෙසේයි: 1) ය‍මෙකුගේ අයිතිවාසිකම් හෝ කීර්ති නාමය රැකීම සඳහා; 2) ජාතික ආරක්ෂාව සහ මහජන සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා; හෝ 3) මහජන සෞඛ්‍යය නැතහොත් සමාජ සදාචාරය (public morals) පවත්වා ගැනීම සඳහා.

• තර්ජනයට සමානුපාතික වීම (proportionality) කියන්නේ එම අවස්ථාවේ පැන නැගී ඇති අර්බුදකාරී තත්වයට හෝ තර්ජනයට මුහුණ දීමට අවශ්‍ය කරන අවම මට්ටමේ සීමා කිරීම සිදු කළ යුතු බවයි. අන් අයුරකින් කිවහොත් හඳුන්වා දෙන තාවකාලික සීමා, අදාල තර්ජනයට සමානුපාතික විය යුතුයි.

ශ්‍රී ලංකා රාජ්‍යය ද අනුගත වීමට බැඳී සිටින ජාත්‍යන්තර නීතියට අනුව ප්‍රකාශන නිදහස තාවකාලිකව සීමා කෙරෙන නීතියක් හෝ නියාමනයක් ක්‍රියාත්මක කළ යුත්තේ දේශපාලන හෝ ව්‍යාපාරික බලපෑම්වලට නතු නොවන ස්වාධීන රාජ්‍ය ආයතනයක් විසින්.(උදාහරණයකට මානව හිමිකම් කොමිසම වැනි ආයතනයක්.)

නාලක ගුණවර්ධන | Nalaka Gunawardene