iMAGE: vikalpa
යුද්ධයේ අවසානය සනිටුහන් කිරීම පිළිබඳ ස්මරණය කිරීම් පසුගිය සතිය පුරා ශ්‍රී ලංකාවේ වාසය කරන විවිධ ජනකොටස් සහ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් විසින් පැවැත්විණි. විශේෂයෙන්ම දමිළ ප්‍රජාව අතර සමාජ මාධ්‍ය තුළ මෙම ස්මරණය කිරීම් හරහා යුද්ධය පිළිබඳ ප්‍රශ්නකාරී මතකයන් කරළියට ගෙනෙන ලදී. යුද්ධය පැවති වකවානුවේ දී ත්, එහි අවසාන කාලයේ දී ත්, රජය විසින් පමණක් නොව විමුක්ති කොටි ද ඇතුළු ආයුධ අතදරා සටන් කළ විවිධ කණ්ඩායම් මුදාහැරි ප්‍රචණ්ඩත්වය පිළිබඳ කරුණු සහ මතකයන් එහිදී ඉදිරිපත් කෙරුණි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය අතින් ගත් කල ඉතාමත් හිතකර සංවාදයක් විය.
කෙසේ වුවද, විමුක්ති කොටින්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පාර්ශ්වය නියෝජනය කළ අය තම මතකයන් සහ අදහස් පසුගිය කාලයේ පොදු වේදිකාවල දී ප්‍රකාශ කළ විට, ඔවුන් නැගූ හඬ පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ආකාරයෙනුත්, ස්වයං විවේචනාත්මක කරුණුවලට ඉඩ නොදෙන ආකාරයෙනුත් සමහරු කටයුතු කළහ. ආයුධ සන්නද්ධ අරගලය විවේචනාත්මකව දකින ජූඩ් රත්නම්ගේ “ඩීමන්ස් ඉන් පැරඩයිස්” නම් චිත්‍රපටය 2018 දී තිරගත කිරීම ට එරෙහිව යාපනයේ සිදුකළ ප්‍රචාරණ කටයුතු, මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් අවි දරමින් කළ අරගලය සම්බන්ධයෙන් පළකළ අදහස්වලට එරෙහිව ඔහුව ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසීමේ උත්සාහයන්, ස්මරණ උත්සවවල දී විමුක්ති කොටින්ගේ ක්‍රියාකාරකම් විවේචනය කරන්නන්ට එල්ල වන අභියෝග ආදිය හරහා, ආයුධ සන්නද්ධ අරගලය විවේචන සඳහා විවෘත කළ නොහැකි අන්දමේ එක්තරා පූජනීය දෙයකැ’යි යන මතවාදය අදටත් අපේ ප්‍රජාව තුළ වූ සමහර පාර්ශ්ව නියෝජනය කරන්නන් තුළ මුල්බැසගෙන ඇතැ’යි මින් තහවුරු කරයි.
ආයුධ සන්නද්ධ අරගලය සිදුවෙමින් පවතින විට ඒ පිළිබඳව අදහස් එළිපිට ඉදිරිපත් කළවුන් පැහැරගැනීමට ලක්විය, ඝාතනයට ලක්විය, හෝ නැත්නම් ඔවුන්ට තවදුරටත් උතුරු නැගෙනහිර ජීවත් වීම සඳහා අනුමැතිය අහිමි විය. අද ආයුධ සන්නද්ධ අරගලය වියැකී ගොස් ඇති අවස්ථාවක, එය ප්‍රතික්ෂේප කරන්නන් හට සහ ඒ පිළිබඳව විවේචනාත්මක කරුණු ඉදිරිපත් කරන්නන් හට එරෙහිව වෛරයේ බීජ වැපිරෙමින් තිබේ. සිංහල බෞද්ධ බහුතරවාදය සහ හමුදාකරණය නිසා දැඩි සේ බලපෑමට ලක් වී, ඒ බලපෑම්වලට එරෙහිව සාධාරණය ඉල්ලා සිටින අපි, අපේ ප්‍රජාවන් අතර පසුගිය කාලයේ ඇති වුණු ප්‍රචණ්ඩත්වය නිසා ඇති වුණු හානි ගැන සාකච්ඡාවට ලක්කරන අය සහ ඒ මතකයන් ගැන ප්‍රසිද්ධියේ එළිපිටම කතා කරන අය මත විරෝධය දක්වමින්, ඔවුන්ව ප්‍රතික්ෂේප කරන ආකාරයට ක්‍රියා කිරීම දැඩි සංවේගයට හේතුකාරණා වන බව කිව යුතු ය.
දමිළ සමාජය සහ ඔවුන් සමග එකට ජීවත්වන ප්‍රජාවන් ජනතාවගේ හඬ මෙලෙස යටපත් කිරීමට එරෙහිව හඬ නැගිය යුතු ය. විවේචන සඳහා වූ ඉඩහසර ලබාදිය නොහැකි වීමේ තත්ත්වයක් උද්ගත වීමත්, එවැනි විවේචකයන් ද්‍රෝහීන් බවට හංවඩු ගැසීමත් අඛණ්ඩව සිදු වේ නම්, අපේ ප්‍රජාව වෛරී සිතිවිලි සහිත දර්ශනයකට සීමා වීමේ අනතුරක් ඇති වීම වැළැක්විය නොහැක. ස්වයං විවේචනයට ඉඩ දෙන, ප්‍රගතිශීලී බහුත්වවාදය ගරුකරන ප්‍රජාවන්ට පමණකි නවදෙස්පාලන දෘෂ්ටිකෝණ සහ නව දේශපාලන ක්‍රියාවලියක් ඇති කළ හැක යන්න අවධාරණය කළ යුතු ය.
දෙමළ ජාතිකවාදය පදනම් කරගත් දේශපාලනය හා බැඳුණු ද්‍රෝහි අනන්‍යතාව

ආයුධ සන්නද්ධ අරගලය ට පෙර කාලවල දී පටන්ම තම ජාතිකවාදී ආස්ථානය හා එකඟ නොවුණු දමිළ දේශපාලකයන්වත්, ලංකාවේ අනෙකුත් ජාතික දේශපාලන පක්ෂවල සාමාජිකයන් වූ අයව ත් ද්‍රෝහීන් ලෙස හැඳින්වීම දමිළ ජාතිකවාදීන් විසින් සිදුකරන ලදී. තමන්ව අවිහිංසාවාදීන් ලෙස හඳුන්වාගත් ද්‍රෝහීන් ලෙස යම් යම් පිරිස් හුවාදක්වමින් ඔවුන්ට එරෙහිව වෛරය තීව්‍ර කරන ආකාරයේ දේශපාලන වාතාවරණයක් ඇතිකිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන සාමාජිකයන්ට ද බරපතල වගකීමක් ඇත. මොවුහු ආරම්භ කළ ද්‍රෝහී න්‍යාය ඉන්පසුව පැමිණි විමුක්ති කොටි ඇතුළු ආයුධ සන්නද්ධ කණ්ඩායම් ද අනුගමනය කළහ.

යුද්ධය පවතින විට ආයුධ සන්නද්ධ අරගලයේ දුෂ්කරතා සහ වෙනස්කොට සැලකීම් ප්‍රශ්න කළ යාපන සරසවියේ කථිකාචාර්ය රාජනී තිරාණගම එම විශ්ව  විද්‍යාල ශිෂ්‍යයන් වූ කිවිඳි සෙල්වි, ජෝර්ජ් මනෝහරන් වැනි අය ද ඇතුළත්ව බොහෝ අය ද සමග ඝාතනය ට ලක්විය. දමිළ නිදහස් සන්ධානයේ නායකයන් වූ අමිර්තලිංගම්, යෝගේෂ්වරන්, තංගදුරෛ, සරෝජිනී යෝගේෂ්වරන් වැන්නෝ ද අවි දරා සටන් කිරීම ට ප්‍රතිවිරුද්ධව නමුත් වෙනත් මඟක් ගනිමින් නිදහස සඳහා වූ විසඳුමක් පිණිස වන සිය උත්සාහයන්වල නිරත වෙමින් සිටියදී ඝාතනය ට ලක්විය.

වාමාංශික මතවාදය නියෝජනය කරමින් දේශපාලන උත්සාහයන්වල නිරත වුණු පුද්ගලයන් දැඩි තර්ජනවලට ලක්කරන ලදී. ඔවුන්ගේ පක්ෂවලට ද උතුරු – නැගෙනහිර දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වීමට ඉඩ නොලැබුණි. ආයුධ සන්නද්ධ අරගලය ට පිටත ආස්ථානයක සිට යමෙකු දේශපාලනය කරන්නේ නම් පවා තමුන් දමිළ ජනතාවගේ එකම නියෝජනය බව පිළිගත් විට පමණක් අදාළ දේශපාලනයේ නියැලීමට ඉඩහසර සලසන ආකාරයේ වටපිටාවකි විමුක්ති කොටි සංවිධානය ඇති කර තිබුණේ.

දමිළ ආයුධ සන්නද්ධ ව්‍යාපාරයේ එකම බලවේගය ලෙස විමුක්ති කොටින් හිස එසෙව්වේ 1980 දශකයේ මැදභාගයේ දී අනෙකුත් අරගලකාරී සංවිධාන ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා එකා පිට එකා මරාදැමීමෙන් පසුව ය. මෙම මිනීමැරුම් දුටුවත් නොදුටුවා සේ ද, ඒවා පිළිබඳව මුණිවත රකින්නන් ලෙස ද, සමහර විට එවැනි ක්‍රියා සාධාරණීකරණය කරන්නන් ලෙස ද අපි ක්‍රියාකර ඇත්තෙමු. ඒ අනුව, ආයුධ සන්නද්ධ අරගලයේ අප්‍රසන්න ප්‍රතිඵලවලට අප ද වගකිව යුතු බව පිළිගත යුතු ය.
දෙමළජාතිකයන්හුදෙකලාකිරීමෙහිලා අවි දැරූඅරගලය දැක්වූ දායකත්වය
දමිළ ජනතාව දිගු කාලයක පටන් ඔවුන් බහුතරය වශයෙන් දිවිගෙවන උතුරු නැගෙනහිර ප්‍රදේශවල තමන්ට ෆෙඩරල් ආණ්ඩුකරන රීතීන් යටතේ පළාත් ආණ්ඩු කිරීම සඳහා ස්වයං නිර්ණ අයිතිය ලැබිය යුතු බව ඇතුළත්ව සමහර සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඒවා සඳහා සාමකාමීව අරගල කළහ. නමුත් මේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබාදීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකාව පාලනය කළ ආණ්ඩු, රාජ්‍යයත්, දෙමළ ජනතාව බහුතරයක්ව ජීවත් වන ප්‍රදේශත් සිංහල-බෞද්ධකරණය කිරීමේ කටයුතුවල නියැලුණහ. මෙවැනි නොසලකා හැරීම්වලට එරෙහිව දමිළ ජනතාව අතරින් ආයුධ සන්නද්ධ අරගලයක් පැනනැගුණි. මෙම අරගලය රජයේ මර්දනකාරී පිළිවෙතට එරෙහිව නිදහස ලබාගැනීම සඳහා ආරම්භ කරන ලද වුවත්, එය එක් අවස්ථාවක දී දමිළ ජනතාව අතර පැවති අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ට හානි කිරීමට ද හේතු විය.
ආයුධ සන්නද්ධ අරගලයේ බැරෑරුම් ම ප්‍රතිඵලයක් ලෙස විමුක්ති කොටි විසින් උතුරු ප්‍රදේශයෙන් මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන්ම පිටමං කරන ලදී. දකුණුලක බස්රථවල ගමන් කළ, ආගමික ස්ථානවලට එක්රැස් වූ සිංහල ජනතාව මත මෙන්ම උතුරු නැගෙනහිර මායිම් ගම්මානවල ජීවත් වූ සිංහලයන් ද   ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල විය. ජාතිවාදයෙන් ඔදවැඩුණු රජය විසින් අප වෙත එල්ල කළ ප්‍රහාරවලට අප ද ප්‍රතිප්‍රහාර එල්ල කළ බවට සිතමින්, නමුත් එම ප්‍රචණ්ඩත්වයෙන් ඇති විය හැකි බලපෑම් ගැන නොසිතමින් අපි ද එම ප්‍රහාර සාධාරණීකරණය කළෙමු. මේ නිසා දමිළ ජනතාව රටේ අනෙකුත් ප්‍රජාවන්ගෙන් හුදෙකලා විය. ජාතීන් අතර සබඳතාවන් හි දී අවධානය ට ලක්වුණු බෙදීම් තවදුරටත් තියුණු විය.
ඒ වන විටත් විවිධ ආකාරයේ වෙනස්කොට සැලකීම් විවිධ කණ්ඩායම් වෙත මුදාහරිමින් සිටි දෙමළ ජාතිකවාදී දේශපාලනය, විමුක්ති කොටින්ගේ නායකත්වයෙන් යුත් සන්නද්ධ අරගලය කාලයේ දී ඊටත් වඩා දරුණු ලෙසින් වෙනස්කොට සැලකීම් කළේය. මේ නිසා දේශීයවත්, විදේශීයවත් දමිළ ජනතාවගේ දේශපාලන විමුක්තිය සාධාරණීකරණය කරමින්, ඒවා පෙරමුණට ගෙනයාම වෙනුවට එම අරගලයේ බලය හීන වීම සිදු විය. මේ අරගලය නිසා ජනතාව යම් ආකාරයක ස්වයං විනාශයකට ලක්වීම ද සිදු විය. රජයේ දරුණු ප්‍රචණ්ඩත්වයට අමතරව සන්නද්ධ අරගලයේ ප්‍රචණ්ඩත්වය ද දරාගන්නා ජනකොටසක් වීමට උතුරු හා නැගෙනහිර ජනතාවට සිදු විය.
නිදහස ලබාගැනීම සඳහා වූ සාමූහික උත්සාහයන්වල දී සන්නද්ධ අරගලය ඇති කළ බලපෑම
සන්නද්ධ අරගලය සිදු වන කාලයේ දී ජනතාවගේ සමාජීය නිදහස සඳහා වූ අරගල ද යම් ආකාරයකින් පසුබෑමට ලක් විය. එල්ටීටීඊය සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් කුල ක්‍රමය පදනම් කරගෙන සිදු වූ සමහර මර්දනකාරී ක්‍රියාවලට එරෙහිව ගත් සමහර පියවර පීඩිත කුලවලට අයත් ජනතාවගේ සුබසිද්ධිය පිළිබඳව ධනාත්මක වෙනසක් ඇතිකිරීම සඳහා හේතු වුවත්, කුල පීඩනයට එරෙහිව ජනතාව අතරින්ම පැනනැගුණු සංවිධානවලට ක්‍රියාත්මක වීමට එල්ටීටීඊ සංවිධානය පෙරමුණේ ලා ක්‍රියාත්මක වූ අනෙකුත් සන්නද්ධ සංවිධාන ඉඩ ලබාදුන්නේ නැත.
ජනතාව අතර කුල පීඩනයට එරෙහි සාමූහික අදහස් ඇති වීමට ඇති අවස්ථා පටු විය. කුල ක්‍රමයේ සමහර කුලවාදී ක්‍රියාවන්ට එරෙහිව ස්ථාවරයක් ගෙන ඇති අතර, පීඩිත කුල ජනතාවගේ ජීවිතවල යම් ධනාත්මක වෙනස්කම් ඇති වුවද, කුල හිංසනයට එරෙහි එල්ටීටීඊ නායකත්වයෙන් යුත් සන්නද්ධ අරගලය ඉවසා නැත. ජනතාව අතර කුල හිංසනය පිළිබඳ ඒකාබද්ධ සංකල්පයක් සඳහා වූ ඉඩකඩ පටු විය.
විමුක්ති කොටි සංවිධානය කාන්තාවන්ගේ විමුක්තිය පිළිබඳ සංවාදය කරළියට ගෙන ආවේ බොහෝ කොටම සන්නද්ධ අරගලය සඳහා සහ දමිළ ජාතිකවාදය සඳහා කාන්තාවන්ගේ දායකත්වය ලබාගැනීම අවශ්‍ය වූ විටයි. විරුද්ධ දේශපාලන මතධාරී කාන්තාවන් ඝාතනයට ලක්විය. කාන්තාවන්ගේ ලිංගික නිදහස සහ ඇඳුම් පැළඳුම් ඇඟලීමේ නිදහස ආදී කාරණා ද සන්නද්ධ අරගලය කාලයේ දී සීමා කෙරුණි. බොහෝ රටවල ජාතිකවාදය උත්කර්ෂයට නංවන ලද අවස්ථාවල දී අවධානය ට ලක් වූ ආකාරයටම, දේශයේ සංස්කෘතිය හිස මත දැරීමේ වගකීම කාන්තාව විසින් භාර ගත යුතුය යන දර්ශනය දමිළ ජාතිකවාදය විසින් ද ධෛර්යමත් කෙරිණ. දේශපාලන, සමාජීය, සංස්කෘතික තලයන් හරහා කාන්තා විමුක්තිය බහුත්වවාදී ප්‍රවේශයකින් ඉදිරියට ගෙනයාමට කැප වූ කාන්තා ක්‍රියාකාරීන්ව බටහිර ගැති ස්ත්‍රීවාදීන් ලෙස හංවඩු ගැසීමේ උත්සාහයන් ද මේ අතර විය.
ආයුධ සන්නද්ධ අරගලය පිළිබඳ නොයෙකුත් දෘෂ්ටිකෝණ

අහිංසාව පදනම් කොටගත් ආස්ථානයක සිටිමින් ආයුධ සන්නද්ධ අරගලය සදාචාරාත්මක නොවන බැව් කියා එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නෝ, ආයුධ සන්නද්ධ අරගලය තමන් පිළිකුල් කළ ද සංවිධානයන් විසින් එය බලෙන් තමන් වෙත ආරෝපණය කළ බව කියන්නෝ, ආයුධ සන්නද්ධ අරගලය ස්ව-විනාශක තත්ත්වය ට පත්වන්නට පෙර වූ කාලසීමාවේ සිදුකළ ආයුධධාරී ක්‍රියාකාරකම්වල ට සහයෝගය දක්වන්නෝ, 1987 දී ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරන්නට පෙර වූ කාලසීමාවේ සිදුකළ ආයුධ සන්නද්ධ ක්‍රියාකාරකම්වල ට සහයෝගය දක්වන්නෝ, ආයුධ සන්නද්ධ අරගලයේ හොඳ සහ නරක ගැන වෙන් වෙන්ව විශ්ලේෂණය කරමින්, ඒ මත පදනම්ව ආයුධ සන්නද්ධ අරගලය පිළිබඳව විවේචන මධ්‍යයේ පවා ඊට සහයෝගය පළකරන පුද්ගලයන් ආදී ලෙස, ආයුධ සන්නද්ධ අරගලය ට සහයෝගය පළ කරන අය සහ එය ප්‍රතික්ෂේප කරන අය යනාකාරයේ විවිධ පාර්ශ්ව දෙමළ සමාජය තුළ සිටී. ආයුධ සන්නද්ධ අරගලය පිළිනොගන්නා පුද්ගලයන්ව ද්‍රෝහීන් ලෙසත්, දෙමළ ජනතාවගේ හතුරන් ලෙසත්, රජයට ගැතිකම් කරන්නවුන් ලෙසත්, ඔත්තුකරුවන් ලෙසත්,ඔවුන් දෙමළ ජනතාවට අයත් නොවන බවත්, එසේත් නැත්නම් ඔවුන් දමිළ ජාතිකවාදය පෙරටු කොටගත් දේශපාලන පක්ෂවල නොහැකි බවත්   හඳුන්වන්නේ ද මෙවැනි බහු මතධාරී ප්‍රජාවක කොටස්කරුවන් වීම, අප අතර සිටින සමහරු තුළ ඇති ඉතා භයංකර මානසිකත්වය විදහා දක්වයි.

අඩුපාඩු රැසක් ඇතිව කළ ආයුධ සන්නද්ධ අරගලය ස්වයං විවේචනයක් සහිතව දැකීම, අපි අපේ වර්තමාන සහ අනාගත සමාජීය, ආර්ථික, දේශපාලන නිදහස ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් දිනාගැනීම සඳහා වූ උත්සාහයන්ට මඟපෙන්වීමක් වනු ඇත. ආයුධ සන්නද්ධ අරගලය ස්වයං විවේචනය කිරීම යනු අරගලකරුවන් ප්‍රචණ්ඩකාරී ම්ලේච්ඡයන් හෝ විකෘති මානසිකත්වයක් ඇත්තන් බවට හංවඩු ගසා, අපව ඔවුන්ගෙන් වෙන් කොට දක්වමින් අපි නිවරදිකරුවන්ය කියා හුවාදක්වන්නට ගන්නා උත්සාහයක් නොවේ. සන්නද්ධ අරගලයේ යෙදුන අය ද බිහිවුණේ අප අයත් ප්‍රජාවෙන්ම ය. ඔවුන්ගෙන් නියෝජනය වන්නේ ද අපේම ප්‍රජාවෙන් උත්පාදනය වුණු වෙනත් මතවාද සහ අදහස් ය. එබැවින්, ස්වයං පරීක්ෂාව යනු අරගලයේ අඩුපාඩු, ප්‍රචණ්ඩත්වය, වෙනස් කොට සැලකීම් පිළිබඳව අපි ප්‍රජාවන් ලෙස වගකීමෙන් ගත යුතු උත්සාහයකි. මෙවැනි උත්සාහයක් මඟින් පමණකි, විවිධ ප්‍රජාවන්ගේ එකමුතුවක් ලෙස අපට අපේ නිදහස සොයා නව දිශාවක් කරා පියමං කළ හැක්කේ.
සංස්කාරක සටහන : සහජීවනය සඳහා වූ යාපන ජනතාවගේ එකමුතුව විසින් පැවැත්වූ මාර්ගගත සංවාද 3ක දී පළකෙරුණු අදහස් පදනම් කරගෙන එම එකමුතුවේ සාමාජිකයන් කිහිපදෙනෙකු එක්ව මෙම සටහන සම්පාදනය කොට තිබේ. මෙම සටහනෙන් එකමුතුවේ සියලුම සාමාජිකයන්ගේ අදහස් නියෝජනය නොවේ.මෙම සිංහල පරිවර්තිත ලිපියේ මුල් ලිපිය 2020 මැයි මස 23 වැනි දින තිනක්කුරල් පුවත්පතේ දමිළ බසින් පළ විය.