iMAGE: Vikalpa

ඔබේ හැම ඡන්දයක් ම වැදගත්; ඔබ හැම කෙනෙකුටම වෙනසක් කරන්නට පුළුවන්.
ඒ නිසා යන්න; ඡන්දය දෙන්න; ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න. සිවිල් නිදහස. ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම, මානව හිමිකම්වලට ගරු කිරීම හා සාධාරණත්වය නොමැති විට – ආර්ථික සමෘද්ධිය සහ ආරක්ෂාව අපූර්ව සිහිනයක් පමණක්ම බවට පත් විය හැකිය.

ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපය සහ එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින් වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුවක් වන Well-wishing Sri Lankans Abroad’ (සුබ පතන විදේශගත ශ්‍රී ලාංකිකයෝ) විසින් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය හා එහිදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇති ඡන්ද අයිතිය භාවිතා කිරීමේ වැදගත්කම වෙත සැලකිල්ල යොමු කරමින් නිවේදනයක් නිකුත් කොට තිබේ.

එම සම්පුර්ණ නිවේදනය මෙලෙස පහතින් පළකරමු.

එක ඡන්දයක බලය – ‘සුබ පතන විදේශගත ශ්‍රී ලාංකිකයෝ’ සාමූහිකයෙන් ආයාචනයක්

දිගු කලක් තිස්සේ පැවති විවාද, ගැටුම් හා නීතිමය අභියෝග වලින් පසුව, ශ්‍රී ලංකාවේ 16 වන පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු 5 වන දා පවත්වන්නට නියම වී ඇත. ඉදිරි වසර පහේ දී රටේ ඉරණම තීරණය කරන ව්‍යවස්ථාදායකය තෝරා පත් කර ගැනීම සඳහා බොහෝ දෙනා මහත් උනන්දුවෙන් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කිරීමට බලා සිටිති. ඒ සමඟම, අප්‍රමාණ බොරු පොරොන්දු හා නොමඟ යවන මාධ්‍ය ව්‍යාපාර නිසාවෙන් සමහරු ව්‍යාකූල බවට හා අධික ලෙස වෙහෙසට පත්ව ඇත; ඔවුහු තමන් වෙනුවෙන් සිය දේශපාලන අනාගතය තීරණය කිරීමට කැමැත්තෙන්ම අන් අයට ඉඩ දෙනවා ඇත. ඇත්තෙන්ම මෙම ‌ඓතිහාසික මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කළ හැක්කේ අධෛර්යයට පත්ව සිටින හා උනන්දුවක් නොදක්වන ඡන්දදායකයන්ටයි. ඒ නිසා එවැනි ඡන්දදායකයන්ගෙන් බොහෝ දේ අපේක්ෂා කෙරේ.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල, වැරදි සහගත දේ සිදු වන විට, ජනතාව සාමකාමී ලෙස සිය ඡන්ද බලය පාවිච්චි කිරීමෙන් ඒවා නිවැරදි තත්වයට පත් කළ යුතුය. ඔබේ ඡන්දයට ඇති බලය එයයි; දැන් ඒ බලය සාඩම්බර ලෙසත් බුද්ධිමත් ලෙසත් ක්‍රියාවේ යොදවන්නට කාලය එළඹ තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ඉවත් කිරීමට අරමුණු කොට තිබෙන බව භාරකාර ආණ්ඩුව ප්‍රකාශ කර ඇත; බොහෝ වෙහෙස මහන්සි වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන ලද පරීක්ෂා කිරීම් හා සමබර කිරීම්‘ සියල්ල ඉවත් කර දමන්නට දරන සාහසික උත්සාහයකි ඒ.  රට ආණ්ඩු කිරීමට ඔවුන්ව යලි තෝරා පත් කර ගත්තොත් 2015 ට පෙර දශකයේ ව්‍යාප්තව තිබුන පුදුමාකාර තණ්හාව, පාලකයන් පැනවූ නියෝග හා අනුග්‍රහ දැක්වීම් නොනවත්වා කරනු ඇති බව මෙනෙහි කර ගැනීම අසීරු නැත.

අත්තනෝමතික පාලනයකින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවත් ආර්ථික සංවර්ධනයත් සහතික කරනු ඇතැයි යනුවෙන් ගෙන යන සැලසුම් සහගත නොමඟ යැවීමේ ව්‍යාපාරයේ ඉලක්කය වන්නේ දඬුවම් නොලබන සංස්කෘතියක් හා මර්දනකාරී සමාජ පිළිවෙලක් පිහිටුවා ලීමයි. මෙම මැතිවරණයේ අවදානමට ලක් වන කරුණු ගණනාවක් තිබෙන නමුත් ඉන් කිහිපයක් විශේෂයෙන් කැපී පෙනේ:

  • සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියට අනුව රට පාලනය කිරීම
  • ඉවසිලිමත් සහ එකමුතු බහු වාර්ගික, බහු-ආගමික සහ බහු භාෂා සහිත සමාජයක්
  • පොදුවේ වැදගත් වන කරුණු සම්බන්ධයෙන් පවත්වන වැඩදායක දේශපාලන කතිකා හා විවාද
  • අන්තර්ගතබව, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය හා අදාල ප්‍රතිපත්තිවලට කැපවී සිටීම.

ඉදිරියේ දී සිදු වන්නට යන්නේ කුමක්ද?

  • සිවිල් පරිපාලන සේවාවන් අනිසි ලෙස හමුදා කරණයට ලක් කිරීම
  • මාධ්‍යයට මුකවාඩම් දැමීම සහ කතා කිරීමට ඇති නිදහස මර්දනය කිරීම
  • 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහකට දැමීම
  • සිවිල් වැසියන්ගේ නායකත්වයෙන් ප්‍රතිපත්ති සකස් කරනවා වෙනුවට ජනාධිපති කාර්යසාධක බලකායවල දේශපාලනය ඊට ආදේශ කිරීම
  • විධායකය විසින් පාර්ලිමේන්තු බලතල අඩපණ කර දැමීම
  • ආපසු ගෙවීම සඳහා බොහෝ කාලයක් අපේ අනාගත පරම්පරාවන්ට වෙහෙසෙන්නට සිදු වෙන අන්දමින් රට වැඩි වැඩියෙන් ණය බරේ ගිල්වා දැමීම.
  • විදේශීය ලාභ ප්‍රයෝජන වෙනුවෙන් විශාල පරිමාණයේ ජාතික වත්කම් විකුණා දැමීම

අපේ වැනි බහු වාර්ගික, බහු භාෂා සහිත හා බහු-ආගමික සමාජයක් තුල හොඳම ආරක්ෂාව සැලසෙන්නේ අන්තර්ගතබව, ඉවසීම හා පොදු එකඟතාවය ගොඩනැඟීමෙනි.

අපේ රටට වඩා සාධාරණ අනාගතයකුත්, සාමයත් සමෘද්ධියත් ගෙන එනු ඇත්තේ අත්තනෝමතික ක්‍රමයකින් නොව ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකිනි. ආණ්ඩුවක් ‘පරීක්ෂා කිරීම් හා සමබර කිරීම්’ වලට, විනිවිදභාවයට හා වගවීමට බිය වන්නේ නම්, ඔබව පීඩාකාරී අන්දමට පාලනය කරන්නට ඔවුන්ට බලය පවරන්න එපා.

ඇත්තෙන්ම, හමුදා කරණය කිරීමේ හා අත්තනෝමතික පාලනයේ විරූපී හිස යලි නොඔසවන බව සහතික කල යුතු කාලයයි මේ. මෙසේ සිදු වන්නට ඇති හැකියාව සැලකිල්ලට නොගෙන, අවදානම් සහගත තීරණයකට එළඹ ඡන්දය පාවිච්චි කිරීම නුවනට හුරු තේරීමක් නොවේ. පසු වී ගිය නරක කාලය ගැන හිතන්න. අසීමිත විධායක බලතල; අල්ලස; දූෂණය; බියෙන් ස්වයං වාරණය කර ගන්නා මාධ්‍ය; ව්‍යවස්ථාදායකය අධිකරණ කටයුතුවලට ඇඟිලි ගැසීම; සුළු ජන කොටස් අසාධාරණ ලෙස පීඩාවට ලක් කිරීම … … යනාදී වශයෙන්. මෙවැනි දේ නැවත සිදුවීම වළක්වන්නට අපට පුළුවන් ද?

“ඔව්, අපට එසේ කල හැකියි”. රටටත් රටේ බහු වාර්ගික සමාජයටත් බලාපොරොත්තු තබා ගන්නට යම්කිසි හේතුවක් තිබිය යුතු නේද? ඡන්දදායකයන් හැම කෙනෙකුටම එසේ කරන්නට පුළුවන්.

ඒ නිසා, අගෝස්තු 5 වන දා අපි අප විසින්ම අසමත් බවට පත් නොවෙමු. අප අප වෙනුවෙනුත්, ඉදිරි පරම්පරාවන් වෙනුවෙනුත් මේ ඓතිහාසික යුතුකම ඉටු කල යුතුය. රටේ දිගු කාලීන යහපත හිතේ තබා ගෙන ඡන්දය පාවිච්චි කිරීමේ වැදගත්කම ගැන ජනයා දැනුවත් කරන්නට සිවිල් සමාජ ක්‍රියාකාරීහු මැදහත් විය යුතුයි.

ඔබේ ගෙවත්ත පෙනෙන්නේ කෙසේද යන්න රඳා පවතින්නේ ඔබ පරෙස්සමෙන් තෝරා බේරා ගෙන සිටු වන බිජුවට අනුවයි. ඔබේ ඉදිරි කටයුතු දිග හැරෙන්නේ කෙසේද යන්න රඳා පවතින්නේ අගෝස්තු 5 වන බදාදා ඔබ ගන්නා තීරණය අනුවයි. ඒ තීරණය විසින් මූලික වශයෙන් ඉදිරි වසරවල දී අපේ සමාජය, ආර්ථිකය සහ ඔබේ දූ දරුවන්ගේ අනාගතය හැඩ ගස්වා ලනු ඇත. ඔබේ වටිනා ඡන්දය නාස්ති කර දැමුව හොත් එයට සමාවට කරුණක් නැත. එසේ කරනු වෙනුවට, ඡන්ද අපේක්ෂකයන් ගැන අධ්‍යයනය කරන්න; ඔවුන්ගේ අභිමතාර්ථ මොනවාදැයි හඳුනා ගන්න; ඔවුන් කෙතරම් විශ්වාසදායක දැයි තක්සේරු කරන්න; අපරාධකරුවන් යයි දන්නා හඳුනන අපේක්ෂකයන්ව ප්‍රතික්ෂේප කරන්න; වඩාත් දක්ෂ හා අවංක අපේක්ෂකයන් වෙනුවෙන් හදවතට එකඟව ඔබේ ඡන්දය පාවිච්චි කරන්න.

ඔබේ හැම ඡන්දයක් ම වැදගත්; ඔබ හැම කෙනෙකුටම වෙනසක් කරන්නට පුළුවන්.

ඒ නිසා යන්න; ඡන්දය දෙන්න; ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න. සිවිල් නිදහස. ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම, මානව හිමිකම්වලට ගරු කිරීම හා සාධාරණත්වය නොමැති විට – ආර්ථික සමෘද්ධිය සහ ආරක්ෂාව අපූර්ව සිහිනයක් පමණක්ම බවට පත් විය හැකිය.

සුබ පතන විදේශගත ශ්‍රී ලාංකිකයෝ

ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපය සහ එක්සත් රාජධානිය

අත්සන් කලේ

ආචාර්ය ලයනල් බෝපගේ

කැඳවුම් කරුවන් වෙනුවෙන්