1989 සැත්තැම්බර් 21 වැනිදා, යාපනයේ දී රාජිනි තිරාණගම මරා දමන ලදී. මරා දමන විට අවුරුදු 35 ක් වූ රාජිනි, යාපනය විශ්ව විද්‍යාලයේ, කායවිචේජේද විද්‍යාව පිලිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන ලදී (http://dbsjeyaraj.com/dbsj/archives/33112). 2020 දී, සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලයේ සේවයේ නිරතව සිටි මහාචාර්ය සෞමය ලියනගේ, සේවයෙන් නෙරපා හරින ලදී. එම විශ්ව විද්‍යාලයේ නිසි බලධාරියා සහ පාලන අධිකාරිය, එම ක්‍රියාවලිය සාධාරණය කරනු ලැබුවේ, වෘත්තීය තාක්ෂණික පදනමක් මත මෙම තීරණය ගනු ලැබූ බව ප්‍රසිද්ධ කරමිනි. දෙමළ දේශපාලන සන්ධානයේ සාමාජිකයකු සහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම මානව හිමිකම් ක්‍රියදරයකු වූ නඩරාජා රවිරාජ්, 2006 නොවැම්බර් මස 10 වැනි දින කෙළඹ දී ඝාතනය කරන ලදී. මතු පිටින් පෙනී යන කරුණ නම්, ලිපිය වෙනුවෙන් තෝරාගත් මෙම සිදුවීම් ත්‍රිත්වය එකිනෙකට කිසිදු සම්බන්ධයක් නොදක්වන බවය. නමුත් මට අවශ්‍ය වනුයේ මෙම සිදුවීම් අතර වන අන්තර් සම්බන්ධය පැහැදිලි කිරීමය.

මම ශ්‍රී ලංකාවේ දේශපාලනය යනු මඩ ගොහොරුවක් ලෙස අර්ථකථනය නොකරමි. එසේම බහුතර ජනයා මෙම සිදුවීම් වෙත සංවේදී නොවේ යන කරුණ ද කීමට මැලි වෙමි. එසේනම් මෙවැනි සිදුවීම් සිදුවන්නේ කෙසේද සහ එයට ජනතාවගේ එක් අයෙක් ලෙස මා විසින් කරන පැහැදිලි කිරීම පෙන්වා දීම වෙනුවෙන් මෙම ලිපිය ලියමි.

ආචාර්ය රාජිනි රාජසිංහම් හෙවත් තිරණාගම යනු පොදුරාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වයක් හිමිව, වෛද්‍ය විද්‍යාවේ අචාර්ය උපාධිය මහා බ්‍රිතාන්‍යයේ දී, Liverpool Medical School හිදී සම්පුර්ණ කල ස්ත්‍රියකි. විවියන් ගුණවර්ධන ලෙසම රාජිනි ද ශ්‍රී ලංකාවේ ස්ත්‍රීවාදී ව්‍යපාරය තුළ දී ප්‍රබලව සාකච්ජා කළ යුතු චරිතයකි. නිරන්තරයෙන් ෂෙල් සහ බෝම්බ පුපුරන යාපනය වෙත රාජිනි බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙනුයේ දෙමළ ජනයා වෙත රාජ්‍ය විසින් පනවන ලද ප්‍රචණ්ඩත්වයට එදිරිව හඬ නැගීමටය. මානව හිමිකම් ක්‍රියාකාරී කෝණයෙන් ඇයගේ දේශපාලනය හදුන්වා දීම මේවන විට විශාල ලෙස සිදු වී ඇත. එහෙත් ඇය ස්ත්‍රියක ලෙස සිදු කරන ලද අරගලය ස්ත්‍රීවාදීව කියවීම දැක ගත නොහැකිය. රාජිනි සමරමින් 2006 දී ප්‍රකාශිත No More Tears Sisters හි ඇයගේ වැඩිමහල් සොහොයුරිය නිර්මලා මෙසේ පවසයි;

“සිවිල් යුධ පසුබිමක සිවිල් ජීවිතය පවත්වා ගෙන ගියේ දෙමළ ස්ත්‍රීන් විසිනි” (https://www.youtube.com/watch?v=hzFFIDiOmZ4). රාජිනී එසේවූ ස්ත්‍රියකි. ඇය අරගලය වෙනුවෙන් විමුක්ති කොටි සංවිධානය තෝරාගත් අතර පසුව තම සවිඥානකතත්වය සහ අපේක්ෂා, ව්‍යපාරය සමඟ නොගැලපෙන විට එයින් ඉවත් ව ගියාය.

දෙමළ මධ්‍යම පාංතික, ක්‍රිස්තියානි පවුලක උපත ලද රාජිනි, වාර්ගිකත්වය හේතුවෙන්ම රාජ්‍ය ව්‍යුහය විසින් වෙනස්කොට සලකන ලද දෙමළ ජාතිකයන් ගේ විමුක්තිය අරගල ව්‍ය්පාරයකට සම්බන්ද වීම, ප්‍රබල ස්ත්‍රීවාදී අභ්‍යාසයකි. ඇය තමා වෙත පාංතික සහ වාර්ගිකව බලහත්කාරයෙන් පවරන ලද සම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව වෙත අභියෝග කරන ලදී. මෙය මා හදුන්වන්නේ, අනගාරික ධර්මපාල යුරෝපිය මිතුදම් සමඟ ශ්‍රී ලංකාවේ යහපත් කාන්තාව නමින් පරමවිඥානාර්ථ ගෙනෙන ලද පසුබිකම තබන ලද විපුල පියවරක් ලෙසය (වැඩි දුර විස්තර :- Labour, Feminism & Ethnicity in Sri Lanka : Selected Essays – කුමාරි ජයවර්ධන,2017). එහෙත් ශ්‍රී ලංකාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාර සාහිත්‍ය තුළ රාජිනීගේ මෙම දේශපාලනික හැරවුම පිලිබඳ සාකච්ඡාවට දුර්මුඛය.

T.D. Ramakrishnan විසින් මලයාලම් බසින් රචිත Sugandhi Enna Andal Devanayaki (2018) කේන්ද්‍රවන්නේ රාජිනිගේ ජීවිතය ආශ්‍රයෙන් බව පැවසේ. එම පොත මඟින් ඇයගේ අරගලය, වාර්ගිකවාදී සහ ස්ත්‍රී ආකෘතිගත වූ බාධක බිඳ හෙළීමට ඇය සතු වූ ශක්තිය මෙන්ම ඇයගේ කෘෘර මරණය තීරණය කිරීමේ බලයෙහි හිමිකරුවන් පිළිබඳව ද විස්තර වේ. මෙය පසුව Priya K. Nair විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඇත (https://www.indianwomenblog.org/novel-on-activist-rajani-thiranagamas-life-all-set-to-reach-wider-audience-via-english-translation/). බිදුණු තල්රුක ඉක්මවා යමින් මතුව එන ස්ත්‍රී ආත්ම අරගලය සහ එය පෞද්ගලික මෙන්ම පොදු අවකාශය වෙත ගෙන යන රාජිනි පිලිබඳ අවධානය යොමුකළ යුතු වේ.

වසර 31ක් ගෙවෙන මේ මොහොත තුල රාජිනි ගේ කතිකාවන් වාර්ෂික සැමරුමෙන් එලියට ගෙන යා යුතුය. එහෙත් දෙමළ ජන සමාජය මේ මොහොතේ නැවත ගමන් කරමින් සිටින්නේ පුරුෂ මුලික ව ගොඩ නැගු සම්ප්‍රධායික සමාජය වෙත යැයි මට හැඟේ. මෙවර මහා මැතිවරණය (2020) තුලින් එක් සුළු ජනවාර්ගික ස්ත්‍රී නියෝජනයක් හෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ දැකිය නොහැකිය. පත්ව සිටින ස්ත්‍රී නියෝජිතයන් 08 දෙනා අතරින් ද, එක් ස්ත්‍රියක් පමණක් කැබිනට් අමාත්‍ය ධුරයක් නියෝජන කරයි. වනිතා කටයුතු අමාත්‍ය ධුරය පුරුෂ දේහයක් විසින් මෙහෙය වීමේ දෝෂයක් නොමැති නමුත් ගැටලුව වන්නේ, 2/3 බලයක් සහිත ආණ්ඩුවක් වෙත නියෝජිතයන් පත්ව ඇත්තේ සිංහල-පුරුෂ ජන්දයෙන් පමණ ද යන්නය.

රාජිනීම වරක් පැවසූ ලෙස,

“දිනක උණ්ඩයක් විසින් මාව නිහඬ කරනු ඇත. එය පිටස්තරයකු විසින් නොව, මා සමඟ ඉතිහාසය බෙඳා ගන්නා ලද ස්ත්‍රියකගේ කුසින් උපන් පුත්‍රයකු විසින් තබන උණ්ඩයක් විසින් වනු ඇත”(http://archive.pov.org/nomoretears/first-person-in-rajanis-words/).

මෙය තව දුරටත් මා විස්තර කිරීමට මා ආචාර්ය කුමාරි ජයවර්ධනව උපුටා ගැනීමට රුචි වෙමි.(Labour, Feminism & Ethnicity in Sri Lanka : Selected Essays -2017). එනම් මෙය පින්වත් පුතුන්ගේ බිමක් මිස ස්ත්‍රීන්ගේ නොවේ. එම බිමේ පින්වත් පුතුන් අභිජනනය කිරීම පමණක් නොව දේශපාලනය කිරීමට ද ස්ත්‍රියට හැකි විය යුතුය.

රාජිනීගේ ආඛ්‍යානය සෞම්‍යට සම්බන්ද වන්නේ කෙසේද ? ඉතාම පහසු කරුණකි. එනම් පින්වන්ත භුමියේ හිමිකරුවන් වන පින්වත් කුලකුමරුන් පිරිසක් විසින් මහාචාර්ය සෞම්‍යගේ ජීවිකා මාර්ගයක් නැතිකර තිබේ. එයට හේතු ලෙස, සෞම්‍ය විසින් ආධුනික කථිකාචාර්ය ධුරයේ සිට ස්ථිර වීම වෙනුවෙන් වන තාක්ෂණික කරුණු සපුරා දීමේ දෝෂයක් පවතින බව දක්වමිනි. මේ මොහොතේ සෞම්‍ය වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමේ ව්‍යපාරයක් ගොඩනැගෙමින් තිබේ. එය අගය කළ යුතුය.

එහෙත් බහුතර රට්ටුන් නොදන්නා කරුණ නම්, විශ්ව විද්‍යාල තුළ බහුතරයක් ආධුනික කථිකාචාර්යවරුන්/ වරියන් නිරන්තරයෙන්ම සෞම්‍ය ලෙසම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන බවය. පෞද්ගලික දේශපාලන කතිකාවක් මා මෙය සමඟ අමුණමි. වරක් මා සේවයේ නිරත විශ්ව විද්‍යාලයේ Academic Establishments හි සහකාර ලේඛකාධිකාරතුමිය සමඟ විතර්කයක් ඇති විය. එයින් පසු ඇය ගෙන් රාජකාරි ලේඛන ලබාගැනීමට යාමේදී මා දැඩි ලෙස පීඩාවකට පත් විය. එය දැඩි විශාදයක් මා තුළ ඇති කරන ලදී. මෙම පිඩාව යම් විෂය ප්‍රධානියකු වෙත මා වාචිකව සැල කළ විට ලද පිළිතුර වුයේ, මෙම පැමිණිලි දුර දිග ගෙන නොයන ලෙසය. එයින් පසු මා, අදාල වෘත්තීය සංගම් හි නිසි බලධාරියකු වෙත යොමු වූ විට, එම පිඩාව ආධුනික කථිකාචාර්ය ධුරයේ සාමාන්‍ය තත්වයක් බව පැහැදිලි කරන ලදී. එය යම් දුරකට හෝ අවසන් වුයේ අදාළ සහකාර රෙජිස්ටාර් ස්ථාන මාරුවක් හේතුවෙනි. එම විශ්ව විද්‍යාලයේම තවත් සෞම්‍ය කෙනෙකුගේ අඛ්‍යානයක් ද බෙදා ගැනීමට කැමතිය. ඇය/ඔහු ධුරයේ ස්ථිරව සිටි අතර ජ්‍යෙෂ්ඨත්වයට ද හිමිකම් කියන ලදී. කිසිදු පූරව දැනුම් දීමක් නොමැතිව මාසික වැටුප නතර කරන ලද බව ඇය / ඔහු දැනගනු ලැබුවේ අදාළ දිනට තම වේතන බැංකු ගිණුම වෙත බැර නොවීමෙනි.

රාජිනීගේ ආඛ්‍යානය ලියනවිට මා බහුලව ද්විතික මුලාශ්‍ර භාවිතා කල ද, සෞම්‍ය ගේ කතාව තුළවන අශිෂ්ට දේශපාලනය පැහැදිලි කිරීමට අනුභාවික තත්වයන් ප්‍රමානත්මක් වේ. මෙහිදී මා සම්පූර්ණයෙන්ම භාවිතා කළේ අනුභාවික තත්වය මුල් මුලාශ්‍රය ලෙස තෝරාගනිමින් දෛනික පිඩාව/ ප්‍රචණ්ඩත්වය විස්තර කිරීමය. මෙය රාජිනි සිටි නිරන්තරයෙන් ෂෙල් සහ බෝම්බ පුපුරන, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සිදුවන පරිසරයක් බදුය. යුද්ධයේ දී ජීවිතය වෙනුවෙන් දිවගිය මිනිසුන්, මෙම පසුබිමේ ජීවිකාව මගින් ජීවත්වීම ආරක්ෂා කිරීම වෙනුවෙන් තම හඬ සඟවා ගනී. විශ්ව විද්‍යාල රැකියාව හැරුණු විට වෙනත් කිසිදු උපායමාර්ගයක් නොමැතිව සෞම්‍යකරණය වූ ප්‍රචණ්ඩත්වයට ලක් වන විට ඒ වෙනුවෙන් පෙනී සිටීමට වෘත්තීය සංගමයක් හෝ නොමැතිවීම බයංකාර තත්වයකි.

පසුගියාදා Centre for Society and Religion හි පැවති මාධ්‍ය හමුවක දී සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ කියා සිටියේ සෞම්‍ය නැවත සේවයේ පිහිටවිය යුතු බවය. එමෙන්ම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ට අනුව ද මෙය අදාල විශ්ව විද්‍යාලය විසින් ගත අත්තනෝමතික තීරණයකි. (http://www.dailymirror.lk/breaking_news/Prof-Saumya-Liyanage-should-be-reinstated-Prof-Uyangoda/108-197551?fbclid=IwAR3bbc_jHXUn8HerCjDpR1xgNgct9ujxb6abJqfzXTQqKyY3iIK4NhXMHz4#.X3_6x-Llkl8.facebook).

ඇසීමට අවශ්‍ය වන්නේ මෙවැනි අත්තනෝමතික ක්‍රියා දෛනිකව සිදුවන විට එහි සෞම්‍ය සරි හඬක් නොමැති වින්දිතයන් කුමක් කළ යුතුද ? No More Tear Sisters සහ බිඳුණු තල්රුක හරහා රාජිනි ද එදා ඇසුවේ දෙමළ ජනයාගේ පීඩනය සමබන්දයෙන් මෙම ප්‍රශ්නයම නොවේද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් (kilangu/ potato;- සුරතල් නාමය) 1962 ජුනි 25 වැනිදා යාපනයේ චාවකච්චේරියේ දී උපත ලදී. ශික්ෂක පරිසරයකට හිමිකම් කී රවිරාජ් 1987 දී නීතිඥයකු ලෙස දිවුරුම් දුන් අතර, 1990 දී නීතිපති දෙපාර්තමේන්තුව බැදුණි. 1993 දී, එම දෙපාර්තමේන්තුවෙන් නික්ම යන හෙතෙම මානව අයිතිවාසිකම් ක්‍රියාදරයකු බවට පත් වී පසුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ(TULF ) හි ක්‍රියාකාරී සාමාජිකයකු විය. හෙතෙම අරගලය ලෙස ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් දෘෂ්ටිවාදිව සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස් කරන වෙත අවධානය යොමු කර තිබේ. (http://www.dailymirror.lk/dbs-jeyaraj-column/Murder-most-foul-of-moderate-Tamil-MP-Raviraj/192-118726).

මානව නිදහස, ගරුත්වය සහ ඒ වෙනුවෙන් ප්‍රතිසංස්කරණවාදය විශ්වාස කළ රවිරාජ් ව 2006 නොවැම්බර් මස 10 වැනිදා කොළඹ නාරාහේන්පිට දී ඝාතනය කරන ලදී. 2016 දී මෙම ඝාතනය වෙනුවෙන් මහාධිකරණය විසින් තීන්දුව ලබා දුන්නේ සියලු විත්තිකරුන්වන් නිවැරදිකරුවන් බවට පත් කරමිනි.(https://www.youtube.com/watch?v=XLquTh0ZRJ4). රවිරාජ් ගේ ජීවිතය අහිමිකරන දින උදැසන හෙතෙම දෙරණ රුපවාහිනියේ වැඩසටහනකට සහභාගී වී පවසා තිබුනේ විමුක්ති කොටි සංවිධානය වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ ද තමා ඇතුළු දේශපාලන කණ්ඩායමේ අපේක්ෂාව ඒකීය රාජ්‍යක් පවත්වා ගැනීම බවය. (http://www.dailymirror.lk/dbs-jeyaraj-column/Murder-most-foul-of-moderate-Tamil-MP-Raviraj/192-118726). එම ප්‍රකාශය විකාශනය කළ දෙරණ රුපවාහිනිය 2016 දී මෙම ඝාතනයේ සැකකරුවන් ජූරියේ ඒකමතික තීන්දුව අනුව නිදහස් කරන විට, ඒකීය රාජ්‍යයේ නාවිකා හමුදා රණවිරු අහිමානය සුරැකීම මනුෂ්‍ය ජිවිතයට වඩා වැදගත් බව කියා සිටි. (https://www.youtube.com/watch?v=XLquTh0ZRJ4). රවිරාජ් වටහා ගත යුතුව තිබු කරුන නම්, බ්‍රිතාන්‍යයේ කුලී හේවායන්ගෙන් පුහුණුව ලද ශ්‍රී ලංකා හමුදාවකින් (https://www.youtube.com/watch?v=Ei-XIAIab2Q) සහ චීන යටත් විජිතකරණයට ඉඩ දෙමින් (http://www.asianews.it/news-en/Sri-Lanka-has-become-a-land-for-China%E2%80%99s-economic-colonisation-41147.html), ලාභය උපරිම කරගැනීමට කටයුතු කරන සිංහල-බෞද්ධ බහුතර ආණ්ඩුවකින් සුළු වාර්ගික ජනයා වෙත දේශපාලනික පිළිගැනීමකට ඉඩ සලසාවි ද?

ලිපිය අවසන් කරමින් කිව හැක්කේ, මෙම තෝරාගත් චරිත තුනම Federico Andahazi ගේ The Anatomist (ගාමිණී වියන්ගොඩ විසින් පරිවර්තනය කර ප්‍රකාශිත ව්‍යවච්ජේදකයා) හි මැතියෝ රෙනල්දෝ කලම්බු ගේ දේශපාලනික හැසිරීමට සමාන කරමි. බලය සහිත පල්ලිය විසින් ගෙනයනු ලබන ඥානය අභියෝගයට ලක් කරමින් “මධුර දේශයක් – නව ලෝකයක්” සොයාගැනීමට මෙම තිදෙනාම උත්සුක වී තිබේ. ප්‍රථිපලය ලෙස ඔවුන් පණ පිටින් පිළිස්සීම වලක්වා ගැනීමට අපොහොසත් වීම මානවයාගේ බරපතල පිරිහීමකි. පුරවැසියා ලෙස, කිසිදු සමාජ ව්‍යාපාරයක සාමාජිකත්වය ද නොමැතිව, මෙලෙස මොවුන් පණපිටින් පුළුස්සා දැමීමට හෝ පිටුවහල් කිරීමට හැකි සෑම විටම විරෝධය දැක්වීමට ශක්‍යතාවක් තිබිය යුතුය.

අරුණි සමරකෝන් | Aruni Samarakoon