‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ යනුවෙන් 2016දීත් අපි ලීවෙමු! අදද එහි අර්ථයේ කිසිදු වෙනසක් නැති බව ද නැවතත් සදහන් කරමු.

ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල අර්ථයෙන් ලොව පුරා එැවැනි අපරාධ සිදුකරන රාජ්‍යන්ට බලපෑම් කිරීමේ අරමුණින් 2013 නොවැම්බර් 2වනදා එක්සත් ජාතීන්ගේ 68වන සමුලුවේදී එකගතාවයක් ඇති කර ගන්නා ලදි. එය නම් ‘International Day to End Impunity for Crimes against Journalists / A/RES/68/163 ලෙස බලපෑම් කිරීමේ ජාත්‍යන්තර දිනයක් ලෙස සම්මත විය.

#ENDImpunity ලංකාව තුළ..!!!

විශේෂයෙන් ලංකාව තුළ පසුගිය වසර කිහිපය තුළ ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍ය සේවකයන්ට වෙත එල්ල කල කිසිදු අපරාධයකට මේ දක්වා කිසිවෙකුවත් නීතිය හමුවේ වරදකරුවෙකු කිරීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. 2004 සිට 2010 දක්වා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 44 දෙනෙක් ඝාතනයට ලක්ව ඇති බව JDS වාර්තා කරයි. එම ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් 44 දෙනාගෙන්, අඩුම වශයෙන් 39 දෙනෙක් ඝාතනය කර අැත්තේ බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය හෝ එහි අනුග්‍රහ ලබන සන්නද්ධ කණ්ඩායම් විසින් බව ඔවුන වැඩිදුරටත් පෙන්වා දෙයි. එපමණක් ද නොවේ, රාජපක්ෂ පාලනය විසින් එවැනි බිහිසුනු ඝාතන මෙන්ම අතුරුදන් කිරීම්, ගිණිතැබීම්, පහරදීම් වැනි කිසිදු අපරාධයකට පරීක්ෂණයක් පවා සිදුනොකරමින් ලෝකය හමුවේ මාධ්‍ය නිදහස, මානව හිමිකම් ගැන වහසි බස් දෙඩීමට කිසිදු හිරිකිතයක් නොදැක්වූවේය. (1982 සිට ජනවාරි මස පමණක් ජනමාධ්‍යට එල්ලකරන ලද අපරාධයන් ගණන ද සුලුපටු නොවේ. බලන්න. ඒවාට ද මේ වන තෙක් යුක්තිය ඉටු වී නැත.

මේ අපරාධ කිසිවක්ට ‘යුක්තිය’ ඉටු කිරීමට මෙතෙකි බලයට පත් වූ කිසිදු ආණ්ඩුවකට නොහැකි විය.

එහෙත් විවිධ අපරාධවලට වගකිවයුතු විශාල පිරිසක් කිසිදු අධිකරණයක් ඉදිරියේ චෝදනා නොලබා නිදැල්ලේ පසුවීම ලංකාව තුළ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති අයුරු, පසුගිය කාලය පුරාම අපි දුටුවෙමු.

පසුගිය දස වසරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව සිදු කෙරුණු අපරාධ ඒ අතරින් ප්‍රධාන ය.

මේ කාලය තුළ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම්, පහරදීම් හා වධහිංසා කිරීම්, තර්ජනය කිරීම්, ජනමාධ්‍ය අයතනවලට පහරදීම් හා ගිනිතැබීම් විශාල ප්‍රමාණයක් සිදු වූ අතර, ඒ කිසිවක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට කිසිදු ආණ්ඩුවක් මෙතෙක් සමත්ව නැත.

මේ තත්ත්වය විසින් යළි යළිත් සනාථ කෙරෙන්නේ එකී සිදුවීම්වලට ආණ්ඩු හෝ ආණ්ඩුවලට සමීප අය සම්බන්ධ බවට එල්ල වන චෝදනාවයි.

ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුකෙරුණු, මෙතෙක් යුක්තිය ඉටු නොවූ සිදුවීම් රාශියක් අතුරින් සිදුවීම් පිළිබදව සිදුවීම් කිහිපයක් පහතින් දක්වමු!. ඒ නොවැම්බර් 2ට යෙදී තිබෙන “‘International Day to End Impunity for Crimes against Journalists“ නිමිත්තෙනි.

පිංතූර විශාල කර බැලීම සදහා ඒ මත ක්ලික් කරන්න