ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ.

නොදන්නා දෙයක් නැති වීරවංසට අනුව “රිවරස්” පෙත්ත ගත් විට ලේ දකින්න ආසය. මහර හිර ගෙදර රැදවියන් 11 දෙනෙකු මරාගෙන සියයකට පමණ තුවාල සිදු කරන ලද්දේ ලේ දැකීමේ ආසාවටය. වීරවංසට අනුව එම පෙත්තේ නම රිවස්ය.

එනමින් මත් පෙත්තක් ඇතැයි අන්තර්ජාලයේ නම් සොයා ගත නොහැක. මත්පෙති සහ කුඩු සම්බන්ධයෙන් රිවර්ස් (ආපසු හැරවීම) යන වචනය පාවිච්චි වෙන්නේ අධික ලෙස වේදනා නාශක හෝ මත් පෙති/කුඩු ගැනීමට ප්‍රතිකර්මයක් ලෙස ලබා දෙන ඖෂධ හැදින්වීමටය. මෙම ආපසු හැරවීම නිසා ඉතාම කලාතුරකින් අයකු යම් ප්‍රචන්ඩ හැසිරීමක් දැක්විය හැක. (වීරවංසගේ රිවර්ස් පෙත්ත හැදුනේ මෙතැනින් විය හැක!)

වීරවංස වැනි දේශපාලකයින්ගේ ජනප්‍රියත්වය පවතින්නේ මහාජනයාගේ ගල් ගැසුණු නූගත්කම මතය. ඒ නූගත්කම දඩමීමා කරගෙන සිය දේශපාලන ජාවාරම කරගෙන යෑමේ කෙළපැමිණි ශූරයෙකි වීරවංස.

මේ නූගත්කම යනු පාසල් නොගොස් සිටීම හෝ විභාග සමත් නොවීම හෝ නොවේ. නූගත්කම යනු ඇත්ත ඇති සැටියෙන් දකින්නට බැරි තරම් පටු අදහස්වල සිරවී සිටීමයි. නැත්නම් දැන දැනම සිය පටු පරමාර්ථ තකා එවැනි මිත්‍යාමය, කිසිදු විද්‍යාත්මක සහ තර්කානුකුල පදනමක් නැති කතා පිළිගැනීමයි. පිළිගෙන ඒවා ප්‍රචාරය කිරීමයි.

වර්ථමාන ශ්‍රී ලංකාවේ මෙකී නුගත්කම සමහර විට රටෙහි බලවත්ම දේශපාලන ගාමක බලය විය හැකිය.

මෙම නූගත්කමේ චක්‍රය අසා සිටින්නාද කතාව ගොතන්නාද මාරුවෙන් මාරුවට සිය චරිත රංගනය හුවමාරු කර ගන්නා විශම චක්‍රයක් බවටද පත් වෙයි. දැන දැනම ගොතන ලද බොරුව ඇත්තක් යැයි එය නිර්මානය කළ පුද්ගලයා විසින්ම පිළිගන්නා තරමේ මායාමය යථාර්ථයක් බවට පත්වෙයි. හරියට දැන් වීරවංස වාගේය. ඔහු තමා නිර්මාණය කළ ”ලේ රස සොයන” පෙත්තේ සිරකරුවකු බවට පත්වෙයි. පපුව බදා යටි උගුරෙන් කෑගසා හදවත අතට අරං, මේන් පෙත්ත යැයි කියන්නට තරම් මායාව බන්ධනයක් බවට පත්වෙයි.

“ලේ රස සොයන පෙත්ත” නිර්මාණය කැරෙන්නේ මුල්බැස ඇති විඥානගත දේශපාලනයකිනි. එය නම් සැබෑ ප්‍රශ්ණ මායාමය කතා මගින් පිටුදැකීමයි. අවශ්‍ය අවස්ථාවෙහිදී එය කළ එළි බහින්නේ ඉබේමය. මන්ද යත් දේශපාලන පංතියට සමාජ යථාර්තයන් වසං කිරීම එය අවශ්‍ය නිසාය.

මහර ඝාතනයන්හිදී දේශපාලන පංතියට සැමන් සේ අසුරා නොමිනිස් පාලනයක් ගෙන යන බන්ධනාගාර යථාර්තය වසං කරන්නට අවශ්‍ය වෙයි. එබැවින් ගැටුමේ ඇත්ත සාධක වසං කරනු පිනිස රැදවියන්ගේ හිස් රැදවියන් මතම තබා පතුරු ගැසිය යුතුය. එවැනි අවශ්‍යතාවයක් හමුවෙහි “ලේ රස සොයන” පෙත්තක් නිර්මාණය කිරීම ඇත්තක් සේ පෙන්විය හැකි අපූරු මායාවකි. මායාව යනුම රැවටීමකි.

මහර බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු තැනක් හදුනාගෙන ඇතැයිද ඉන් එකක් වන්නේ මත්පෙති වැඩිපුර ගෙන ප්‍රචන්ඩවිමයැයි ද රාජපක්ෂවාදී වෙබ් අඩවිකරුවෝ ප්‍රචාරය කරන්නේ ඒ නිසාය.

“ලේ රස සොයන පෙත්ත” ජනමාධ්‍ය විසින්ද ප්‍රචාරය කරන්නට පටන් ගත්තේ ඒ අනුවය. පොලීසියද බන්ධනාගාරයද මහර රැඳවියන් මානසික රෝග ප්‍රතිකාරක පෙති 21,000ක් තරම් බී ඇතැයි ඊට උල්පන්දම් දුන්හ. රැඳවියන් එම පෙති දහස් ගණන බොනවා හෝ කනවා හෝ දුටු සාක්ෂි අවශ්‍ය නැත. නූගත්කමේ දේශපාලනය එම කතාව එහෙම පිටින්ම ගිලින බැවිනි.

දැන් ශ්‍රී ලංකාවේ මානසික වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙරට භාවිතා වන කිසිදු මානසික රෝග ප්‍රතිකාරක ඖෂධයක් ඒවා භාවිතාකරන්නන් ප්‍රචන්ඩත්වයට පත් නොකරන බව අවධාරණයෙන්ම පෙන්වා දී තිබේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ එවැනි ඖෂධ මගින් කෙරෙන්නේ ප්‍රචන්ඩත්වයේ අනෙක් පැත්ත වන සන්සුන්බවට පත් කිරීම බවයි.

එසේ නමුත් මෙම විද්‍යාත්මක පැහැදිළි කිරීම හබරල කොළයකට වැටුණු ජල බිදුවක් මෙන් ඉහිරී යනවා ඇත. ගල් ගැසුණූ මතවාදී නූගත් බව විසින් පිළිගනු ඇත්තේ වීරවංසගේ “ලේ රස සොයන පෙත්තය”.

පෙත්ත වනාහී ශ්‍රී ලංකාවේ නූගත්කමේ දේශපාලනයේ විස්ම කර්මයාය.

මෙයට වසර අටකට පෙර එනම් 2012 නොවැම්බර් 09 දා වැළිකඩ බන්ධනාගාරයෙහි ද සමූළ ඝාතනයක් සිදුවිය. ඊට පසුදා පාර්ලිමේන්තුවෙහි කතා කරමින් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරන අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මෙසේ කීවේය.

“මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමාට මා උදේ වරුවේ උපෙදස් දුන්නා, මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන්න කියා; මේ සිද්ධියට තුඩු දුන් හේතු, මේ රැඳැවියන් මේ විධියට ප්‍රචණ්ඩත්වයට පත් වීම ගැන පමණක් නොවෙයි, අවි ගබඩාවේ අවි ඔවුන් අතට ගැනීමට ක්‍රියා කළා නම් ඒ කවර හේතු මතද කියා වාර්තා කරන්න කියා. මට වාර්තා වෙලා තිබෙන විදියට බන්ධනාගාරෙය් ඖෂධ අංශයේ තිබෙන මත් වන පෙති පාවිච්චි කරමින් ඉවක් බවක් නැතුව මේ අවි පාවිච්චි කිරීම නිසා සාමාන්‍ය රැඳැවියන්ටත් තුවාල සිදු වූ බව වාර්තා වෙනවා.” (හැන්සාඩ් 2012 නොවැම්බර් 10 /521 තීරුව)

දැන් බලන විට වීරවංශගේ කතාව පරණ තැටියක් යළි වාදනය කිරීමකි. එදා තිබුණේ “මත්වන පෙති”ය. අද “ලේ රස සොයන පෙති”ය. නමුත් මානසික වෛද්‍යවරුන් විසින් කරන ලද ප්‍රකාශයේ දැක්වෙන්නේ පසුගිය වසර 70ක් පුරා මෙරට මානසික වෛද්‍යවරුන් භාවිත කරන ඹෟෂධ කිසිවක් හෝ ප්‍රචන්ඩත්වයට පොළඹවන ඒවා නොවන බවයි.

වඳ පෙත්ත ද වීරවංශ යනාදීන් බලයට පැන ගැනීමට ගොතන ලද මායාවක් විය. ස්ත්‍රී මදසරුබව ඇතිකළ හැකි පෙත්තක් ලොව නැතැයි මෙරට ඉහළම වෛද්‍යවරු ප්‍රකාශ කළද ගල් ගැසුණු නූගත් බව එය පිළිගත්තේ නැත. අද පවා බොහෝ සිංහල ජනයා අතර වඳ පෙත්ත ඇත්තකි. මායාවක් නොවේ. වඳ කුඩු, වඳ තිසරපට යනාදිය වඳ පෙත්තෙන් විහිදුණූ අතු රිකිලි විය.

අද හොර වෙදකු විසින් සොයාගත්බව කියන කොවිඩ් වයරස් නාශක පැණි මායාව ප්‍රචලිත කිරීමත් මෙවැනිම නූගත්කමේ දේශපාලනය පාවිච්චි කිරීමකි. මේ හොර වෙදාගේ බොරු පැනිය පරීක්ෂා කර අනුමත කිරීම පිනිස ආණ්ඩුව දැන් ඉහළ පෙලේ කමිටුවක් පත් කර තිබේ. ඒ බොරු පැනිය බොමින් ජොලි සිනහවක් දාන්නේ අහෝ මෙරට සෞඛ්‍ය බාරව සිටින ඇමැතිනියයි. මේ ඇයි, ජනතාව රැවටීමට දැන් මහා ඇස්බැන්දුමක් අවශ්‍ය නිසාය. එමගින් නූගතුන් කරපිටින් රජ මාවතෙහි සැප විදීමටය.

තව ටිකක් ආපස්සට ගිය විට පෙති දේශපාලනයේ වැදගත් ඉමක් හසුවෙයි. ඒ 1971දීය. එවසර බක්මාසයේ මෙරට තරුණ තරුණියෝ රාජ්‍ය විරෝධි සන්නද්ධ කැරැල්ලක් දියත් කළහ. එහි පරාජය කැරැල්ල තුලම නිදන් ගතව තිබුණි. එසේ වුවත් රටෙහි තරුණ තරුණියන් විසි තිස් දහසක් එවැනි අරගලයකට යොමූ වීමට බලපෑ සමාජ ආර්ථික මෙන්ම දේශපාලන කරුණු ද තිබුණි.

නමුත් එවකට රට කරවූ සිරිමා බණ්ඩාරනායක රජයේ ප්‍රගතිශීලි දේශපාලනඥයකු ලෙස නම්දරා සිට ටී.බී. ඉලගරත්න කීවේ මෙසේය: “මේ තරුණ තරුණියන් යුද්ධයට යවා ඇත්තේ පෙති වගයක් පෙවීමෙනි.”

එකළ මත්පෙති තිබුණේ නැත. නමුත් ටී.බී. ඉලංගරත්න පෙත්තක් මැවුවේය. ඒ අප්‍රේල් කැරැල්ලට හේතු වූ සමාජ ආර්ථික ප්‍රශ්ණ යටපත් කිරීම පිනිසය.

මේ සියළු ඛේදවාචකයන් මැද එදා මෙදා තුරු මෙම දේශපාලන නූගත්කම ඉක්මවා යන සමාජ දේශපාලන උගත්කමක් මෙරට තිබුණි. නිදසුනක් නම් පෙති මායාව නිශ්ප්‍රභා කැරෙන වෛද්‍ය මතයන්ය. හොර වෙදාගේ බොරු පැනියට හෙළිදරව් කරන වෛද්‍යවරුන්ය යනාදී වශයෙනි.

මේ තවත් එවැනි උගත්කමේ යථාර්තවාදී දේශපාලනයකි.

මහව බන්ධනාගාරයේ ඇතිවූ කළහය සහ රැඳවියන්ගේ මරණ සම්බන්ධයෙන් තොරතුරු සොයා එහි ගොස් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි විමර්ශන සහ විමසීම් බාර කොමසාරිස්වරිය වන රමණී මුත්තෙට්ටුවගම විසින් නිකුත් කරන ලද අන්තර්වාර වාර්තාවෙහි මෙසේ කියයි.

“මෙම විරෝධතා ඇවිලී ගියේ කොවිඩ් වයිරසය ආසාදිත සිරකරුවන් වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරය වෙත මාරු කිරීම මගිනි. මෙම මාරු කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් පෙන්වන ලද විරෝධයට ඉහළ බලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ නම් සහ එළෙස මාරුකර එවන ලද සිරකරුවන් සඳහා වෙනම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවා වන ලද්දේ නම්, මෙම ගැටුම එමගින් සිදුවූ මරණ සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිව තිබුණි.”

“අලුතෙන් එන රැඳවියන්ගේ පීසීආර් පරීක්ෂාවන්ට කලක් ගත කරන අපැහැදිළි බවක්” බන්ධනාගාරයෙහි තිබී ඇති බවද පිටු හතරකින් යුතු වාර්තාව සදහන් කරයි.

තවද කරුණු විමර්ශනය කිරීම පිනිස මහර බන්ධනාගාරය වෙත ගිය මානව හිමිකම් කොමිසමේ නියෝජිත පිරිසට ‍ පහසුකම් සැලසීමටත් නිලධාරීන් සමඟ කතා කිරීමටත් බොහෝ ප්‍රමාදයන් සිදුවූ බවද එය සඳහන් කරයි. “නිදහස අහිමි කරන ලද අයගේ අයිතීන් ගැන බැලීම මානව හිමිකම් කොමිසමේ බලාධිකාරයට අයත් බැවින් එවැනි සිදුවීම් සිදුවන විට බලධාරීන් වහාම මානව හිමිකම් කොමිසමට දැනුම් දිය යුතු” බවත් එහි සඳහන් වේ.

සිය නිර්දේශයන් නොපමාව ක්‍රියාත්මක කරන ලෙස එම වාර්තාව මගින් මානව හිමිකම් කොමිසම කියා සිට ඇතත් සුපුරුදු පරිදි මෙම අගනා නිර්දේශයන් හමස් පෙට්ටියටම යනු ඇති අතර, කල්නොයා ගෝඨාභය රාජපක්ෂ විසින් සිය කැමැත්ත අනුව පත්කරන ලද නව කොමසාරිස්වරු මානව හිමිකම් කොමිසමේ වැඩ බාර ගන්නවා ඇත.

එවිට යළි මායව එහිද රජවනු ඇත.

මේ ගතවෙමින් ඇත්තේ ස්වාධීන මානව හිමිකම් කොමිසමේ අවසන් හෝරාවය. එසේ තිබියදීත් මෙරට ජනයාගේ මානව හිමිකම් සුරැකීමට කොමිසම ගන්නා උත්සාහයන් කෙදිනක හෝ නිසි අගයීමට ලක්වනු නොඅනුමානය.

අනාගතය අයත්වන්නේ මායාමය නූගත්කමේ දේශපාලනයට නොව යථාර්ථවාදී උගත්කමේ දේශපාලනයටය.

අප ඒ විශ්වාසය අත නොහැරිය යුතුය.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya