iMAGE: AP Photo

බන්ධනාගාර ඝාතනවලට දින හයකට පසු දෙසැම්බර් 5 වන දින (ලිපිය ලියන මොහොත වන විට) මහර බන්ධනාගාරයෙන් පිටත රැස්ව සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ නිරන්තරයෙන්ම අසන ලද ප්‍රශ්නය වූයේ, “මගේ පුතා කොහෙද, මගේ සහෝදරයා කොහෙද?” යන්නයි.

එහි සිටි බොහෝ දෙනා රැඳවියන්ගේ මව්වරුන් වූහ. තවත් පවුලේ සාමාජිකයන් ද සිටියහ. එක් කාන්තාවක් ඔක්තෝම්බර් 3 වන දින තම පුතා බැලීමට ගොස් ඇති අතර ඔක්තෝම්බර් මාසයේදී සංචාරයන් සීමා කිරීමෙන් පසුව නොවැම්බර් මාසයේදී ඔහුගෙන් දුරකතන ඇමතුම් ලැබී තිබුණි.

නොවැම්බර් 29 වන දින බන්ධනාගාරය තුළ සිදු වූ ඝාතනවලට පෙර තවත් කිහිප දෙනෙකුට ද එහි සිටින ඥාතින් බැලීමට හා දුරකතනයෙන් ඇමතීමට අවස්ථාව ලැබී තිබුණි. එක් මවක පවසා සිටියේ මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීමට පෙර තම පුතාට ඇප ලබා දී ඇති නමුත් නිදහස් කර නොතිබුණු බවය.

බන්ධනාගාරයෙන් පිටත බලා සිටි සියලු දෙනාටම අවශ්‍ය වූයේ  රැඳවියන් වු ඔවුන්ගේ ආදරණීයයන්ගේ ඉරණම දැන ගැනීමටයි. සමහරු පැවසුවේ දුර සිට හෝ ඔවුන්ගේ මුහුණ දැකීමට අවශ්‍ය බවයි. තවත් සමහරු තම පවුලේ සාමාජිකයාට දුරකථනයෙන් කතා කිරීමට අවශ්‍ය බව පැවසූ අතර සමහරු නිරෝධායනය සඳහා යවා හෝ රෝහල් ගත කර ඇති තවමත් සිරගෙදර සිටින පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ඉල්ලා සිටියහ. ශෝකයට පත් එක් මවක් එක සමාන පෙනුම ඇති පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායාරූප ගෙන, එක් ඡායරූපයක තම පුතා නිවසේ සිටින ආකාරයත්, තුවාල සමඟ ලේ ගලමින් සිටි පුද්ගලයෙකු අනෙක් ඡායාරූපයේ සිටින ආකාරයත් පෙන්වමින් පවසා සිටියේ එම පුද්ගලයා තම පුතා යැයි ඇයට හැගෙන බවය. මෙම පවුල් සොයන්නේ ඝාතන සිදුවන අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි අයගේ ඉරණම සහ යහපැවැත්ම පිළිබඳ අවිනිශ්චිතතාවයට අවසානයකි.

මම බන්ධනාගාර දොරටුවෙන් පිටත සිටියදී නිල ඇඳුමින් සැරසුණු බන්ධනාගාර නිලධාරීන්, අසල පිහිටි ගොඩනැගිල්ලක ලී දොරට දැන්වීම් දෙකක් ඇලවීය. එක් දැන්වීමක සඳහන් වූයේ තම ආදරණීයන්ගෙන් තොරතුරක් නොමැති රැඳවියන්ගේ පවුල්වල ට එක්තරා දුරකතන අංකයකට අමතන්න ලෙසත්, අනෙක් දැන්වීමේ සඳහන් වූයේ, ඇප ලබාගත් සමහර රැඳවියන් නිරෝධායනයෙන් පසු නිදහස් කිරීම සඳහා අක්කරයිපත්තුවේ හමුදා ආරක්‍ෂණ මධ්‍යස්ථානයකට ගෙන ගොස් ඇති අතර තොරතුරු ලබා ගැනීම සඳහා තවත් අංකයක් අමතන ලෙසත් ය. මෙම දැන්වීම් දෙකම මහර බන්ධනාගාර අධිකාරීතුමන් විසින් අත්සන් කර තිබුණි .

බන්ධනාගාර අංක සහිත පුද්ගලයින් 93 දෙනෙකුගේ නම් ලැයිස්තුගත කර මීට පෙර එම ගොඩනැගිල්ලෙම අලවා ඇති බව පවුල් වලින් පෙන්වා දෙන ලදි. නමුත් මෙම ලැයිස්තු වල අත්සන්කරුවකු සිටියේ නැත. බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක නිලධාරියකු පැවසුවේ මෙම ලැයිස්තුව තුවාල ලැබූවන්ගේ වන අතර ඔවුන්ගෙන් සමහරෙකු තවමත් රෝහල් ගතව සිටින අතර තවත් අය රෝහලේ ප්‍රතිකාර ලබා මහර බන්ධනාගාරයට ගෙන එන ලද බවයි. ආරක්ෂක නිලධාරියා කනස්සල්ලට පත්වූ පවුලේ සාමාජිකයන්ගේ ප්‍රශ්නවලට ආචාරශීලීව හා ඉවසිලිවන්තව පිළිතුරු දුන් නමුත් ක්‍රියා පටිපාටි පැහැදිලි කිරීමට වඩා ඔහුට සැබෑ පිළිතුරු තිබුනේ නැත.

බන්ධනාගාර බලධාරීන් විසින් පවුලේ සාමාජිකයින්ට ඔවුන්ගේ නම්, දුරකථන අංක සහ ඥාතීන්ගේ තොරතුරු ලිවීමට පොතක් සපයා දී තිබු අතර, රැඳවියාගෙන් පවුලේ සාමාජිකයින්ට දුරකතන ඇමතුමක් ලබා දෙන බවට ද පොරොන්දු විය. සමහර පවුලේ සාමාජිකයන් විස්තර ලිවීමට පටන් ගත් නමුත් තවත් සමහරු කෝපයෙන් පොත විහිළුවක් ලෙස බැහැර කළහ. ඔවුන් කියා සිටියේ තමන් දින කිහිපයක්ම බන්ධනාගාර දොරටුව ඉදිරිපිට සිට ඇති අතර මීට පෙර මෙම පොතේ ලියා ඇති නමුත් කිසිදු ඇමතුමක් ලැබී නොමැති බවයි.

එක් මවක් පැවසුවේ දින හයක් තිස්සේ සෑම දිනකම පාන්දර 5 සිට සවස 6 දක්වා ඇය එහි සිට ඇති නමුත් තම පුතා පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි. ඇගේ පුතා සහ දියණිය තරුණ වියේදී ඇගේ ස්වාමිපුරුෂයා මිය ගොස්  ඇති අතර විවිධ ගෘහ සේවා වල නිරත වෙමින් දරුවන් දෙදෙනෙකු ඇති දැඩි කිරීම ඇයට කොතරම් මහන්සි  වූවා ද යන්න ඇය විස්තර කලාය. සෑම දිනකම බන්ධනාගාරයේ ඉදිරිපිටට වී සිටීමට සිදුවූ නිසා ඇයට ගෙවී ගිය  සතියේ කිසිදු ආදායමක් නොතිබූ අතර බස් රථ කිහිපයක් සඳහා මුදල් වියදම් කරමින් දුර බැහැර සිට බන්ධනාගාර පිවිසුමට දිනපතා පැමිණීම කොතරම් දුෂ්කර ද යන්නත් ඇය විසින් පැහැදිලි කරනු ලැබුවාය.

බන්ධනාගාර දෙපාර්තමේන්තු බස් රථයක් බන්ධනාගාරය තුළින්  පැමිණ වේගයෙන් පවුල් පසුකරමින් යද්දී පැමිණි සිටි අය නොසන්සුන් විය. සමහරු තම පවුලේ සාමාජිකයන් බසයෙන් නාඳුනන ස්ථානයකට ගෙන යන බවට සැක කරමින් ඔවුන් සමඟ කතා කරන්නට අවස්ථාවක් ඉල්ලා සිටියහ. බස් රථයේ සිටි අය බන්ධනාගාර නිලධාරීන් යැයි ද අනුමානයක් විය. හැගීම්භරව සිටි පවුල් කිහිපයක් වෙනත් බස් රථයක් පිටතට පැමිණියහොත්  අවහිර කිරීමට තීරණය කළ නමුත්, එය ප්‍රමාද වැඩි විය. බස් රථය ඔවුන් පසුකරගෙන ගිය අතර ඊළඟ පැයේදී පමණ වෙනත් බස් රථයක් පිටතට නොපැමිණියේය.

මහර රැඳවියන්ගේ පවුල්වල ආයාචනා සේම තම ආදරණීයන්ගේ ඉරණම දැන ගැනීමට වසර ගණනාවක් පුරා විදි විරෝධතා පැවැත්වූ දෙමළ පවුල් ද එක හා සමානය. ශ්‍රී ලංකාව පුරා බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වල ආයාචනා ද මෙහිදී  සිහිපත් වේ.  සෑම අවස්ථාවකදීම මෙම පවුල් විසින් සොයනු ලබන මූලික තොරතුරු වන්නේ, ඔබේ රැකවරණය හා භාරයේ සිටි මගේ ආදරණීයයාට සිදුව ඇත්තේ කුමක්ද? ඔවුන් ආරක්‍ෂිතද, ඔවුන් ඔබ රැක බලා ගන්නවාද? ඔවුන්ට හානියක් සිදුවී ඇත්නම්, වගකිව යුත්තේ කවුරුන්ද? පිළිතුරු සඳහා අප යොමුවිය යුත්තේ කාටද?

ශ්‍රී ලංකා නීතියට අනුව, කිසියම් රජයේ නිළධාරියකු විසින් වෙනත් පුද්ගලයෙකුගේ නිදහස අහිමි කරමින් රඳවාගෙන සිටින පුද්ගලයාගේ ඉරණම සඟවා තැබීම, වර්තමානයේ සිටින ස්ථානය හෙළි කිරීම පැහැර හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ වලංගු හේතුවක් නොමැතිව හෙළිදරව් කිරීමට නොහැකි වීම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ වරද යටතේ වරදක් විය හැකි අතර, එය වසර 20 ක සිරදඬුවමක් ලැබිය හැකි අපරාධයක් වේ. ඒ සඳහා රුපියල් මිලියනයක් දක්වා වූ දඩයක් සහ රුපියල් පන්ලක්ෂයකට වැඩි වන්දියක් ගෙවීමට ද සිදු වේ. මහර බන්ධනාගාර රැඳවියන් සිටින ස්ථානය පවුල්වලට දැනුම් දීම ප්‍රතික්‍ෂේප කරන නිලධාරීන්ට ද මෙය අදාල නොවේ ද?

එහෙයින් මෙම සංහාරයෙන් දින හයකට පසු (ලිපිය ලියන මොහොත වන විට), දිවි ගලවා ගත් රැඳවියන්ගේ පවුල්වලට තම ආදරණීයයන් දුර සිට බැලීමට හෝ අවම වශයෙන් එක් දුරකථන ඇමතුමකටවත් ඉඩ දීමට  දැන් බලධාරීන්ට කාලය පැමිණ තිබේ.

රුකී ප්‍රනාන්දු | Ruki Fernando