ඇසට පෙනෙන දෙය යථාර්ථය නම් අපට විද්‍යාවක් වත් චින්තනයක් වත් අවශ්‍ය වන්නේ නැත. වර්තමාන දේශපාලන සන්දර්භය තුළ අපට පෙනෙමින් තිබෙන්නේ කුමක් ද? ඒ බැලූ බැල්මට එකිනෙකට වියුක්ත වූ සිදුවීම් රාශියකි. ඒ එකිනෙක අතර ඍජු සම්බන්ධයක් සොයා ගැනීම උගහට තත්වයකි. විටෙක කොවිඞ් වසංගත තත්වය උත්සන්න වෙයි. තවත් විටෙක වසංගත තත්වය අවසාන බවක් අපට ඉබේටම හැගෙන්නට වෙයි. ඒ අපට හිතෙන හැටියැයි අප විසින් අපටම කියා ගැනෙයි. ඒ අතර වාරයේ ඡන්දයක් ද පැවැත්වෙයි. නැවත වරක් අපට කොරෝනා උත්සන්න වී ඇති බවක් ද නැවත වටයකින් කොරෝනා ගැන නිනව්වක් නැති සෙයක් ද හැගෙයි. ඒ අතර වාරයේ කොරෝනා පැණියක් කරළියට එයි. එන්නත් පිළිබද කතාබහ යටපත් වෙයි. පළාත් සභා ඡන්දයක් මතු වෙයි. ජීවන වියදම පිළිබදව වන ගැටළුව යටපත් වෙයි. වරාය විකිණීමක් පිළිබද තතු ඇසෙන්නට ගනියි. මිය ගියවුන්ගේ මෘත දේහවලට කුමක් කළ යුතු ද යන ගැටළුව මහා ගැටළුවක් ලෙස සමාජය තුළ මතු වෙයි. මුසල්මානුවන් වහාම මේ රටින් පළවා හැරිය යුතු බවක් අපට ඉබේටම හැගෙන්නට ගනියි. මේ සියල්ල බැලූ බැල්මට එකිනෙකට වියුක්ත බවක් අපට හැගෙයි. එහෙත් කිසිවකුට මෙම සියල්ල අපට සිතෙන හැටි නොව අපට සිතීමට බළකරන හැටි බව නොහැගෙයි.

මේ එකිනෙකට සම්බන්ධ නැතැයි හැගෙන සිදුවීම් සමස්තය හරහා විවිධ ආකාරයේ ප‍්‍රතිවිරෝධතාවයන් සමාජය තුළ ස්ථාපනය වේ. ඒ හරහා පාලකයාට අත්තනෝමතික බලය යෙදිය හැකි ව්‍යතිරේඛී අවස්ථාවන් නිර්මාණය වෙයි. මෙහි ගැටලූව වන්නේ ප‍්‍රතිවිරෝධතාවයන් ඇති වීම නොව ඒ හරහා සැබෑ ප‍්‍රතිවිරෝධතාවයන් දෙවෙනි තලයට ඇද දමමින් ව්‍යාජ ප‍්‍රතිවිරෝධතාවයන් හඹා යාමට සිදු වීමයි. එහෙත් අප රටෙහි ඓතිහාසිකව සිදු වූ දෙය වන්නේ සමාජ සංස්ථාවම ව්‍යාජ ප‍්‍රතිවිරෝධතාවයන්ගේ ගොදුරක් බවට පත් වීමය. 80 දශකයේ සිට එලෙස නිර්මාණය වූ එක් ප‍්‍රතිවිරෝධයක් වූයේ සිංහල දෙමළ වශයෙන් වූ ප‍්‍රතිවිරෝධයයි. එකී ප‍්‍රතිවිරෝධයේ යුධමය පෙරමුණ 2009 දී අවසන් වුවද එහි දේශපාලන පෙරමුණ තවමත් ශේෂ ව පවතී. 2009 න් පසු නැවත වටයකින් කරළියට එන්නේ එවැනිම ආකාරයේ තවත් ප‍්‍රතිවිරෝධයකි. ඒ සිංහල හා මුස්ළිම් ජන කොටස් අතර ප‍්‍රතිවිරෝධයක් ලෙසිනි. එහි මෑත ඉතිහාසය තුළ වූ උච්චස්ථානය සළකුණුවන්නේ පාස්කු ප‍්‍රහාරය මගිනි. එහෙත් ඊට පෙර සිටම සමාජය තුළ එවන් ගැටුම්කාර’ තත්වයකට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙමින් පැවතිණ. වඳ කොත්තු, වඳ ඇඳුම් ආදී ප‍්‍රවෘත්ති හරහා සිංහල ජාතිවාදයට ආමන්ත‍්‍රණය කරන ලද අතර ඊට ප‍්‍රතිවිරුද්ධව මුස්ළිම් ජාතිවාදය ද නිර්මාණය කෙරුණි. එමෙන්ම මෙහිදී අවධාරණය කළ යුත්තේ ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්තව පවතින ඉස්ලාම් අන්තවාදය උත්තේජකයක් ලෙස බලපෑම් සහගත වූවා මිස එය එකම හේතුව ලෙස ගැනීම මෙකී තත්වයන් තුළ ඇති දේශපාලනය මග හැරෙන්නක් බවට පත් කරන බවයි.

මෙහිදී අපට ජාතිවාදී ප‍්‍රතිවිරෝධයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන්නේ වර්තමාන කොවිඞ් අර්බුදයට සමගාමීව නිර්මාණය වී ඇති කොවිඞ් මළ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් මුස්ළිම් සමාජයෙන් මතු ව ඇති විරෝධතාවය නිසාවෙනි. එය දැන් දැන් ජාතිවාදී ආස්ථානයක සිට ග‍්‍රහණය කර ගනු ලබන බවක් පෙනෙයි. සමාජ මාධ්‍ය තුළ වුවද එය ප‍්‍රකාශ වන්නේ ජාතිවාදී ආස්ථානයකට කොටු කරමිනි. පසු ගිය කොරෝනා පැණිය පිළිබද වූ විසංවාදය අභිබවමින් මළ සිරුරු ඇසුරින් නිර්මාණය වෙමින් සහ කරමින් පවතින විසංවාදය කරළියට පැමිණෙමින් තිබෙයි.

මෙහිදීද සමාජය කදවුරු කිහිපයකට බෙදෙයි. ප‍්‍රධාන වශයෙන් මෙහිදී බෙදෙන කදවුරු ලෙස මතුපිට තලය තුළ දෘෂ්‍යමාන වන්නේ මුස්ළිම් ජනතාවගේ මළ සිරුරු ආදාහනය කිරීමට විරුද්ධ පාර්ශවය හා ආදාහනය කළ යුතුය යන ස්ථාවරයෙහි සිටින පාර්ශවයන් අතරය. මෙම බෙදීම ඉතා රළු ස්වභාවයක් ගනියි. තම ජාතිකත්වය කෙරෙහි දක්වන අතිශය පක්ශපාතීත්වය සමග මෙම විරෝධතාවය අත්‍යන්තයෙන් ගැට ගැසී තිබීම එයට හේතුවයි. සමාජ මතු පිට තලය තුළ එය දෘෂ්‍ය මාන වන්නේ සිංහල හා මුස්ළිම් ජාතිකත්වයන් අතර ඇති වන විභේදනයක් ලෙසිනි. නමුත් මෙහි ඇති දේශපාලනය නම් රහසක් නොවේ. එක් අතකින් සිංහල ජාතිවාදී දේශපාලනය විසින් පෝෂණය කරන ලද සිංහල ජාතිවාදී සමාජ මනෝභාවය ද ඊට ප‍්‍රතිපක්ෂව මුස්ළිම් ජාතිවාදී දේශපාලනය හා සිංහල ජාතිවාදයෙහි ප‍්‍රතිපක්ෂය මගින් නිර්මාණය කරන සිංහල විරෝධී මතවාදය ද මෙහිදී ප‍්‍රධානම කදවුරු දෙක බවට පත් කෙරෙයි. සමාජ මාධ්‍යයන් තුළ දැන් දැන් කරළියට එනු ලබන ජාතිවාදී උසිගැන්වීම් තුළ ඇත්තේ එකී දේශපාලන උවමනාවයි.

නමුත් මෙහිදී අප අවධානය යොමු කළ යුත්තේ මෙවන් ප‍්‍රශ්නයක් වාස්තවික ලෙස මතු වීමට ඉඩකඩක් නැති ද? යන ගැටළුවටයි. එකී ගැටළුව සමාජය තූළ මතු විය යුත්තේ කොවිඞ් වසංගතයෙහි බලපෑමෙන් මිදීමෙහි විද්‍යාත්මක අවශ්‍යතාවයන් හා ආගමික විශ්වාසයන් අතර ගැටුමක් ලෙසිනි. එක්කෝ මෙහිදී විද්‍යාවෙහි අණසකට යටත් වීමට ආගමික විශ්වාසයට සිදු වන්නට ඉඩ තිබුණි. අනෙක් අතට සිදු විය හැකිව තිබුණේ විද්‍යාත්මක පරීක්ෂණයන් හරහා එකී මළ සිරුරු භූමදානයෙහි සෞඛ්‍යමය ගැටළුවක් නොමැති බවට තහවුරු වීමෙන් ආගම හා විද්‍යාව අතර තාවකාලික සම්මුතියක් ඇති වීමය. නමුත් සිදු වූයේ අනිකකි. ඒ හරහා විවිධ ආකාරයේ ප‍්‍රතිවිරෝධයන් ඇති වීම තුළ ගැටලූව වඩාත් සංකීර්ණ වීමය.

මෙකී ආදාහනය පිළිබදව මුස්ළිම් සමාජයෙන් මතුවන විරෝධය එය සමස්ත මුස්ළිම් ප‍්‍රජාව වෙතින් එල්ල වන්නක් බවටත් එහි අනෙකා වන්නේ සිංහල ජන සමාජය බවටත් පත් කරන්නේ එම දේශපාලනය විසිනි. සිංහල ජන සමාජයෙන් එල්ලවන විරෝධය වුවද එය සමස්ත සිංහල ජන සමාජයේ ප‍්‍රකාශනයක් බවට පත් කරන්නේ ද එකී දේශපාලනය විසින්මය.

තවදුරටත් මෙකී ගැටළුව නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යන්නේ උක්ත ප‍්‍රතිවිරෝධතාවයන් යටතට ඌනනය නොවන සමාජ දේශපාලනික හැසිරීමක් සැළකිය යුතු සමාජ කණ්ඩායමක් වෙතින් නිරීක්ෂණය කළ හැකි බවයි. මෙහිදී පෙනී යන සැළකිය යුතු කරුණ වන්නේ මළ සිරුරු ආදාහනයට එරෙහිව වන විරෝධතාවයක් සිංහල ජන සමාජය වෙතින් ද එල්ල වන බව පෙන්වීමට උත්සාහ දැරීමය. එනම් මෙකී පිරිස පෙනී සිටින්නේ සුළු ජාතික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සමාජ කොටසක් ලෙසිනි. එකී පිරිස වුවද මෙම ගැටළුව වෙනුවෙන් පෙනී සිටින්නේ දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුගත වෙමින් බව නම් ඉතා පැහැදිලිය. බැලූබැල්මට එකී මැදිහත්වීම ප‍්‍රගතිශීලී බවක් පෙනුණ ද ඒ තුළ වුවද ඇත්තේ බලදේශපාලන අරමුණක් බව නම් ඉතා පැහැදිලිය. එනම් එය සුළුජාතීන්ගේ අයිතිවාසිකම් මුවාවෙන් කරන බල දේශපාලනයකි. එය ප‍්‍රකාශවන්නේ පීඩිතයා වෙනුවෙන් සිදු කරනු ලබන කදුළු සැළීමක ස්වරූපය ගත් සදාචාරමය මුහුණුවරකිනි. එහෙත් එය සමාජය තුළවන ජාතීවාදී දේශපාලනික උවමනාවන් හෙළි කරන්නක් නොවේ. එතුළින් සිදුවන්නේ සිංහල ජාතිවාදයට ප‍්‍රතිපක්ෂ මුස්ළිම් ජාතිවාදය නිර්මාණය වීමය.

මේ අයුරින් බලන කළ පෙනී යන්නේ මෙම සිදුවීම වුවද දේශපාලනීකරණය වී හමාර බවය. එසේ නම් එකී දේශපාලන සන්දර්භය තුළ මතු කළ යුතු සැබෑ ප‍්‍රතිවිරෝධය වන්නේ කුමක් ද? යන ගැටළුව පැන න`ගියි. එය කොවිඞ් ආසාදිත මළ සිරුරු ආදාහනය කළ යුතුද? යන ගැටළුව පරයමින් එම ගැටළුව දේශපාලනීකරණය කිරීමට එරෙහිව වන ආස්ථානයක් දක්වා සංවර්ධනය කළ යුතුය. මන්ද උක්ත ගැටළුව විද්‍යාත්මක නිගමනයකින් සෑහීමට පත්වන සීමාව ඉක්මවා ඇති බැවිනි. නමුත් මෙහි සමාජ දේශපාලනික බෙදීම කේන්‍ද්‍රගත විය යුත්තේ මෙම ප‍්‍රශ්නය දේශපාලනීකරණයට පක්ෂ හා විපක්ෂ ආදී වශයෙනි. එනම් මළ සිරුරු භූමදානයට සුදුසු ද නැද්ද යන ප‍්‍රශ්නයට විද්‍යාත්මක විසදුමකට ඒමේ සුදුසු වටපිටාව නිර්මාණය කර ගැනීම දේශපාලන අරගලයක් වන බවයි. එය ජාතිවාදී දේශපාලනයට විපක්ෂව කරනු ලබන දේශපාලන මැදිහත්වීමක් විය යුතුය. තවදුරටත් ප‍්‍රකාශ කරන්නේ නම් හුදු සදාචාරාත්මක දෘෂ්ටියකින් කරනු ලබන මැදිහත්වීමකින් සිදු වන්නේ සිංහල ජාතිවාදයට ප‍්‍රතිපක්ෂව මුස්ළිම් ජාතිවාදය නිර්මාණය වීම මිස ජාතිවාදී දේශපාලනයට විරුද්ධව වන කදවුර ශක්තිමත් කිරීම නොවන බවයි.

එමෙන්ම මෙහිදී අපට පැහැදිලි වන තවත් කරුණක් වන්නේ කොවිඞ් මළ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් වන ගැටළුව විද්‍යාත්මක මැදිහත්වීමකින් විසදුමකට පැමිණීමේ සීමාව ඉක්මවා ඇති බවයි. ඒ ජාතිවාදී දේශපාලනය විසින් ඇති කරන ලද අනෙක් ජාතිකත්වයන් කෙරෙහි වන සැකය හා අවිශ්වාසය හේතුවෙනි. මළ සිරුරු භූමදානය යෝග්‍ය බවට පරීක්ෂණ මගින් තහවුරු වුවද එය ගැටළුවට විසිදුමක් නොවන්නේ එබැවිනි. එය සිංහල ජාතිවාදය ප‍්‍රකෝප කරන්නක් වෙයි. යම් හෙයකින් මළ සිරුරු භූමදානය යෝග්‍ය නොවන බවට තහවුරු වුවහොත් එය මුස්ළිම් ජාතිවාදය ප‍්‍රකෝප කරන්නක් වෙයි. මෙය හුදු විද්‍යාත්මක ප‍්‍රවේශයකින් වත් හුදු අනුකම්පාව පෙරටුකර ගත් සදාචාරාත්මක දෘෂ්ටියකින් වත් විසදෙන්නක් නොවන්නේ එබැවිනි.

එමෙන්ම මෙහිදී අමතක නොකළ යුතු දෙයක් වන්නේ මෙකී ප‍්‍රතිවිරෝධයන් සමාජය තුළින් හිටිවනම මතු වන්නේ ඇයි ද යන්නයි. එයට දිය හැකි කෙටිම පිළිතුර වන්නේ එය දේශපාලනය විසින් නඩත්තු කරනු ලබන අධිපති සමාජ මතවාදය නිසාය යන්නයි. ආර්ථික සමාජ අර්බුදයන් හමුවේ ජනතාව දේශපාලනික වශයෙන් විතැන් වන විට තම ආකර්ෂණය පවත්වා ගන්නේ මෙකී ජාතිවාදී ඇවිලීම් හමුවේය.

මාධ්‍ය බලය මෙන්ම වර්තමානය වන විට සමාජ මාධ්‍යයන් තුළ පවත්වා ගෙන යන අධිපතීත්වය තුළින් ද මෙකී ජාතිවාදී දේශපාලනික මතවාදය සමාජ ගත වෙයි. එනිසා මෙය හිටි වනම මතු වන එනම් සමාජය තුළින් ස්වයං සිද්ධව මතු වන ජාතිවාදී මනෝභාවයක් නොව එය සවිඤානිකව දේශපාලනය තුළින්ම මතු වන්නක් බව පෙනේ. මෙය හුදු දේශපාලනය නොව ඇවිලීමේ දේශපාලනයක් වන්නේ එබැවිනි. මෙවැනි තත්වයක් තුළ අවශ්‍ය වන්නේ ජාතිවාදී දේශපාලනයට එරෙහි වීමේ දේශපාලනයකි. එනම් නිවීමේ දේශපාලනයකි. සුවපත් කිරීමේ දේශපාලනයකි. එය හුදෙක් පීඩිතයා කෙරෙහි වන සෝ සුසුම් හෙළීමකට එනම් සදාචාරමය පදනමකට සීමා නොවූ දේශපාලනයකි. ඒ ජාතිවාදයට එරෙහි වීමේ පදනමකින් යුතු වු සදාචාරාත්මක හැඩයක් ගත් විද්‍යාත්මක දේශපාලන උත්සාහයකිනි.

ධනංජය දීඝායු | Dhananjaya Deegayu