iMage: indianexpress.com/ @mkstalin/Twitter

“ඔවුහු, දමිළ මිනිසුන්ටද, මිනිසුන් ලෙස ගරුකරන්නේ නම් පමණක්”

හිටපු සටන්කරුවෙක් යයි චෝදනා ලද පුනරුත්ථාපනය කරන ලැබුවෙක්

ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නොහොත් (LTTE සංවිධානය) යනු 2009 වසරේ මැයි මාසයේදී තමන් විසින් පරාජය කළ බව මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ රජය පුන පුනා ප්‍රකාශ කරන සන්නද්ධ කණ්ඩායමයි. පළමු රාජපක්ෂ පාලන සමයේදී සහ 2019 දී රාජපක්ෂලා නැවත බලයට පත්වීමෙන් පසුවත්, වසංගත තත්වයක් මධ්‍යයේ වුවද, ඔවුන්ගේ රජය සෑමවිටම තමන් අතින් විනාශ වුවා යයි ආඩම්බරයෙන් පවසන එල්ටීටීඊයට එරෙහි ජයග්‍රහණය සැමරීම සඳහා වාර්ෂික උත්සව පැවැත්වීය. ඒසේම, සන්නද්ධ ගැටුම අවසන් වී වසර එකොළහකට පසුව 2021 දී පවා එල්ටීටීඊය මහජන කතිකාව තුල බොහෝසෙයින් කතා බහ කරන මාතෘකාවක් බවට පත් කොට ඇත්තේ මේ රාජපක්ෂ තන්ත්‍රයයි. සිය පාලන තන්ත්‍රයේ ශ්‍රේෂ්ඨත්වය මහජනයාට නැවත නැවත මතක් කර දීම සඳහා සහ මහජනතාව සහ රට ආරක්ෂා කළ හැක්කේ රාජපක්ෂලාට පමණක් බව පුන පුනා අවධාරණය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ මතකය යලි පුනර්ජීවනය කල යුතු නිසා එකී සන්නද්ධ කණ්ඩායමේ මතකය අමතක කිරීමට හෝ ඊට යන්නට දීමට මේ පාලන තන්ත්‍රය අකමැති බව පෙනේ.

රජය විසින් පරස්පර විරෝධි ලෙස, දෙමළ ජනතාව යුද්ධයෙන් මියගිය සිය සමීපතමයන් සැමරීම වළක්වන අතරම එකී දෙමළ ජනතාව ඇතුළු මහජනයාට එල්ටීටීඊය අමතක නොවන ලෙස කටයුතු කිරීමට වගබලා ගනී. මා වෙනත් තැනකද සඳහන් කල පරිදි, හිටපු එල්ටීටීඊ සාමාජිකයින් ප්‍රකාශ කරන්නේ රජයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල දී තමන්ට තීතය අමතක කරන ලෙස උපදෙස් ලැබුණු බවයි. එහෙත්, ශ්‍රී ලංකා හමුදාව (SLF) විසින් නිරන්තරයෙන් සිදු කරන ප්‍රශ්න කිරීම සහ හිටපු සාමාජිකයින් නිරීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම මගින් ඔවුන්ට ඔවුන්ගේ අතීතය සිහිපත් කිරීමට බල කෙරිණි. ඇතැම් සාමාජිකයින් පැවසුයේ ‘ඔවුන් අපිට අපේ අතීතය අමතක කිරීමට ඉල්ලා සිටිනවා, නමුත් නැවත ඔවුන්ම අපි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු කාලය ගැන අසනවා’ ලෙසයි.

එල්ටීටීඊයේ ආරම්භයේ සිටම රාජ්‍යය මෙන්ම සිංහල මහජනතාව ද එක සේ දෙමළ ජනයා එල්ටීටීඊය හා සමාන කළහ. මා මෙය කියන්නේ ඊට බොහෝ වතාවක් මුහුණ දුන් මගේ පෞද්ගලික අත්දැකීම් මෙන්ම මගේ දෙමව්පියන්, මිතුරන් සහ හිතමිතුරන්ගේ අත්දැකීම් වලින් ය. පුද්ගලයෙක්ව එල්ටීටීඊ සාමාජිකයෙකු හෝ එල්ටීටීඊ ආධාරකරුවෙකු / හිතවතෙකු ලෙස ලේබල් කිරීම මගින් අවම වශයෙන් ඒ පුද්ගලයා පිළිබඳව සමාජීය වශයෙන් සැකයක් ඇති කිරීමට හේතු වන අතර එමගින් ඒ පුද්ගලයාව නින්දා අපහාසයට භාජනය වේ. ඊටත් අවධානම් ලෙස, එමගින් එකී පුද්ගලයාව බොහෝ විට නොසැලකිලිමත් හෝ සාක්ෂි නොමැතිව හෝ ඊටත් භයානක ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ අවදානමට ලක් කරයි. එබැවින් වර්තමානයේ යමෙකු LTTE ලෙස ලේබල් කිරීම සමාජ ක්‍රියාකාරිත්වය සහ විසම්මුතිය පාලනය කිරීම සඳහා භාවිතා කරන මෙවලමක් බවට පත්ව ඇත.

සාමාන්‍ය වැසියන් එල්ටීටීඊ සාමාජිකයින් ලෙස ලේබල් කරන රාජපක්ෂ පාලන තන්ත්‍රයන් දෙකටම කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් වැනි මානව හිමිකම් උල්ලංඝනය වැනි බරපතල යුද අපරාධ චෝදනා ලැබ සිටින එල්ටීටීඊයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සිය රජයන් තුල සිටීම පිලිබඳ කිසිදු හිරිකිතයක් හෝ චකිතයක් නොමැත. රාජපක්ෂ පාලන තන්ත්‍රය මෙය සාධාරණීකරණය කරන්නේ කරුණා සහ පිල්ලයාන් යුද්ධය ජයග්‍රහණය කිරීමට තමාට උදව් කළා යයි කියන පදනම මත ය. එමගින්, 2020 මහ මැතිවරණ ව්‍යාපාරයේදී පවා කරුණා අම්මාන් පුරසාරම් දෙඩූ ඔවුන් විසින් සිදු කරන ලදැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනයන් ‘අතුරුදහන් වේද’? (ශ්ලේෂාර්ථ අදහස් කෙරේ) මෙයින් උගත යුතු වන්නේ ජයග්‍රාහකයා විසින් සිදු කරනු ලබන මානව හිමිකම් උල්ලංඝනයන් වැදගත් නොවන බවයි. එසේම ඔබ ජයග්‍රාහකයාගේ පිළ වෙනුවෙන් පෙනී සිටින්නේ නම් හා ජයග්‍රාහකයා වෙනුවෙන් පෙළ ගැසී සිටින්නේ නම් මානව හිමිකම් උල්ලංඝනයන් වැදගත් නොවන බවයි. ජයග්‍රහණය යනු මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ වැරදි සෝදා හරින සනීපාරක්ෂකයා යි.

යාපනය විශ්ව විද්‍යාලයේ යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම වෙනුවෙන් ඉදිකර තිබු ස්මාරකය 2021 ජනවාරි 8 වන දින රජය මැදිහත්ව කඩාදැමීමට එරෙහිව ඇති වූ විරෝධතාවය පිලිබඳ 2021 ජනවාරි 9 වන දින අයිටීඑන් වෙබ් අඩවියේ පළ වූ ලිපියක සිරස්තලය මෙසේ පවසයි, “ත්‍රස්තවාදීන් වීමට ගිය සිසුහු STF ඉදිරියේ දණ ගසයි”.විසංවාදය මැඩපැවැත්වීම සඳහා දෙමළ තරුණයින් එල්ටීටීඊ සාමාජිකයින් ලෙස ලේබල් කිරීමේ ක්‍රියාවලිය භාවිතා කරන ආකාරය මෙයින් මනා පැහැදිලි වේ. එසේම එසේ ඇති වූ විරෝධය දෙමළ තරුණයින් මර්දනයට අභියෝග කිරීමක් ලෙස ඇති වුවක්වත් ඔවුන්ගේ බලයට අභියෝග කිරීමක් ලෙස ඇති වුවක්වත් ලෙස නොව හමුදාව තරුණයින් යටත් කර ගැනීමක් ලෙස, එනම් දෙමළ තරුණයින් ඔවුන්ගේ ස්ථානයට පත් කිරීමක් ලෙස මවා පෑමෙන් රජය සහ ඊට අනුබද්ධයන් සිය බලය ඉහල බව පෙන්නුම් කරන බවද පැහැදිලි ය. මෙම ශීර්ෂ පාඨය තුළ පිළිගත නොහැකි අංග දෙකක් මනා පැහැදිලිව පෙනේ: එනම් දෙමළ ජනයාටද සමාන පුරවැසියන් ලෙස ගරු නොකිරීම සහ ඔවුන් බලයෙන් පහකිරීමේ සහ විසන්ධි කිරීමේ අභිප්‍රායයි.

යාපනය විශ්ව විද්‍යාල අනුස්මරණය කඩා බිඳ දැමීමෙන් පසු ඇති වූ කලබලයෙන් පසුව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපතිවරයා 2021 ජනවාරි 9 වන දින කඩා බිඳ දැමීම සාධාරණීකරණය කරමින් ලිපියක් සහ වීඩියෝවක් නිකුත් කළේය. උත්ප්‍රාසය පිළිබඳ කිසිදු හැඟීමක් නොමැතිව සභාපතිවරයා ප්‍රති-කරුණු ලෙස ප්‍රකාශ කර සිටියේ කඩ දැමුණු ස්මාරකය යුද්ධයට සම්බන්ධ ස්මාරකයක් වීම නිසාත් එය උතුරු-දකුණු එක්සත්භාවයට හානිකර විය හැකි නිසාත් එය වර්තමානයට මෙන්ම අනාගතයටද නුසුදුසු වන නිසාත් එය කඩ දැමුණු බවය. ඔහුගේ මේ ප්‍රකාශය කරුණු දෙකක් නිසා සත්‍ය වශයෙන්ම වැරදිය.

පළමුවෙන්ම රට පුරා යුද්ධය, ප්‍රචණ්ඩත්වය සහ මිලිටරිවාදය සමරණ ස්මාරක ඉදිකර ඇත්තේ රාජපක්ෂ රජය විසින්මය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සොල්දාදුවන්ගේ ප්‍රතිමා, තුවක්කු, සන්නද්ධ ටැංකි සහ උණ්ඩ උතුරේ සෑම තැනකම දක්නට ලැබේ. දෙවනුව, සභාපතිවරයාගේ ප්‍රකාශයට පටහැනිව, යාපනය විශ්ව විද්‍යාලයේ කඩා දැමුණු ස්මාරකය යනු දෑත් දිගු කොට පොළොවෙන් ඉහළට මතුවන පිළිරුවකි. අයෙකුට උදාර ත්‍යාගශිලිත්වය ලෙසද අර්ථ දැක්විය හැකි හිතාමතාම නොදැනුවත්කම නිසා සිදු මෙවැනි ප්‍රකාශයන් නිසා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අනවබෝධය මානව පැහැදිලි වන අතර එය මහත් කම්පනයට කරුණකි. නමුත් එය මුළුමනින්ම පුදුමයට කරුණක් නොවේ. මන්දයත් ඔහුගේ මෙම ප්‍රකාශයෙන් සහ ආකල්පයන්ගෙන් හුදෙක් පිළිබිඹු කරන්නේ ඇතිවූ ගැටුම හිදෙක් ජනවාර්ගික ගැටුමක් නොව එල්ටීටීය පරාජය කිරීමෙන් පසු අවසන් වූ ත්‍රස්තවාදී ගැටළුවක් ලෙස රජය සේම දකුණේ ජනතාව පවා විශ්වාස කරන බවයි. එබැවින් ඔවුන්ගේ මනසෙහි විසඳීමට කිසිවක් ඉතිරිව නැති බවත් එනිසා මතක තබා ගැනීමට හෝ සිහිපත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

කිසිවෙකුටත්, අඩුම තරමේ රාජපක්ෂ රෙජිමයටවත් නොසලකා සිටිය නොහැකි කරුණු කිහිපයක් පහත ඉදිරිපත් කරමි. දශක ගණනාවක් මුළුල්ලේ පැවති ජනවාර්ගික ආරවුල් වල ප්‍රතිඵලයක් ලෙස වසර තිහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමක් පැවතිනි. එම ජනවාර්ගික ගැටුමට මුලික හේතුව වුයේ වෙනස්කොට සැලකීම, ආන්තික කිරීම සහ ප්‍රචණ්ඩත්වය වුවද මේ වන තෙක් එකී ගැටළුවලට ප්‍රමාණවත් ලෙස විසඳුමක් ලැබී නොමැත. ජාතිවාදය, අගතිවාදය සහ ආගම්වාදය ශ්‍රී ලංකාව තුළ ගැඹුරින් මුල් බැස ඇති අතර ඒවාද මේ වන තෙක් ශ්‍රී ලාංකීය සමාජය තුල ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය කර නොමැත. නමුත් ඉතිහාසය දෙස බැලු කල පෙනී යන්නේ එකී කරුණු ජනවාර්ගික-ජාතිකවාදී න්‍යාය පත්‍රයන්ට ගැලපෙන පරිදි භාවිතා කර ඇති බවයි. නැහැ, මෙය පැවසීමෙන් මා එල්ටීටීඊ හෝ ජාතිවාදියෙකු බවට පත්වන්නේ නැහැ. ඔව්, දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන් තුළ ද අගතිය සහ ආගම්වාදය පවතින බව මම දනිමි. ඔව්, එල්ටීටීඊය ද බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කළහ. නමුත්, රජයකට සිය ජනතාව වෙනුවෙන් ඉටු කල යුතු වගකීම සහ රජයේ ක්‍රියාමාර්ග සහ අක්‍රියතාව සමාජ අගතිය හැඩගස්වන ආකාරය සහ උග්‍ර කරන ආකාරය මෙන්ම ඒවා ප්‍රචණ්ඩත්වයට හේතු වන ආකාරය අප මෙහිදී අමතක නොකළ යුතුය.

කුමන ජනවර්ගයකට අයත් වුවත් පුරවැසියෙකුගේ මරණයෙහි සැමරීමට තරම් කිසිවක් නොමැති බවයි. කිනම් ජනවර්ගයකට අයත් වුවත් යම් පුරවැසියෙකුගේ දේපළ හා ඔවුන්ට අයත් දේ විනාශ කිරීම පිලිබඳ සතුටු වීමට කිසිවක් නොමැති බවයි. යුද්ධය වේදනාකාරී බව ප්‍රතික්ෂේප කිරීමෙන් ආන්ඩුව මහජනයාට ශෝකය ප්‍රකාශ කිරීමට පවා ඉඩ නොදෙයි. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සේවයේ දී සිට මිය ගිය අයගේ පවුල් වල අයගෙන් පවා ඔවුන්ගෙන් වෙන්ව ගිය පවුලේ සාමාජිකයාගේ ජයග්‍රහණය ගැන ආඩම්බර වීම සහ සතුටු වීම පමණක් අපේක්ෂා කෙරෙන අතර ඔවුන්ගෙන්ද සිදුවූ වෙන්වීම පිලිබඳ ශෝකය සහ තනිකම ප්‍රකාශ කිරීම අපේක්ෂා නොකරයි.

UGC හි සභාපතිවරයාගේ අභිමතය පරිදි සිදු වූ දේ නැවත සිදු නොවන බවට සහතික කිරීමට නම් අප අතීතය සමග කටයුතු කල යුතුය. එසේ කල යුත්තේ අතීතය වර්තමානය තුල ජිවත් වන නිසාත් එය අනාගතයේ වර්ධනය වන නිසාත් ය. ඇබ්බැහිවීමේ ප්‍රතිකාර වැඩසටහනකදී මෙන් ගැටුමේ මූලික හේතු සමඟ කටයුතු කිරීම සඳහා පළමුව අප ගැටළුවක් පවතින බව පිළිගත යුතුය. ගැටලුව ප්‍රතික්ෂේප කිරීම සහ බලහත්කාරයෙන් අමතක කිරීම හරහා සාමයේ මුහුණතක් පමණක් නිර්මාණය කෙරෙන නමුත් ඊට යටින් අතෘප්තිකර ස්වභාවයන් බුබුළු දමනු ඇත. ශ්‍රී ලාංකිකයන් වන අප ප්‍රතික්ෂේප කිරීම හා මායාවට ඇබ්බැහි වී සිටින අතර අර්ථවත් සාමයක් අත් කර ගැනීමට නම් එකී ප්‍රතික්ෂේප කිරීම හා මායාවෙන් මිදිය යුතුය.

අම්බිකා සට්කුනනාදන් | Ambika Satkunanathan
(මෙම ලිපිය Evoking the Undead Tiger, the Eternal Bogeyman: The Consequences of Forgetting the Past නමින් Groundviews වෙබ් අඩවියේ මුල්වරට පළ වූ අතර, මේ දැක්වෙන්නේ ‘විකල්ප’ විසින් පළ කරන ඒහි සිිංහල අනුවාදයයි)