මෙලොව ජීවත් වන වෘත්තීකයින් අතරින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ ගොවියන් යැයි කිවහොත් කවුරුත් මා සමඟ එකඟ වනු ඇතැයි සිතමි. මේ වනවිට බොහෝ ගොවීන් සාම්ප්‍රදායික කෘෂිකර්මය අතහැර වෙනත් රැකියාවන් කෙරෙහි යොමුවන්නේ එම බලපෑමට සාර්ථක මුහුණ දිය නොහැකි හේතුවෙන්ය. එහෙත් ගොවිතැනට පණ මෙන් ආදරය කරන කිහිප දෙනෙකු ගොවිතැන් කිරීමට සූදානම් වුව ද ඒ සඳහා අවශ්‍ය වන බීජ, පොහොර සහ තාක්ෂණික දැනුම වැනි දෑ ලබාගැනීමට නොහැකිව සිටින අවස්ථාවක ඔවුන්ගේ පිහිට පැමිණි බොහෝ බහුජාතික සමාගම් මේ වනවිට ලාභ උපයමින් සිටිති. එම සමාගම් ලාභ උපයන විට ණය බරින් පීඩා විඳින ගොවියාගේ ජීවිතය ලණුවකට, වස කුප්පියකට, ළිඳකට හෝ පෙට්ට්‍රල්වලට සීමා වෙයි. මහපොළව සමඟ උරෙන් උර ගැටි ගොවින් තැන් කළ ගොවියා ගිනි පොලිකරුවන්ට හසුවී සිය ජීවන ගමන අවසන් කරගනිමින් සිටියි.

යම් රටක තිබෙන ස්වභාවික සම්පත්වලින් විශාල නිෂ්පාදන සිදු කර හැකි බවට පවසමින් රටවල් තුළට පැමිණ ආයෝජන කරන බහුජාතික සමාගම් සිය අභිමතය පරිදි රටේ පාලනයට අතපෙවීම් අපට නිතරම හමුවේ. එහි දිගුවක් ලෙස අවසානයේදී රටෙහි නායකයා තේරීම පවා එම බහුජාතික සමාගම්වල අවශ්‍යතාවයන් මත සිදු වෙයි. මෙලෙස බහුජාතික සමාගමක බිල්ලක් බවට පත්ව සිටින තම රට ආරක්ෂා කිරීමට පැමිණෙන නාසා ආයතනයේ සිටි විද්‍යාඥයෙකු සම්බන්ධයෙන් කතා කළ චිත්‍රපටියක් ලෙස 2021 වසරේ තිරගත වූ භූමි චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය.

පෘථිවියේ සිටින අපට පියවි ඇසින් දැකිය හැකි සහ සමීපයෙන්ම පිහිටා ඇති ග්‍රහවස්තුව ලෙස චන්ද්‍රයා හඳුන්වා දිය හැකියි. මිනිසා සඳ තරණය සාර්ථ කරගැනීමෙන් අනතුරුව ඔහුගේ ඊළඟ පියවර වූයේ කෙසේ හෝ අඟහරු මත පා තැබීම සහ එහි ජනාවාස ඇති කිරීමය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන භූමිනාදන්, නිවාඩු සමය ගත කිරීමට සිය මව්රටට පැමිණීමත් එහිදී ගොවීන්ට අසාධාරණකම් සිදු කරමින් ජලය උරා බොන බහුජාතික සමාගම්වලට විරුද්ධව නැගී සිටීමත් මෙම චිත්‍රපටියේ වස්තු විෂය ලෙස හඳුන්වා දිය හැකිය. ගොවීන් මුහුණ දෙනු ලබන ගැටළු සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දියාවේ තුළ පමණක් තිරගත කළ චිත්‍රපටි සංඛ්‍යාව 50 ට අධික ය. මෙය ද එම චිත්‍රපටි අතරින් එකක් ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි.

මෙලෙස ගොවීන්ගේ ප්‍රශ්නය ලෝකය හමුවේ තැබීමට ඉන්දිය අධ්‍යක්ෂකවරුන් ගන්නා ලද උත්සහය මා අගය කරමි. එහෙත් මෙම නිර්මාණය නැරඹීමෙන් අනතුරුව සිතුණේ, දෙවියනේ කෙසේ හෝ සිනමා අධ්‍යක්ෂකවරුන්ගෙන් ගොවිතැන බේරා ගත යුතු බවට ඉල්ලීමක් කළ යුතු බවය. සිය ජීවිතය ගැටගසා ගැනීමට නොහැකිව සිය දෙමාපියන් සමඟ නාගරීක පරිසරයකට සංක්‍රමණය වූ සෑම තරුණයකුගේම සිතෙහි ගොවිතැන වෙනුවෙන් කුඩා ඉඩ ප්‍රමාණයක් වෙන් කරයි. මා තුළ ද එවැනි රුචියක් නිතරම මතු වෙමින් තිබේ. ඒ මා අතීත ජීවිතයට ආදරය කරන බැවින්ය. මෙහි අධ්‍යක්ෂකවරයා ද එය අත්හදා බැලීමට උත්සහ කර ඇති ආකාරයක් දැකිය හැකිය. නාගරීක පරිසරයක යම් බහුජාතික සමාගමක හෝ වෙනත් පෞද්ගලික ආයතනය මාසික වැටුපට සේවය කරන තරුණයින්ගේ සිතට ආමන්ත්‍රණය කිරීමට අධ්‍යක්ෂක ලක්ෂ්මන් ගත් උත්සහය සාර්ථක යැයි කීමට නොහැකිය. මෙම චිත්‍රපටය සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය සහ දැවැන්ත බහුජාතික සමාගමක් අතර පැවැත්වෙන දැවැන්ත යුද්ධයක් බවට අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කිරීමට දැරු උත්සහය ව්‍යර්ථ වන්නේ එහි දැවැන්ත බව ප්‍රේක්ෂකයා තුළ රැගෙන ඒමට අසමත් වීම තුළින්ය. මෙම අසාර්ථකත්වයට ප්‍රධානතම හේතුව වන්නේ, ගොවිතැන සහ බහුජාතික සමාගම් සම්බන්ධයෙන් නිවැරදි අධ්‍යනයකින් තොරව තිර රචනය සිදු කිරීමය. මොහු සිය පිටපත ලිවීමට සමාජ මාධ්‍ය තුළ වීව්ස් ලබාගැනීම සඳහා විවිධ වීඩියෝ නිර්මාණය කරන තරුණයින් ඉදිරිපත් කළ කරුණු කිහිපයක් මූලාශ්‍ර වශයෙන් ගෙන තිබීම හුදෙක් විහිළුවක් බවට පත්ව තිබේ. එම තරුණයින් විසින් මේවා ඉදිරිපත් කරනු ලබන්නේ ද නිසි අධ්‍යයනයකින් තොරවය. එම කරුණු සාවද්‍ය බව සාක්ෂි රැසක් ද මේ වනවිට හමුව තිබේ. එවැනි වීඩියෝපට මූලාශ්‍රයක් කරගනිමින් සාවද්‍ය තොරතුරු ඇතුළත් කරමින්, මෙහි දෙබස් රචනා කිරීමට පෙළඹීම හාස්‍ය උපදවන කරුණකි. මෙලොව සම්පූර්ණයෙන්ම පාලනය කරනු ලබන්නේ, ව්‍යාපාරික පවුල් 13ක් යන කතාව අප ජීවිතයේදී එක්වරක් හෝ අසා ඇත්තෙමු. එහි සත්‍ය අසත්‍යබාවය සම්බන්ධයෙන් මා අධ්‍යයන කර නොමැති අතර, එයත් හිතළු ප්‍රකාශයක් යැයි සිතමි. මෙම චිත්‍රපටියේ ප්‍රතිවීරයාගේ චරිතය නිරූපණය කරන්නේ ද එවැනි පවුලක කෙනෙකි. එහෙත් අධ්‍යක්ෂකවරයා ඔහුගේ චරිතය ගොඩනගා තිබුණේ, විකට චරිතයක් ලෙසයි. දමිළ චිත්‍රපටියක මූලිකාංගවලින් එකක් ලෙස විකට චරිතය හඳුන්වා දිය හැකිය. මෙම චිත්‍රපටියේ සතීෂ් නමැති විකට නළුවාට චරිතයක් හිමිව තිබුණ ද ඔහුට මුඛවාඩම් ලෑමට අධ්‍යක්ෂකවරයා කටයුතු කර තිබුණේ, එම අවස්ථාව ප්‍රතිවීර චරිතය නිරූපණය කළ, රොනිට් වෙත ලබාදෙමින්ය. ඔහු ද පිටපතෙහි තිබු දෙබස් කිහිපයක් කට පාඩම් කර කියන ආකාරයක් දැකගත හැකි විය. රාජ්‍ය සේවකයින් දූෂිත යැයි පැවසීමට අධ්‍යක්ෂකවරයා ගත් උත්සහ ඉතා පටුය. ඒවා ගැන කතා කිරීම කාලය කා දැමීමක් යැයි සිතමි. භූමිනාදන්ගේ මවගේ චරිතය නිරූපණය කරනු ලැබුවේ සිනමාවේ මා දැඩි ලෙස ආදරය කරන අම්මා කෙනෙකු වන සරන්‍ය පොන්වන්නය. නමුත් ඇයට චිත්‍රපටිය පුරාවට හිමි වූයේ දෙබස් 10කටත් අඩු සංඛ්‍යාවකි. භූමිනාදන්ට ප්‍රේමයක් තිබුණි. එම දර්ශන රසිකයින් හට වහකදුරු ලෙස දැනෙන්නට ඇතැයි විශ්වාස කරමි. චිත්‍රපටිය පුරාවට භූමිගේ දෙබස් පමණය. ඒ සෑම වාක්‍යයකම ගොවියා, ගොවියා, ගොවියා යන නම රැව්දෙමින් තිබුණි. චිත්‍රපටියේ අඩංගු දෙබස්වලින් තුනෙන් එකක්ම ගොවියා සහ ගොවිතැන යන වචන පමණක් ඇසෙමින් තිබුණි. කෘෂිකර්මය තේමාව කරගත් චිත්‍රපටියක ගොවියා සම්බන්ධයෙන් කතා නොකර වෙන කවුරුන් ගැන කතා කළ යුතු දැයි යමෙක්ට ප්‍රශ්න කළ හැකිය. එහෙත් ගොවියා යන වචනය කියූ පමණීන් ගොවීන්ගේ ප්‍රශ්නය අන් අයට වැටහෙනු ඇති ද? එපමණක් නොව චිත්‍රපටිය පුරා අනවශ්‍ය වර්ණනා රැසක් දැක ගත හැකිව තිබුණි, විශේෂයෙන්ම භූමිනාදන්ම නමැති විද්‍යාඥයා සම්බන්ධයෙන් අමෙරිකානු මාධ්‍ය හඳුන්වා දුන් ආකාරය අතිශ්‍යයෝක්තියක් ලෙස මා හට දැණුනි. එමෙන්ම අඟහරු වෙත අප පදිංචියට යන්නේ කවදදා යන පැනය මාධ්‍යවේදීයෙකු විසින් නැගුවේ වගකීම් රහිතවය. චිත්‍රපටිය පුරා පැවැති මෙවැනි අඩුපාඩු රැසක්ම කීමට හැකිය.

තවද මෙම චිත්‍රපටිය පුරාවට තමිල්නාඩුව තුළත් ඉන් පිටතත් සිටින දෙමළ ජාතිකයින්ගේ අභිමානය සහ ඔවුන් තුළ තිබෙන මමත්වය ඉස්මතු කර දැක්වීමට අදාළ දෙබස් බොහෝමයක් යොදාගෙන තිබෙන ආකාරයක් දැකගත හැකිව තිබුණි. මෙවැනි වදන් තුළින් වර්තමානයේ සිටින තරුණ ප්‍රජාවගේ ආකර්ශනය දිනා ගැනීමෙන් අධ්‍යක්ෂකවරයා තුළ තිබෙන පටු ආකල්ප ඉස්මතු කෙරුණි.

එමෙන්ම මාධ්‍යස්ථ මතධාරීන් පිනවීමට කුල පීඩනය, දරිද්‍රතාවය, ආගම සහ ජාතිය යන කරුණු පෙරට දැමීමක් දැකගත හැකි විය. ඉන්දිය සහ විදේශීය චිත්‍රපටි කිහිපයක සිද්ධීන් කිහිපයක් එකතු කර මෙහි කතාව ගොඩනගා ඇති ආකාරයක් ඉතා පහසුවෙන් හඳුනාගත හැක. චිත්‍රපටිය පුරාවට ගොවියා වෙනුවෙන් බහුජාතික සමාගමට විරුද්ධව කතා කළ ද අවසානයේදී චිත්‍රපටිය තිරගත කරනු ලැබුවේ ද බහුජාතික සමාගමක් හරහා වීම තවත් විහිළුවකි. කොරෝනා වසංගතය හේතුවෙන් චිත්‍රපටිය එලෙස තිරගත කිරීමට සිදු වූවා යැයි යමෙකුට තර්ක කළ හැකිය. වසංගත තත්ත්වය පහව ගිය පසුව ඔවුන්ට එය තිරගත කිරීමේ අවශ්‍යතාවයක් තිබුණි.

ජෙයම් රවිගේ 25 වන චිත්‍රපටිය වන මෙය සිනමා කෘතියක් නොවන බවත්, හුදෙක් වට්ස්ඇප් වීඩියෝවක් ලෙස අර්ථ දැක්වීමට කැමැත්තෙමි.

ජෙගන් ගනේෂන් | Jegan Ganeshan