වර්තමාන ගෝලීය දේශපාලනය සේම ලාංකේය දේශපාලන භූමියද උණුසුම් වී ඇත. දේශපාලන භූමිය උණුසුම් වීම ආශ්වාද ජනකය. ඒ අරගලකරුවන් තුළ පවත්නා අනාගතය පිළිබදව වන උණුසුම් හැගීම නිසාවෙනි. අසල්වැසි ඉන්දියාව එකී අරගලයන්ගේ උණුසුම මුළු ලොවටම දනවමින් සිටියි. ඉන්දියාව තුළ සම්මත කරන ලද ගොවි පණත් තුනකට එරෙහිව නැගෙන විරෝධතාවයන් උච්චස්ථානයට පත්ව ඇත. එකී අරගලයන්ගේ ප‍්‍රධාන වගඋත්තරකරුවන් බවට පත්ව ඇත්තේ ඉන්දියානු මධ්‍යම රජය සහ ‘අදානි’ නම් බහුජාතික සමාගමයි. ගොවි ජනයා සූරා කෑමට විවෘත කෙරෙන මෙකී පණත් වලට එරෙහි විරෝධතාවයන්ගේ උණුසුම ලොවට දැනෙන පසුබිමක් තුළ ලංකාවේද සැළකිය යුතු මට්ටමේ විරෝධතාවන් ප‍්‍රමාණයක් නිර්මාණය වෙමින් පවතින බවක් පෙනෙයි.

ලාංකේය දේශපාලන භූමිය තුළ නිර්මාණය වෙමින් පවතින විරෝධතාවයන් අංශ කිහිපයක් ඔස්සේ වර්ධනය වෙමින් පවති. එක් පසකින් පෙනෙන්නේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව වන විරෝධතාවලියයි. දැන් දැන් එකී විරෝධතාවයන් තීව‍්‍ර වන බවක් පෙනෙන්නට තිබෙයි. කොළඹ වරායෙහි නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව වන විරෝධතාවය එකී විරෝධතාවයන්ගේ එක් උදාහරණයකි. මෙහි තිබෙන හාස්‍ය ජනක තත්වය වන්නේ ජාතික චින්තනයක් හා ජාතික වාදයක් තම දේශපාලන ව්‍යාපෘතීන්ගේ ප‍්‍රධාන මාතෘකා බවට පත් කරගෙන බලයට පැමිණිය වුවන්ගෙන් ම ජාතික සම්පත් බේරා ගැනීමට සිදු වූ තත්වයක් තිබීමයි. මෙහිදී ප‍්‍රශ්න කළ යුතුව ඇත්තේ ජාතිකවාදී දේශපාලන න්‍යාය පත‍්‍රය සහ ජාතික සම්පත් විකිණීම යන එකිනෙකට පරස්පර තත්වයන් එක විට එකී දේශපාලන ව්‍යාපෘතීන් තුළ රදා පැවතීම සාධාරණීකරණය කරන්නේ කෙළෙස ද යන ප‍්‍රශ්නයයි. එමෙන්ම එකී කදවුරේ න්‍යායාචාර්යවරුන් එකී ප‍්‍රතිවිරෝධය සාධාරණීකරණය කරන්නේ කෙසේද යන්න පිළිබදවද අපට අවධානය යොමු කිරිමට සිදු වෙයි.

එමෙන්ම වර්තමාන දේශපාලන භූමිය තුළ විරෝධතාවයන් මතු වන තවත් අංශයක් වන්නේ පරිසර විනාශයයි. පරිසර විනාශය පිළිබදව වන ගැටළුව සමාජ දේහය තුළ මෙතුවක් කාලයක් පුරාවට මතු වූයේ විවිධ වූ අනන්‍යතාවයන් බද්ධ කරගනිමිනි. පසුගිය යහපාලන සමය තුළ දී මතු වූවා වූද ඊට පෙර පැවති රාජපක්ෂ සමයෙහි දී අවශ්‍ය පසුබිම නිර්මාණය කළා වූ ද විල්පත්තු විනාශය පිළිබදව වන ගැටළුව පැන නැගුණේ ජාතිවාදී ආස්ථානයකින් ය. එය එකී අරගලයෙහි පුරෝගාමීන්ගේ ප‍්‍රවේශයකට වඩා ඒ කෙරෙහි වූ ජනතා සහභාගීත්වය කෙරෙහි බලපෑවේ එකී ජාතිවාදී සාධකය බව අමතක නොකළ යුතුය. එහෙත් වර්තමානය තුළ පරිසර විනාශයන් පිළිබදව වන ගැටළුවල බහුලතාවය හා එහි ඇති දේශපාලනික තැරැව්කාර පන්තියෙහි ඇති ඍජු සම්බන්ධතාවය නිසා එය දේශපාලනික ගැටළුවක් ලෙසට ජනතාව වර්තමානයෙහි සවිඥානික වීම සතුටට කරුණකි. එමෙන් ම මෙහිදීද පැන නගින්නේ ඉහත කී ප‍්‍රතිවිරෝධතාවයම ය. එනම් ජාතික චින්තනය හා පරිසර විනාශය යන එකිනෙකට පරස්පර විරෝධී තත්වයන් එක විට එකම අවස්ථාවේදී එකම පාර්ශවයේ හැසිරීම් තුළින් විද්‍යමාන වන්නේ කෙසේද යන ගැටළුවයි.

එමෙන්ම වර්තමාන ලාංකේය ධනේශ්වරය මෙන් ම ලෝක පරිමාණයෙන් වන ධනේශ්වර ආර්ථීක මොඩලයෙහි කඩා වැටීම් විසින් ද එයටම අන්තර් සම්බන්ධිත දේශීය පාලක පැලැන්තීන් ගේ දක්නට ලැබෙන අසාර්ථක සහ අකාර්යක්ෂමතාවයන් විසින් ද නිර්මිත අර්බුදයන්ගේ බර ද සාමාන්‍ය ජනතාවගේ කර පිටටම වැටී ඇත. එකී තත්වයන් තුළ සමාජය තුළ මතු වෙමින් තිබෙන්නේ ජීවන බරට එරෙහි අරගලයකි. එය පවත්නා ආර්ථික අර්බුධයෙහි එක් ප‍්‍රකාශනයකි. මෙය තුළින් ද ප‍්‍රශ්න කර සිටින්නේ ජාතිකවාදී දේශපාලන මතවාදය හා එහි භාවිතය අතර ඇති පරතරයයි. එනම් තම රටෙහි ජනතාව ගෝලීය ප‍්‍රාග්ධනයේ ගොදුරක් බවට පත් කිරීම සහ ජාතිකවාදී න්‍යාය තුළ ඇති බරපතළ න්‍යායික පරස්පරතාවය මෙහිදී උද්ගත වෙයි.

මෙකී නොකී සෑම අංශයක් තුළම අපට පෙනෙන්නේ කියුම් සහ කෙරුම් අතර ඇති නොගැළපීමය. කියුම් අතර ඉහළම තිබෙන දේශපේ‍්‍රමය මොවුන්ට කෙරුම් තුළින් පෙන්වීමට නොහැකිය. තවදුරටත් ප‍්‍රකාශ කරන්නේ නම් මෙම යල් පැනගිය ජාතිකවාදී න්‍යාය පත‍්‍රය යනු නවලිබරල් ආර්ථීක මොඩලයෙහි ම එක් දිගුවක් වන බවයි. එකී නව ලිබරල් ආර්ථීක මොඩලය කි‍්‍රයාත්මක කිරීමට ඍජුවම දරණ ලද තැතෙහි අසමත් භාවය නිසා එය වෙනත් හැඩයක් ගැනීම ප‍්‍රකාශවන්නේ මෙකී ජාතික චින්තනය හරහාය.

ජේ ආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් හදුන්වා දුන් නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය තම එකම ආර්ථික ප‍්‍රතිපත්තිය ලෙස භාවිත කිරීමෙහි ආදීනව වර්තමානයෙහි අපි අත්විදිමින් සිටින්නෙමු. 1994 හි දී බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායගේ ආණ්ඩුව විසින් ද අනුගමනය කළේ ද එකි උපාය මාර්ගයමය. එය ප‍්‍රකාශයට පත් වන්නේ විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් යන කඩතුරාවෙනි. ඉන්පසු බලයට පත් වන රනිල් වික‍්‍රමසිංහගේ ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩසටහන හරහා ද ක‍්‍රියාත්මක වූයේ ද එකී ආර්ථීක ප‍්‍රතිපත්තියමය.

එහෙත් ඉන් පසුව නිර්මාණය වන යුධකාමී සමාජ චින්තනය හමුවේ ජාතික චින්තනයෙහි කඩතුරාවෙහි වැසුණ ද රාජපක්ෂ ආණ්ඩු සමය තුළ දී වුවද තම ප‍්‍රධාන ආර්ථීක උපාය මාර්ගය බවට පත් වන්නේ එකී නව ලිබරල් ආර්ථීක උපාය මාර්ගයයි. එය ප‍්‍රකාශ වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප‍්‍රතිපත්තිය මෙන් ඍජු ආකාරයකින් නොවන ආකාරයකින් වන ජාතික සම්පත් විකිණීම මෙන්ම එකී සම්පත් විකුණන තත්වයට පත් කරන එනම් එකී සම්පත් පාඩු ලබන තත්වයට පත් කිරීමේ ව්‍යාපෘතීන් හරහාය. එමෙන්ම 2008 වසරෙන් පසුව සිදු වූයේ 2008 ආර්ථීක අර්බුධය හමුවේ සිදු වූ ගෝලීය වශයෙන් වන දේශපාලනික චලනයන් විසින් ද පශ්චාත් යුධ උන්නතිකාමය විසින් ද නැවත වටයකින් නව ලිබරල් ආර්ථීක මොඩලය ජාතික චින්තනයෙහි කඩතුරාවෙන් වසා දැමීමය.

මෙම සියලූ කරුණු කාරණවල සමස්තය විසින් යෝජනා කර සිටින අදහස කුමක් ද? උක්ත සියලු විරෝධතාවයන් එකම මූලයකින් පැන නගින බවයි. එමෙන්ම මෙකී පාලක පක්ෂයන් දෙකම විසින් අනුගමනය කරන ලද ආර්ථික උපාය මාර්ගයන් වෙනස් වන්නේ ඉතා සුළු වශයෙන් පමණක් වන බවයි. එහෙත් අපට මෙම අර්බුදයන් අපට පෙනෙන්නේ කෙලෙස ද? අපට පෙනෙන්නේ වරාය විකිණීම හා පරිසර විනාශය අතර කිසිදු සම්බන්ධතාවයක් නැති සෙයකි. උක්ත ගැටළු දෙකම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබදව වන අර්බුධයට සම්බන්ධ නැති සෙයකි. අපට මේ සියල්ල දැනෙන්නේ එකිනෙකට වියුක්ත වන ගැටළු ලෙසිනි.

මෙහිදී අප අමතක නොකළ යුතු කරුණ වන්නේ නූතන ජාතික ආණ්ඩුවල කාර්ය භාරය වන්නේ කුමක් ද යන්නයි. එය ගෝලීය ප‍්‍රාග්ධනයට පරිධියේ පවත්නා අප වැනි රටවල් සූරා කෑමට අවශ්‍ය කරන තත්වයන් රට තුළ නිර්මාණය කිරීමය. උක්ත හුදකලා බවක් පෙනෙන එකිනෙකට වියුක්ත ස්වභාවයෙන් යුක්ත වන අර්බුධයන් සංයුක්ත වන්නේ මෙකී තත්වය තුළ දීය. එනම් ජාතික සම්පත් තම ග‍්‍රහණයට ගැනීමෙහි ගෝලීය ප‍්‍රාග්ධන අවශ්‍යතාවයන් බාධා වන්නේ රාජ්‍යයන් තුළ නිර්මාණය වන ඊට එරෙහිව වන අරගලයන් තුළින් ය. පරිසර විනාශයන් පිටුපස ඇත්තේ ද එකී අවශ්‍යතාවය සහ එයට අනුබද්ධ වූ ජාතික මට්ටමෙන් සිටින් දේශපාලන තැරැව්කාර පන්තියෙහි අවශ්‍යතාවය ය. එකී අවශ්‍යතාවයට බාධා පැමිණවෙන්නේ උක්ත අරගලයන් තුළිනි. එකී අරගලයන් මර්ධනය කිරීමට නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ගේ හකුළුවා ලීම අත්‍යවශ්‍ය කාරණයක් වෙයි.

එනිිසාවෙන් මෙම යුගයේ සටන් කරුවෝ එක්තරා දේශපාලනික වශයෙන් වන කේන්‍ද්‍රීය වරදක් කරන බව පෙනෙයි. පරිසර විනාශයට එරෙහිව සිදු කරනු ලබන අරගලය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වන අරගලය සමග සම්බන්ධ නොකරති. ජාතික සම්පත් විකිණීමට එරෙහිව කරනු ලබන සැබෑ දේශප්‍රෙමීන්ගේ අරගලය පරිසර අරගලයටවත් ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් වෙනුවෙන් වන අරගලය සමග සම්බන්ධ නොකරති. එසේනම් මෙම යුගයේ අවශ්‍යව ඇත්තේ හුදකළා සටන් වලින් ඔබ්බට ගමන් කරනු ලබන ඒකාබද්ධ අරගල භූමියකි. ඒ මෙකී නොකී සියලූම අර්බුධයන් එකම මූලයකින් ආරම්භ වන බැවිනි.

එනිසාම අපට පැහැදිලි වන්නේ වර්තමාන දේශපාලන සන්දර්භය තුළ විරෝධතා දේශපාලනයට ඇත්තේ තීරණාත්මක භූමිකාවක් වන බවයි. එක් අතකින් පවත්නා හෙජමොනික ආධිපත්‍යයට ප‍්‍රතිවිරුද්ධව වන ප‍්‍රති හෙජමොනිය නිර්මාණය කිරීමේ වගකීමයි. එනම් මෙකී නොකී සියලූ අර්බුධයන් එකම මූලයකින් උපත ලබන්නන් ය යන මතවාදය සමාජ ගත කිරීමේ වගකීමයි. හුදකලා තනි අරගලයකින් ලබන විසදුමකට වඩා ඒකාබද්ධ විසදුමක් කරා වන මෙහෙයවීම සිදු කළ යුත්තේ මෙකී විරෝධතා දේශපාලනය විසින්ය. එමෙන්ම මෙකී නානාවිධ අර්බුධයන් තියුණු දේශපාලනීකරණයට ලක් කිරීමේ වගකීම ද විරෝධතා දේශපාලනයට අයත් ය. එනම් මා මෙහිදී යෝජනා කරනුයේ මෙකී අරගලයන් ගේ ප‍්‍රවේශය නිර්දේශපාලනික වීමේ මතවාදීමය තහවුරුවක් නොව අතිශය දේශපාලනික කිරිම අත්‍යවශ්‍ය වූවක් වන බවය. මන්ද මෙකී අර්බුධයන්ගේ මූලය දේශපාලනික වනවා සේම මෙයට එරෙහිව ඇති විසදුම වන්නේ විකල්ප සමාජ ආර්ථික ක‍්‍රමයක්ය යන මතවාදය සමාජගත කිරීම සදහාය.

මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ මෙකි විරෝධතා දේශපාලනය හුදු හුදකලා විරෝධතාවයන්ගෙන් ඔබ්බට යාමෙහි අවශ්‍යතාවයය. ගොඩනැගීමේ දිශානතියක් කරා වන දේශපාලනික ප‍්‍රවේශයද විරෝධතා අරගලයන්ට සමගාමීව ගත යුතුව ඇත. මේ අනුව අපට පෙනෙන්නේ ඉදිරි අනාගත විරෝධතා දේශපාලනය තීරණාත්මක වනු ඇති බවයි. අරගලකරුවන්ගේ අරගලකාරී උණුසුම මෙන්ම නව ලෝකය ගොඩනැගීම වෙනුවෙන් වන දේශපාලනික ප‍්‍රවේශයද අරගලයන් සේම තීරණාත්මක වනු ඇත.

ධනංජය දීඝායු ‍| Dhananjaya Deegayu