පසුගිය පෙබරවාරි 3 වෙනිදා දෙමළ ජාතික සංධානය ඇතුළු දමිළ දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ ක්‍රියාධරයින් සහ සිවිල් ජනතාව විසින් නැගෙනහිර පලාතේ පොතුවිල් සිට දැවැන්ත පා ගමනක් ආරම්භ කරන ලදී. එය පෙරවාරි 6 වෙනිදා උතුරු පලාතේ පොලිගන්ඩි හිදී නිමාවට පත් කරන ලද අතර, දින 5 ක අඛණ්ඩ සාමකාමි විරෝධතාවලිය සනිටුහන් කරමින් පොලිගන්ඩි හි ඉදි කරන ලද ස්මාරකයේ දැක්වෙන්නේ,

ජනතා නැගී සිටීමේ මහා අරගලය

“පොතුවිල් සිට පොලිගන්ඩි දක්වා”

03.02.2021-07.02.2021

ලෙස යි.

හින්දු, ක්‍රිස්තියානි, දමිළ ජනතාව සේම මුස්ලිම් ජනතාව ද සිය අයිතීන් උදෙසා එක් වෙමින් එකම කඳවුරක සිට හඬ නැගූ ඓතිහාසික මොහොතක් ලෙස මේ ජන පා ගමන හැඳින්වූවා ට වරදක් නැත.

කොවිඩ්-19න් මිය යන්නන්ගේ දේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීමට විරුද්ධ වීම, වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් දහසක් කිරීම, බලහත්කාරි ඉඩම් අත්පත් කරගැනීම් නැවැත්වීම, උතුරු නැගෙනහිර සංස්කෘතික අනන්‍යතා විකෘති කිරීමට විරුද්ධ වීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව සොයා බැලීම, අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු කිරීම, මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරින්ට එරෙහි අපරාධ නැවැත්වීම, මිය ගිය ආදරණීයයින් ස්මරණය කිරීමේ අයිතිය, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ආදි ඉල්ලීම් ඇතුළුව දමිළ කතා කරන සුළු ජන කොටස්වලට ඇති සුවිශේෂි ඉල්ලීම් මෙම පා ගමනට මූලික විය.

පෙබරවාරි 4 වෙනිදාට යෙදුණු 73 වන නිදහස් දිනයේදී පා ගමන පැවතියේ කාත්තන්කුඩිය ප්‍රදේශයේ ය. එහිදී පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මෙසේ ප්‍රකාශ කරන ලදී.

“සංඛ්‍යාවෙන් සුළු වූ පලියට අපේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන්නේ ඇයි? දෙමළ කතා කරන ජනතාව හැටියට උතුරු නැගෙනහිර, දෙමළ, මුස්ලිම් සහ උඩරට දෙමළ ප්‍රජාව සියළු දෙනා එකට එක්ව අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ යුතු යි.”

එහෙත් මේ අයිතීන් උදෙසා වූ පුරවැසියන්ගේ පා ගමන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යට, සිංහල කතා කරන සමාජ මාධ්‍ය පරිශීලකයින්ට සේම දකුණේ ප්‍රගතිශීලියි කියන දේශපාලන පක්ෂවලට ද නොපෙනී ගොස් තිබේ.

දෙමළ කතා කරන්නන්ගේ සම පුරවැසිභාවය සඳහා වූ ඉල්ලීම්වලට දශක ගණනක ඉතිහාසයක් තිබේ. ආයුධ අතට ගන්නා තැනට පත් වුණේ ඔවුන්ගේ සාධාරණ දේශපාලන ඉල්ලීම් දිනා ගැනීම සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රයත්න ගණනාවකින් පසුවයි.

යහපත් මනුෂ්‍ය ජීවිතයක් සඳහා වූ ඉල්ලීම් උණ්ඩයෙන්, අවියෙන් මර්දනය කර යම් කලකට සඟවා තැබුවත් නැවත නැවතත් මතු වී පුපුරා යාම නැවැත්විය නොහැක.

සාමකාමි ප්‍රජාතන්ත්‍රවාදි විරෝධතා භාවිතයෙන් තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අයිතිය තිබේ. අයිතීන් උදෙසා මිනිසුන් ආයුධ අතට ගැනීමට තල්ලු වන්නේ ඊට ඇහුම්කන් නොදී මර්දනය කිරීමෙනි. ඔවුන් ඉල්ලන්නේ තමන්ව දෙවන පන්තියේ පුරවැසියන් ලෙස නොසලකන මෙන් තම සාධාරණ අයිතිවාසිකම් මිස තවත් ජාතියක් පහත් කිරීම හෝ පාගා දැමීම නොවේ.

ඒ ප්‍රජාතන්ත්‍රීය ප්‍රයත්න හෙළා දකිමින් මර්දනය කරමින් අපි කියන්නේ තොපිට අයිතිවාසිකම් ඕනේ නම් ආයුධ අතට ගෙන යුද්ධ කරපල්ලා කියා ද?

සංජුලා පීටර්ස් | Sanjula Pietersz