iMage: Sanjula Pietersz

ශ්‍රී ලංකාව සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජන කණ්ඩායම්වලට අමතරව ඉන්දීය දෙමළ, මැලේ, බර්ගර්, කෆීර් සහ ආදිවාසි ජනයා ආදි සුළු ජන කණ්ඩායම් රැසක් ජීවත් වන බහුසංස්කෘතික, බහුආගමික, බහුවාර්ගික රටකි.

බහුත්වවාදය යනු විවිධ අනන්‍යතා සහිත පුද්ගල කණ්ඩායම් ජීවත් වන සමාජයක, එම සියලුම අනන්‍යතාවන් ආණ්ඩුකරණයට අන්තර්-ග්‍රහණය කර ගැනීම යි. බහුත්වවාදී රටක විවිධ ආගම්, ජනවර්ග, සංස්කෘතීන්, භාෂා, විශ්වාසයන්, පසුබිම් සහ ජීවන රටාවන්ගෙන් යුත් පුද්ගලයින් එකම සමාජයේ එකවර පවතිමින්, දේශපාලන ක්‍රියාවලියට සමානව සහභාගී වේ. බහුසංස්කෘතික රටවල් සිය පාලනයන් අර්ථවත්ව ගෙන යන්නේ බහුත්වවාදි දේශපාලන දර්ශනය පෙරටු කරගනිමිනි.

ශ්‍රී ලංකාව බහුසංස්කෘතික රටක් වුව ද දශක ගණනාවක සිට, මේ දක්වාම එකකට පසු එකක් ඇදී යන අන්තර් වාර්ගික අවිශ්වාසයන්,කෙනෙහිලිකම්, සමාජ ගැටුම්වල නිමාවක් නැත්තේ ශ්‍රී ලංකාව අනුගමනය කර ඇත්තේ විවිධත්වය බැහැර කරන ප්‍රතිපත්ති මිස ‘බහුත්වවාදය’ නොවන නිසා බව ඉතිහාසය සොයා බැලීමේ දී පෙනී යයි.

‘බහුත්වවාදය’ වෙනුවට ‘බහුතරවාදය’

1948 දී නිදහස ලබා ගත් විගසම එවක රජය විසින් පුරවැසි පනත සම්මත කළ අතර, ඉන් පසු මිලියනයක් පමණ කඳුකර ඉන්දීය දමිළ ප්‍රජාවගේ පුරවැසිභාවය අහෝසි විය. දමිළ නියෝජිතයින්ද ද ඊට සහය ලබා දෙන ලදී. නිදහසින් පසු ශ්‍රී ලංකාව හිතාමතාම සුළුතර කණ්ඩායමක් ආන්තිකරණය කළ පළමු අවස්ථාව මෙය යි. 1830 ගණන්වල මෙරට වතු කර්මාන්ත ආශ්‍රිතව සේවය කිරීමට ඉන්දියාවෙන් ගෙනෙන ලද දමිළ ජනයාගෙන් පැවත එන කඳුකර ඉන්දීය දමිළ ප්‍රජාව එදා සිට මේ ලිපිය ලියන මොහොත දක්වාත් මෙරට තුළ දැඩි සේ ආන්තිකරණයට ලක් කොට ඇති ජන ප්‍රජාව වේ.

නිදහසින් පසුව ද රාජ්‍ය භාෂාව ලෙස පැවතියේ ඉංග්‍රීසි භාෂාවයි. රටේ ජනතාවගෙන් අතිමහත් බහුතරයකට පිටස්තර භාෂාවකින් රාජ්‍ය පාලන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස “ස්ව-භාෂා” ව්‍යාපාරය නැගී ආවද, අවසන එය ස්ථානගත වූයේ 1956 දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරමිනි. පාර්ලිමේන්තුවෙන් පිටත පනතට සාමකාමීව විරෝධය දැක්වූ ද්‍රවිඩයන්ට රජය විසින් සිංහල මැර කල්ලි යොදවා පහර දෙන ලදී. සිංහල පමණයි පනතට එරෙහිව රට පුරා දමිළ ජනයාගෙන් විරුද්ධතා පැන නැගුණි. ඒ අනුව දමිළ භාෂාව උතුරු නැගෙනහිර පරිපාලන භාෂාව වශයෙන් පිළිගැනීම, පුරවැසි පනත සංශෝධනය කිරීම ඇතුළු එකඟතාවන් ඇතුළත් බණ්ඩාරනායක- චෙල්වනායගම් ගිවිසුම 1957 දී අත්සන් කරන ලදී. නමුත් මෙම ගිවිසුමට එරෙහිව බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ කණ්ඩායම්වලින් විශාල විරෝධයක් එල්ල වූ අතර අගමැති බණ්ඩාරනායක සිය විරුද්ධවාදීන්ට එකඟ වී ගිවිසුම බෞද්ධ භික්ෂූන් ඉදිරියේ ඉරා දැමීය.

භාෂාව බොහෝ දුරට සංස්කෘතිය අර්ථ දක්වයි. එසේම සමාජ-ආර්ථික අවස්ථාව හිමිවීම තීරණය වන්නේ ද එමඟිනි. සිංහල එකම රාජ්‍ය භාෂාව බවට පත් කිරීම තමන්ගේ සංස්කෘතිය තුළ කටයුතු කිරීමට ද්‍රවිඩයන්ට ඇති අයිතියට අභියෝගයක් වූවා පමණක් නොව, අධ්‍යාපන හා රැකියා කටයුතු ආදී ඔවුන්ගේ ආර්ථික හා සමාජීය සාර්ථකත්වයට අහිතකර ලෙස බලපාන ලදී.

අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩු දෙකේ (1960-65 සහ 1970-77) අනුගමනය කළ ජනවාර්ගික-කේන්ද්‍රවාදී ප්‍රතිපත්ති තවදුරටත් බහුත්වවාදයට පිටුපාන ලදී. දෙමළ ජනයා බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර පවා අධිකරණ පද්ධතියට සිංහල පමණක් අදාළ විය. උසස්වීම් ලබා ගැනීම සඳහා දෙමළ සිවිල් සේවකයන්ට සිංහල ඉගෙන ගැනීමට බල කෙරුනි. ද්‍රවිඩ භාෂාව කතා නොකරන රාජ්‍ය සේවකයින්ව භාෂාමය ආධිපත්‍යය රැක ගැනීමේ මාර්ගයක් ලෙස දෙමළ කතා කරන ජනයා වෙසෙන ප්‍රදේශවල රඳවන ලදී. සාමකාමී දෙමළ විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් 1961 දී හමුදාව උතුරු පළාතේ ස්ථානගත කරන ලදී.

1965 දී අත්සන් කරන ලද ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුමෙහි ප්‍රධාන ඉල්ලීම වූයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල දමිළ භාෂාවෙන් කටයුතු කිරීමට ඉඩ දීමයි. එම විධි විධාන ඇතුළත් දෙමළ භාෂා විධි විධාන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට, විශාල විරෝධයක් මතු වීමත් සමග මෙම අවම ඉල්ලීම්වලට හෝ කන් නොදී 1966 දී ඩඩ්ලි සේනානායක විසින් ගිවිසුම ඉවත දමන ලදී.

බහුත්වවාදයෙන් ඉවතට හැරීමේ මීළඟ කරුණ වූයේ 1972 දී, දෙමළ ජනයාගෙන් කිසිදු අදහස් විමසීමකින් තොරව, සිංහල රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කර බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දුන් පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යි. දෙමළ භාෂාවට සමතැන දීම, දමිළ සිසුන්ගේ අධ්‍යාපන මාධ්‍ය ලෙස දමිළ භාෂාව පිළිගැනීම ආදි ද්‍රවිඩ පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා සලකා බැලීමකින් තොරව ඉවත දමන ලදී. විශ්ව විද්‍යාල පද්ධතියේ ග්‍රාමීය සිංහල සිසුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා කෝටා හඳුන්වා දෙන ලදී. දෙමළ සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුළුවීම සඳහා ඉහළ ලකුණු ලබා ගත යුතු විය. රජයට එරෙහිව කිසිදු සන්නද්ධ ප්‍රතිරෝධයක් නොතිබියදී වුවද, රජයේ සිංහල පමණයි ප්‍රතිපත්තියට එරෙහිව සාමකාමි සත්‍යග්‍රහයන්හි නිරත වූ ජනයාව ආණ්ඩුව විසින් මර්දනය කරන ලදී.

දමිළ කතා කරන ජනතාව විසින් සිය අයිතිවාසිකම් දිනා ගැනීමට කළ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රයත්න සියල්ලක්ම මර්දනයට හා නොසලකා හැරීමට ලක් කිරීමේ ප්‍රතිඵලය වූයේ, වෙනම රාජ්‍යක් බිහි කරගැනීමේ අදහස දෙමළ ජනයා අතර මතු වීම යි. මීට පෙර පැවති මැතිවරණවලදී වෙනම රාජ්‍යක් පිළිබඳ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් තරග කළ ද්‍රවිඩ අපේෂකයින් පරාජයට පත් වුව ද, 1977 මැතිවරණයේ දී දමිළ ජනයා විසින් එම අදහස දිනවන ලදී.

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ද සිංහල භාෂාවට හා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන ලදී. රජය විසින් සම්මත කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළ බවට සැක කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන, නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීමට ආරක්ෂක හමුදාවන්ට අවසර දෙන ලදී. අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා අරගල කළ දමිළ තරුණයින් මර්දනය කිරීම මෙම පනත යටතේ සිදු විය.

1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේ දී දුර්ලභ අත් පිටපත් රාශියක් ඇතුළුව වෙළුම් 95,000 ක එකතුවක් තිබුණු සුප්‍රසිද්ධ යාපනය මහජන පුස්තකාලය ආණ්ඩුවේ සිංහල ජාතිවාදී මැර කල්ලි විසින් ගිනි තබා විනාශ කරන ලදී.

1983 ජූලි මස යාපනයේදී හමුදා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය වීමෙන් පසු රාජ්‍ය අනුග්‍රහය සහිතව දකුණේ දමිළ ජනයාට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරින ලදී. සංවිධානාත්මකව දමිළ ජනයාගේ නිවාස දේපල මංකොල්ල කමින්, දමිළ ජනයා ඝාතනය කරන ලදී. මෙම සංහාරය නිසා දකුණේ ජීවත් වූ දෙමළ ජනයා උතුරු නැගෙනහිරට පලා ගිය අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් 1970 දශකයේ මුල් භාගයේ සිට පිහිටුවන ලද විවිධ කැරලිකාර කණ්ඩායම්වලට සම්බන්ධ වූහ. දහස් ගණනක් දිවයිනෙන් පලා ගිය අතර, දෙමළ ඩයස්පෝරාව ලෙස හැඳින්වෙන්නේ ඔවුන් ය. මෙසේ සිදු වූ බහුත්වවාදයෙන් ඈත් වීම ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පෝෂණය කළ අතර එය වසර 27 ක් පැවතුනි.

1987 දී ඉන්දීය රජයේ මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වෙනි සංශෝධනය එක් කළ අතර, එමඟින් පළාත් සභා පිහිටුවන ලදී. ශ්‍රී ලංකාව බහුසංස්කෘතික රටක් ලෙස පිළිගැනීමට කළ යම් උත්සහයක් ලෙස මෙය හැඳින්විය හැකි වුවත්, එමඟින් නියම කර ඇති පරිදි පොලිස් හා ඉඩම් බලතල තවමත් නිසි පරිදි පවරා දී නොමැත.

යුද්ධයෙන් පසු

2009 වසරේ දී සිවිල් යුද්ධය නිමා වීමෙන් පසුව උතුරු නැගෙනහිර පිහිටුවා තිබූ හමුදා කඳවුරු සහ අධි ආරක්‍ෂිත කලාප සඳහා පවරාගෙන තිබූ ඉඩම් ආපසු ලබා දෙනවා වෙනුවට, එවක රජය විසින් තව තවත් හමුදා කඳවුරු ද, මිලිටරි පරිපාලන හෝටල් ද ඉදි කළේය. උතුරු නැගෙනහිර දමිළ ජනයාගේ සොහොන් විනාශ කර ඒ මත හමුදා බැරැක්ක ඉදි කරන ලදී. ජාතික ගීය දමිළ බසින් ගැයීම නවත්වන ලදී. සියලු තැන්හි යුද්ධයේ බියකරු වේදනා සිහිගන්වන යුධ ස්මාරක ඉදි විය. බෞද්ධයින් නැති තැන්වල බෞද්ධ පන්සල් ඉදි කර, සිංහල ජනයා පදිංචි කරන ලදී. යුද්ධය නිමා වීමෙන් පසුව රජය ක්‍රියා කළ ආකාරය දෙස බැලූ විට සාමකාමී ප්‍රජාතන්ත්‍රීය රටක් බිහි කිරීමට පාලකයින්ට අවශ්‍ය වූයේ දැයි සැක මතු වේ.

යුද්ධය නිම වී වසර 12 ක් ගත වන විටත් උතුරු නැගෙනහිර ජනයා යුද්ධයේදී සහ ඉන් පසුව ආරක්ෂක හමුදා භාරයේ සිටි පුද්ගලයින් අතුරුදහන් වීම පිළිබඳව සත්‍ය සහ යුක්තිය සොයා වෙහෙසෙති. මිය ගිය සිය ආදරණීයයන් ස්මරණය කිරීමට එරෙහි රජයේ එදිරිවාදිකම්වලට මුහුණ දෙති. බලහත්කාරයෙන් උදුරා ගත් සිය ඉඩකඩම් නැවත ලැබෙන තුරු අරගල කරති. මේ අනුව ශ්‍රී ලංකාව, බහුත්වවාදය හිතාමතාම අත්හැර දැමූ විට පිරිහෙමින් පවතින රටකට හොඳම නිදසුනක් බව පැවසීම වරදක් නොවේ.

සිවිල් යුද්ධය පිළිබඳව විමර්ෂණය කිරීම සඳහා 2010 වසරේදී පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙහි දැක්වෙන්නේ “ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට මූලික හේතුව වන්නේ දෙමළ ජනතාවගේ අව්‍යාජ දුක්ගැනවිලි විසඳීමට පත් වූ රජයන් අපොහොසත් වීමයි” ලෙසයි.

‘එක රටක්- එක නීතියක්’

සිවිල් යුද්ධය පුරාවට “හොඳ සුළුතරයින්” ලෙස සිත දිනා සිටි මුසල්මානුවන් යුද්ධය නිම වී වැඩි කලක් යාමට මත්තෙන් බෞද්ධ අන්තවාදීන්ගේ ප්‍රහාරයන්ට ලක් විය. රාජ්‍ය අනුග්‍රහය ලැබූ බොදු බල සේනාව ප්‍රමුඛ අන්තවාදී කණ්ඩායම් විසින් රට පුරා සංවිධානාත්මකව මුස්ලිම් විරෝධයක් ගොඩ නගන ලදී. කොවිඩ්-19 න් මිය යන්නන්ගේ දේහ මිහිදන් කිරීමට විරුද්ධ වීම දක්වා වූ විරෝධයන් කාලයෙන් කාලයට පැන නැගුණේ එලෙසිනි. කෙසේ නමුත් ඉතිහාසයේ සැමදා සිදු වූ පරිද්දෙන් මුස්ලිම් සුළුතරයට එරෙහි ප්‍රහාරයන්ට සම්බන්ධ සියල්ලෝ දණ්ඩ මුක්තිය ලැබුහ.

කොවිඩ්-19 න් මිය යන්නන්ගේ දේහ භූමදානය කිරීමට විරුද්ධවන්නන්ගේ ප්‍රධාන සටන් පාඨය ‘එක රටක්- එක නීතියක්’ යන්න යි. ‘එක නීතියක්’යනු එක සංස්කෘතියක් නොවන බව වටහා ගැනීමට වුවමනාවක් හෝ උත්සහයක් නොමැත්තේ බහුත්වවාදය අපේ සමාජයේ කොටසක් නොවන හෙයිනි.

(තවදුරටත් මීළග කොටසින් සාකච්ඡා කරමු)

සංජුලා පීටර්ස් | Sanjula Pietersz