iMage:Vikalpa/ ගොවීන්ගේ විරෝධතාවයක්/ කොළඹ/ 2012 දෙසැම්බර්

අප දේශපේ‍්‍රමය අර්ථ ගන්වන්නේ කෙසේද? එය දේශපාලනික ද? එසේත් නැතිනම් දේශපාලනයෙන් වියුක්ත ද? පිළිතුර වන්නේ එය දේශපාලනික වන බවයි. එය දේශපාලනික නොවිය යුතුද? පිළිතුර වන්නේ, නැත එය දේශපාලනික විය යුතු බවයි. එසේ නම් ගැටළුව කුමක් ද? වත්මන් ගෝලීය මෙන්ම ලාංකේය දේශප්‍රේමයෙහි ඇති දේශපාලනය සම්බන්දයෙන් ඇති ගැටළුව ප‍්‍රතිමානයන් කිහිපයක් ඔස්සේ වර්ධනය වෙයි. එක් අතකින් දේශපේ‍්‍රමය පිළිබ`දව පොදු පුරවැසියා තුළ ඇති අදහස දේශපාලනයෙන් වියුක්ත බවක් හගවයි. (අ)දේශපාලනික වීමෙහිම යම් දේශපාලනයක් ඇති නිසා දේශප්‍රේමය දේශපාලනයෙන් වියුක්ත වන්නක් නොවේ. අනෙක් අතට ඇති ගැටළුව වන්නේ සමකාළීන දේශපාලනික යථාර්ථයන් විසින් දේශපේ‍්‍රමය යනුවෙන් වන ව්‍යාජ මෙන්ම යල් පිනූ මතවාදයක් සමාජගත කොට තිබීමයි.

අපගේ පොදු ජන විඥානය දේශපේ‍්‍රමය යනුවෙන් සංජානනය කරගෙන සිටින්නේ කුමක්ද? එය අර්ථකථනය කරන්නේ කෙසේද? යන්න මෙහිදී කේන්ද්‍රීය ප‍්‍රශ්නයක් වෙයි. එකී ගැටළුවට සමාජ සංස්ථාපිතය තුළින් ලැබෙන්නේ ඉතා පටු අර්ථකථනයක්ය යන්න මුසාවක් නොවෙයි. දමිළයන්ට හෝ මුසල්මානුවන්ට එරෙහිව කරනු ලබන ජාතිවාදී මැදිහත්වීම් හෝ තම ආගම හා තම ජාතිකත්වය කෙරෙහි වන අතිශය පක්ෂපාතීත්වය සමග ගැට ගැසී ඇති මෙම අවබෝධය දේශපේ‍්‍රමය පිළිබදව වන යල් පිනූ අර්ථකථනය විනා නූතන අර්ථකථනය නම් නොවේ. එකී සංජානනය කිරීම මගින් සිදුව ඇත්තේ දේශපේ‍්‍රමය පිළිබදව වන හැගීම පොදු දේශපාලනයෙන් වියුක්ත කිරීමය. එනම් තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල භූමිය තුළ කරන අරගල වලින් දේශපේ‍්‍රමය පිළිබදව වන හැගීම වියුක්ත කිරීමය. පසුගිය සමයෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අරගලකළවුන් බටහිර ගැත්තන්ගේ හා දේශද්‍රෝහීන්ගේ කුලකයට ඇතුළත් කරමින් මර්ධනය කරන්නට යෙදෙන්නේ ද එකී මර්ධනයන් සමාජමය කැළඹීමක් ඇති නොකරන්නේ ද එකී තත්වය තුළ දීය. සමකාළීන අරගල භූමිය තුළ ඇති ජීවන බරට එරෙහිව ඇති අරගලයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වූ අරගලයත්, ජාතික සම්පත් විකිණීමට එරෙහිව වන අරගලයත් මෙන්ම පරිසර විනාශයට එරෙහිව ඇති අරගලයත් යන සමස්ත අරගල භූමියම දේශපේ‍්‍රමය පිළිබදව වන තියුණු මානුශීය හැගීමෙන් වියුක්ත කෙරෙන්නේ එබැවින්ය.

දේශපේ‍්‍රමය පිළිබදව වන වර්තමාන කියැවීම සාවද්‍ය ලෙස ස්ථානගත වී ඇත්තේ දුටු ගැමුණු පන්නයේ එසේත් නැතිනම් ධර්මපාල පන්නයේ ආස්තානයකින්ය. එහෙත් මෙහිදී ප‍්‍රකාශ කළ යුතුව ඇත්තේ දේශපේ‍්‍රමය ද ඓතිහාසික වූවක් වන බවයි. එනයින්ම එහි ඇත්තේ සාපේක්ෂ අර්ථ නිරූපනයකි. දුටු ගැමුණු රජ සමය හෝ ධර්මපාල තුමාගේ කාළ පරිච්ඡේදයන්ට සාපේක්ෂව දේශපේ‍්‍රමයෙහි අර්ථනිරූපනය තුළ සමකාලීන දෝෂයක් නොවුවද එකී අර්ථනිරූපනයම වර්තමානයට යොදා ගැනීම සදොස්ය. එකී ඓතිහාසික තත්වයන් විසින් බලකරන ලද්දේ එකී පන්නයේ දේශපේ‍්‍රමයක් වෙනුවෙන් වන ජනතා මැදිහත් වීමක් වෙනුවෙන් ය. එය තම ජන වර්ගය හෝ තම ආගමිකත්වය වෙනුවෙන් කරනු ලබන මැදිහත් වීමකි. එහෙත් එකී අදහස ඓතිහාසික වශයෙන් අවලංගු වූ යල් පැන ගිය අර්ථනිරූපනයක් වන්නේ වත්මන් දේශපාලනික යථාර්ථයන් සමග පෙන්නුම් කරනු ලබන පරස්පරතාවය හා එකී අර්ථනිරූපණයෙහි ඇති ප‍්‍රතිගාමීත්වය නිසාවෙනි.

එසේ නම් දේශපේ‍්‍රමය පිළිබදව වන නූතන කියැවීම බවට පත් විය යුත්තේ කුමක් ද? යන්න කෙරෙහිද අවධානය යොමුකළ යුතුය. එය හුුදු ජාතිවාදී ආගම්වාදී ප‍්‍රවේශයක් නම් නොවිය යුතු බව නම් ඉතා පැහැදිලිය. මෙහිදී උක්ත දේශපේ‍්‍රමී හෝ දේශද්‍රෝහී යනුවෙන් වන බෙදීම ස්ථාපිත වන්නේ එක්තරා කේනද්‍රීය කරුණක් මතය. එය තවදුරටත් සිංහල බෞද්ධ හෝ දමිළ හින්දු ආදී වශයෙන් වන අනන්‍යතාවයන්ගෙන් බැහැර වන්නකි. තවදුරටත් තම ආගමික හෝ සංස්කෘතික කණ්ඩායම කෙරෙහි දක්වනු ලබන පක්ෂපාතීත්වය දේශපේ‍්‍රමය යනුවෙන් අර්ථකථනය වන්නේ නැත. එසේ නම් දේශපේ‍්‍රමය සම්බන්දයෙන් වන නූතන නිර්ණායකය රදා පවතින්නේ කුමක් මතද? එය රදා පවතින්නේ ගෝලීය ප‍්‍රාග්ධනයට විරුද්ධ වන්නේ ද නැතිද යන නිර්ණායකය මතයි. ධනේශ්වර ක‍්‍රමයෙහි අවසානයේ නිර්මාණය වී ඇති අධිරාජ්‍යවාදයට විරුද්ධ වන්නේ ද නැද්ද? යන නිර්ණායකය මතය. එසේනම් ධනේශ්වර අධිරාජ්‍යවාදය එසේත් නැති නම් ගෝලීය ප‍්‍රාග්ධනයට එරෙහිව වන අරගලය නූතන දේශපේ‍්‍රමය බවට පත් විය යුත්තේ ඇයි? යන්නද විමසා බැලිය යුත්තකි.

ප‍්‍රාග්ධනය ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම ගමන් කිරීමේ ප‍්‍රථිඵලය වන්නේ ගෝලීය වශයෙන් වන සූරාකෑම ස්ථාපිත වීමය. එහි අනිවාර්ය ප‍්‍රථිඵලය වන්නේ පරිධියේ පවත්නා අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් ගෝලීය ප‍්‍රාග්ධනයෙහි ගොදුරක් බවට පත් වීමය. සංස්කෘතිමය වශයෙන් වන අධිපතීත්වයක් ගෝලීය බලවතුන් විසින් දැක්වීම එකී තත්වයෙහි එක් ප‍්‍රථිඵලයක් පමණි.

අනෙක් අතට බහු ජාතික සමාගම් සතුව පවත්නා අතිශය විශාල ආර්ථික බලය හමුවේ අප වැනි පරිධියේ පවත්නා රටවල් කෙරෙහි එල්ල කරන්නේ සුළුපටු බළපෑමක් නොවේ. එහි සමකාලීන ජනප‍්‍රියම නිදර්ශනය වන්නේ අදානි නම් දැවැන්ත සමාගම් ජාලයට එරෙහිව එල්ල වූ විරෝධතාවලියයි. අසල්වැසි ඉන්දියානු ගොවි ජනතාව තම දැවැන්ත විරෝධතාවයන් දක්වන්නේ එකී සමාගමට එරෙහිවය. ඒ එකී සමාගමට වාසිදායක වන අයුරින් වන ඉන්දියානු මධ්‍යම රජය විසින් ගෙන එන ලද ගොවි පනත් ත‍්‍රිත්වයට එරෙහිවය. අනෙක් අතට ශී‍්‍ර ලංකාවේද වරාය විකිණීම පිළිබදව වන ගැටළුව තුළ දී ද විරෝදතාවයන් එල්ල වන්නේ එකී සමාගම් ජාලයට එරෙහිවය.

එහෙත් උක්ත විරෝධතාවයන් අදානි නම් සමාගම් ජාලයට වඩා පවත්නා ආණ්ඩුවලට එරෙහිව යන්නක් වන්නේ ඇයි? එයට හේතුව වන්නේ පවත්නා පාලන තන්ත‍්‍රය එකී ගෝලීය ප‍්‍රාග්ධන හිමිකරුවන්ගේ එසේත් නැතිනම් මහා පරිමාණව ගෝලීය ආර්ථිකය මෙහෙයවනු ලබන සමාගම් වල නියෝජිතයන් වීමය. ඔවුහු ගෝලීය අධිරාජ්‍යවාදයෙහි ඒජන්තයෝ වෙති. එකී ගෝලීය ප‍්‍රාග්ධන අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට අවශ්‍ය කරනු ලබන හිතකර පාරිසරික සාධකයන් රට තුළ නිර්මාණය කරන්නේ එකී රාජ්‍ය මැදිහත් වීම හරහාය. හම්බන්තොට වරාය විකිණීම හා කොළඹ වරාය විකිණීම ආදී සිදුවීම් හරහා පෙන්නුම් කරනුයේ ජාතික සම්පත් විකිණීම යි. අනෙක් පසින් පැන නගින මහා පරිසර විනාශයන් තුළින් ද පෙන්නුම් කෙරෙනුයේ දැවැන්ත බහුජාතික සමාගම්වල සිට ජාතික මට්මමෙන් දේශපාලනයෙහි නියුක්තව සිටින එක්තරා දේශපාලනික තැරැව්කාර පන්තියක අවශ්‍යතාවයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව සිදු කරනු ලබන මැදිහත් වීම් තුළ වුවද ඇත්තේ එකී පාලක පැලැන්තීන් විසින් ගෝලීය අධිරාජ්‍යවාදයේ නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට එරෙහිව කරනු ලබන අරගලයන් මර්ධනය කිරීමෙහි අවශ්‍යතාවයයි. අනෙක් පසින් මෙකී පාලන පැලැන්තීන් විසින් රාජ්‍ය ව්‍යවසායයන් පාඩු ලබන තත්වයට පත් කිරිම තුළින් සිදුව ඇත්තේ ද උක්ත අවශ්‍යතාවය ඉටු කිරීමය.

මෙකී සමස්ත සිදුවීම් දාමය තුළින් මතු වී ඇති අර්බුදයන් විසින් අවසාන වශයෙන් අභියෝගයට ලක් කෙරෙන්නේ රටෙහි ස්වෛරීත්වයයි. එය නව අධිරාජ්‍යවාදයෙහි ලක්ෂණය වෙයි. තම ප‍්‍රාග්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් අනෙකුත් පරිධියේ පවත්නා රටවල් තුළ තත්වයන් නිර්මාණය කර ගැනීමට දරණ බලහත්කාරී ප‍්‍රයත්නයන් ප‍්‍රකාශයට පත් වන්නේ එවැනි ආකාරයේ රටෙහි ස්වෛරීත්වය කෙරෙහි වන බලපෑම් ලෙසින් ය. එය මානව හිමිකම් පිළිබදව වන ගෝලීය මැදිහත් වීම්, ආර්ථික සම්භාදකයන් පැනවීම හෝ සංස්කෘතිකමය වශයෙන් වන ආක‍්‍රමණයන් යන ස්වරූපයන්ගෙන් යුක්ත වේ. මෙහිදී වඩාත් සමකාළීන මෙන්ම වඩාත් ගැළපෙන සමකාළීන උදාහරණයන් කිහිපයකි. වරායෙහි නැගෙනහිර ජැටිය විකිණීම සිදු කිරීමට අපොහොසත් වන තත්වයන් තුළ ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවෙන් අය විය යුතු ණය මුදලක් කඩිනම් කරන ලෙස කරන ලද නියෝගය එක් උදාහරණයකි.එමෙන්ම චීනය විසින් ශ‍්‍රී ලංකාව ණය උගුලක හිරකරමින් යම් දේශපාලනික හා ආර්ථික වශයෙන් වන බලපෑම් සිදු කරමින් තිබීමද වෙයි. මෙහිදී ප‍්‍රධානම භූමිකාව ඉටු කරමින් සිටින ඇමරිකා එක්සත් ජනපදයෙහි භූමිකාවද අමතක නොකළ යුත්තකි.

එසේ නම් උක්ත අර්බුදයන් විසින් අපහට යෝජනා කරමින් සිටින්නේ කුමක් ද? ඒ වෙනත් යමක් නොවේ. දේශපේ‍්‍රමය වෙනුවෙන් වන නූතන අර්ථකථනය සමාජගත කිරීමය. දේශපේ‍්‍රමය තියුණු දේශපාලනීකරණයකට ලක් කිරීමය. ඒ හරහා සිදු වන්නේ උක්ත සාකච්ඡා කරන ලද විවිධ ස්වරූපයෙන් යුක්ත වූද එකිනෙකට වියුක්ත බවක් හගවන ප‍්‍රජාතන්ත‍්‍රවාදය මර්ධනය කිරීම, පරිසර විනාශය, ජීවන බර හා ජාතික සම්පත් විකිණීම වැනි එකම අරගලයේ පැති මානයන් එකිනෙකට සංයුක්ත කිරීමය. එනයින් මෙකී සියලු අර්බුදයන් ගෝලීය අධිරාජ්‍යවාදී අරමුණු හා මැදිහත් වීම් සමග සංයුක්ත කිරීමය. මෙකී අර්බුදයන්ට එරෙහිව සිදු කරනු ලබන මැදිහත් වීම් එකිනෙක සම්බන්ද කරනු ලබන හුය වන්නේ දේශපේ‍්‍රමය පිළිබදව වන නූතන කියැවීම ය.

එනයින් බලන කළ අපට පෙනෙන්නේ නූතන දේශපේ‍්‍රමය යනුවෙන් දෙනු ලබන අර්ථකථනය යනු හුදු තවත් එක් අර්ථකථනයක් නොව අධිරාජ්‍යවාදයට එරෙහිව කරනු ලබන අරගලයෙහි ආධ්‍යාත්මික උත්තේජකය වන බවයි. වත්මන් අධිපති සමාජ මතවාදය විසින් සමාජ ගත කොට ඇති දේශපේ‍්‍රමය පිළිබදව වන යල් පිනූ අර්ථකථනය, උක්ත අතිශය නූතනවාදී අර්ථකථනය මගින් විස්තාපනය කළ යුතුව ඇත. සිදු විය යුතුව ඇත්තේ දේශපේ‍්‍රමය පිළිබදව වන නූතන කතිකාවත හරහා දේශපේ‍්‍රමය පිළිබදව වූ යල් පිනූ දේශපාලන දීගය කටු ගා දමමින් නූතනවාදී ලෙස තියුණු දේශපාලනීකරණයකට ලක් කිරීමය. දේශපේ‍්‍රමයෙහි සැබෑ දේශපාලන බෙදීම සමාජගත කිරීමය.

ධනංජය දීඝායු | Dhananjaya Deegayu