iMage: Vikalpa

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙමින් ඇත්තේ 46වන සැසිවාරයයි. මේ වන විට කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් ලංකාව සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. එම යෝජනා පිළිබදවත්, ලංකාවේ මානව හිමිකම්, වගවීම පිළිබදවත් මේ මස දී පැවැත්වෙන ඡන්ද වීමසීම දක්වා විවිද අන්දමින් සාකච්ඡා කරනු ඇත. කෙසේ නමුත්, ජිනීවා සැසිය ආරම්භ වන විට ලංකාව තුළින් වෙනදා දක්නට ලැබෙන උච්චස්වරයේ වාග් සහ විරෝධතාවයන් මෙවර ඒ තරම් දක්නට නැත. ඒ වෙනුවට ආණ්ඩුව පාර්ශවයෙන් කැපීපෙනෙන ක්‍රියාවන් දෙකක් දක්නට ලැබිණි. එකක් නම්, ලංකා ආණ්ඩුව විසින් පසුගිය කාලයේ පත් කෙරුණු මානව හිමිකම් සහ වගවීමට අදාල ‘කමිටු’ වල නිර්දේශ සහ කරුණු ‘නැවත සලකා බැලීම’ සදහා තවත් ‘කමිටුවක්’ පත් කිරීමය. මෙයත්, ජීනිවා මුව විට ට පැමිණී විට ජාත්‍යන්තරය සැනසීමට කරනු ලැබූ තවත් සැරසිල්ලක් බව රාජපක්ෂ පාලන කාලය හොදින් අධ්‍යනය කරන්නෙකුට නොපෙනී යන්නේ නම් ඔහු හෝ ඇය ‘කෝමා’ තත්ත්වයෙන් සිටිය යුතුය.

අනෙක් කරුණ නම්, කොවිඩ් සෑදී මිය යන අයගේ මෘත දේහයන් භූමදානයට ඉඩ නොදී ආදාහනය කිරීමට පමණක් ගත් තීන්දුව, පසුගිය දා ගැසට් නිවේදනයක් මගින් ඉවත් කිරීමයි. එය නම්, කොවිඩ් සැදි මිය යන අයගේ මෘත දේහයන් ආදාහනයට සේම භූමදානයටත් ඉඩ ලබා දෙන බවට ගැසට් නිවේදනයක් මගින් කියා සිටියේය. එයත් සිදු වූයේ, දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ද එය මුස්ලිම් ප්‍රජාවගේ ආගමික අයිතියට එල්ලකරන ලද ප්‍රහාරයක් බවත්, භුමදානය කිරීම මගින් වෛරසය පැතිරෙන්නේ නැති බව විද්‍යාත්මකව පිළිගෙන තිබියදී ලංකාව එයට ඉඩ නොදීම ගැන ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක් වීමත් සමගය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ද ඒ බව සදහන් කර තිබූ අතර, ජීනිවා හී ද එය කතාබහට ලක්විය. මේ නිසා රාජපක්ෂ ආණ්ඩුවට ‘ආදාහනය පමණයි’ තීන්දුව හකුලා ගැනීමට සිදුවූයේ ජීනිවා මුව විටට පැමිණි වට බව කවුරුත් දන්නා තත්ත්වයකි. එසේම, මේ තත්ත්වය මෙසේ තිබියදී පාකිස්ථාන අගමැතිවරයා ලංකාවට පැමිණීම ද යම් ලෙසකට එම තීරණයට බලපෑ තවත් හේතුවකි.

මෙම තත්ත්වය තුළ, නීතිවේදියෙක් මෙන්ම, ආචාර්යවරයෙක් වන ප්‍රතිභා මහානාමහේවා මහතා ජිනීවා පිළිබද පරණ හොරණෑවක් වයමින් සිටී. ඔහු පවසා සිටින්නේ, ‘කිසිම රටකට වෙලා නැති හිංසාවක් අපිට මේ වෙන්නේ, මා.හි.කොමිසම සැරසෙන්නේ අපිව යුධ අධිකරණයට අරන් යන්න’ යනුවෙන් පවසා සිටී. ජිනීවා මානව හිමිකම් කොමිසමත් ඊට සහය දක්වන බටහිර රටවල් සූදානම් වන්නේ ශ්‍රී ලංකාව තුළ යුධ අපරාධ සිදුව ඇති බවත් එමඟින් ජාත්‍යන්තර යුධ අධිකරණය හමුවට අපව රැගෙන යාම බවත් මහානාමහේවා පවසයි.

නීතිය පිළිබද හොදින් දන්නා මහානාමහේවා මහතා ජනයා නොමගයවමින් සිටින්නේ අතිශය නරුමවාදී ලෙසය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සිය තනිමතයට අනුව, එසේ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට කිසියම් රටක අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසීම සදහා යොමු කිරීමට නොහැකි බව මහානාමහේවා මහතා හොදින් දනී. නමුත්, සැම විමකම මේ බෙර පදය, විශේෂයෙන් ‘සිංහලෙන්’ මහානාමහේවා මහතා ගසනු ලබන්නේ ලංකාව තුළ සැම ක්ෂේත්‍රයකම මෙන්ම ක්‍රියාත්මක වන ‘නරුමවාදී දෘෂ්ටිවාදය’ බලය ලබා ගැනීම හෝ පවත්වා ගැනීමට ඇති හොදම මෙවලම බව දැනගෙනය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය(ICC)

ජාත්‍යන්තර අපරාධ අධිකරණය(ICC) පිහිටා ඇත්තේ, නෙදර්ලන්තයේ, හේග් නුවරය(Haag). ඉතාලියේ රෝම නුවරදී, 1998 ජූලි මස 17දා සම්මත කරගනු ලැබූ ‘රෝම ප්‍රඥප්තිය’ පදනම් කර ගනිමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ක්‍රියාත්මක වෙයි. here

රෝම ප්‍රඥප්තියේ 2වන කොටසේ 5වන ව්‍යවස්ථාව මඟින්, මූලික වශයෙන් අපරාධ වර්ග 04ක් සම්බන්ධයෙන් නඩු විභාග කරමින්, දඬුවම් කිරීමේ බලය පැවරී තිබේ. එම මූලික අපරාධ වර්ග 4නම්,

(a) වර්ග සංහාරක අපරාධ (a) The crime of genocide;
(b) මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ (b) Crimes against humanity;
(c) යුද අපරාධ (c) War crimes;
(d) ආක්‍රමණශීලී අපරාධ (d) The crime of aggression

කෙසේ නමුත්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට, එම අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අධිකරන බලය හිමවන්නේ, එම අපරාධයට අදාල රටවල් එම අපරාධ සම්බන්ධයෙන්, රට අභ්‍යන්තරයේ දී ක්‍රියාත්මක නොවන්නේ නම් පමණි. එසේ වුවත්, රටක, පුද්ගලයෙක්ට හෝ කණ්ඩායමකට එරෙහිව අදාළ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ දී අධිකරණ කටයුතු සිදු කිරීමට බලය ලැබෙන ක්‍රම කිහිපයක් පවතී.

පළමුවැන්න වන්නේ, අදාළ අපරාධයට සම්බන්ධ රට, ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටුවීමට පදනම් වූ ‘රෝම ප්‍රඥප්තියට’ අත්සන් කර තිබීමත්,

දෙවැන්න වන්නේ, අදාළ රට රෝම ප්‍රඥප්තියට අත්සන් කොට ‘නොතිබුණත්’, එම රට විසින් ජාත්‍යන්තර අපරාද අධිකරණයේ දී අදාළ අපරාධය සම්බන්ධයෙන් නඩු ඇසීමට ස්වකීය කැමත්ත ප්‍රකාශ කර තිබීමත්,

තුන්වැන්න වන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මතයකින් ලබා ගත් නිළ තීරණයකින් පසු, අදාළ රට තුළ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ නඩු ඇසීමය.

එම නිසා, දැනට ඉහතින් දක්වා ඇති කරුණු තුනෙන් කිසිවක් මේ වන විට ලංකාව සම්බන්ධයෙන් තෘප්ත වී නැත. එම නිසා, ලංකාවේ සිදුවුනා යැයි පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන්, නඩු ඇසීම සදහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කිරීමක් සිදු වන්නේ නැත.

මේ සියල්ල දන්නා මහානාමහේවා මහතා දැනගෙනම, ජනයා නොමග යවමින් සිටින්නේ ‘නරුමවාදී’ ලෙස කීවේ එබැවිනි.

‘මේ දිනවල ජීනිවා හී පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසියේදී, ලංකාවේ චූදිතයන්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කිරීමට හැකියාවක් නෑ. එම සභාවට එවැනි තීරණයක් ගැනීමට බලතල නැහැ. එවැනි තීරණයක් ගන්න පුලුවන් ආරක්ෂක මණ්ඩලයට පමණයි.’

නීතිවේදී ගෙහාන් ගුණතිලක පවසයි.

‘…..මානව හිමිකම්වලට ගරු කිරීම සහ පුරවැසියන්ට ගෞරවයෙන් සැලකීම වැනි රජයක් විසින් කල යුතු නිවැරදි දේ කිරීමට ශ්‍රී ලංකා රජයට බාහිර බලපෑමක් අවශ්‍ය යැයි සිතීම අප්‍රසන්න කරුණකි. ඕනෑම ශිෂ්ඨ සම්පන්න සහ ගෞරවනීය ප්‍රජාවකට තම රජය විසින් කල යුතු නිවැරදි දේ කරවීමට බාහිර බලපෑම් මත යැපීමට සිදුවන්නේ ඇයි?’

නීතිවේදී ගෙහාන් ගුණතිලක සිය ලිපියකින් ප්‍රශ්ණ කරනු ලබයි.

කෙසේ නමුත්, මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, පසුගිය සතියේ සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ, ‘විශ්වීය අධිකරන බලය’ යටතේ, නඩු පැවරීමේ ක්‍රියාවලියක් දැන් ඉදිරියට එමින් ඇති බවයි. ‘ශ්‍රී ලංකාව පිළිබඳ කවුන්සිලයේ ක්‍රියාකාරී කණ්ඩායමට අයත් රටක් වන ජර්මනිය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන්, විශ්වීය අධිකරණ බලය යටතේ නඩු පවරා දැනටමත් එක් එල්ටීටීඊ සාමාජිකයකු නඩු අසා සිරගත කර තිබේ. මේ වනාහී දැන් ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන ක්‍රියාවළියකි. එනම් විශ්වීය අධිකරණ බලය යටතේ අන් රටවල කරන ලද මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් සවකීය රටවල නීති අනුව නඩු පැවරීමට පියවර ගැනීමයි. පසුගිය 23 දා ජර්මනියෙහි දී සිරියානු යුද නිලධාරියකුට සිර දඩුවම් නියම කරන ලද්දේද ඒ අනුවය.’

‘….දැන් අන්තර් ජාතික යුද අධිකරණය එකම යාන්ත්‍රණය නොවේ. මහ කොමසාරිස්වරියගේ වාර්තාව සහ ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකා යෝජනාව, විශ්වීය අධිකරණ බලය යටතේ විවිධ රටවලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කෙළෙසිම් සම්බන්ධයෙන් නඩු පැවැරීමට අවශ්‍ය සහාය සූදානම් කිරීමට යෝජනා කරයි.’

මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සිය ලිපියෙන් තවදුරටත් පවසයි.

තත්ත්වය එසේ වුවත් යුද්ධය අවසන් වී වසර 12ක් ගත වෙමින් තිබේ. යුද්ධයේ අවසානයට පෙර මෙන්ම, යුද්ධයෙන් පසු ද ලංකාව තළ සිදූ වූ කිසිදු අපරාධයක් සමබන්ධයෙන් යුක්තිය ඉටු වීමක් සිදු වී නැත. එසේ යුක්තිය ඉටුවනවා යැයි පෙනෙන්නටද නැත. ඒ වෙනුවට, පෙනෙන්නට ඇත්තේ, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම ඇමතීමට ප්‍රථම, විදේශ ඇමති දිනේෂ් ගුණරවර්ධන සිංහල බෞද්ධ ජාතිකවාදයේ නියමුවන් මුණ ගැසී ආශීර්වාද ලබා ගැනීම වැනි දේවල්ය. විදේශ ඇමතිවරයා විසින් එසේ ආශිර්වාද ලබා ගන්නා ‘සිංහල බෞද්ධ’ නියමුවන් ගේ පසුගිය කාලයේ හැසිරීම්වලින් අපට පෙන්වා දී ඇත්තේ ‘සහජීවනය’ වෙනුවට, ‘වෙනස් කොට සැලකීමේ චර්යාවන් ප්‍රවර්ධනය’ සහ ‘හිංසනය’ සදහා සිය දායකත්වය උපරිමයෙන් ලබා දීමට කැපවී සිටි පිරිසක් ලෙසය. එවැනි අයගේ ආශිර්වාදයෙන් ජාත්‍යන්තර තත්ත්වයන් කළමණාකරණය කර ගැනීමට හැකි වෙතැයි රාජපක්ෂ ආණ්ඩුව කල්පනා කරන්නේ නම්, එයින් ද වැටහී යන්නේ, වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ලබා දීමට කිසිදු අන්දමක දේශපාලන අධිෂ්ඨානයක් පාලකයන්ට නොමැති බව නොවේද?

එබැවින් මෙම අගතිගාමී තත්ත්වය පරාජය කළ හැකි වන්නේ, ‘ලංකාවේ අභ්‍යන්තර යුක්තිය’ වෙනුවෙන් පෙළ ගැසෙන සිවිල් ක්‍රියාකාරීත්වයන්ගේ හඩක් හෝ එවැනි හඩවල් විශේෂයෙන් දකුණේ සමාජය තුළ ගොඩනැගීමෙන්ය. එය ලංකාවේ සංඛ්‍යාවෙන් සුලුතර ජනයාගේ දේශපාලන අභිලාශයන් පිළිගනිමින් ගොඩනගා ගත යුතු සාමූහික ක්‍රියාවලියක් සේම, පමා වූ ‘යුක්තිය’ ලගා කර ගැනීම සදහා වූ ක්‍රියාවලියක් ද විය යුතුය.

නරුමකිමින් බැහැරව ‘සිහියෙන්’ කල්පනා කළහොත් අපට එක් දෙයක් වැටහෙනු ඇත. ප්‍රශ්ණය ඇත්තේ ජීනිවාවල නොව, අප තුළ බව… යන්නය.