“‍පරිසරවේදියො හිටියොත් කවදාවත් මේ රට දියුණු කරන්න හම්බ වෙන්නෙ නෑ”

“‍ඔක්සිජන් කන්නද?”‍

“‍මේ ගම්වලට ඇවිත් පරිසරය ගැන කෑ ගහන අය හිතන්නෙ සංවර්ධනය ඕන කොළඹට විතරයි කියල”‍

“‍සංවර්ධනය කියන්නෙම පරිසරය යටපත් කරගෙන මිනිසා වෙනුවෙන් කරන දෙයක්”‍

ඉහත අදහස් මෑත කාලයේ පරිසරය හා සංවර්ධනය පිළිබද මත ගැටුම් ඇතිවූ හා සාකච්ඡා වූ විවිධ පාර්ශව වෙතින් අපට අසන්නට ලැබුණු අදහස් දැක්වීම්වල නියෝජනයන් ය. මෙම අදහස්වල පොදු සාරය වන්නේ පරිසරය යනු සංවර්ධනය වෙනුවෙන් කැප කල යුතු දෙයක්ද, නොඑසේනම් සංවර්ධනය හා පරිසරය එකිනෙකට පරස්පර ප්‍රවර්ගයන් දෙකක්ය යන්නයි. මෙම අදහස වඩාත් තීව්‍ර වන්නේ අද දවසේ සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් සිදුවන පරිසර විනාශයන් (මේවා අධිවේගී මාර්ග, මහා පරිමාණ කාර්මික කෘෂිකාර්මික ව්‍යාපෘති, විදුලි ව්‍යාපෘති යනාදී වූ) දිවයිනේ නන් දෙසින් ඇසෙන පසුබිමක අද අප ජීවත්වන හෙයිණි. මේ සියලු‍ පරිසර විනාශයන් හෝ පරිසරය කෙරෙහි වන මැදිහත්වීම් සාධාරණීකරණය කරනු ලබන්නේ ඉහත කී මිනිසාගේ සුභසිද්ධීය වෙනුවෙන් පරිසරය කිසියම් ආකාරයකින් යටපත් කිරීම වලැක්විය නොහැකිය යන අදහසයි. එම අසහස වැරදි හෝ නිවැරදිය යන තීරණයට එලැඹීමට පෙර මෙම අදහසේ ඉතිහාසය හා එහි ප්‍රායෝගිකත්වයේ ප්‍රතිඵල අප විසින් විමසා බැලිය යුතුය. තැනිත් තැන අවස්ථානෝචිතව උද්ගත වන ගැටලු‍ හා අදහස් පුළු‍ල් සිතියමක ස්ථානගත කරගනිමින් වටහාගත හැකිවන්නේ එවිටය.

මානවකේන්ද්‍රීයත්ව සංකල්පය

ඉහත කී අදහස් නියෝජනය කරන සිතීම එනම්, සමස්ථ සත්ත්ව සන්තතිය තුළ මිනිසා ප්‍රමුඛය යන අදහස අප හඳුන්වන්නේ මානව කේන්ද්‍රීයතාවය යන නමිනි. ඊට අනුව සියල්ලටම ඉහලින් මිනිසා ප්‍රමුඛ වන අතර ලෝකය අර්ථ නිරූපණය හා තේරුම් ගැනීම සිදු කල යුතු වන්නේ මිනිස් වටිනාකම් හා අත්දැකීමවලට අනුවය. ඒ අනුව මිනිසා අධිපති වන අතර ඔහුගේ සුභසිද්ධිය වෙනුවෙන් මිනිස් නොවන අන් සියලු‍ සතුන් හා පරිසරය යටපත් කළ හැකිය. මෙම අදහස අද අපගේ එදිනෙදා සාමාන්‍ය දැනුම (අප ලෝකය දෙස බලන දැක්ම) බවට පත්ව ඇතත් එය මානව ඉතිහාසය පුරා එකම ආකාරයකින් පැවතුනු අදහසක් නොවේ. එය මානව ඉතිහාසයේ එක් අවධියක වර්ධනය වී ඉතිහාසයේ නිශ්චිත මොහොතක අධිපති මතවාදය බවට පත්වූවකි. මෙම අදහසේ කූඨප්‍රාප්තිය වන්නේ නූතන ප්‍රබුද්ධත්වය යි.

ප්‍රබුද්ධත්වය යනු 17-18 වන සියවස්වල බටහිර ලෝකයේ බිහිවූ බුද්ධිමය ධාරාවක් වන අතර එය පසුබිමේ වූයේ නූතනත්වය සහ කාර්මීකරණය යි. බටහිර ප්‍රබුද්ධත්ව අදහස් අපට උරුමවන්නේ අපගේ යටත්විජිත උරුමයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ස්වභාවධර්මය මර්දනය කරමින් මිනිස් ආර්ථික ක්‍රියාකාරකම් මානව වර්ගයාගේ උත්කෘෂ්ඨත්වයේ සංකේතයක් ලෙස ආහ්ලාදයෙන් සලකන ආර්ථීක ක්‍රියාවලියක් සුජාතකරණය වන්නේ එකී සිතීම තුළය. රටේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයන් හි (ප්‍රධාන වශයෙන් මධ්‍යම කඳුකරයේ) මහා පරිමාණ වැවිලි වෙනුවෙන් මහා පරිමාණයෙන් කැලැ එළි-පොහෙළි කරනු ලැබිණ. එසේ බිහිකරනු ලැබූ වතුවල නිෂ්පාදනය යටත්විජිත අගනගරය වූ ලන්ඩනය වෙත ගෙනයනු පිණිස කොළඹ නගරය වෙත (ලන්ඩනය සම්බන්ධ වී තිබුණේ කොළඹ නගරය සමගය) රටේ සෑම දෙසකම සිට මහා මාර්ග හා දුම්රිය මර්ග පද්ධතියක් ගොඩනගනු ලැබිණි.

මෙම ක්‍රියාවලිය තුළ මෙරට වන වැස්මෙන් 30% ක් පමණ විනාශ කර දමනු ලැබූයේ මිනිසා යටපත්ක රන බියකරු ස්වභාවධර්මය අභිබවමින් ගෙනගිය සංවර්ධනය තුළ මිනිස් මහිමය ප්‍රකාශයට පත්කිරීමේ ජයග්‍රාහී මානසිකත්වයෙනි. ප්‍රථම වරට අලියා පලිබෝධකයකු ලෙසට සැලකීමට පටන් ගන්නේ මෙම කතිකාව තුළය. වතු වාගාව සඳහා බාධාවක් වූ අලි-ඇතුන් දඩයම් කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සිදුවන්නේ ඒ අනුවය. එහි ප්‍රතිඵලය වන්නේ නිදහස ලබන විට මෙරට කඳුකර අලි-ඇතුන් සම්පූර්ණයෙන්ම වඳ කර දමන තත්තවයකට පත්වීමය.

පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබද දැක්ම

නිදහසින් පසුව ද මෙරට සංවර්ධනය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලැබූයේ යටත්විජිතවාදීන් විසින් අනුගමනය කළ ආකල්පයම ය. නිදහසට ආසන්න කාලයේ සහ නිදහසින් පසුව තීව්‍ර ලෙස ක්‍රියාවට නැංවුනු ගොවි ජනපද ව්‍යාපාර තුළ අපට දැකගත හැක්කේ විශාල වශයෙන් වනාන්තර භූමි එළි-පෙහෙළි කරමින් ඉඩම් කට්ටි කරමින් ජනවාස හා මිශ්‍රිත කුඩා ගොවිබිම් නිර්මාණය කිරීමකි. ඵෙතිහාසික සාම්ප්‍රදායික ජනවාසකරණය තුල ගොවිබිම් හා ජනවාස එකිනෙකින් වෙන්ව පැවතුණු අතර ජනාවාස රාශිගත වූ ගම කුඩා බිම්කඩකට සීමා වී පැවතුණි. ඒ වෙනුවට ගම හා ගොවිබිම සම්මිශ්‍රණය වූ නව ජනාවාස රටාව පැවැති පාරිසරික සමතුලිතතාවය බිඳ දමන ලද්දේ පළමු වරට වියලි කලාපය තුල අලි-මිනිස් ගැටුමක් නිර්මාණය කරමිනි. නව ජනාවාස ප්‍රධාන නගර හා යා කරමින් මාර්ග ඉදිකෙරුණු අතර ඒවා වනාන්තර හරහා ගමන් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස වනාන්තරය හරහා දිවෙන මාර්ගය දෙපස රේඛීයව ජනාවාස බිහිවිය. මෙම රේඛීය ජනාවාස රටාව විසින් අලි-මිනිස් ගැටුම තවත් තීව්‍ර කරන ලද අතර මිනිසා සහ සොබාදහම අතර සංවර්ධනය වෙනුවෙන් ඇරඹි
යුද්ධය වඩාත් පැහැදිලිව දර්ශනය වන්නට විය.

සොබාදහම සහ මිනිසා අතර ගැටුමේ මීළඟ අදියර නිර්මාණය වන්නේ බහුජාතික සමාගම්වල ආයෝජන ලෙස මහා පරිමාණ ඒක භෝග වගාවන්ට මෙරට රජයන් විසින් අවසර ලබාදීමත් සමඟිනි. 1980 දශකය මුලදී සීනි වැවීම සදහා අක්කර 84000 ක් වැනි විශාල භූමියක් වැල්ලවාය ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය සමාගමකට ලබාදෙන්නේ මේ අනුවය. සිය සාම්ප්‍රදායික භූමියෙන් පළවා හරිනු ලැබූ අලි-ඇතුන් යලි ඒ වෙත පිවිසීමට උත්සාහ දරන විට එකී වගාවන්ට බ්‍රිතාන්‍යයන් ගෙන එනු ලැබූ දැවැන්ත ට්‍රැක්ටර් රථ මගින් අලින් හප්පා පලවා හැරීම එක්තරා ආකාරයකට මිනිසා හා මිනිස් නොවන සතුන් ඇතුලත්ව පොදුවේ පරිසරය සමග වන ගැටුමේ පැහැදිලි රූපිකයක් බවට පත්විය. මේ මහා පරිමාණ වගාවන් උක්, බඩ ඉරිඟු, කෙසෙල්, අඹ යනාදී වශයෙන් ව්‍යාප්තව මේ වන විට මෙරට වන භූමි අක්කර ලක්ෂ ගනණක් බිලිගෙන ඇත. අද දක්වාම ග්‍රාමීය මෙන්ම නාගරික සංවර්ධනය යනුවෙන් අප විසින් ක්‍රියාවට නංවා සහ නංවමින් සිටින්නේ මෙකී ස්වභාවධර්මය යටපත් කරදැමීමේ මානව කේන්ද්‍රීයත්ව අදහසයි.

මේ ලිපිය ආරම්භයේ උපුටා දක්වනු ලැබූ ප්‍රකාශයන් අතිශය සාමාන්‍යකරණයට ලක්ව අපේ එදිනෙදා ව්‍යවහාරයේ කොටසක් බවට පත්ව ඇත්තේ මේ දීර්ඝ ඉතිහාසයේ උරුමයක් ලෙසිනි.

දැන් අප ඇසිය යුත්තේ මේ සංවර්ධන මොඩලය විසින් මිනිසාට අත්කරදී ඇති යහපත කුමක්ද යන්නයි. මෙහි මිනිසා ප්‍රමුඛ වන්නේ නම් අවම වශයෙන් එකී මිනිසාට එහි ප්‍රතිලාභයක් අත්ව තිබිය යුතුය. නමුත් ඛේදය වන්නේ එමඟින් අවසානයේ ඉතිරිකර ඇත්තේ සමස්ථ මිනිස් වර්ගයාගේම පැවැත්ම කෙරෙහි වන අත්‍යන්ත අනතුරක් පමණක් වීමයි. වර්තමානය වන විට මිහිතලය උණුසුම් වීම, කාන්තරකරණය ඇතුළු මිනිසාට තවදුරටත් ජීවිත්විය නොහැකි භූමි භාගයන් නිර්මාණය වෙමින් ඇත. ලෝකයේ ප්‍රධාන නගර ගණනාවක්ම හුස්ම ගැනීමට පිරිසිදු වාතය පවා හිඟව ඇත. දිනෙන් දින නිර්මාණය වන ස්වභාවික හා මිනිසා විසින් නිර්මාණය කළ ව්‍යවසන තුළ මිනිස් ප්‍රජාවන්ගේ පැවැත්ම අභියෝගයට ලක්ව ඇත. ස්වභාවධර්මයේ සිදුවෙමින් පවත්නා නැවත හැරවිය නොහැකි වෙනස්කම් තුළ මිනිස් වර්ගයාගේ අවසානය පිලිබද සැක සංකාවන් ජනිතව ඇත. මානව කේන්ද්‍රීයත්ව සිතීමේ එක් අන්තයකදී මිනිසා විසින් තේරුම්ගත් සත්‍යය වූයේ ස්වභාවධර්මයට මිනිසා නොමැතිව පැවතිය හැකි බවත්, මිනිසාට ස්වභාවධර්මය නොමැතිව පැවතිය නොහැකි බවත්ය.

මානව කේන්ද්‍රීයත්වය පරමයට නැංවූ බටහිර තුළ එකී අදහසට ඇති වලංගුතාවය බිඳී යන්නේ මෙනිසාය. නමුත් යටත්විජිත උරුමයෙන් අප ලත් එකී මානවකේන්ද්‍රීය අදහස්අ පි තවම කර තබාගෙන යමු. අපි තවමත් විදේශ ආයෝජන ලෙස භක්ත්‍යාදරයෙන් පිළිගනිමින් සිටින බොහෝමයක්ව්‍ යාපෘති බහුජාතික සමාගම්වල මහාපරිමාණ ඒකභෝග වාණිජ වගාවන් ය. ඉතිහාසය පුරා එවන්ආ යෝජනයන්ගෙන් මෙරට ආර්ථීකයට හෝ මෙරට ජනතාවට අත්වූ යහපතක් අපට පෙනෙන්නට නැත. ඒවා් විසින් මෙරට ජනතාවගේ සෞඛ්‍යයටත්, ඔවුන්ගේ ඉඩම් අයිතියටත්, ස්වකීය ජීවිකා සඳහා ඔවුන්ට හිමි අයිතිවාසකමටත් ඉමහත් තර්ජනයක් එල්ලකොට ඇත. මෙරට වන භූමීන් ඒ යටතේ විනාශකොට සිදුකරන මහා පරිසර හානියට අමතරව අනවරත අලි-මිනිස් ගැටුම ද එමගින් තීව්‍ර කර ඇත. මේවායින් ආර්ථික ප්‍රතිලාභ පවා ලබා ඇත්තේ ඒ ගණුදෙනු හා සම්බන්ධවූ බලයට සමීප අතලොස්සක් වූ පිරිසක් පමණි. නමුත් අප තවමත් ආර්ථික සංවර්ධනය යැයි සතා සිටින්නේ මෙවැනි ක්‍රියාකරම් ය. කොළඹ නගරය අද වඩාත් උණුසුම් නගරයක් බවට පත්ව ඇත්තේ මෙම අන්ධානුකරණ සංවර්ධන දැක්මේ ප්‍රතිඵලයක් ලෙසිනි. නගර අලංකරණය යනුවෙන් වෙනත් රටවල සිදුකරන ලද දේ අමු අමුවේ කොපි කිරීම තුළ ඝර්ම කලාපීය රටක් කළ යුතු වූ ස්වභාවික පාංශු ස්ථරය නිරාවරණයව තබාගැනීම, මහාමාර්ගයන්ර ත්වීම අවම කරන වෘක්ෂ වැස්මක් පවත්වා ගැනීම යනාදිය වෙනුවට අපගේ නාගරික අලංකරණයන් තුල සිදුවූයේ ශීත රටවල උණුසුම භූමියට ආසන්නයෙන් රඳවා තබාගැනීමට අනුගමනය කෙරෙන ආකාරයට පාංශු ස්ථරය වසා කොන්ක්‍රීට් ගල් ඇතිරීම් සහ රත්වන වීදුරැ සහ කොන්ක්‍රීට්වලින් සමන්විත කේන්ක්‍රීට්ව නාන්තරයක් බඳු භූ දර්ශනයක් නිර්මාණය කිරීමයි.

අපගේ දැක්මේ ඇති පටු බවට මීට වඩා නම් කවර නිදසුනක්ද? එය කෙතරම් මුග්ධ අන්තයක් කරා ගමන්කර ඇතිද යන්නට හොඳම උදාහරණය අලි-ඇතුන්
හා සංකීර්ණ ජෛව පද්ධතියකට හිමිකම් කියන භූමියක් එළි-පොහෙළි කොට පරිසර හිතකාමී විදුලිය ජනනය කරනු පිණිස සූර්ය බල විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවසර දීමයි. අද දවසේ සූරියවැව වල්සපුගල ගොවීන් විසින් ආරම්භකොට ඇති මේ වන විට මාරාන්තික උපවාසයක් දක්වා දික්ගැසී ඇති අරගලය සුවිශේෂී වන්නේ මේ සන්දර්භය තුළය සාමාන්‍යයෙන් අලි- මිනිස් ගැටුම සම්බන්ධයෙන් වන සාකච්ඡා, විසඳුම් යෝජනා හැමවිටම ඉදිරිපත් වන්නේ අලි සහ අලියා ඇතුලත් ස්වභාවධර්මයෙන් මිනිසා තවදුරටත් වෙන්කොට සිතීම තුළය. අලිවැට” අලින් පලවා හැරීම වැනි විසඳුම් ඉල්ලීම් ලෙස ඉදිරිපත් පවන්නේ මේ තුළය. එහිදී පහසුවෙන් දේශපලාලඥයින්ට ලකුණු දමාගැනීමට හැකිවන්නේ අලියාට එරෙහිව මිනිසාගේ පැත්තේ සිටගනිමින් ගැටලු‍වට කිසියම් තාවකාලික
විසඳුමක් සැපයීමට ඔවුන්ට හැකිවන බැවිනි. නමුත් අද දවසේ වල්සපුගල ගොවි අරගලය එවන්සා ම්ප්‍රදායික ඉල්ලීමක් නියෝජනය නොකරයි. ඔවුන් කියා සිටින්නේ සංවර්ධනයේ නාමයෙන්හ ම්බන්තොට දිස්ත්‍රික්කය පුරා වනාන්තර එළි-පෙහෙළි කරමින් සිදුවූ අවිධිමත් ක්‍රියාවලීන් නිසාවෙන්සි ය වාස භූමි අහිමිව කුඩා බිම් කඩවලට කොටුවී සිටින අලි-ඇතුන් සඳහා අලි-කළමණාකරණ කලාපයක් නිල වශ‍යෙන් ගැසට් කරන ලෙසය.

පසුගිය කාලය තුළ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, අධිවේගී මාර්ගය ඇතුලු‍ ඒ හා බැඳුණු මාර්ග පද්ධතිය, වාණිජ කෘෂිකාර්මික ව්‍යාපෘති යනාදිය තුළ එළි-පොහෙළි කර වූ වනාන්තර අක්කර දස දහස් ගණනකි. වර්තමාන ව්‍යසනකාරී අලි-මිනිස් ගැටුම නිර්මාණය වන්නේ මෙකී ක්‍රියාකාරකම් තුළය.

අලි-ඇතුන්ට ස්වකීය වාසභූමි අහිමි වීම තුළ (මෙකී ව්‍යාපෘති තුලින් එම ප්‍රදේශයේ ජනතාවට හෝ පොදුවේ ජාතික ආර්ථීකයට ණය බර හැරෙන්නට වෙනත් ප්‍රතිලාභයක් අත්වීද යන්න ද මෙහිදී විවාදපන්නය) අද වන විට අලි-මිනිස් ගැටුමින් වැඩියෙන්ම අලි මියයන (2019 වසරේදී අලි-ඇතුන් 405 ක්), දෙවැනියට වැඩියෙන්ම මිනිසුන් මියයන (2019 වසරේදී මිනිසුන් 121 ක්), රට මේ ශ්‍රී ලංකාවයි.

වල්සපුගල සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

වල්සපුගල ගොවීන් ඉල්ලා සිටින්නේ අලි වැටක් ඉදිකිරීමට හෝ අලින් ප්‍රදේශයෙන් ඉවත්කි රීමට නොවේ. ඔවුන්ට අනුව අලි-ඇතුන් ද මෙහිදී තමන් තරමින්ම වින්දිතයින්ය. ඔවුන් කියන්නේ අලින්ට හඬක් නැති නිසා අපි ඔවුන්ගේ හඬ ද නියෝජනය කරනවා කියාය. ඔවුන්ට අනුව අලි-ඇතුන්ට මෙන්ම මිනිසාට ද පොදුවේ දිනා ගැනීමට යමක් මෙහි ඇත. එනම් අපි දෙපිරිසටම නිදහසේ ජීවත්විය හැකි වටපිටාවකි. ඒ සඳහා අලි-ඇතුන්ට නිදහසේ ජීවත්විය හැකි ප්‍රදේශයක් තහවුරු කරදෙනු පිණිස ඔවුහු මාරාන්තික උපවාසයක නිරතව සිටිති.

නමුත් රජයේ පැත්තෙන් සිදුවෙමින් පවතින්නේ කැබිනට් අනුමැතිය ලැබුණු අලි කළමණාකරණ රක්ෂිතය නිසි පරිදි ගැසට් කිරීම තවදුරටත් ප්‍රමාද කරමින් එකී වන අලින් සඳහා වෙන් කිරීමට යෝජිත භූමිය තුළ, මහා පරිමාණ ආයෝජන සඳහා නිල හා නොනිල ලෙස ඉඩ සලසමින් තවදුරටත් පරිසර විනාශයට මග පාදන ආකල්පයක් ක්‍රියාවේ යෙදවීමයි.

මේ සියල්ල සුජාතකරණය කරනු පිණිස යොදාගනු ලබන්නේ යටත් විජිත යුගයේ සිට ක්‍රියාත්මකව නිදහසින් පසු පසුගිය වසර හැත්තෑ ගණන පුරා ක්‍රියාත්මක වූ අසාර්ථක මානව කේන්ද්‍රීය සංවර්ධනය පිළිබද යල්පැනගිය අදහසයි. මෙම ලිපිය මුලදී දක්වන ලද ආකාරයේ විනාශය සාධාරණීකරණය කරන පාඨයන් උච්ඡාරණය වන්නේ ඒ අනුවය. මෙහිදී ගොවීන් නියෝජනය කරන්නේ වඩාත් ප්‍රගතිශීලී ස්වභාවධර්මය කේන්ද්‍රකොටගත් අනාගතවාදී අදහසකි. ඒ අරුතින් වල්සපුගල ගොවි අරගලය මෙරට පරිසරය සම්බන්ධයෙන්, සංවර්ධන මොඩලය සම්බන්ධයෙන්, මෙරට අනාගත පරපුරේ සුභසිද්ධිය සම්බන්ධයෙන් වැදගත් විකල්පයක් අප හමුවේ තබයි.

එය ඉදිරිපත්ව ඇත්තේ මෙරට පරිසරය හා ගැටෙන්නේ යැයි සලකුණු කොට ඇති, අලි-මිනිස් ගැටුමේ එක් පෙරමුණක ඉදිරියේ සිටින්නේ යැයි කියන ගොවි ජනතාව අතිනි. නමුත් මෙම අරගලය තුළ ඔවුන් විසින් පෙන්වාදී ඇත්තේ අපගේ පාලකයින්ට වඩා ඔවුන් කෙතරම් ඉදිරිගාමී ද, අනාගතවාදී ද සහ දියුණ ද යන්නයි.

යල්පැනගිය මානවකේන්ද්‍රීයත්ව අදහසින් ඔබ්බෙහි මිනිසාට පරිසරය හා සහජීවනයෙන් විසිය හැකි ලෝකයක් පිළිබද ඔවුහු විශ්වාසය තබා ඇත්තාහ. එකී අදහස පරාජය නොවනු පිණිස ඔවුන්ගේ අරගලයට සහායවීම මිනිස්-මිනිස් නොවන සියලු‍ සතුන්ගේ සහපත පතන හැම කෙනෙකුගේම යුතුකමකි.

‘සියලු‍ සත්වයෝ සුවපත් වෙත්වා’ යැයි කියන්නට උගැන්වූ දහමක් බහුතරයක් අදහන රටක මේ උතුම් අරගලය වෙනුවෙන් සහයවීමට දෙවරක් සිතිය යුතු නොවේ.

විදුර ප්‍රභාත් මුණසිංහ | Vidura Prabath Munasinghe