iMage: thehinduu

කොළඹ වරාය නගරයට අදාල, ‘වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ පිහිටුවීමට එරෙහිව බොහෝ පිරිසක් අධිකරණයට ගොස් තිබේ. එය ඉතාමත් හොද දෙයකි. කෙසේ නමුත් සමස්ථ වරාය නගරය ව්‍යාපෘතියම ලංකාවේ ජන ජීවිතයටත්, සාගරය සහ ගොඩබිම් ඇතුලු පරිසර පද්ධතියටත් ඉතාමත් අහිතකර ලෙස බලපාන බැවින් එය නවතා දමන ලෙස සිවිල් සංවිධාන විසින් සිය අරගලය ආරම්භ කලේ 2012දී තරම් ඈතකය. පරිසර සහ වෙනත් නීති උල්ලංඝනය කරමින් මෙම වරාය නගර ව්‍යාපෘතිය සිදුකරන බව කියමින් පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණ ක්‍රියාමාර්ග ගත්තේය. නමුත්, එවක සිට අද දක්වා, වරාය නගරය සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොදැක්වූ අය ‘වරාය නගර කොමිසම’ ට එරෙහිව අධිකරණයට ගොස් ඇත. ඒ අතර එක්සත් ජාතික පක්ෂයත් අධිකරණයට ගොස් තිබීම විශේෂයකි. එය එසේ වන්නේ, 2015 යහපාලන ආණ්ඩුව බලයට ඒමට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කීවේ, තමන් බලයට පත් වූ පසු වරාය නගරය නවතා දමන බවය. නමුත් එය එසේ වූයේ නැත. එය දිගටම සිදු විය. දැන් ඔවුනුත් එහි ‘පරිපාලන ඒකකයට’ පමණක් විරුද්ධව අධිකරණයට ගොස් ඇත. ‘යූඇන්පී ය බලයේ සිටියා නම් යයි ද?’ කෙනෙක් ඇසුවහොත් උත්තරය කුමක් විය හැකිද?

කෙසේ නමුත් දැන් මෙම ‘වරාය නගර කොමිසම’ පිහිටුවීමට එරෙහිව අධිකරණයට ගොස් ඇති බොහෝ දෙනෙක් තර්ක කරන්නේ එය ලංකාවේ නීති පද්ධතියට එමගින් වන බලපෑම පිළිබදවය. ඇතැම් නීති එම කලාපයට බලනොපාන ලෙස, පනත් කෙටුම්පත සකස් කර තිබීම ගැනය. යෝජනා කර ඇති පරිදි පනත් කිහිපයක්ම මෙම කලාපය තුළදී වලංගු නොවීම ආදී කරුණු පිළිබදවය. එවැනි කරුණු පිළිබද දක්වන විරෝධය ඉතාමත් වැදගත්ය.

කෙසේ නමුත් වරාය නගරය ඉදිකිරීමේ දී මූල සිටම මෙම ව්‍යාපෘතියේ අහිතකර තත්ත්වය පෙන්වමින්, සමස්ත ව්‍යාපෘතියට පැන නැගී ආ විරෝධයට, ‘වරාය නගර කොමිසමට’ විරෝධය දක්වන බොහෝ පිරිසක් හෝ පෙනී සිටියේ නැත. එදවස ඒ බොහෝ දෙනෙක් වරාය නගරය ප්‍රශ්ණය පිළිබද මුණිවත රැක්කෝය. යහපාලන කාලය තුළ නැවතත් වරාය නගරය ආරම්භ කරන විට ආශිර්වාද කළෝය.

වරාය නගර ව්‍යාපෘතියේ සැබෑ අයිතිකරු පිළිබද ප්‍රශ්නය, වරාය නගරය නීති විරෝධී ව්‍යාපෘතියක් වීම, වරාය නගරයට කළු ගල් ලබා ගැනීමෙන් වන බලපෑම්, වරාය නගරයට වැලි ලබා ගැනීමෙන් සාගර පරිසර වල බිඳ වැටීම පිළිබද ප්‍රශ්ණය, වරාය නගරයෙන් සාගර ජෛව ප්‍රජාවට වන බලපෑම, වරාය නගරය මීගමුව කලපුවට එල්ල කරන බලපෑම, වරාය නගරයෙන් වෙරළ කලාපයේ බිඳ වැටීම, වරාය නගර ව්‍යාපෘතියෙන් සිදු වන ආර්ථිකමය පාඩුව, වරාය නගරයෙන් විදේශ විනිමය හා සාගර ජීවීන් අහිමි වීම, වරාය නගරයෙන් ධීවර කර්මාන්තයට වන බලපෑම, වරාය නගරයෙන් කොළඹ වරායට වන බලපෑම, ආදී බරපතල අනතුරු පිළිබද බොහෝ පිරිස් සිටියේ නිහඩවය. (මේ පිළිබද සවිස්තර වාර්තාවත් මෙතනින් කියවන්න)

තත්ත්වය මෙසේ වුවත්, ලංකාවේ මෙතෙක් බිහි වූ පාලකයින් සංවර්ධනය යනුවෙන් හදුනා ගත්තේ, ‘කොන්ක්‍රීට්, ‘කාපට් පාරවල්’ ආදී දේවල් බැවින් වරාය නගරය පිළිබදව වන සාකච්ඡාවත් තිබෙන්නේ ඒ තලයේය. එබැවින් මේ වරාය නගර ව්‍යාපෘතිය නිසා ලංකාවට ඉදිරියේදී එල්ලවිය හැකි බලපැම සුලුපටු නොවේ. එය පරිසරය, නීතිය ඇතුලු ජන ජීවිතයේ බොහෝ තැන් දක්වා වූ සෑම කොටසකටම ඉතාමත් අහිතකර ලෙස බලපානවා ඇත. එබැවින් දැන් කියන්නට ඇත්තේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමෙන් වැඩක් නැති බවය.

වසන්ත බණ්ඩාර | Wasantha Bandara