iMage:Vikalpa file/ Minuwangoda 2019

මඩකලපුවේ සියොන් දේවස්ථානයට 2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තිස් එක් දෙනෙකු මිය ගිය අතර, ඒ අතරින් 4 දෙනෙකු කුඩා දරුවන් විය. අද වන විට එම දේවස්ථානයට අගුලු දමා ඇති අතර “හමුදාවේ ඉදිකිරීම් ස්ථානයක්” යැයි සඳහන් දැන්වීමක් එම ස්ථානයේ ගේට්ටුවේ එල්ලා තිබේ.

වින්දිතයින්ගේ පිංතූර දැක්වෙන අනුස්මරණ දැන්වීම් පුවරුව, පිටතට නොපෙනෙන පරිදි ඇතුළු පැත්තට හරවා තිබේ. ආණ්ඩුව මේ පිළිබඳව ප්‍රමාණවත් සැළකිල්ලක් නොදැක්වීම නිසා, තම දරුවා අහිමි වූ ප්‍රභා සහ සුතා යන දෙමව්පියන් දෙදෙනා තවත් පවුල් ද සමඟ එකතු වී අප්‍රේල් මාසයේ 21 වන දින සවස 5.30 ට කල්ලඩි පාලම අසල ස්මාරකයක් නිරාවරණය කළෝය. ඒ අසල පිහිටි කාත්තන්කුඩියේ, පහරදීම්වලට සම්බන්ධයැයි බලධාරීන් විසින් පවසන ලද මුස්ලිම් පවුල්වල දරුවන් 130 ක් පමණ දෙනා ද සමාජයෙන් නෙරපා හැරීම සමඟ පොරබදමින්, දරිද්‍රතාවයේ ගිලී ජීවත් වෙති. කිහිප දෙනෙක් පාසැල් අධ්‍යාපනයෙන් ඉවත් වී ඇති අතර ඇතැම් අයට ප්‍රමාණවත් තරම් ආහාර නැත. ඉතාම පැහැදිලිය: පාස්කු ප්‍රහාරයෙන් වසර දෙකක් පසුවීත් වින්දිතයින්ට යුක්තිය ලැබී නැත. ඔවුන්ගේ වේදනාවන් කෙරෙහි රුදුරු පාලනයේ අවධානය යොමු වී නැත.

මාර්තු 12 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරිපාලනය මේ සම්බන්ධ නව රෙගුලාසි එළිදක්වා තිබේ. දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීම වශයෙන් මාතෘකා ගතකොට ඇති එම රෙගුලාසි යටතේ “සාහසික ක්‍රියා හෝ විවිධ ජන කොටස් අතර, නැතහොත් වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර ආගමික, වාර්ගික නැතහොත් ජාතිවාදී අසංගතිය නැතහොත් දුර්වේතනික හෝ එදිරිවාදී හැඟීම් ඇතිවීමට සලස්වන්නා වූ හෝ ඇතිවීමට සැලැස්වීමට අදහස් කරන්නා වූ අවස්ථාවක” ඒ අය පුනරුත්ථාපනය කිරීම සඳහා “නැවත සමාජගත කිරීමේ මධ්‍යස්ථාන” නිර්මාණය කිරීම සඳහා මෙම පනත හරහා ආරක්ෂක අමාත්‍යංශයට අවසර ලබා දී තිබේ. මෙම ගැසට් පත්‍රය මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ දැනටමත් පවතින ඉතා දරුණු විධිවිධාන තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව මහා පරිමාණයෙන් ජනවාර්ගික හා ආගමික සුළුතරයන් රඳවා තබා ගැනීමක් විස්තර කෙරෙන චීනයේ උයිගර්, කසාකස් සහ අනෙකුත් මුස්ලිම්වරුන්ව රහසිගතව “නැවත අධ්‍යාපනය ලබාදීමේ මධ්‍යස්ථාන” තුළ රඳවාගෙන සිටින ආකාරය ලෝකයට මෑත වසරවල දී දැක ගන්නට ලැබුණි (නිව් යෝකර් (පෙබරවාරි 26, 2001), https://www.newyorker.com/news/a-reporter-at-large/china-xinjiang-prison-state-uighur-detention-camps-prisoner-testimony). චීන නිලධාරීන් පවසන පරිදි, ෂින්ජියන් හි උයිගර්වරුන්ගෙන් තුනෙන් එකක් පමණ “ආගමික අන්තවාදී බලවේගයන් නිසා දූෂණය වී ඇති” අතර, ඔවුන්ගේ ක්‍රියාවන්ට සරලව දඬුවම් කිරීමකට වඩා ඔවුන්ගේ දෘෂ්ටිවාදය පවිත්‍ර කිරීම සිදු කළ යුතුය. බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, සංචරණය සීමා කිරීම්, ආගමික පිළිවෙත් මර්දනය කිරීම සහ වන්ධ්‍යාකරණ වැඩසටහන් හේතුවෙන් චීනයේ මර්දනය ජන සංහාරයක් ලෙස ලේබල් කිරීමට එක්සත් ජනපදයට සහ වෙනත් අයට හැකි වී තිබේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ කැනඩාව විසින්, බලහත්කාරයෙන් රඳවා තබාගැනීමේ ප්‍රතිපත්තිය සකස්කළ කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන්ට සම්බාධක පනවා ඇති අතර ෂින්ජියැන්ග් සිට කපු සහ තක්කාලි ආනයනය කිරීම ද තහනම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රසිද්ධියේ ආරක්ෂා කරනු ලැබූ ෂින්ජියැන් හි ක්‍රියාත්මකවන චීන ප්‍රතිපත්ති අනුව ධෛර්යමත්වීමට බොහෝ දුරට ඉඩ ඇති, චීනය හා සමාන වූ මාවතක ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබේ. චීනයේ පවතින “නැවත අධ්‍යාපනය ලබාදීමේ මධ්‍යස්ථානවල දී” මෙන්ම, ශ්‍රී ලංකාවේ ද නව රෙගුලාසි යටතේ පිහිටුවීමට නියමිත කඳවුරු ද පැහැදිළිවම පෙනෙන පරිදි ක්‍රියාවන් සඳහා දඬුවම් කිරීමෙන් ඔබ්බට ගොස් සිතුවිලි තහනම් කිරීම වෙත යොමු වී තිබේ. වත්මන් දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ ගැසට් පත්‍රය තුළ එමගින් තහනම් කරනු ලබන දෙය අපැහැදිළි වන අතරම, මූලික අයිතිවාසිකම් අහිමි කිරීමට උපකාරීවන යෙදවීම් බලාත්මක කිරීම් සඳහා ද අවකාශය තිබේ. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර, එම නඩුව මේ වන විට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තීන්දුවක් අපේක්ෂාවෙන් පවතී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සමූහ අත්අඩංගුවට ලක්වීමට දැනටමත් ඉලක්ක වී ඇති මුස්ලිම්වරුන්ට එරෙහිව මෙම නව රෙගුලාසි අත්තනෝමතික ලෙස බලාත්මකවීමට ඉඩ ඇති ආකාරය දැකීම අපහසු නොවේ. කාන්තන්කුඩිහි පමණක් කාන්තාවන් 15 දෙනෙකු සහ ළදරුවන් 02 ක් ද ඇතුළුව මුස්ලිම්වරුන් 125 කට වැඩි සංඛ්‍යාවක් රැඳවුම්භාරයේ සිටිති. 2019 අප්‍රේල් ප්‍රහාරයෙන් පසුව ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කිසිදු නඩු විභාගයක් හෝ නීතීඥ උපදෙස්වලින් තොරව අධික තදබදය සහිත සිරගෙවල්වල සිරගත කර සිටියි.

මන්නාරමේ 26 හැවිරිදි මුස්ලිම් ජාතික කවියෙකු වන අහ්නාෆ් ජසීම් “අන්තවාදය” ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය වසරේදී අත්අඩංගුවට පත්විය. එම අවස්ථාවේ දී විමර්ශනයට ලක්වූ වැදගත්ම කාරණයවන ඔහුගේ කවි, ඔහුව අත්අඩංගුවට ගත් නිලධාරීන් විසින් පැහැදිලිවම කියවා නොතිබුණි. ඉස්ලාමීය ත්‍රස්තවාදය හෙළා දකිනු ලැබූ කවියක් සමඟ තිබූ තලේබාන් විලාසිතාවේ ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකුගේ ඡායාරූපයක් නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පෙනේ. මේ දක්වාම ජසීම්, මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කර නොමැති අතර, සිරමැදරිය තුළ මීයන්ගේ හපාකෑමට ලක් වී ඇති ඔහු ඉතා දුෂ්කරව, ඉතාමත් දුර්වල තත්ත්වයක සිටියි. ඔහුගේ නීතිඥයින්ට තම සේවාදායකයා හමුවීමට ලැබෙන්නේ මිනිත්තු 20ක් වැනි කෙටි කාලයක් පමණි. එම හමුවීම පවා අදාළ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා නීතිය සහ නියමිත ක්‍රියාදාමයේ මූලික මූලධර්ම උල්ලංඝනය කරමින්, පටිගත කිරීම් කරනු ලැබේ.

55 හැවිරිදි පිළිකා රෝගියෙකු වන ජුෆයිතියාට ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඇය මේ වන විට තංගල්ලේ නාවික හමුදා කඳවුරේ සිටී. ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ තහනම් කොට ඇති ජාතික තව්හීත් ජමාත් බයාන් (දේශනාවට) ඇය එක් අවස්ථාවක සවන් දී ඇති නිසාය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින මවුවරුන් සමඟ ළඳරුවන් අත්අඩංගුවේ පසුවෙයි. මාස 15 ක් වයසැති යූනූස් සහ මාස 12 ක් වයසැති ඉමාරා ද එම කඳවුරේම සිටිති. පැමිණෙන ඥාතීන් සමඟ තනිවම කතා කිරීම රැඳවියන්ට තහනම් කර ඇති නිසා, සිය දරුවා වන යුනූස්ගේ අත පිලිස්සුනු අවස්ථාවක, ඔහුගේ මව වූ නුෂ්රාට එය සිදු වූ ආකාරය සිය ඥාතීන්ට පැවසීමට නොහැකි වී තිබේ.

පුද්ගලයකු රඳවා තබා ගැනීම රැඳවියාගේ වචන හෝ ක්‍රියාවන් පිළිබඳ නිලධාරියෙකුගේ පුද්ගලික (හා බොහෝ විට වැරදි) අර්ථ නිරූපණය මත පමණක් පදනම්වීම පැහැදිලිවම නීතිගත කිරීම නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනටමත් සිදුවී ඇති දේ තරම් නරක ආකාරයටම දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ රෙගුලාසි මගින් ද මුස්ලිම් ප්‍රජාවේ තත්වය වඩ වඩාත් නරක අතට හැරෙනු ඇත. “පුනරුත්ථාපනය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න හෝ එය සාක්ෂාත් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටීන් මොනවාද යන්න පිළිබඳව රෙගුලාසි නිහඬය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවතින අධිකරණ අධීක්‍ෂණය සහ ආරක්‍ෂාවන් පවා ඇතැම්විට වඩාත් භයානක ලෙස ඉවත් කර තිබේ. පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගැනීමට හේතුව ඉදිරිපත් නොකර පොලිසියට පරීක්ෂණයක් ආරම්භ කළ හැකිය. රැඳවියන්ට නීතීඥ සහය සඳහා ප්‍රවේශය ලබා ගැනීම හෝ තමන්ට එරෙහිව භාවිතා කෙරෙන සාක්ෂි ලබා ගැනීමේ අයිතිය ද අහිමි විය හැකිය. එම පුද්ගලයා පුනරුත්ථාපනය සඳහා සුදුසු යැයි නීතිපති දෙපාර්තමේන්තුව විශ්වාස කරන්නේ නම්, අධිකරණ අධීක්ෂණයට ලක්වන එකම අවස්ථාව ලෙස මහේස්ත්‍රාත්වරයකුගේ අනුමැතිය පමණක් ඇතිව එම පුද්ගලයා වසරක කාලයක් (තවත් වසරක් සඳහා දීර්ඝ කිරීමේ හැකියාවක් ද සහිතව) රඳවා තබා ගත හැකිය. එක්සත් ජනපදය විසින් ග්වාන්ටනාමෝ බේ හි රඳවාගෙන සිටි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ රැඳවියන්ට පවා සතුරු සටන්කරුවන් ලෙස තමන් ලැබූ නියෝගයට අභියෝග කිරීමට සහ ඔවුන් දිගටම රඳවා තබා ගැනීමට එරෙහිව විසංවාදීවීමට හබයාස් කෝපුස් සහන ලබා ගැනීම සඳහා අයිතිය තිබුණි. ශ්‍රී ලංකා භූමිය තුළ රඳවා සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට එවැනි මූලික ආරක්ෂාවන් දැන් අහිමි වනු ඇත.

ගොදුරුවූවන්ට සාධාරණය ඉටු කිරීම සමඟ මෙම සමූහ රැඳවීම්වල කිසිදු සම්බන්ධයක් නැත. ත්‍රස්තවාදී විමර්ශන අංශය (TID) විසින් දීර්ඝ කාලයක් රඳවාගෙන සිටිය ද, පාස්කු ප්‍රහාරයන්ට ආධාර කිරීම සහ අනුබලදීම සම්බන්ධයෙන් 2020 නොවැම්බර් 12 වන දින ලොස් ඇන්ජලීස් ෆෙඩරල් උසාවියක දී චෝදනා ලැබූ පුද්ගලයින් තිදෙනෙකු වන මොහොමඩ් නූෆර්, මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් යන අයට එරෙහිව නඩු පවරනු ලබන්නේ 2021 අප්‍රේල් 20 වන දිනය. පුදුමයට කරුණක් වන්නේ පසුගිය මාසයේදී රජය විසින් නිකුත් කරන ලද නව ත්‍රස්තවාදී කටයුතු සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ ලැයිස්තුවට 400 කට අධික දෙමළ ඩයස්පෝරා ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ඇතුළත් වන නමුත් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේදී සැබවින්ම අධිචෝදනා ලැබ සිටින මෙම පුද්ගලයින් තිදෙනාගේ නම් නොමැති වීමයි. මේ අතර, පසුගිය සතියේ, කම්කරු පන්තියේ පුද්ගලයෙකු වන මොහොමඩ් ඉර්ෆාන් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ, ඔහු වරක් තම ත්‍රීරෝද රථයෙන් කාත්තන්කුඩි හි දී ප්‍රධාන මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට ආහාර ගෙන ගොස් තිබූ නිසාය. ඝාතකයින් යුක්තිය පසිඳලීමෙන් බේරී යනවිට, නොපැහැදිලි සහ අත්තනෝමතිකව චෝදනා කරන වැරදි සම්බන්ධයෙන් සාමාන්‍ය මුස්ලිම්වරුන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම හරහා සමස්ත ප්‍රජාවක්ම නිහඬ කොට තිබේ.

ශ්‍රී ලංකාව මින් පෙර ද පුනරුත්ථාපන කඳවුරු අත්හදා බලා ඇති අතර, එහි දී එම ආදර්ශය ගැඹුරින් සැළකිල්ලට ලක් වී තිබේ. බලහත්කාරයෙන් බඳවාගනුලැබ හෝ වෙනත් ආකාරයකින් එක් දිනක්වත් එල්ටීටීඊයේ සාමාජිකයෙකු වූ ඕනෑම අයෙකු යුද්ධය අවසානයේ දී පුනරුත්ථාපනය සඳහා යටත් විය යුතු විය. තරුණයින්, කාන්තාවන් සහ ළමුන් දහස් ගණනක් රජයේ පුනරුත්ථාපන කඳවුරුවල රඳවා ගනු ලැබිණි. අවම වශයෙන් ඔවුන්ගෙන් දුසිම් කිහිපයක්වත් අතුරුදහන් විය. එක් දෙමළ මවක්වන ජයකුමාරි බාලේන්ද්‍රන් විසින් අතුරුදහන් වූ ඇයගේ ගැටවරවියේ වූ පුතා හිටපු එල්ටීටීඊ සාමාජිකයින් සමග පුනරුත්ථාපනයට ලක්වීම ඡායාරූපයකින් හඳුනාගනු ලැබුවාය.. තම පුතා රජයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක භාරයේ සිටින බව සඳහන් කරමින්, පිළිතුරු ඉල්ලා සිටි ඇය එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්තුමිය නවි පිල්ලේ හමුවිය. ජයකුමාරි ත්‍රස්ත සැකකරුවකුට රැකවරණය දුන් බවට ඔප්පු නොකරන ලද චෝදනා මත ඇයව අත්අඩංගුවට ගැනීමට නියෝග කරමින් රජය විසින් ඇයව නිහඬ කරනු ලැබිණි. සිය යොවුන් දියණිය අනාථ නිවාසයකට යවා ඇය වසරක් සිරගතව සිටියා ය. බොහෝ පවුල් සඳහා, “පුනරුත්ථාපනය” යනු අතුරුදහන් වීම සඳහා වෙනත් වචනයක් වූ බවත්, පිළිතුරු සෙවීම යනු දඬුවම වැඩිකිරීමක් වන බවත් ඔප්පු වී තිබේ.

බොහෝ දෙමළ කාන්තාවන් වටහාගෙන ඇති පරිදි, පුනරුත්ථාපනයෙන් පිටතට පැමිණෙන්නන් විසින් ගෙවිය යුතු පිරිවැයක් ද තිබේ. කාන්තා කණ්ඩායම් සහ ප්‍රජා ක්‍රියාකාරීන් උතුරු හා නැගෙනහිර පුනරුත්ථාපනය වූ කාන්තා සාමාජිකයින් සමඟ සමීපව කටයුතු කර ඇති අතර, විශේෂයෙන්ම ඔවුන්ට යුද්ධයෙන් පසු 2010 සිට 2019 දක්වා තම ජීවිත නැවත ගොඩනඟා ගැනීම සඳහා උපකාරී වී තිබේ. විශේෂයෙන්ම යුද්ධයෙන් ආබාධිත වූ බොහෝ කාන්තාවන්ට, සම්ප්‍රදායික දෙමළ සමාජයට නැවතත් පැමිණීමට අවස්ථාවක් එම සමාජයෙන් නොලැබුණි. සම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අභියෝගයන්ට ලක්වන මාර්ගයක් තෝරාගෙන ඇති මෙම කාන්තාවන් ප්‍රජාවගෙන් ඈත් වී ඇති අතර ඔවුන්ට විවාහ වීම, දරුවන් ඇති දැඩි කිරීම සහ සංස්කෘතික වශයෙන් පිළිගත් කාන්තාවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබේ. පුනරුත්ථාපන ප්‍රතිපත්ති මගින් ඔවුන්ගේ අභියෝග තව තවත් උග්‍රවී තිබේ. දැනටමත් ආන්තිකකරණයට ලක් වී ඇති ප්‍රජාවන් තුළ “පුනරුත්ථාපනය වී ඇත” යන සඳහන මගින් අවිශ්වාසය හා බෙදීම වපුරන අතරම පවුල සහ ප්‍රජාව ද තවදුරටත් බිඳ දමා තිබේ.

ඊයේ ද්‍රවිඩයන් ඉලක්කය විය; අද එය මුස්ලිම්වරුන් ය. චීනයේ පුනරුත්ථාපන කඳවුරුවල රඳවා සිටින විට ඇයත් ඇයගේ පවුලේ අයත් පරීක්ෂාවට ලක්විය යුතු “අවධානය යොමු වූ පිරිස්” ලෙස නම් කෙරී තිබූ ආකාරය පිළිබඳව උයිගර් අනාර් සබිත් විස්තර කළාය. නිලධාරීන් වෙනුවෙන් මත්පැන් ලබා දීමට (මුස්ලිම් සම්මතයන්ගෙන් ඉවත්වීමක් පෙන්වීම සඳහා) සහ සතිපතා ධජය ඔසවන උත්සවවලට (ඔවුන්ගේ දේශප්‍රේමය ඔප්පු කිරීමට) සහභාගීවීමට ඇයගේ ඥාතීන්ට සිදුවී තිබුණි. ඇය සමඟ සම්බන්ධවීම නිසා තමන්වද කරදරයට වැටෙනු ඇතැයි බියෙන් ඇයගේ හිටපු මිතුරන් හා නෑදෑයන් සබිත් නිදහස් වූ පසු දුරස්ථවී තිබුණි (නිව් යෝකර් (පෙබරවාරි 26, 2001), සුප්රා). ආගමික අන්තවාදයට ඇති සම්බන්ධය නිසා හෝ රහස් පොලිසියේ අනවශ්‍ය අවධානයෙන් වැළකී සිටීම සඳහා මුස්ලිම් ප්‍රජාව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් රැඳවියන් අත්හැර දැමීම හෝ මගහැර සිටීමත් සමඟ ඒ හා සමාන රටාවන් මෙහි දැනටමත් මතුවෙමින් තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ මුස්ලිම්වරුන් විශාල පිරිසක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන තිබේ. එහි සිටින පවුල් නිශ්ශබ්දව හා හුදෙකලාව දුක් විඳිමින් සිටී. ඔවුන්ගේ ප්‍රජාවේ සාමාජිකයින් පවා ඔවුන් පිළිබඳව කතා කිරීමට හෝ ඔවුන් පිළිබඳව තොරතුරු රැස් කිරීම හෝ ඔවුන්ට සහය වීම සඳහා කැමති ඕනෑම අයෙකුට ඔවුන්ගේ නිවාස පෙන්වීමට ද අකමැතිය. මේ ආකාරයට පුනරුත්ථාපන කඳවුරු මගින් රැඳවියෙකු පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ පුළුල් ප්‍රජාව ද බිඳ දමා තිබේ. දීර්ඝ කාලයක් රඳවා තබා ගැනී‍ම හරහා, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට අනිවාර්ය පහසුකම් සැලසීමත් සමඟ, ඇතැම් පවුල් සදහටම බිඳී ගොස් දිගින් දිගටම පිළිතුරු සොයමින් සිටිනු ඇත.

දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ රෙගුලාසි යනු හුදු පළමු පියවරක් පමණි. ජාතික ආරක්ෂාවට බලපාන හේතූන් මත සංවිධාන එකොළහක් තහනම් කරමින් රජය විසින් අප්‍රේල් 13 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නව රෙගුලාසි නිකුත් කරන ලදි. අයිඑස්අයිඑස්, අල්කයිඩා සහ විවිධ තව්හීඩ් ජම්මාත් කණ්ඩායම්වලට අමතරව, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි කියනු ලබන පුණ්‍යායතන ද තහනම් කෙරුණි. මෙම කණ්ඩායම්වලින් සමහරක් සඳහා ඇත්ත වශයෙන්ම ත්‍රස්තවාදී සම්බන්ධකම් තිබිය හැකි අතර එම සම්බන්ධතා නිසිලෙස හා නීත්‍යනුකූලව විමර්ශනය කළ යුතුය.

කෙසේ වෙතත්, මුස්ලිම් සංවිධාන එකොළහක් තහනම් කිරීමත් සමඟ, මෙම කණ්ඩායම් (ජමාත්) වල බොහෝ අනුගාමිකයන් පුනරුත්ථාපනය සඳහා යවනු ලැබීමේ තර්ජනයක් තිබේ. අල්කයිඩා සහ අයිඑස්අයිඑස් වැනි ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සමඟ දේශීය ඇදහිලි කණ්ඩායම් ද එකට දැමීම යනු ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් ඇති ඉස්ලාම් භීතිකාව පිළිබඳ බටහිර අවධානයන් මග හැරීම සඳහා වූ මේ රජයේ උපක්‍රමයකි. එසේම එම ලැයිස්තුවේ සංයුතිය ද වෙනස් විය හැකිය. 2014 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය විසින් “ත්‍රස්තවාදයට මුදල් යෙදවීම” අදාල කොට ගෙන දෙමළ ඩයස්පෝරා සංවිධාන 16 ක් සහ පුද්ගලයින් 424 ක් තහනම් කරන ලදී. පසුව බලයට පැමිණි ආණ්ඩු විසින් නම් කිහිපයක් ලැයිස්තුවෙන් ඉවත් කරන ලද නමුත්, මෑතක දී මතු වූ ලියවිල්ලකට අනුව පළමු වරට මුස්ලිම් නම් 50 කට අධික සංඛ්‍යාවක් ලැයිස්තුවට ඇතුළත් කරමින් මේ වසරේ දී නැවතත් ඒවා ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. ලැයිස්තුවට ඇතුළත්වීමෙන් පසුව, පුද්ගලයන්ට ඔවුන්ගේ තහනමට අභියෝගකිරීම සඳහා තිබෙන්නේ, ලැයිස්තුගත කණ්ඩායම්වල තම සාමාජිකත්වය තිබෙනබව ප්‍රතික්ෂේප කිරීම හෝ කණ්ඩායමට ඇත්ත වශයෙන්ම ත්‍රස්ත සබඳතා තිබේදැයි ප්‍රශ්න කිරීම ආදී අවස්ථවන් කිහිපයක් පමණි. තහනම් කිරීම මගින් ජාතික ආරක්ෂාව තවදුරටත් ඉහළ නැගෙන බවට රජය විසින් සිදුකරන ප්‍රකාශය නිසා නිදහසේ ගමන් කිරීම හා ඇසුරු කිරීම සඳහා වූ ඔවුන්ගේ අයිතිවාසිකම් අධිකරණ අධීක්ෂණයකින් තොරව සීමා කර තිබේ.

අද, ජනමාධ්‍යවේදීන් විසින් පිටුවහල්වීම සහ ස්වයංවාරණය අතර එකක් තෝරා ගැනීමත්, විමර්ශකයින් සහ දේශපාලන, සමාජීය හා මානව හිමිකම් ක්‍රියාකාරීන් ප්‍රහාරයට ලක්වී තිබීමත් නිසා, විසම්මුතිය තවදුරටත් මැඩපැවැත්වීම වෙනුවෙන් පුළුල් තහනම් කිරීමේ බලතල භාවිතා කරනු ඇති බව පෙනේ. කණ්ඩායමේ තහනමකට අභියෝග කිරීමට හෝ තහනම් කරන ලද කණ්ඩායමක චූදිත සාමාජිකත්වය පිළිබඳව අභියෝග කිරීමට තරම් සිවිල් අවකාශයක් හෝ නිල යාන්ත්‍රණයක් නොමැති නිසා බලය අයුතු ලෙස පරිහරණය කරනු ලැබීමට සහ මූලික සිවිල් අයිතිවාසිකම් හීන කිරීමට මෑත කාලීනව ඉදිරිපත් වූ රෙගුලාසි මගින් ආරාධනා කෙරේ.

කෙටියෙන් කිවහොත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නරක ය, නමුත් මෑත කාලීන රෙගුලාසි මගින් තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත. සැබෑ ත්‍රස්ත සැකකරුවන් වගවීමෙන් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාව භයානක මාවතක ගමන් කරමින් සිටින අතර, සුළුතර ජනගහනයකට විශාල ලෙස දඬුවම් පමුණුවමින් සිටී. බිහිසුණු ප්‍රහාර වලින් වසර දෙකකට පසු, වින්දිතයින්ට සහ සමාජයට ලැබිය යුත්තේ සහ ඉල්ලා සිටියේ මීට වඩා යහපත් තත්වයකි.

ශ්‍රීන් සරූර් | Shreen Saroor