iMage: alarabiya

ආසාදනයවීමේ හැකියාවෙන් ඉහළවූ B.1.1.7 වෛරස මාදිලිය රටපුරා පැතිරීයාමත් සමඟ වාර්තාවන රෝගීන්ගේ පෙර නොවූ විරූ සංඛ්‍යාත්මක ඉහළයාමකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටී. වෛරසය පාලනය කිරීම සඳහා සහයෝගී හදිසි උත්සාහයන් නොමැති වීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට අධික බරක් පැටවී, සෞඛ්‍ය සේවකයින් සඳහා වැඩි අවදානමක් ඇතිවීම සහ මරණ සංඛ්‍යාව ඉහළ නැගීම සිදුවනු ඇත. 2021 මැයි මස 4 වන දින වාර්තා වූ 1860 ක් වූ රෝගීන් සංඛ්‍යාවත් සමඟ සෑම දිනකම වාර්තා වන වැඩිම දෛනික රෝගීන් සංඛ්‍යාව ශ්‍රී ලංකාව විසින් වාර්තා කෙරෙමින් තිබේ. 2020 නොවැම්බර් මාසයේ සිට සක්‍රීය රෝගීන් සංඛ්‍යාව දෙගුණයකට වඩා වැඩි වී තිබේ. ක්ෂණික ක්‍රියාකාරී ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම අනතුරට හෙළන අතරම, අපගේ ජීවනෝපායන්ට හා ආර්ථිකයට ද හානි කෙරෙනු ඇත. තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමට නොහැකිවීමෙන් ශ්‍රී ලාංකිකයින්ට ජීවතවලින් වන්දි ගෙවීමට සිදුවනු ඇත.

එබැවින්, වඩාත් යෝග්‍ය දේශසීමා පාලනයන් ක්‍රියාවට නංවන ලෙසත්, රටතුළ මෙන්ම රට තුළට ඇති පිවිසුම්වල දී ද පරීක්ෂාකිරීම් වැඩිකරන ලෙසත්, රට පුරා දැඩිලෙස පැතිරී යමින් ඇති කෝවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා ඉක්මන්, ඵලදායී ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නෙමු. මහජන සෞඛ්‍ය සහ වංසගත අධ්‍යන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ විද්‍යාඥයින් SARS-CoV2 වෛරසයේ මාදිලීන් හමුවීම පිළිබඳව පුන පුනා අනතුරු අඟවා තිබුණු අතර, එම වෛරස මාදිලීන් පැතිරීයාමට පෙර පාලනය සඳහා වඩාත්ම සුදුසු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා තිබුණි. පරීක්ෂාකිරීම් ප්‍රමාණය වැඩි කිරීම, සක්‍රීය රෝගීන් සෙවීම සහ සංචාරක කටයුතු සඳහා දේශසීමා විවෘත කිරීම අධෛර්යමත් කිරීම ද ඒ අතර විය.

මෙම අනතුරු ඇඟවීම් රජය විසින් සැළකිල්ලට ගෙන නොමැති බව දැන් පෙනෙන්නට ඇති අතර, ඒ වෙනුවට අනතුරුදායකත්වයෙන් ඉහළ රටවල් සමඟ, වඩාත් මෑතක දී සහ ඉතාමත්ම අවදානම්කාරී ලෙස දිනකට මිනිසුන් 390,000 ක සාමාන්‍ය ගණනක් වෛරසය ආසාදිත යැයි පරීක්ෂණවලින් නිරාවරණයවන, අද වනවිට මිලියන 20 ක ජනතාවක් ආසාදිත වී සිටින ඉන්දියාව සමඟ ‘සංචාරක බුබුලු’ නිර්මාණය කොට තිබේ. අපගේ ඉන්දියානු අසල්වැසියන්ට විඳින්නට සිදුව ඇති වේදනාවන් ගැඹුරින් දැනෙන අතර, ඉහළ අනතුරුදායකත්වයක් සහිත රටවල් වෙතින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම ආදී ඉහළ අනතුරුදායකත්වයක් සහිත ලාභ ඉපැයීමේ මුලපිරීම්වලට වඩා ශ්‍රී ලංකාවේ රජය තම ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදිය යුතුය.

අලුත් අවුරුද්දට පසුව පැවැත්වූ කෝවිඩ් -19 පිළිබඳ පුවත්පත් සාකච්ඡාවෙන් අනතුරුව මෑතක දී රජය විසින් ගන්නා ලද මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අප සාදරයෙන් පිළිගන්නා නමුත්, වර්තමාන තත්වය සඳහා රජයේ උත්සාහයන් ප්‍රමාණවත් නොවන බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ. කෝවිඩ් -19 රෝගීන්ගේ සංඛ්‍යාව අධික ලෙස ඉහළ නැගීම කළමනාකරණය කිරීම වෙනුවෙන් සීමිත යටිතල පහසුකම් ප්‍රමාණයක් පමණක් තිබීමත් සමඟ පවතින අකාර්යක්ෂම දේශසීමා පාලන ක්‍රියාමාර්ග, සහ ධාරිතාවය ඉහළ නොයාම ආදී හේතු නිසා රට තුළට ඇතුළුවීමේ දී හා රට තුළ දී පරීක්ෂා කිරීම් කළමනාකරණය කිරීමට අභියෝග ඇතිවීම නිසා රට තවදුරටත් අනතුරට වැටී තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්දතිය තුළ යටිතල පහසුකම් ධාරිතාවයේ අභියෝග අපි දැනටමත් අත්දකිමින් සිටින්නෙමු. එය රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමඟ උත්සන්න වනු ඇති අතර සෞඛය සේවා පද්දතිය බිඳවැටීම සඳහා ද ඉතාම බරපතල තර්ජනයක් ඇතිකරවනු ඇත.

එනිසා, කෝවිඩ් – 19 සමඟ සටන් කිරීමට මහජනයාගේ වගකීම සහ සහයෝගය තීරණාත්මකම වුවත්, ඵලදායී, හදිසි, පැහැදිළි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග නොමැතිවීමෙන් අපි කෝවිඩ් – 19 වෛරස ප්‍රභේද ආනයනය කිරීමේ සහ ශ්‍රී ලංකාව තුළ කිසිඳු පාලනයකින් තොරව පැතිරවීමේ අනතුරට මුහුණ දී සිටින්නෙමු. වර්තමානයේ දී, රජයේ ක්‍රියාමාර්ග වී ඇත්තේ පරීක්ෂාකිරීම් අඩු කිරීමට සහ අලුත් අවුරුදු සමය තුළ කෝවිඩ් – 19 සීමාකිරීම් ලිහිල් කිරීමට හේතු වූ බොහෝ දුරට නොගැලපෙන ප්‍රතිපත්ති අනුව ගනු ලැබූ ක්‍රියාමාර්ගවලට ප්‍රතික්‍රියා දැක්වීමේ පියවරයන් ය. පසුගිය අතපසුවීම්වලින් ඉගෙන ගැනීමේ සහ විවිධ කෝවිඩ් – 19 මාදිලීන් ආනයනය කිරීම හා කෝවිඩ් – 19 ව්‍යාප්තිය අවම කිරීමේ වගකීම රජය සතුව තිබේ.

එබැවින් අප රජයෙන් ඉල්ලා සිටින්නේ:

01. ශ්‍රී ලංකාවට දේශසීමාව හරහා කෝවිඩ් -19 වෛරසය ඇතුළුවීම සීමාකිරීම සඳහා සංචාරක ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයන් කෙරෙහි දේශසීමාව තාවකාලිකව වසා දැමීම, සහ ‘සංචාරක බුබුලු’ නවත්වා දැමීම මගින් වහාම අපගේ සීමිත සෞඛ්‍ය සේවාවන් සහ සම්පත් කෙරෙහි අධික ලෙස බරපැටවීමේ අවදානම සහිත ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත තවදුරටත් තර්ජනයට ලක්කරන සංචාරක ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයන් නවාත්වා දැමීම. ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල දැක ඇති පරිදි නව වෛරස ප්‍රභේදය දරා සිටින එක් රෝගියෙකුගෙන් සහ එක් කාන්දුවීමකින් පවා පිරිමැසිය නොහැකි හානියක් ඇතිකළ හැකිය. කෙසේ වෙතත්, නැවත සිය රට බලා යාමට අවශ්‍ය ශ්‍රී ලාංකික කම්කරුවන්ට සහ වෙනත් අයට (ඩයස්පෝරාව ද ඇතුළුව) නැවත නිවෙස්කරා පැමිණීමට මෙය බාධාවක් නොවිය යුතු අතර, නැවත පැමිණෙන පුරවැසියන් සඳහා නිසි නිරෝධායන පියවරයන්ට ප්‍රමුඛතාවය ලබා දීම සඳහා රජයට වගකීමක් තිබේ. ආර්ථිකයට වඩා ජනතාවගේ යහපැවැත්ම සඳහා පුමුඛතාවය ලබාදීම වියට්නාමය ආදී රටවල් විසින් ඔප්පු කර ඇති අතර මෙම අර්බුදයට මුහුණ දීමේ දී බෙහෙවින් සාර්ථක වී ඇති ඔවුන්ට ශ්‍රී ලංකාවට සාපේක්ෂව සමාන ආර්ථිකයක් තිබේ.

02. අදාළ දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් සමඟ උපදෙස් ලබාගැනීම සඳහා විනිවිද පෙනෙන හා වගවීමේ යාන්ත්‍රණයක් ඇති කිරීම සහ ඔවුන්ගේ නිර්දේශ මත පදනම් වී කෝවිඩ් – 19 වැළැක්වීමේ පියවර ක්‍රියාත්මක කිරීම. මෙම පියවර සඳහා වූ දත්ත, විශ්ලේෂණ සහ මූලකාරණා පොදු අවකාශයක තැන්පත් කර වාර්තා කළ යුතුය.

03. කෝවිඩ්-19 ආසාදන සඳහා දිවයින පුරා සිදුකරන පරීක්ෂණ වැඩි කිරීම සහ පුරවැසියන්ට නොමිලේ පරීක්‍ෂා කිරීම සඳහා සම්පත් ලබා දීම. අතීතයේ දී පරීක්ෂාකිරීම් සංඛ්‍යාව අඩු කිරීම මගින් ආසාදිත රෝගීන් අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර,ඒ මගින් ජනතාවට ආරක්ෂාව පිළිබඳ වැරදි හැඟීමක් සන්නිවේදනය වී තිබේ. එසේම, ඒ නිසා ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ නැංවෙන පරිදි ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව යොමුවීමේ අඩුවක් ද ඇතිවිය හැකිය. වර්තමානයේ දී ක්‍රියාත්මකවන, තමන් විසින්ම කෝවිඩ් 19 සඳහා පෞද්ගලික රෝහලක දී පරීක්ෂාකරවා කිරීමේ විකල්පය ජනතාවගේ බහුතරයකට දරාගත නොහැකිය.

04. වර්තමාන ත්‍රිත්ව-ස්ථර පද්ධතිය ඇතුළුව මහජනතාවට ක්‍රියාශීලීව හා පැහැදිලිව සන්නිවේදනය කළ හැකි මධ්‍යම හා දිගු කාලීන අදියර සැලැස්මක් සහිතව මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සැපයීම සහ කෝවිඩ් ආසාදිතයින් බින්දුව දක්වා අඩුකිරීමේ ඉලක්කය සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන සන්නිවේදනය වැඩිදියුණු කිරීම සහ පද්දතියට කරන ලද සංශෝධන පැහැදිලි කිරීම. වර්තමාන මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග බොහෝ දුරට ප්‍රතික්‍රියාශීලී වන අතර එම පියවරයන්ගේ තාවකාලික ස්වභාවය සහ සන්නිවේදනයේ ඌනතාවය හේතුවෙන් එය ව්‍යාකූලත්වයට හා වැරදි තොරතුරුවලට හේතු වී තිබේ. කෝවිඩ් -19 ආසාදන පැතිරීම ඵලදායී ලෙස අවම කිරීම සඳහා නිරන්තර වරින් වර සිහිපත් කිරීම් සමඟ පැහැදිලිව සන්නිවේදනය කෙරෙන පැහැදිලි, දිගුකාලීන, අදියරගත මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සැලැස්මක් තුළ පොදු රැස්වීම්, සංචලතාව, සේවා ස්ථානය සහ පොදු ප්‍රවාහනය පිළිබඳ මාර්ගෝපදේශනය ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ. අපකීර්තියට ලක්කිරීම සම්බන්ධව මහජන සෞඛ්‍ය පණිවිඩ ලබාදීම වැඩිදියුණු කිරීම, ප්‍රභේදයන්ගේ බලපෑම පිළිබඳ මගපෙන්වීම් ලබාදීම හා වැරදි තොරතුරු අවම කිරීම සහ විශ්වාසනීය නොවන මූලාශ්‍රයන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා විශ්වසනීය ස්වාධීන මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගේ පෙනීසිටීම ඉහළ නැංවීම. සමාන ආර්ථික, සංස්කෘතික සැකසුම් ඇති වෙනත් රටවල හොඳම භාවිතයන් පෙන්නුම් කරන පරිදි මෙය සාක්ෂාත් කරගත හැකිය (උදා: වියට්නාමය).

05. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් නායකයින්, සැපයුම් සහ වෙනත් මෙහෙයුම් මෙහෙයවන හමුදා මෙහෙයුම් නායකයින්, වර්තමාන කෝවිඩ් -19 විශ්ලේෂණය කරන විද්‍යාඥයින් ඇතුළු මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රජයේ නිලධාරීන් ඇතුළුව ශ්‍රී ලංකාවේ තත්වය සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් විසින් අවම වශයෙන් සති දෙකකට වතාවක් පුවත්පත් සාකච්ඡා පැවැත්වීම. වසංගත ප්‍රතිචාරය පිළිබඳව රජයේ නිරන්තර, සවිස්තරාත්මක හා සංගත සන්නිවේදනය මහජන විශ්වාසය නැවත ස්ථාපිත කිරීම සහ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට අනුකූලභාවය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.

06. අවවරප්‍රසාදිත හෝ ආන්තිකකරණය වූ අයට එරෙහිව පහත්කොට සැළකීමකින් තොරව, සහ බලය හෝ සමාජ තත්වය සහිත අයට වාසි සහගත ආකාරයට සැළකීමකින් තොරව; කෝවිඩ් -19 ක්‍රියාමාර්ග බලාත්මක කිරීම (සහ කෝවිඩ් -19 මාර්ගෝපදේශ උල්ලංඝනය සඳහා දඬුවම්) සමානව ක්‍රියාත්මකවන බවට සහතික වීම. රජයේ ඇමතිවරුන්, නිලධාරීන් සහ ඔවුන් හා සම්බන්ධිත අය සෑම විටම රෙගුලාසිවලට අනුකූල වන අතර කෝවිඩ් -19 මාර්ගෝපදේශ උල්ලංඝනය නොකිරීමට වගබලා ගත යුතුය. පෙර එසේ සිදු කිරීමට අසමත්වීමෙන් වැරදි පණිවිඩයක් සමාජගත වී වසංගත ප්‍රතිචාරය පිළිබඳ මහජන විශ්වාසය සැළකිය යුතු ලෙස අඩපණ කර තිබේ.

07. ස්ථාපිත මූලධර්ම මත පදනම්ව ප්‍රමුඛතා කණ්ඩායම් පැහැදිලිව දක්වා ඇති විනිවිද පෙනෙන හා පැහැදිලි එන්නත් කිරීමේ සැලැස්මක් සැපයීම සහ ක්‍රියාත්මක කිරීම: අ) මරණය සහ බරපතල රෝග අවම කිරීම (අධි අවදානම් කණ්ඩායම්වල), ආ) සමාජයේ ක්‍රියාකාරිත්වය ආරක්ෂා කිරීම, ඇ) දැනටමත් විෂමතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයින් මත ඇතිවන කෝවිඩ් – 19 අමතර බර අඩු කිරීම, සහ අන්තර්ජාල වේදිකා, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, කෙටි පණිවුඩ, ප්‍රාදේශීය නිවේදන සහ ප්‍රසිද්ධ පෝස්ටර් වැනි විවිධ නාලිකා හරහා මෙම සැලැස්ම පිළිබඳව සාමාන්‍ය ජනතාවට දැනුම් දීම. අප දැනට අපගේ සෞඛ්‍ය සේවකයින්ගෙන් බොහෝ දෙනෙකුට එන්නත ලබා දී ඇති පරිදි, අපගේ ජනගහනයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට වයස සහ අදාළ පවතින සෞඛ්‍ය තත්වයන් සහිත අයට සහ ජීවන හා සේවා කොන්දේසි හේතුවෙන් තමන් විශාලතම අවදානමට ලක් වී ඇති අයට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය. ඉහළ මට්ටමක මහජන අන්තර් ක්‍රියාකාරකම් සහිත ඉදිරිපෙල සේවා සපයන්නන් (නිදසුනක් ලෙස පොදු ප්‍රවාහනය, නීතිය බලාත්මක කිරීම, සිල්ලර වෙළඳාම සහ පිරිසිදු කිරීම වැනි අංශවල), එකිනෙකාට සමීපව වැඩ කිරීමට හෝ හවුල් නවාතැන් වල ජීවත් වීමට සිදුවන සේවකයින් සහ හවුල් නවාතැන්වල පදිංචිව සිටින පුද්ගලයින් සහ රැකවරණ නිවාස හෝ බන්ධනාගාර වැනි පහසුකම් වල රඳවා සිටින පුද්ගලයින් ද මෙයට ඇතුළත් විය හැකිය.

08. ශ්‍රී ලංකාවේ වඩාත්ම ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහය දැක්වීම වෙනුවෙන් විනිවිද පෙනෙන ආදායම් මාර්ග වැඩිදියුණු කිරීම සහ සැපයීම. වසංගතය රටේ අඩු ආදායම්ලාභී පහෙන් එකට වඩාත්ම බලපා තිබේ. එබැවින්, දේශපාලනික සූරාකෑමකින් හෝ මැදිහත්වීමකින් තොරව වඩාත් අවදානමට ලක්වූවන්ට ආධාර කිරීම සඳහා අරමුදල් ලබාදීමටත්, එවැනි සහයෝගයක් ලබා ගැනීම සඳහා විනිවිද පෙනෙන මාර්ග සැපයීමටත්, ඒ සඳහා අරමුදල් සපයා ගැනීමටත් රජය ක්‍රියා කළ යුතුය. කෝවිඩ් -19 අර්බුදයට හා ඉන් පිටතට පැමිණීමට සියලු ප්‍රජාවන්ට ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රකෘතිමත් වීම සහතික කිරීම සඳහා සුභසාධන වැඩසටහන් සහ බෙදා හැරීමේ යාන්ත්‍රණ වැඩි දියුණු කිරීම.

09. කෝවිඩ් -19 පිළිබඳව දක්වන ප්‍රතිචාරය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සඳහා ස්ථාපිත සම්බන්ධතාවයක් සහිත සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට මෙහෙයවීමට ඉඩ ලබාදීම. මෙය මහජන සෞඛ්‍ය ආරක්ෂණ අභියෝගයක් බැවින් හමුදාවට සැපයුම් හා මානව සම්පත් සහය ලබා දිය හැකි අතර, අපට ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය අංශයෙන් වඩාත් දෘශ්‍යමාන හා බලගතු නායකත්ව කාර්යභාරයක් අවශ්‍ය වේ. හමුදාවේ සහ නීති බලාත්මක කිරීමේ නිලධාරීන්ගේ ක්‍රියාවන් මහජන සෞඛය නායකත්වයක් මගින් මෙහෙයවිය යුතුය.

මෙම වසංගතයේ තර්ජනයට මුහුණ දීමටත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්දතිය බිඳවැටීමෙන් වළක්වා ගැනීමටත්, මහජනයා සුරක්ෂිතව තබා ගැනීමටත් ඉහත ලැයිස්තුගත කර ඇති සාක්ෂි පදනම් කරගත් ක්‍රියාකාරී කරුණු නවය අපට අවශ්‍ය වේ. මේ අවස්ථාවේ දී, සියල්ලටම පෙර රජය විසින් එහි පුරවැසියන්ගේ යහපැවැත්ම සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. ක්ෂණික අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීමෙන් අනවශ්‍ය ලෙස ජීවිත හානි සිදුවීමත්, අපගේ සෞඛ්‍ය සේවා පද්දතියට සදාකාලික හානියක් ඇතිවීමත්, සමස්තයක් ලෙස රටට දරුණු ප්‍රතිඵල ඇතිවීමත් සිදුවනු ඇත. එය ශ්‍රී ලංකාවේ කිසිදු රජයක් අපේක්ෂා කළ යුතු උරුමයක් හෝ එහි පුරවැසියන් විසින් දරා ගත යුතු උරුමයක් නොවේ.

Please feel free to quote from the statement and give traction to the petition – http://chng.it/8qrxn86DxY Thank you for your continued support. Stay safe!