කොවිඞ් 19 වසංගතය තුළ නිදහස් වෙළෙද කලාප කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමු.

සේවක අර්ථ සාධකය ආරක්ෂාකර ගැනීම උදෙසා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් විසින් දියත් කළ අරගලයට වසර 10ක් සැපිරේ. 2011.05.30 වන දින පැවති උද්ඝෝෂණයට පොලීසිය විසින් වෙඩි තැබීමෙන් රොශේන් චානක කම්කරුවා ඝාතනයට ලක්වූ අතර වෙඩි වැදුණු තවත් කම්කරුවන් හත් දෙනෙකු සදාකාලික ආබාධිතයින් බවට පත්විය. උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරවලින් කම්කරුවන් 400ක් පමණ රෝහල් ගතකළ අතර තවත් කම්කරුවන් 3000ක් පමණ ශාරීරික පීඩාවට පත්විය. එහෙත් වින්දිතභාවයට පත්වූ මෙම කිසිම කම්කරුවෙකුට මේ වන තෙක් රජයෙන් සාධාරණයක් ඉටුවී නැත. සිද්ධිය පිළිබදව විමර්ශණය කිරීමට පත් කළ මහානාම තිලකරත්න ඒක පුද්ගල කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කළද එම නිර්දේශ බලාත්මක කිරීමට අදාළ බලධාරීන් අසමත් විය.

රොශේන් චානකගේ ඝාතනයට විරුද්ධව පැවරූ නඩුවද තවමත් මීගමුව මහාධිකරණයේ විභාග වෙමින් පවතී. මෙම නඩු විභාගයට අදාළව සාක්ෂි විභාග කිරීම තවමත් අවසන්වී නැත. එවැනි තත්ත්වයක් තුළ නඩුවේ තීන්දුව දෙස තව කොපමණ කලක් බලාසිටීමට සිදුවේදැයි යන්න අවිනිශ්චිතය.

සේවක අර්ථසාධක අරගලය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට හැකි විය. මෙම අරගලය එලෙස ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට හැකි වූයේ විශේෂයෙන්ම වෙළඳ කලාප කම්කරුවන්ගේ දැඩි කැපකිරීම් මතය. මෙහිදී පහරකෑමට ලක්වූ කම්කරුවන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ මෙම උද්ඝෝෂණය විසුරුවා හැරීමේදී පොලීසිය විසින් බලය අත්තනෝමතික ලෙස භාවිත කර ඇති බවයි. එහෙත් අයිතිවාසිකම් කඩවූ කම්කරුවන්ට ලැබිය යුතු වන්දි මුදල් මේ වන තෙක් ලැබී නොමැත. අර්ථසාධකයට හිමිකම් කියන බොහෝ අයට අද මෙය අමතකව ඇති අතර කලාපයේ අලූත් පරම්පරාව තුළ මෙම ජයග්‍රාහී අරගලය හා ඉන් වින්දිතභාවයට පත්වූවන් පිළිබදව ඇත්තේ සුලූ අවධානයකි. මේ සැම මුහුණ දිය හැකි අභියෝගය නම් 2011දී පරාජය කළ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පත නැවත වරක් වෙනත් මුහුණුවරකින් ඉදිරිපත් වීමට තිබෙන ඉඩකඩයි. මන්දයත් ඒ පිළිබදව වත්මන් ආණ්ඩුව විවිධ අවස්ථාවලදී ඉගි පළ කරමින් සිටී.

වෘත්තීය සමිති පිහිටුවා ගැනීම කම්කරුවන්ගේ අයිතිවාසිකමකි. එය ලෝක කම්කරු සංවිධානය විසින්ද අනුමත කර තිබෙන පසුබිමක පවා ලංකාවේ කලින් කලට ආණ්ඩු බලය හෙබවූ පාලක පක්ෂය එම නීතිමය කොන්දේසි නොතකා හරිමින් කටයුතු කරන ආකාරය ඉතා සෝචනීය වේ. කලාපය තුළ වෘත්තීය සමිති පිහිටුවීමට තිබෙන නෛතික ඉඩකඩ පවා අහුරා දැමීමට පාලකයින් යුහුසුලූ වී සිටී. එය කලාපය තුළ කම්කරුවන්ගේ සමාගමයේ නිදහස සහ අයිතිය අහුරා දැමීමකි.

එමෙන්ම කොවිඞ් 19 වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් කලාපයේ කම්කරුවන්ගේ රැකියා අහිමි වෙමින් තිබේ. මෙවැනි වඩාත් අභියෝගාත්මක තත්ත්වයක් තුළ කළ යුත්තේ කුමක්දැයි මීට වඩා බරපතල ලෙස කල්පනා කිරීමට කම්කරුවන් ඇතුලු සියලූම අය බලකරමින් සිටී. එබැවින් කොඩිඞ් 19 වසංගතය තුළ පීඩාවට පත්ව සිටින ප්‍රජාවන් අතර ආයෝජන කලාපවල සේවයේ නියුතු කම්කරු ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය සමග රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබදව අවධානය යොමු කළ යුතුය. එහිදී,

කොවිඞ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල තුළ නිදහස් වෙළද කලාපවල සේවයේ නියුතු කම්කරුවන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතු අතර ඡුක්‍ඍ පරීක්ෂණ කඩිනම් කිරීම වැදගත්ය.

එමෙන්ම කර්මාන්ත ශාලා තුළ සනීපාරක්ෂක ක්‍රමවේද වැඩි දියුණු කළ යුතු සේම හදුනාගත් ආසාදිතයින් අදාළ කර්මාන්ත ශාලාවේ ප්‍රතිපාදන යටතේ නිරෝධාන ක්‍රියාවලියට යොමු කළ යුතු වන්නේ සුවය ලැබූ පසු ඔවුන්ව කඩිනමින් සේවය සදහා සම්බන්ධ කර ගැනීම සදහාය.

යම් කර්මාන්ත ශාලාවක් කෝවිඞ් 19 වෛරසයට නිරාවරණය වීම මත වසා දැමීමට සිදුවුව හොත් එහි කම්කරුවන් හට මාසික වැටුප ලබා දිය යුතු අතර කර්මාන්ත ශාලාව වසා නොදමන තත්ත්වයක් යටතේ නිරෝධානයට යොමු කළ කම්කරුවන්ට නිරෝධාන කාල සීමාව තුළ වැටුප් සහිත නිවාඩු ලබා දීමට එහි පාලනාධිකාරිය විසින් කටයුතු කළ යුතුය.

මෑන්පවර් සහ ස්ථීර නොවන කම්කරුවන්ද ඇතුළත් වන පරිදි රුපියල් 5000ක සහන සලාකයක් මාසිකව ලබා දිය යුතුය.

මෙම ඉල්ලීම් සාධාරණ පදනමක සිට අප ඉදිරිපත් කරනුයේ විශේෂයෙන්ම 2020 මාර්තු සහ 2021 පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ වන විට අපනයනය මෙන්ම ආනයනයද සැලකිය යුතු මට්ටමේ ඉහළ ප්‍රතිශතයක පවතින තත්ත්වය යටතේය.

එමනිසා අපගේ අයිතීන් ආරක්ෂා කෙරෙන ඉල්ලීම් වෙනුවෙන් අතනොහැර පෙනී සිටීමේදී කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයේදී ඝාතනයට ලක්වූ රොෂේන් සහ ආබාධිත තත්ත්වයට පත්වූ සහෝදර කම්කරුවන් නැවත නැවතත් සිහිපත් කිරීම වැදගත් වන්නේ මෙම තත්ත්වයන් යටතේය. අපගේ අරගලය අප අත්නොහරිමු. ඒ සදහා අත්වැල් බැදගන්නා ලෙස කම්කරු සහෝදර සහෝදරියන්ට අප ආරාධනා කරන්නෙමු.

නිදහස් වෙළද කලාප සහයෝගීතාවය