iMage: republicworld

යොහානි ලංකාවේ තරුණ ගායිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ජාත්‍යන්තරයට යාම තුල ඇය ලංකාවේ තරුණ තරුණියන්ට ලබා දී ඇති වැදගත්ම පණිවිඩය ලෙස මා දකින්නේ ලෝකයේ නව ප්‍රවණතාවයන් වලින් යාවත්කාලීන වෙමින් ලෝකයත් සමග ඉදිරියට යන නූතනයකු වීමේ ඇති අවශ්‍යතාවයයි. යොහානි එංගලන්තයේ උසස් පෙළ හැදෑරීම සහ ඔස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධිය හැදෑරීම හේතුවෙන් ඇයට pub වෙල සිංදු කියමින් විශ්ව සංගීතයේ රස්තියාදු ගසමින් විවිධ සංගීතයන්ට නිරාවරණය වෙමින්, සයිබර් අවකාශය තුල සංගීතයෙන් සාර්ථක වීම පිලිබදව එනම් #tiktok #youtube #instagram #facebook #sportfy ආදිය තුලින් ගීත Market කිරීම පිලිබදව යාවත්කාලීන වූ නූතන අවබෝධයක් ලබාගැනීමට හැකි වූ බව පෙනෙන්නට තිබේ. මෙය ඇයගේ හැකියාව, දක්ෂතාවය ඇතුලු අනෙකුත් කරුණු අතර ඇය මෙවන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබීමට හේතුවුනු අතිශයින් වැදගත් සාධකයකි.

මෙහි ප්‍රතිවිරුද්ධ තත්ත්වය දෙස බැලීමේදී ලංකාවේ බහුතරයක් දරුවන්ට, තරුණ තරුණියන්ට මෙලෙස නූතන ලෝකයට නිරාවරණය වීමට අවකාශ නොමැති බව පෙනෙන්නට තිබේ. ලංකාව දුපතක් වීම හේතුවෙන් මහද්වීපයන්ගෙන් වෙන්ව හුදෙකලාව පවතී. මහද්වීපයන්ට ගොඩබිමින් සම්බන්ධව ඇති රටවල දරුවන්ට හා තරුණ තරුණියන්ට මෙන් දුම්රියක හෝ බස් රථයක නැගී වෙනත් රට වල සංචාරය කර අලුත් මිනිසුන් සහ අත්දැකීම් හමුවීම තුලින් නව අදහස් වලට නිරාවරණය වීමට ලංකාවේ තරුණ තරුණියන්ට අවස්ථාව නැත. සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය හොංකොං ආදී ආසියානු රටවල් ද ඇතුලු අනෙකුත් සංවර්ධනය වූ රටවල සාමාන්‍ය පවුල්වල දරුවන් පාසැල් නිවාඩු කාලය තුල අර්ධ කාලීන රැකියා කිරීමෙන් තමන්ම උපයාගන්නා මුදල් වලින් ගුවනින් ගොස් වෙනත් රටවල සංචාරය කර අත්දැකීම් ලබා ගනිමින් නූතන අදහස් වලට නිරාවරණය වන නමුත් මුදලේ අගය නිරතුරුව පහළ යන රටක් ලෙස ලංකාවේ සාමාන්‍ය පවුල්වල දරුවන්ට එවන් අත්දැකීම් ලබා ගැනීම සිහිනයකි. සංවර්ධනය වූ රටවල පාසැල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන් summer camps, නායකත්ව පුහුණු ‘global summits’, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ආදිය සදහාද බොහෝ විට වෙනත් රටවලට ගොස් වෙනත් රටවල සිසුන් සමග අදහස් හුවමාරු කර ගනිමින් ලෝකයේ නූතන ප්‍රවනතාවයන්ට නිරාවරණය වීමට අවස්ථාව ලබයි. වැදගත්ම කාරනය වන්නේ මේවා එම රටවල ඉතාම සාමාන්‍ය පවුල්වල සිසුන්ට පවා ලැබෙන අවස්ථාවන් වීමයි.

යොහානි අප රටේ බහුතර තරුණ තරුණියන් ගෙන් ප්‍රදාන වශයෙන්ම වෙනස් වන්නේ ඇය මෙම දූපතෙන් පිටත ලෝකයට නිරාවරණය වීම හේතුවෙන් නූතන අදහස් වලින් යාවත්කාලීනව තිබීම හේතුවෙනි. එමෙන්ම ඇයට ඉංග්‍රීසි බස හැසිරීමට ඇති හැකියාව සහ ලංකාවේ සංස්කෘතිය සහ අධ්‍යාපනය තුල බොහෝ තරුණ තරුණියන්ට අහිමිව ගොස් ඇති ආත්ම විශ්වාසයෙන් (confidence) යුතුව සමාජයේ ගැවසීමට ඇති හැකියව ඇයගේ ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පිහිටීම හා මුදලේ අගය පහළ යෑම ආදී හේතූන් නිසා භොතිකව වෙනත් රටවලට ගොස් ලෝකයේ මේ මොහොතේ ප්‍රදාන ධාරාවේ පවතින අදහස්, දැනුම හා තාක්ෂණයට නිරාවරණය වීමට නොහැකි තරුණ තරුණියන්ට ඒවා යම් ආකාරයකට හෝ ලබා ගැනීමට ඇති අනර්ඝ අවස්ථාවක් ලෙස YoueTube මාධ්‍ය සහ E-books හදුනා ගත හැක. YiuTube ඔස්සේ නූතන දැනුම, අදහස් බෙදා ගැනීමේ නිරත බොහෝ අය ඒවා මූලිකවම ලබාගන්නේ නවතම පොත් පත් තුලින්ය. මෙසේ ලෝකයේ බහුල ලෙස අලෙවි වන නවතම පොත් පත් ලංකාව තුල මිලදී ගැනීමට ඇති හැකියාව අවම වන අතර මුද්‍රිත පොත්පත් Online ක්‍රමයට ගෙන්වා ගැනීමටද සැලකිය යුතු මුදලක් සහ කාලයක් වැයවේ. මෙම නව පොත් පත් වල ව්ද්‍යුත් පිටපත් වෙබ් අඩවි තුලින් තරමක් අඩු මුදලකට බාගත කර ගෙන kindle වැනි මෘදුකාංගයක් හරහා ස්මාර්ට් දුරකථනයකින් හෝ පරිඝණකයකින් කියවීමට හැකියාව ඇත. නමුත් එවන් උපකරණ තුලින් දීර්ඝකාලීව කියවීමේදී ඒවායෙන් නිකුත් වෙන blue light හේතුවෙන් ඇසට සිදුවිය හැකි හානි දෙස බැලීමේදී Kindle වැනි E-book reader එකක් බාවිතා කිරිම වඩාත් සුදුසු බව පෙනේ.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ඇතුලු බොහෝ දෙනෙක් තවමත් ව්ද්‍යුත් උපකරණ වලින් කියවීමට වඩා සැබෑ පොත් පත් භාවිතයට වැඩි නැඹුරුවක් දක්වයි. නමුත් ලෝකයේ නවතම පොත් පත් ලංකාවේ සොයා ගැනීමට ඇති අපහසුව තුල එය තව දුරටත් සිතා බැලිය යුතු කාරනයකි. තවද රුපියල් 15,000.00 ක පමන මුදලක් ගෙවා kindle උපකරණයක් මිලදී ගෙන රුපියල් 1500.00 පමන බැගින් වන විද්‍යුත් පොත් බාගත කරගෙන විද්‍යුත් පුස්තකාලයක් පවත්වා ගෙන යෑම ආර්ථිකමය වශයෙන් ලාංකිකයන් අකමැති තත්වයකි. සයිබර් අවකාශය තුල චිත්‍රපට, ගීත, පොත්, මෘදුකාංග වැනි දෑ මිලදී ගෙන ඒවායේ නිර්මාණකරුවන්ට යම් ආර්ථික ලාබයක් ලබාදීම පිලිබදව ලංකාවේ තවමත් පවතින්නේ පසුගාමී තත්ත්වකි. කෙසේ වුවත් මේ මොහොතේ ලෝකයේ ප්‍රදාන ධාරාවේ තිබෙන නූතන දැනුම,අදහස් සහ තාක්ෂණයට නිරාවරණය වෙමින් යොහානි මෙන් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ ලබන නූතනයෙකු වීමට ලංකාවේ තරුණ තරුණියන්ට අවශ්‍ය නම් අවම වශයෙන් එම මුදල හෝ ගෙවිය යුතුමය.

සුරේන් ඩී. පෙරේරා | Suren D. Perera