iMage: lepoint.fr

රාජපක්ෂලාව ‌මේ තරම් ජනතාවට අවුල් වෙන්න හේතුව තමයි රාජපක්ෂ යුද්ධය දිනීම. විශේෂයෙන් ඔහු ජාතියට සැබෑවට ආදරය කරන බව මිනිසුන් හිතන්න පටන් ගත්තේ ඒ හරහා යි. මිනිසුන් හිතුවේ යුද්ධය දිනා දෙන්න පුළුවන් ජාතියට සැබෑවටම ආදරය කරන නායකයෙකුට විතරයි කියලයි.

ජාතියට ආදරය කිරීමක් ලෙසට හිතපු යුද්ධය දිනීම හැරුණු කොට වෙනත් කිසිම තැනක රාජපක්ෂ සිංහල බෞද්ධයාට විශේෂයෙන් ආදරය කරන ඔවුන් ආරක්ෂා කරන කෙනෙකු බවට සාධක ලැබෙන්නේ නැහැ. සිංහල බෞද්ධයින්ව දුක් කම්කටොලුවලින් බේරා ගැනීම, ආරක්ෂා කිරීම හෝ ඔවුන්ගේ සුභසාධනය සහ ගෞරවය මේ කිසිවක් ගැන ඔහු විශේෂයෙන් හිතුව බවට කිසිම තැනකින් සාධක ලැබෙන්නේ නැහැ.

ඔහු ඉතා සරලව සාමාන්‍ය ‘සිංහල බෞද්ධ සිරිත් විරිත්’ වගේ දේවල් ගැන අවශ්‍ය තැන්වලදී උපක්‍රමශීලීව කතා කලා, ඒවාට අවධානයක් දෙන බව රාජ්‍ය මට්ටමෙන් පෙන්නුවා. ඒ විදිහට සිංහල බෞද්ධ බව පිලිබඳ මතුපිටින් සන්දර්ශනාත්මක කටයුත්තක් විතරයි ඔහු සිදු කළේ.

අවම වශයෙන් ඔහුගේ සිංහල බෞද්ධ බව ඔහුගේම පවුලටවත් අදාළ වුණේ නැහැ. විශේෂයෙන් ඔහුගේ දූ පුතුන්ව ඔහු හැදුවේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව නෙවෙයි. ඊට වඩා බටහිර සංස්කෘතියට අනුවයි.

ඔහුගේ කාලය තුළ තරම් සිංහල බෞද්ධ පන්සල් පිරිහීමට ලක්වුණු වෙනත් කිසිදු පාලනයක් මෑත කාලයේ අපිට හමුවන්නේ නැහැ. ඔහුගේ කාලයේ තරම් සිංහල බෞද්ධයා ලෝකය ඉදිරියේ අවමානයට සහ ලැජ්ජාවට පත්වුණු වෙනත් කිසිදු කාලයක් අපේ මතකයට එන්නේ නෑ. ඔහු සංඝයා මැරයින් ලෙසටත් මැරයින් සංඝයා ලෙසටත් එළිපිටම යොදා ගත්තා.

දමිල, මුස්ලිම් වැනි අපේම රටේ සහෝදර ජනතාවට සිංහල බෞද්ධයා ගැන මෙතෙක් නොතිබුණු තරම් විශේෂ වෛරයක් ඇති කරවා සිංහල බෞද්ධයාට ඔවුන් කෙරෙහි සැකයෙන්, බයෙන් බලන්න සැලැස්සුවා.

ඔහුගේ පාලන කාලය තුළ තවත් විශේෂයෙන්ම කැපී පෙනෙන ලක්ෂණයක් වුනේ විශාල ප්‍රමාණයේ මුදල් සහ දේපොළ ගසා කෑමයි. ඔහුම ඉතාම කෙටි කාලයක් තුළ විශාල ධන කුවේරයෙක් බවට පත්වෙනකොට එයාකාරයෙන්ම ඔහුට සහය දුන් මැති ඇමැතිවරුන් ද මහා ධන කුවේරයන් බවට පත්වුණා. මුදල් ඇමතිගේ සිට දේපළ සම්බන්ධ තීරණය ගන්න පුළුවන් සෑම තැනකටම ඔහුගේ පවුලේ අය සහ ඥාතීන් යෙදෙව්වා.

එහෙම නම් ඔහු යුද්ධය දිනන්න තීරණය කළේ ඇයි? ඉහත කරුණු සැලකිල්ලට ගත් පසුව ඔහු යුද්ධය දිනන්න මේ තරම් උනන්දු වුන කාරණය අපට මෙහෙම හිතන්න වෙනවා.

ඒ තමයි විශේෂයෙන් එල්ටීටීඊ එක සතු තිබූ රත්තරන්, මුදල් ඇතුළු දේපළ අත්පත් කර ගැනීම. ඒ අනුව සමහරවිට ඔහු තමයි ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවුනු ජනාධිපතිවරු අතරින් යුද්ධය දෙස සම්පූර්ණයෙන්ම ‘ව්‍යාපාරික ඥාණයකින්’ බැලුව කෙනා. යුද්ධය ඉවර කිරීමට තිබුණ අධික ජනතා ඉල්ලුම නිසා මිනිස්සුන්ට ජාතිය පිළිබඳව ඇති අනාරක්ෂිත භාවය සහ ත්‍රිවිධ හමුදාවක් ඒ සඳහා ඔහුට පහසුවෙන් යොදා ගන්න පුළුවන් වුනා. කෙසේ හෝ එල්ටීටීඊ එක සතුව තිබුණේ මහා දේපොළවල ගනන් මිණුම් හෝ ඒවාට සිදු වූ දේ සම්බන්ධයෙන් දැනුත් ඇත්තේ විශාල අබිරහසක්. මේ සංදර්භය තුළ එල්ටීටීඊ එකේ ඉතුරු වුණු බලවත් නායකයින් සමඟ ඔහු මිත්‍ර සංධානවලට ආවේ ඇයි යන්න ද තේරුම් ගැනීමට අපහසු නෑ.

යුද්ධයෙන් පසු සිදුවුන සියල්ල ‘යුද්ධය ඉවර කිරීම’ වෙනුවෙන් අප ඔහුට ලබාදුන් කුලියයි!

ධනන්ජය කරුණාරත්න | Dhananjaya Karunarathne