iMage: SLMirror

මේ ලිපිය පළවෙන මොහොත වන විට විශ්වාසභංගයෙන් ජයගෙන සිටින කෙහෙලිය ජයකෙහෙලි නංවමින් සිටිනු ඇත. ලංකාවේ ආණ්ඩුවකට විරුද්ධ විශ්වාසභංගයක් ජයගෙන ඇති එකම අවස්ථාව වන්නේ, මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලනය තුළ පත්කරගත් දින 52 නීති විරෝධී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග අවස්ථාව පමණි. ආණ්ඩුවේ ඇමතිවරයෙකුට විරුද්ධ විශ්වාසභංගයකින් ඇමතිවරයෙකු ගෙදර යවන කතාවත් එසේමයි. මෙය ලියන මොහොතේ, ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ දිගහැරෙමින් තිබේ.

ආණ්ඩුවකට හෝ ඇමතිවරයෙකුට එරෙහි විශ්වාසභංගයක් යනු, අපේ රටේ ගත්තොත්, ඇත්තෙන්ම ක්‍රීඩාවකි. ලංකාවේ අතීත අත්දැකීම් අනුව එහි ප්‍රධාන කාර්යයන් දෙකක් තිබේ. එකක් වන්නේ, පාලක කඳවුරට එරෙහිව නැඟී එන ජනතා විරෝධයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා, පාලකයාට හානියක් හෝ බරපතල තුවාලයක් සිදු නොවන පිට්ටනියක්, පාලකයා විසින් කැමැත්තෙන්ම විරුද්ධවාදීන්ට තනා දීමයි. තවත් විදිහකින් කිවහොත්, ජනතා විරෝධය, එක්තරා ක්‍රීඩාමය අවස්ථාවක් තුළින් තනුක කොට නිශ්ක්‍රීය කිරීමේ රංගනයකට අවස්ථාව විපක්ෂයට සලසා දීමයි. එය, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ එක් අත්‍යාවශ්‍ය අංගයක් සේ සැලකෙයි. එය නරක දෙයක් නොවේ.

දෙවැන්න, ඉහත කී කාසියේම අනිත් පැත්තයි. එනම්, පාලකයා කෙරෙහි පවතින විවේචනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමක් තුළින් ආණ්ඩු විරෝධී යම් ජනමතයක් ඇති කිරීම සඳහා විපක්ෂයේ දේශපාලනයට තල්ලූවක් ලබාගැනීමයි. මේ දෙවැනි හේතුවත් නරක නැත. විශ්වාසභංගයක් ගෙනෙන්නේ දිනීමටම නොවේ යැයි කතාවට කියන්නේ එබැවිනි. එසේ වෙතත්, මෙවැනි පාර්ලිමේන්තු ක්‍රියාවලියන් තුළින්, දිනුම පැරදුම කවුරුන් සතු වුණත්, අදාල ප්‍රශ්නයට සම්බන්ධ කාරණයට විසඳුමක් සොයාගැනීමට ඒ මගින් හැකි වේවිද සහ අදාළ ප්‍රශ්නයට සම්බන්ධ ආණ්ඩුවට හෝ පුද්ගලයාට එරෙහිව යුක්තියේ නියාම ධර්මය ක්‍රියාත්මක වේවිද යන කාරණා නොවිසඳී ඉතිරි වෙයි. වරද ඇත්තේ එතැනයි.

තවත් විදිහකින් කිවහොත්, පාර්ලිමේන්තුවේ සිටින අන්ත දූෂිතයන්ට, සොරුන්ට සහ අපරාධකරුවන්ට ඔවුන්ගේ දුෂ්ක්‍රියාවන් සම්බන්ධයෙන් නිසි දඬුවම් පැමිණවීම යන කාරණය, මේ විශ්වාසභංග ක්‍රීඩාව මගින් අමතක කරවන්නේය. ඒ නිසා, අදාළ දේශපාලනඥයා නීතිය ඉදිරියට පැමිණවීමේ යාන්ත්‍රණයකින් තොරව ගෙන එන ඕනෑම විශ්වාසභංගයක්, විශේෂයෙන්ම එම විශ්වාසභංගයට නිමිති වන කාරණය ජනතාවගේ ජීවිත පවා පරදුවට තබන ලද සිද්ධියක් විණි නම්, එම විශ්වාසභංගය ජනතාව දැනුවත් කිරීමට නොව, ජනතාව ඇන්දවීමට පමණක් පාවිච්චියට ගැනෙන යාතුකර්මයක් බවට පත්වන බව නොකිවමනා ය.

හිරේ දැමීමෙන් මෙහා
යුක්ති ධර්මයක් නැත

කෙහෙලිය රඹුක්වැල්ල යනු, හිරේ යැවිය යුතු දේශපාලනඥයෙකි. මොහුගේ දූෂිත චර්යාව ඉතිහාසගතයි. මීට කලින් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වශයෙන් සිටියදී, විදේශයක හෝටල් කාමරයක ජනේලයකින් පැනීමට ගොස් කකුල් කඩාගෙන ඊට ප්‍රතිකාර කිරීමටත් මෙරට ජනතාවගේ මුදල් අවභාවිත කළ කතාව ඒ දිනවල කුප්‍රකටයි.

මොහු වෛද්‍යවරයෙකු හෝ ඖෂධවේදියෙකු නොවේ. එහෙත්, ඔහු තනියෙන්ම, ඔහුගේම වියදමින් අපේ ජනතාවට අවශ්‍ය කරන බෙහෙත් වර්ග මොනවාදැයි සොයා බැලීමට විදේශගත විය. මේ විදේශ සංචාරයේ ඔහුගේ හෝටල් බිල, ඖෂධ සමාගමක නියෝජිතයෙකු විසින් ගෙවා තිබේ. මේවා ‘දත්ත’ වශයෙන් හඳුනාගැනේ. ඒ දත්ත පිළිබඳ ඔහුගේ වෙනම අර්ථකථන තිබිය හැකිය. උදාහරණයක් වශයෙන්, හෝටල් බිල ගෙවීමට බැරි වුණේ තමාගේ බැංකු කාඞ්එකේ යම් ප්‍රශ්නයක් ඒ වෙලාවේ ඇති වු නිසා යැයි ඔහුට කිව හැකිය. එසේම, ඔහුගේ හෝටල් බිල එකලාසයක් කළ අර ඖෂධ සමාගම් නියෝජිතයාට තමා විසින් එම මුදල පසු අවස්ථාවක ආපසු ගෙවන ලද බවත් ඔහුට කිව හැකිය.

සෑම සිද්ධියකම, අවම බුද්ධියට සහ අවම තර්කයට හසු කරගත හැකි යම් හැඩයක් තිබේ. මේ පුද්ගලයාගේ අතීත පැටිකිරිය සමග, අපට බෙහෙත් සොයාගෙන ඒමට තමාගේ වියදමින් තකහනියක් තනියෙන් පිටරට යාම නමැති කාරණය එකට තබා කියවන විට නැෙඟන අර්ථය, අන්ත බයියෙකුට වුව වහා ගෝචර වන තරමට සරල ය.

‘බ්ලැක් ලිස්ට්’ යනුවෙන් ගැනෙන යෙදුමක් තිබේ. එහි අදහස වන්නේ, මීට කලින් වංචාවක්, නීති විරෝධී ක්‍රියාවක් හෝ අපයෝජනයක් කොට අතට හසු වූ පුද්ගලයන්ගේ හෝ ආයතනවල නාම ලැයිස්තුවකි. රටකට යමක් ආනයනය කිරීමේදී මෙවැනි පුද්ගලයන් හෝ සමාගම් සමග යළි ගනුදෙනු නොකිරීම සාමාන්‍ය සිරිතයි. කෙහෙලිය රඹුක්වැල්ල ගනුදෙනුකොට ඇත්තේ එවැනි අසාධුගත (බ්ලැක් ලිස්ටඞ්) සමාගමක් සමග ය. මෙය ඔහු යුක්තිසහගත කරයි. ඒ කෙසේද යත්: ‘‘අසාධුගත සමාගම් දහස් ගණනක් තිබේ. එහෙත්, ඔවුන්ගේ ඉල්ලීම් පරිදි පසුව ඒවා ‘සාධුගත’ කරනු ලැබේ.’’

ඉතිං, රෝගීන් මැරෙන්ට පටන්ගැනුණි. සමහර රෝගීන්ගේ ඇස් පොට්ට වුණි. ඒවා, ඒ ඒ රෝගීන්ගේ ‘කරුමය’ යැයි නොකියා, ඊට වඩා විද්‍යාත්මක වචනයකින් හඳුන්වන ලදි. ඒ වචනය වන්නේ ‘අසාත්මිකතාවයි.’ එනම්, බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් නොවන (බෙහෙතක් වැනි) බාහිර යමක් නිසා ඇතැම් පුද්ගලයෙකු තුළ රෝගී තත්වයක් හෝ ජීවිත අවදානම් තත්වයක් පවා ඇති කරවීමට ඇති හැකියාවයි. ඉතිං, අර මිනිසුන් මියගියේ මේ කියන බාල ඖෂධ නිසා නොව, ඒ ඒ පුද්ගලයන් තුළ පැවති ‘අසාත්මිකතාවන්’ නිසා යැයි මේ සෞඛ්‍ය ඇමතිවරයා පුනපුනා කීවේය. මොහුගේ එක් මහාචාර්ය ගෝලයෙක්, අප වැනි පෘථග්ජනයන්ට ගෝචර වන ආකාරයෙන් ඒ කාරණය විස්තර කර දෙමින් කීවේ, ‘කිසිවෙකු නොමළ ගෙයක්’ නැති බවයි. එසේම, රෝහල් ඉදිරිපිට අවමංගල ශාලා පිහිටුවා ඇත්තේ නිකංම නොවන බවයි!

ඇමතිවරයා, මෙපමණ කලක් අහිංසක රෝගීන්ගේ ජීවිත අහිමි වීම හෝ ඇස් අන්ධ වීම ඔවුන්ගේ ‘කරුමයට’ (අසාත්මිකතාවට) බැර කරමින් සිටියදී, අර ගෝල මහාචාර්යවරයා (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයා) ගිය සතියේ තවත් අපූරු හෙළිදරව්වක් කෙළේය: ‘‘ඔව්, ඇත්ත තමයි, බාල ඖෂධ අපි ගෙන්නලා තියෙනවා.’’

අපේ කතාව දැනට නවත්තමු: මෙතැන දූෂිත ගනුදෙනුවක් විතරක් නොව, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක බරපතළ විත්තියක්ද තිබේ.

එක් පූර්වාදර්ශයක්

1983-84 ඒඞ්ස් රෝගය මුලින්ම සමාජ කතාබහට ලක් වූ කාලයයි. ඒ කාලයේ, ප්‍රංශයේ ඒඩ්ස් රෝගීන්ගෙන් 4700 දෙනෙකුට ඒ රෝගය වැලඳී තිබුණේ, ලිංගික ක්‍රියාවකින් නොව, යම් අවස්ථාවක රෝහලක ප්‍රතිකාරයකදී, ඒඞ්ස් වයිරසයේ යම් අඩංගුවක් සහිත ලේ දීමෙනි. ඔවුන්ගෙන් 300 ක් මියගියහ.

රෝගියෙකුට ලබාදෙන ලේ තුළ අඩංගු විය හැකි ඉහත කී වෛරසය හඳුනාගත හැකි පරීක්ෂණ ක්‍රමවේදයක් ඒ වන විට ඇමරිකානු සමාගමක් සතුව තිබුණි. එහෙත්, ප්‍රංශයේ සෞඛ්‍ය බලධාරීහූ ඒ පරීක්ෂණ කට්ටලය ඇමරිකානු සමාගමෙන් මිල දී ගැනීම ප්‍රතික්ෂේප කළහ. හේතුව, අප මෙන් දූෂණයක යෙදීමට නොව. එම පරීක්ෂණ මොඩලය නිෂ්පාදනය කිරීම ඒ වන විට ප්‍රංශයේ පාස්චර් විද්‍යාගාරයේ අත්හදාබැලෙමින් තිබුණු බැවිනි. ඉතිං, ජාතිමාමකත්වයට මුල් තැන දීමට සිතාගත් ප්‍රංශ බලධාරීහූ, තමන්ගේම රටේ නව නිෂ්පාදනය එන තෙක්, මාස කිහිපයක් තිස්සේ, නිසි ප්‍රමිතිය නොමැතිව රෝගීන්ට ලේ දීම කරගෙන ගියහ. ඉහත කී ඇබැද්දිය වුණේ ඒ කාලයේදී ය.

සිද්ධියෙන් පසුව බලධාරීන්ගේ නිදහසට කරුණ වුණේ, එවැනි අවදානමක් පිළිබඳ ‘දැනුම’ ඒ අවස්ථාවේ තමන්ට නොතිබුණු බවයි. 1992 දී, වෛද්‍යවරියක් සේම මාධ්‍යවේදිනියක්ද වූ ඈන් මරි කැස්තරේ ‘‘ලේ අපචාරය’’ නමින් පොතක් ලීවාය. ප්‍රංශයේ බලධාරීන්ට අවශ්‍ය විණි නම් පරීක්ෂාවකින් තොරව රෝගීන්ට ලේ දීමේ අවදානම පිළිබඳ දැනුම ලබාගැනීමේ සෑම අවස්ථාවක්ම එදා (එනම්, 1983 දී) ඔවුන්ට තිබුණු බව ඒ කෘතියෙන් සාක්ෂි සහිතව ඈ පෙන්වා දුන්නාය. ඒ කරුණු මත පදනම්ව, අදාළ කාලයේ ප්‍රංශ අගමැතිවරයාට, සමාජසේවා අමාත්‍යවරයාට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ එවක ප්‍රංශ ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයාට එරෙහිව ‘සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය’ යන චෝදනාව යටතේ 1999 දී නඩු පැවරුණි. ඒ නඩුවෙන් අගමැතිවරයා සහ සමාජසේවා ඇමති නිදහස් වූහ. (සමාජසේවා ඇමතිවරයා විත්තිකරුවෙකු වුණේ, ‘ලේ දන් දීමේ ව්‍යාපාර’ සංවිධානය කෙරී තිබුණේ ඔහුගේ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් බැවිනි). කෙසේ වෙතත්, සෞඛ්‍ය ඇමතිවරයා වරදකරු බවට අධිකරණය තීන්දු කෙළේය. ලේ බැංකුවේ ප්‍රධානියා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු අවුරුදු හතරකට හිරේට යැව්වේය.

වැදගත්ම දඬුවම ලැබුණේ අධිකරණයෙන් නොව, ඉන් පරිබාහිර දේශපාලන සංස්කෘතියෙනි. මේ කියන කාලයේ අගමැති වශයෙන් සිටි, ප්‍රංශ ඉතිහාසයේ ලාබාලම අගමැතිවරයා වශයෙන් සැලකෙන ලෝරොං ෆැබියුස් ඊළඟ ජනාධිපති වීමේ සෑම සුදුසුකමක්ම සපුරා සිටි ජනප්‍රිය දේශපාලනඥයෙකු විය. එහෙත් මේ සිද්ධිය නිසා ඔහුගේ නම කැලැල් විය. ඒ නිසා ජනාධිපති සිහිනය ඉටු කරගැනීමට කිසි දවසක ඔහුට නුපුළුවන් විය. අධිකරණයෙන් නිදහස් වුණත් සමාජයෙන් නිදහසක් නැති බව එහි අදහසයි.

මේ කතාවේ තව කොස්සක් ඉතිරි වෙයි. එනම්, සෞඛ්‍ය ඇමතිවරයා අධිකරණයෙන් වැරදිකරු වූවත් ඔහුට දඬුවමක් නියම නොවුණේ මන්ද යන්නයි. ඇමතිවරයා ප්‍රතිපත්ති තීරකයෙකි. ඒ ප්‍රතිපත්ති තීරණය වෙනස් කළ හැකිව තිබූ විද්‍යාත්මක කරුණු ලේ බැංකු ප්‍රධානියා ඇතුළු සෙසු සෞඛ්‍ය නිලධාරීන් ඔහු වෙත සපයා නොතිබුණි. ඒ නිසා ඔහු වෙත සාපරාධී වගවීම පැවරුණේ ඔහුගේ ‘ප්‍රතිපත්ති තීරණය’ සම්බන්ධයෙන් පමණි.

අපේ කතාවට නැවත ආවොත්, කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රතිපත්ති තීරකයා පමණක් නොව, ඒ ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදවීම සඳහා, කිසි ඖෂධ විශේෂඥයෙකු නොමැතිව, තනියම ඉන්දියාවට ගොස්, මේ කියන ඖෂධ පිළිබඳ පරීක්ෂාව ද කර තිබුණේ ඔහු විසින්මයි. ඒ ‘පරීක්ෂාවේ’ ප්‍රතිඵලයක් වශයෙන්, හොර සමාගමක් සමග වෙළෙඳ ගනුදෙනුවකට පිවිසියේද ඔහුමයි. ඒ මදිවාට ඔහුගේ හෝටල් බිලත් ගෙවා තිබුණේ ඒ හොර සමාගමමයි. අර ප්‍රංශ සෞඛ්‍ය ඇමතිවරයාට ලැබුණු සහනයෙන් අංශුමාත්‍රයකට හෝ කෙහෙලිය රඹුක්වැල්ල හිමිකරුවෙකු නොවන්නේ එබැවිනි.

විශේෂඥ කමිටු කොච්චර ‘විශේෂඥ’ ද?

අවසානයේ තමාගේ ක්‍රියාව ගැන විමසා බැලීමට කෙහෙලිය රඹුක්වැල්ල තමාගේම විශේෂඥ කමිටුවක් පත්කෙළේය. ඔහුට අවශ්‍ය උත්තරය, එනම් ඔහු නිර්දෝෂී බව කියැවෙන උත්තරය ඒ කමිටුව විසින් ලබා දුන් බව ඔහු කියා සිටී. එහෙත්, අද වන තෙක් ඒ කමිටු වාර්තාව අපටත් කියවාගත හැකි පරිදි ඔහු ප්‍රසිද්ධකොට නැත. එසේ තිබියදී, මරණයට පත් වූ සෑම පුද්ගලයෙකුගේ සිද්ධියක්ම නැවතත් වෙන වෙනම සොයා බැලීමට තීරණයකොට ඇතැයි අර මහාචාර්යවරයා දැන් කියයි. ඒ ඇයි?

ඇමතිවරයාගේ විශේෂඥ කමිටුව, මේ කාරණය සම්බන්ධයෙන් පිළිගත හැකි ‘විශේෂඥ’ නිගමනයක් ලබා දී ඇත්නම් නැවත ඒ ගැන සොයා බැලීමේ අරුත කුමක්ද? එහි ඇති එකම අරුත විය හැක්කේ, ගෝඨාභය රාජපක්ෂ තමන් ඇතුළු රාජපක්ෂවාදීන් අහිංසක බව පෙන්වීම සඳහාම (දේශපාලන ‘වින්දිතයන්’ පිළිබඳ ඊනියා) කොමිසමක් පත්කළ පූර්වාදර්ශයම, රඹුක්වැල්ලත් තමන්ගේ විශේෂඥ කමිටු ක්‍රියාව සඳහා අනුගමනයකොට ඇති බව මේ කියන මහාචාර්යවරයා පවා දැන් පිළිගනිමින් සිටින බවයි.

විපක්ෂය මේ අවස්ථාවේ මොහුට විරුද්ධ විශ්වාසභංගයක් ගෙන ආ යුතු නැතැයි මෙයින් නොකියැවෙයි. මෙවැනි පුද්ගලයන් නිරුවත් කිරීමේ සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත යුතුය. එහෙත්, ඒ ව්‍යවස්ථාදායක අභ්‍යාසයෙන් පිටස්තරව, අපරාධය සහ දඬුවම පිළිබඳ නියාමය මහපොළොවේ සක්‍රීය කිරීමේ ක්‍රමවේදයක් කෙරෙහිත් විපක්ෂයේ අවධානය යොමු විය යුතුය. එහිදී, අවුරුදු ගණන් දිග්ගැස්සෙන, සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියට එය භාර නොකොට, මෙවැනි දූෂිත සහ සාපරාධී ක්‍රියා විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වටී. සිස්ටම් චේන්ජ් සහ අලූත් දේශපාලන සංස්කෘතියක් යැයි කටපුරා කෙනෙකුට කිව හැක්කේ එසේ වුවහොත් පමණි.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda