iMage:istockphoto.com

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහජන විරෝධතා හමුවේ රටින් පළාගිය ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ශ්‍රේඨාධිකරණය තීන්දු කළේ පසුගිය 14 වනදා ය. ඒ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් තිදෙනෙක් විසින් ගොනු කරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.

එය ඓතිහාසික තීන්දුවකි.

ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ දී ඇති කරන ලද ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සමස්ථ ජනතාවම බරපතල පීඩනයක ගොදුරු බවට පත් වූහ. එම තත්ත්වය යම් තරමකට සමනය වී තිබුනත් එහි අනිසි ප්‍රතිපල ශ්‍රී ලාංකික ජනයා තවමත් අත්විදිමින් සිටින බව රහසක් නොවේ. මේ තත්ත්වය හමුවේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් එම තත්ත්වය ඇති කරන ලද රාජපක්ෂලා ඇතුලු පිරිසක් වගකිව යුතු බවට ප්‍රකාශ කර තිබේ. එම තීන්දුව මෑත කාලීන ඉතිහාසයේ අධිකරණය ලබා දුන් වැදගත් තීන්දුවකි. ‘වගකීම’ රාජපක්ෂලා ඇතුලු පිරිසක් බාරගත යුතු බවට ප්‍රකාශ වුවත්, එයින් සිදු වූ ව්‍යසනයට නීත්‍යානුකූල දඩුවමක් පිළිබද සදහනක් නොවුනත්, එය ලංකාවේ ආර්ථිකය(තිබුණ ටිකත්) කාබාසිනියා කළ නරුම දේශපාලකයන් පිළිබද අධිකරණය විසින් ලබා දුන් ඉතා වැදගත් සහ සළකුණුමය තීන්දුවකි.

රාජපක්ෂලා සහ ඔවුන්ගේ සනුහරේ ප්‍රතිචාරය

මිලියන ගණනක් ජනතාවක් කබලෙන් ලිපට ඇද දැමූ මේ දේශපාලකයන් මේ අධිකරණ තීන්දුව ගැන පවසන්නේ මොනවාද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂලෙන් මාධ්‍යවේදියෙක් මෙසේ ඇසුවේ ය. මාධ්‍යවේදියා – ‘නඩු තීන්දුව ගැන මොකද කියන්නේ?’ මහින්ද රාජපක්ෂ – ‘මොන නඩු තීන්දුවද’ ‘ආ… අපි කොහොමත් අධිකරණයට ගරු කරනවා නේ. අනිත් එක මම නීතිඥයෙක් විදිහට අපි අධිකරණයට ගරු කරනවා’ ඒ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරයි. මේ ප්‍රකාශය තුළ තවත් දේවල් කිහිපයක් තහවුරු වෙයි. එකක් ලැජ්ජා නැති කමය. අනෙක නම් මොන තීන්දුව දුන්නත් වගවීමට බැදීමක් තමන් තුළ නැති බවය. අනෙක නම් රාජලක්ෂලා ඇතුලු සනුහරේම ඉතිහාසයෙ සිට පැවතගෙන එන උද්දච්ඡකමය. තවත් පැත්තකින් කිවහොත් රාජපක්ෂලා යනුම නරුමකමේ ලාංකීය ප්‍රකාශණයේ උච්චස්ථානය ය.

සනත් නිශාන්ත, නඩු තීන්දුව සහ සජිත් ප්‍රේමදාස

ශ්‍රේෂ්ඨාධිකරනය දුන් නඩු තීන්දුව පදනම් කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සිටියේ ය. ඔහු විසින් අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ රාජපක්ෂලාගේ කෙරුවා ව විග්‍රහ කරමින් ඔහු පවසා සිටියේ ‘වරදකරුවන් හමුවේ පාර්ලිමේන්තුව ගන්නා පියවර කුමක්ද?’ යන්න අතුලු කරුණු කිහිපයක් ඉදිරිපත් කිරිමට සූදානම් වූ අවස්ථාවේදී, ආණ්ඩු පක්ෂ මංත්‍රීවරුන් විපක්ෂනායකවරයාට බාධා කරමින්, කළහාකාරී ලෙස හැසිරීම රටම දුටුවෝය. එම මැර සංදර්ශනයේ ප්‍රමුඛයා වූයේ පාර්ලිමේන්තු මංත්‍රී කුප්‍රකට සනත් නිශාන්තය. සනත් නිශාන්ත මංත්‍රීවරයාගේ හැසිරීම කොතරම් සහාසික ද යත්, විපක්ෂනායකවරයාගේ අත තිබූ යම් ලියවිලි ප්‍රමාණයක් කුප්‍රකට සනත් නිශාන්ත මංත්‍රීවරයා උදුරා ගන්නා අයුරු දැක්වෙන රූප රාමූ සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවේය. පසුව, සනත් නිශාන්ත මංත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සහභාගීත්වය සති 2කකට අත්හිටුවීමට කතානායකවරයා තීන්දු කළේය.

ආර්ථික ව්‍යසනයට වගකිවයුතු යැයි අධිකරණය තීන්දූ කළ
‘වගකිවයුත්තන්’ ආරක්ෂා කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මංත්‍රීවරුන්

රටක් අගාධයට ඇද දමන ලද ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් ආරක්ෂා කිරීමට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට රටක පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක්ට හෝ පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට හැකියාවක් තිබේද? එසේ හැකි වන්නේ නම්, එම මංත්‍රීවරුන් ‘මහජන නියෝජිතයන්’ වීමට හැකියාවක් තිබේද? මහජනයා වෙනුවෙන් නීති සකස් කිරීමට ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමට හැකියාවක් තිබේද?

එසේම යම් අපරාධයකට සම්බන්ද අපරාදකරුවන් වෙනුවෙන් සෘජුවම පෙනී සිටිමින් එම අපරාධය සාධාරණීයකරනය කිරීමට යමෙක් උත්සහා කරන්නේ නම් උක්ත අපරාධකරුට වඩා ඔවුන් භයානක නොවන්නේද?

කෙසේ නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබු එම ඓතිහාසික තීන්දුව පිළිබද සමාජයේ එතරම් කතා බහක් තවමත් ඇති නොවීමත් මේ මොහොතේ වැදගත්ය. ආර්ථික අර්බුදයට පමණක් නොවේ, වගකිව යුත්තෙක් නොමැති ඝාතනවලට පවා ශ්‍රී ලාංකික සමාජයේ බහුතරයක් දෙනා දක්වන නිහඩතාවය විසින් පවසන්නේ අන් කිසිවක් නොව, ශ්‍රී ලාංකීක සමාජයේ පුරාම ඔඩු දුවමින් ඇති පසුගාමීත්වයයි. ඒ ගැඹුරු පසුගාමීත්වය නිසා ඕනෑම අපරාධයක් සිදුකරමින් යහතින් වැජඹිය හැකි බව බොහෝ අපරාධකරුවන් දන්නේ ය. එසේම ඕනෑම අපරාධයක් සිදු කරමින් අයිසින් තැවරු වචන කිහිපයක් සහ ජාති ආලය තැවරූ වචන කිහිපයකින් සංග්‍රහ කළ විට, තමන්ගේ රුව ඉදිරියේ කතිරය ගසා නැවතත් ඔවුන්ව ඔසවා තබන බව දකුණේ බොහෝ (අ)දේශපාලකයන් දන්නේය. එබැවින් ඔවුන් කිසිදාක මහජනයා ඉදිරියේ වගවීමට බැදෙන්නේ නැත. ලැජ්ජාවක්, ලැජ්ජාවට පත්වීමක් පිළිබද සිහිනෙන්වත් සිතන්නේ නැත. මේ තත්ත්වය විසින් අපට උගන්වමින් සිටින බොහෝ දේවල් අතර ප්‍රධන සාධකයක් වන්නේ එයයි. එය වෙනස් කරමින්, ශිෂ්ඨ සමාජයක් සදහා, පසුගාමීත්වය වෙනුවට ඉදිරිගාමී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සදහා පෙරමුණ ගැනීමට ශක්තිමත් පුරවැසි සමාජයක් අත්‍යවශ්‍ය වී තිබේ.

මෙම සටහන කියවන පාඨකයන්ගේ අවධානය සදහා අදාළ තීන්දුවේ ප්‍රධාන නීරීක්ෂණ කිහිපයක් පහතින් දක්වමු.

• අර්බුදකාරී තත්ත්වයට තුඩු දුන් කරණා වලට වගඋත්තරකරුවන්ගේ හැසිරීම සෘජුවම බලපෑවේය.

• වගඋත්තරකරුවන් දැනුම්වත් වී සිටිය යුතු අතර, ඔවුන් රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට වගකීමෙන් බැඳී ඇත. ඒ අනුව, ආර්ථිකයට අහිතකර ලෙස බලපාන කරුණු විසඳීමට සහ අහිතකර බලපෑම් තවදුරටත් උග්‍ර නොකිරීමට ඔවුන් ක්‍රියා කළ යුතුව තිබුණි.

• මහජන සුබසිද්ධිය ප්‍රමුඛ කොට තම රාජකාරිය ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් ඇත.

• මහජන විශ්වාසය තහවුරු වන අයුරින් ක්‍රියා කිරීම සඳහා වගඋත්තරකරුවන්ට ඉහළ බලතල ලබා දී ඇති අතර, ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අනුව රාජකාරි ඉටු කිරීමට බැඳී සිටී.

• තමන් ගත් තීරණ ප්‍රතිපත්තිමය තීරණ යැයි පවසමින් වගඋත්තරකරුවන්ට වගකීමෙන් මිදිය නොහැක.

• වගඋත්තරකරුවන් පැවති තත්ත්වය මනා ලෙස දැන සිටි බැවින්, එවැනි විපතක් වැළැක්වීමට ඔවුන්ට පූර්ණ බලයක් පැවතුනි.

• මහජන යහපත වෙනුවෙන් පැවැති තත්ත්වයට පිළියම් යෙදීමට වගඋත්තරකරුවන් ඔවුන්ට ගත හැකිව තිබූ සියලු ක්‍රියාමාර්ග නොගත් බව පැහැදිලිය.

• වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් සහ ඔවුන් සුදුසු පරිදි ක්‍රියාත්මක නොවීම නිසා අර්බුද තත්ත්වයක් ඇති විය.

• මහජන විශ්වාසය රැකීම සියලු රාජ්‍ය නිලධාරින්ට පොදුය. එබැවින්, වගඋත්තරකරුවන් මීට වඩා වගකීමෙන් ක්‍රියා කිරීමට බැඳී ඇත.

• වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන්, අතපසුවීම් සහ හැසිරීම් ආර්ථික අර්බුදයට මූලික හේතු විය.

(හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු මුදල් මණ්ඩලය සහ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන අය ආර්ථිකය නිසිලෙස කළමනාකරණය නොකිරීම හෙතුවෙන් රටේ ආර්ථිකය අර්බුදයකට මඟ පෑදීම හරහා මහජන විශ්වාසය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය කඩ කර ඇති බවට, ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැම්බර් 14) සුවිශේෂී තීන්දුවක් ලබා දෙන ලදි.)