iMage: Wasim Thajudeen Photo by: roar.media/ Shani Abesekara Photo by: srilankamirror

ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුඞීන්ගේ සිරුර 2012 මැයි 17 වැනිදා පාන්දර, කුඩුපට්ටම් වී දැවී ගිය ඔහුගේ වාහනය තුළ තිබී හමු විය. එම සිද්ධිය වාර්තා කරමින් මාධ්‍ය කියා සිටියේ අධික වේගයෙන් රිය ධාවනය කිරීමේදී සිදු වූ හදිසි අනතුරක් ඔහුගේ මරණයට හේතුව බවයි. එය, හදිසි අනතුරකින් සිදු වූ මරණයක් බව, ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී, මහාචාර්ය ආනන්ද සමරසේකර තහවුරු කෙළේය.

එයින් වසර තුනකට පසු, එනම් 2015 අගෝස්තු 10 වැනිදා, විශේෂ අධිකරණ නියෝගයක් උඩ ඔහුගේ සිරුර ගොඩගෙන, විශේෂඥ කමිටුවක් විසින් තවත් මරණ පරීක්ෂණයක් පවත්වන ලදි. එය රිය අනතුරකින් සිදු වූ මරණයක් නොව, ඝාතනයක් බව එහිදී නිගමනය කෙරුණි. මහාචාර්ය ආනන්ද සමරසේකර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ අනුර සේනානායක, අපරාධයට සම්බන්ධ යැයි සැක කෙරෙන බලගතු චූදිතයන් ආරක්ෂා කිරීම සඳහා මේ සිද්ධිය පිළිබඳ තොරතුරු වසංගමින් සහ වැදගත් කරුණු විකෘති කරමින් කටයුතු කර ඇතැයි පසුව අධිකරණය ඉදිරියේ අනාවරණය විය. මොවුන් දෙන්නාම අද ජීවතුන් අතර නැත. අපරාධය සිදු වූ දවසේ, ජනාධිපති කාර්යාලය සහ සිද්ධියට ආසන්න නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපතිවරයා අතර දුරකථකන සංවාද ගණනාවක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා විය. නාමල් රාජපක්ෂ සහ තාජුඞීන් අතර බරපතළ කෝන්තරයක් පැවති බවත් හෙළිදරව් විය. අවුරුදු 11 ක් ගතව ඇතත්, තාජුඞීන්ගේ කිසි ඝාතකයෙකු නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කිරීමට තවම හැකි වී නැත.

ඒ තරමට, රාජ්‍ය බලය සහ රාජ්‍ය බලවතුන් සමග සම්බන්ධ වන අපරාධ නිරාවරණය කරගැනීම අති දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබේ. තාජුඞීන් පමණක් නොව, දේශපාලනික සහ රාජ්‍ය බලධාරීන් සමග කෙළින්ම සම්බන්ධ තවත් වින්දිතයෝ ගණනාවක් සිටිති. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ඇතුළු, තවමත් නොවිසඳී පවතින අපරාධ රාශිය ඊට දෙස් දෙයි. ‘නොවිසඳී පැවතීම’ යන්න නිවැරදි යෙදුමක් නොවේ. වඩාත් නිවැරදි වන්නේ ‘දඬුවම් නොලබා සිටීම’ යන්නයි. කෙසේ වෙතත්, ඒ සියලූ අපරාධ සිදුව ඇත්තේ, රාජපක්ෂ පාලනයක් යටතේ වීම නම් අහම්බයක් නොවේ.

මේ අපරාධ සියල්ල තුළින් සාධනය කෙරුණු ‘සේවාවන්’ දෙකක් තිබේ. එකක් වන්නේ, ඝාතනයට ලක් වූ පුද්ගලයාගෙන් පළිගැනීම අරමුණු කරගත් අපරාධකරුවාගේ මාරක අභිලාෂය සන්තර්පණය වීමයි. දෙවැන්න වන්නේ, ඝාතනයට ලක් වු පුද්ගලයා, තවත් දේශපාලනික පෙළැන්තියක් බලයට පත්කිරීම සඳහා ආශ්වාදනීය වාහකයක් වීමයි. මේ සියලූ ඝාතන පාවිච්චියට ගෙන 2015 දී බලයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු කිසිවෙකු, තමන් බලයට පැමිණීම සඳහා පාවිච්චියට ගත් එකී වින්දිතයන් වෙනුවෙන් යුක්තියක් ඉටු කිරීමට තරම් කෘතවේදී වුණේ නැත. ඒ නිසා, අදටත් ඒ වින්දිතයන්, විටින්විට මෙවැනි ලිපි මගින් ස්මරණය කෙරෙන නාමකරණයන්ට පමණක් සීමා වී ඇත. අනිත් අතට, ඔවුන්ව ඝාතනය කිරීමට නියෝග දුන් පුද්ගලයෝ, තවමත් මේ රටේ දේශපාලනික බල මර්මස්ථාන හසුරුවන මට්ටමක සිටිත්.

පසුගිය 4 වැනිදා, බී.බී.සී. සිංහල සේවය යම් සිද්ධියක් වාර්තා කර තිබුණි. ඒ වාර්තාවට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක්කොට ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට අනාවරණය කෙරෙන යම් බුද්ධි තොරතුරක්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහන්ත අබේසූරිය විසින් අධිකරණයට දන්වා ඇත. ඒ බුද්ධි තොරතුර නීතිපතිවරයා වෙත සපයා ඇත්තේ, ‘වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය’ විසිනි. කලින් කී වසිම් තාජුඞීන්, ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන සියල්ල පිළිබඳ පරීක්ෂණ කළ ප්‍රධානියා ශානි අබේසේකර ය.

ශානි අබේසේකර ගමන් ගන්නා වාහනය අනතුරකට ලක්කොට ඔහු ඝාතනය කිරීමට සැරසෙතැයි කියන මෙකී සැලසුම, තාජුඞීන් ඝාතන සැලසුම අපට සිහිගන්වයි. ඇත්ත වශයෙන්ම, තාජුඞීන් මරණයට පත්වුණේ වාහන අනතුරකින් නොවන බව, අධිකරණය විසින් අද පිළිගෙන ඇත. වාහන අනතුරක් පිළිබඳ කඩතුරාව සැලසුම් කෙළේ ඝාතනය වසාගැනීමටයි. එදා ඒ අපරාධය වෙනුවෙන් මොනම ආකාරයක හෝ දඬුවමක් නොවිඳ තවමත් විරාජමාන වීමට හැකි වීමෙන් එකී දේශපාලනික අපරාධකරුවන් සපයා ඇති පූර්වාදර්ශය, ශානි අබේසේකර ඝාතනය කිරීමට දැන් සැලසුම් කරතැයි කියන අපරාධකරුවන්ටත් ධෛර්යයක් සපයනවාට කිසි සැකයක් නැත.

බුද්ධි වාර්තා කොපමණ තිබුණත්, අදාළ අපරාධය සිදු වන තෙක් බලධාරීන් විසින් අවශ්‍ය පියවර නොගැනීම අපේ රටේ දක්නට ඇති පොදු ව්‍යාධියකි. ඊට හොඳම උදාහරණය වන්නේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් බලධාරීන් විසින් එය වැළැක්වීම සඳහා පියවර නොගැනීමේ ඛේදවාචකයයි. ඊට වැරදිකරුවන් කරමින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට අධිකරණයෙන් නියම වී ඇතත්, සිදු වූ අපරාධය ඒ මගින් අහෝසිකොට, නැති වූ ජීවිත ආපසු ලබා දෙන්නේවත්, ජීවිත කාලයට තුවාල ලද කිසිවෙකුට තමන්ගේ නැති වූ අතපය ආපසු ලබා දෙන්නේවත් නැත. ඒ නිසා, කළ යුතුව ඇත්තේ, අපරාධයක් සිදු වීමට කලින්, අවශ්‍ය තොරතුරු ලැබී ඇති අවස්ථාවකදී, එය වළකාලීමට කටයුතු කිරීමයි.

ශානි අබේසේකර මීට කලින් විවිධ දඬුවම්වලට ලක්කෙරුණි. දැන් ඒ සියලූ දේවල් පිළිබඳව ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකොට ඇතත්, ඒ පෙත්සම් යම් දවසක සාර්ථක අවසානයකට ළඟා වීමට බොහෝ ඉඩකඩ ඇතත්, මෙතෙක් ඔහු දැරූ විඳවීම සහ පත් වූ අපහසුතාව සහ ලැබූ අපකීර්තිය ඒ මගින් සේදී යන්නේ නැත. ඇත්ත වශයෙන් මෙහිදී පෙනෙන්ට ඇත්තේ, නපුරක් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයා, පසුව මොන විපාකයකට මුහුණදීමට සිදුවිය හැකි බව දනිතත්, මේ මොහොතේ තමන්ගේ පළිය ගැනීමේ අභිලාෂයෙන් මෙහෙයවෙනු ලැබීමේ ස්වභාවයයි. ‘එල්ලූම් ගස් හතක ගියත්’ යම් අපරාධයක් කරන බවට සපථ කරන පුරුද්ද පසුපස ඇත්තේ ඒ මනෝභාවයයි.

ඒ නිසා, මේ වන විට ශානී අබේසේකරගේ ජීවිත අනාරක්ෂාවට අදාළ බුද්ධි තොරතුරු ලැබී ඇති තත්වය තුළ, තවත් තාජුඞීන් කෙනෙකු ඔහුගෙන් උපදින තෙක් බලා සිටීම සමාව දිය හැකි අපරාධයක් නොවේ. පසුගිය කාලයේ ශානි අබේසේකරගෙන් එළව එළවා පළිගැනුණි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ පසු රටේ ජනාධිපතිවරයා විදිහට නිල වශයෙන් කළ ප්‍රථම රාජකාරිය වුණේ, ශානී අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්කොට, ගාල්ලේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ‘පියුං’ තත්වයට පිරිහෙළීමයි. අලූතින් පත්වන ජනාධිපතිවරයෙකු මුලින්ම කරන රාජකාරිය වන්නේ, තමාගේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පත්කරගැනීමයි. අගමැතිවරයා වශයෙන් පත්කිරීමට නියමිතව සිටියේ තමාගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂ වන බැවින්, ගෝඨාභය රාජපක්ෂට ඒ කාර්යය තවත් හදිසි වැදගත්කමකින් යුක්ත එකක් විය යුතුව තිබුණි. එහෙත් ඒ සියල්ල සඳහා දින තුනක් ගත කළ, අලූත බලයට පත් ගෝඨාභය රාජපක්ෂ, පැය විසිහතරක් ඇතුළත ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්කොට වාඩුවක් පිරිමසාගැනීම ප්‍රථම ජාතික වැදගත්කමකින් යුත් කර්තව්‍යයක් වශයෙන් සැළකීය. ශානි අබේසේකර නමැති පොලිස් නිලධාරියාගෙන් එසේ පළිගැනීමට තරම් වෛරයක් ගෝඨාභය රාජපක්ෂ තුළ එදා තිබීම, මේ පොලිස් නිලධාරියා කෙරෙහි රාජපක්ෂලා ඇතුළු ඔවුන්ගේ සමීපතමයන් තුළ ඒ වන විට පැසවමින් තිබූ අගාධ වෛරය කොපමණද යන්න මැනවින් පෙන්නුම් කළ එක් අවස්ථාවකි.

තත්වයෙන් පහත හෙළා, ශානී අබේසේකරව ගාල්ලට මාරු කර යැවීමෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සෑහීමකට පත්වුණේ නැත. ඉන්පසුව ඔහුව අත්අඩංගුවට ගැනුණි. ඒ අනුව, මාස 10 දවස් 18 ක් ඔහුට රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදු විය. ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන දින දෙකකට පසු උප-පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් අත්අඩංගුවට ගැනුණි. ඔහු කර තිබූ ‘වරද’ වුණේ, ශානි අබේසේකරට විරුද්ධව බොරු සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීමයි. ඒ වෙනුවෙන්, මාස 10 දවස් 16 ක් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. අවසානයේ, ඔහු පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන්, රුපියල් මිලියනයක වන්දියක් රජය විසින් ඔහුට ගෙවිය යුතු බවට පසුගිය ඔක්තෝබර් 6 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙළේය. ඒ සමගම, තවත් උප-පොලිස් පරීක්ෂකයෙකු වූ ප්‍රේමතිලකවත් එම ‘වරද’ යටතේම අත්අඩංගුවට ගැනුණි. ඔහු මාස 9 යි දවස් 23 ක් හිරේ සිටියේය. (මේ සියලූ නිලධාරීන් පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සහ වන්දි ඉල්ලා පවරා ඇති තවත් නඩු ගණනාවක් දැනට ඇසෙමින් තිබේ).

ශානි අබේසේකරට ඇති ජීවිත තර්ජනය ගැන පැවසෙන අලූත් බුද්ධි වාර්තාව තුළ සඳහන් වෙනත් විස්තර කවරේද යන්න අපි තවම නොදනිමු. එවැනි ඝාතන තැතක් සැලසුම් කරන නිශ්චිත පුද්ගලයන් කවුරුන්ද යන්නත් අපි තවම නොදනිමු. එහෙත්, ශානි අබේසේකරගේ ජීවිතයට සැබෑ තර්ජනයක් මේ මොහොතේ පවතින බවත්, එසේ ජීවිත තර්ජනයකට අද ඔහු මුහුණදී සිටින්නේ, දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ නීතිය සහ යුක්තිය වෙනුවෙන් නිර්භයව පෙනී සිටිමින්, ආදර්ශමත් පොලිස් නිලධාරියෙකු වශයෙන් රටට කළ සේවයක් නිසා බවත් අපි දනිමු. මෙවැනි පොලිස් නිලධාරීන් සෑහෙන පිරිසක් තවමත් පොලිස් සේවයේ සිටිති. එවැනි නිලධාරීන්ට දිරිය සපයන පූර්වාදර්ශයක් වශයෙන් මිස, ඔවුන්ව තව තවත් අධෛර්යමත් කරවන තවත් එක් අවාසනාවන්ත සිද්ධියක් බවට ශානි අබේසේකරගේ ඉරණම පත්විය යුතු නැත.

ඒ නිසා, ශිෂ්ට සම්පන්න සමාජයක් සහ නීතිය රජයන සමාජයක් අපේක්ෂා කරන සියලූ පුරවැසියන් මේ නිලධාරියාගේ ජීවිතාරක්ෂාව සඳහා වහා පෙළගැසිය යුතුය. ඒ සඳහා බලධාරීන්ට බලපෑම් කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කර ඇති අයිතිය, එවැනි මිනිස් ජීවිත ආරක්ෂා කර දීම සිය රාජකාරිය කරගත් නිලධාරියෙකුට වඩාත් හිමි විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda