iMage: accessnow

2023 ජනවාරි 23 හා 24 දෙදින තුල පාර්ලිමේන්තුව තුල පැවති විවාදවලින් අනතුරුව මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිලිබද පනත සම්මත විය. එය පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමෙන් පසුව එම පනත් කෙටුම්පතට බොහෝ විරෝධතාවයන් එල්ලවූ අතර එහි ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්නකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 47ක් ගොනුවිය. පෙත්සම් විභාගය ආරම්භයේදීම නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ලේඛණයක් ඉදිරිපත් කරමින් එම ලේඛණයේ සදහන් පරිදි පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අපේක්‍ෂා කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වන ලදී. එම ලේඛණය අනුව කෙටුම්පතේ වගන්ති 30ක් සංශෝධනය කිරීමට නියමිත විය. පනත් කෙටුම්පතේ වූ සමස්ථ වගන්ති සංඛ්‍යාව 56ක් විය.

කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පනත් කෙටුම්පතේ වගන්ති ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක විශේෂ බහුතරයකින් එම කෙටුම්පත සම්මත වීම අවශ්‍ය යැයි ප්‍රකාශ කල අධිකරණය, එසේ වුවත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කරන සංශෝධන එකතු කරන්නේ නම් එය සරල බහුතරයකින් සම්මත කිරීම ප්‍රමාණවත් බව තීරණය කරන ලදි. ඒ අනුව පනත සරල බහුතරයකින් සම්මත වීමට නම් සංශෝධන 32ක් එකතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කරන ලදී.

කෙසේ නමුත් එකී සංශෝධන අතරින් ඇතැම් සංශෝධන කෙටුම්පතට එක් කර නොමැතිව කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කල බවට චෝදනාවක් එල්ල විය. එබැවින් සිවිල් සංවිධාන රාශියක් එක්ව කථානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් පනතට අත්සන් කිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කල සංශෝධන ඇතුලත්ව තිබෙන්නේ දැයි පරීක්‍ෂා කරන ලෙස ඉල්ලා සිටින ලදි. කෙසේ නමුත් පනතට 2023 පෙබරවාරි 01 වන දින කථානායකවරයා විසින් සිය සහතිකය සටහන් කිරීමත් සමග එය අපේ රටේ නීතියක් බවට පත්විය.

පනතේ ප්‍රකශිත අරමුණු

පනතේ අරමුණු ලෙස පනතෙහි 3වන වගන්තියේ දැක්වෙන පරිදි,

x මාර්ගගත ක්‍රම ඔස්සේ තහනම් ප්‍රකාශ සන්නිවේදනය කිරීම මගින් ඇති වන පීඩාවකින් තැනැත්තන් ආරක්ෂා කිරීම,
x අධිකරණයට අපහාස වන්නා වූ හෝ අධිකරණයේ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාමට අගතිගාමී වන්නා වූ ප්‍රකාශ සන්නිවේදනය කිරීමෙන් ආරක්ෂා වීම තහවුරු කිරීම,
x මේ පනත යටතේ වූ වැරදි සිදු කිරීම සඳහා මාර්ගගත ගිණුම් සහ බොට් අවභාවිත කිරීම හඳුනාගැනීම, වැළැක්වීම සහ එයට එරෙහිව ආරක්ෂාව සැලසීම සඳහා වූ පියවර හඳුන්වා දීමත සහ
x ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ නැවත නැවතත් සන්නිවේදනය කරන්නා වූ මාර්ගගත ස්ථාන සඳහා මුදල් සැපයීම, එකී ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ එම ස්ථානවලට වෙනත් ආධාර ලබා දීම වැළැක්වීම.

පනතේ අන්තර්ගතය

මෙම පනත තුල මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කකාමිෂන් සභාව සහ එහි බලතල පිළිබදව ද, මාර්ගගතව සංනිවේදනය කිරීම තහනම් ප්‍රකාශ පිළිබදව ද, තහනම් ප්‍රකාශ මාර්ගගතව සංනිවේදනය කිරීමට කිරීමට එරෙහිව ගතහැකි පියවර පිළිබදව ද, වැරදි සහ දඩුවම් පිළිබදව ද සදහන් වේ.

පනත යටතේ වැරදි

පනත යටතේ වැරදි කාණ්ඩ කිහිපයක් හදුන්වාදී ඇත.

x තහනම් ප්‍රකාශයක් මාර්ගගතව සිදුකිරීම- මේ යටතේ මාර්ගගතව සිදුකිරීම තහනම් කර ඇති ප්‍රකාශ 8 ක් පිළිබදව නීතිමය ප්‍රතිපාදන සදහන් වන අතර එම වැරදි සිදුකිරීමකදී රුපියල් ලක්‍ෂ 5ක් දක්වා දඩයක් සහ වසර 5ක් දක්වා සිර දඩුවම් මහේස්ත්‍රාත් අධිකරණයකට නියම කල හැකිය.

x මාර්ගගත ප්‍රකාශයක් මගින් ළමා අපචාර සිදුකිරීම- දණ්ඩ නිති සංග්‍රහය මගින් හදුනාගෙන ඇති අපරාධ වැරදි 14ක් කට අදාලව මාර්ගගතව පලකිරීම් සහ ළමයකුට අදාලව අසභ්‍ය හෝ කාමෝද්දීපන වීඩියෝ හෝ හඩපට මාර්ගගතව පළ කිරීම වරදක් බව දක්වා ඇත.

x නීති විරෝධි කාර්යයක් සදහා බොට් සෑදීම-මෙම පනත යටතේ වූ වරදක් සංයුක්ත වන ප්‍රකාශයක්, බොට් මගින් සන්නිවේදනය කිරීමේ හෝ වෙනත් තැනැත්තකුට සන්නිවේදනය කිරීමට ඉඩ ලබා දීමේ අදහසින් බොට් සාදනු ලබන හෝ බොට් වෙනස් කිරීම.

x ප්‍රකාශයට පත් කරන ලද මාර්ගගත ස්ථාන සම්බන්ධ වැරදි, කොමිෂන් සභාව විසින් තහනම් මාර්ගගත ස්ථානයක් බවට ගැසට් පත්‍රයේ පළ කර ඇති මාර්ගගත ස්ථානයකට අරමුදල් සැපයීම හෝ සේවා ලබාගැනීම හෝ ප්‍රවර්ධනය කිරීම වරදක් බව දක්වා තිබේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන 5 දෙනෙකුගෙන් මෙම කොමිෂන් සභාව සමන්විත වේ. කොමිෂන් සභා සාමාජිකයන්ගේ ධූර කාලය වසර 3ක් වන අතර පරීක්‍ෂණයකින් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත ඕනෑම සාමාජිකයෙකු හේතු දක්වා ඉවත් කිරීමේ බලය ජනාධිපති සතුවේ (7 වන වගන්තිය)

කොමිෂන් සභාවේ බලතල (11වන වගන්තිය)

x යම් තහනම් ප්‍රකාශයක් නිසා අහිතකර බලපෑමට ලක්වූ තැනැත්තන්ට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස අදාල පලකිරීම සිදුකල තැනැත්තන්ට අන්තර්ජාල සේවා සපයන්නන්ට සහ අන්තර්ජාල අතරමැදි යන්ට සපයන්ට විධාන කිරීම

x පනත යටතේ තහනම් වන සංනිවේදන නතර කරන ලෙස එම සංනිවේදන නිකුත් කරන තැනැත්තන්ට විධාන නිකුත් කිරීම,

x සංනිවේදන නිකුත් කරන තැනැත්තන්ට සහ අන්තර්ජාල සේවා සපයන්නන්ට සහ අන්තර්ජාල අතරමැදියන්ට විධාන නිකුත්කිරීම,

x සමාජ මාධ්‍ය වේදිකා ලියාපදිංචි කිරීම,

x සමාජ මාධ්‍ය වේදිකා සදහා චර්යා ධර්ම හදුන්වාදීම,

x තහනම් ප්‍රකාශ සිදුකරන මාර්ගගත ස්ථාන අක්‍රී කරන ලෙස අන්තර්ජාල සේවා සපනන්නන්ට සහ අන්තර්ජාල අතරමැදියන්ට දැනුම්දීම,

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සිදුවන බලපෑම

ස්වාධින නොවන කොමිෂන් සභාවක් විසින් පනතේ තහනම් කර ඇති ප්‍රකාශන සම්බන්ධව විනිශ්චයක් ගෙන එකී ප්‍රකාශන නවත්වන ලෙස ප්‍රකාශ පල කරන්නන්ට දැනුම්දීම මගින් නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය අභියෝගයට ලක්වේ. එසේම එම ස්වාධින නොවන කොමිෂන් සභාවක විධාන නිකුත් කිරීම් හමුවේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් බියට පත් කිරීමේ හැකියාවක් පවතී. ස්වාධින නොවන කොමිෂන් සභාවක් මගින් ගනු ලබන තීරණ දේශපාලනික විය හැකි බැවින් පුරවැසියන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට බාධාකාරී වේ. මෙම පනත මගින් දක්වා ඇති තහනම් ප්‍රකාශ සම්බන්ධව වැරදි නිශ්චිත නොවන අතර පුලූල් අර්ථ ලබාදිය හැකි බැවින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අනවශ්‍ය සීමාවක් පනවයි. තහනම් ප්‍රකාශ යන වරද ඉතා පුලූල් අර්ථ නිරූපයකට ඉඩකඩ සලසා ඇති බැවින් මාර්ගගතව නිර්මාණාත්මක සංනිවේදනයේ යෙදෙන නිර්මාණකරුවන් විසින් පලකරනු ලබන පලකිරීම්වලට එරෙහිව කොමිෂන් සභාවේ විධාන නිකුත් වීමේ ඉහල සම්භාවිතාවක් පවතී. විශේෂයෙන්ම යම් ප්‍රකාශයක් අසත්‍යද නැද්ද යන්න නිශ්චය කිරීමේ පවතින බැරූරුම් බව හේතුවෙන් සද්භාවයෙන් සිදුකරන පල කිරිම්වලට එරෙහිවද නීතිමය පියවර ගැනීම හේතුවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථා දැඩි ලෙස සීමා වී යයි. සමාජ මාධ්‍ය වේදිකා ලියාපදිංචි කල යුතු බව සදහන් වන බැවින් එකී කොන්දේසියට අවනත නොවන සමාජ මාධ්‍ය වේදිකාවන්, ශ්‍රී ලංකාවෙන් බැහැර වීම මගින් පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවන් අහිමි වීමේ අවධානමක් පවතී. එසේම අන්තර්ජාල සේවා සපයන්නන්ට සහ සමාජ මාධ්‍ය වේදිකාවන්ට මෙම පනත යටතේ අපරාධ වගකීම් පැවරෙන බැවින් එම තත්වයන් හමුවේ එකී සමාගම් ශ්‍රී ලංකාවෙන් බැහැරවිම මගින් සමාජ මාධ්‍ය තුල සිදුකරන අදහස්පලකිරිම් සීමාවීමේ (බොහෝවිට සම්පුර්ණයෙන්ම නතරවීමේ ) අවධානමක් පවතී. අන්තර්ජාල සේවා සපයන සමාගම් ශ්‍රී ලංකාවෙන් බැහැරවුවහොත් මාර්ගගතව වෙළද ප්‍රචාරක සහ භාණ්ඩ වෙළදාමේ යෙදී සිටින පුද්ගලයන්ට විශාල අගතියක් සිදුවේ.

නීතිඥ ජගත් ලියන ආරච්චි | Jagath Liyana Arachchi