iMage: asianews
දේශපාලනයේ සමාජභාවී(Gender) සමානාත්මතාවය සඳහා වන ශ්‍රී ලංකාවේ සටන නැවත වතාවක් පද්ධතිමය බාධක සහ පීතෘ මූලික ආකල්ප හේතුවෙන් විනාශ වී ඇත. මෙම සටනේ නවතම අභියෝගය කුමක්ද? ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණවලදී 25% කාන්තා කෝටාව ඉටු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් කාන්තා අපේක්ෂකයින්ට නව බාධක රැල්ලක් මතුවෙමින් තිබේ. දේශපාලන පක්ෂ තුළ සිටින පුරුෂයින්, කාන්තාවන්ට තේරී පත්වීමට සාධාරණ අවස්ථාවක් ලබා දීමට වඩා, තමන්ගේ බලය තවදුරටත් පවත්වා ගෙන යාම පෙර දැරි කර කරගෙන සිටින බව පෙනේ.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ නිර්නාමිකව කතා කළ කාන්තා දේශපාලන නායිකාවක් ඇගේ කලකිරීම් මෙසේ බෙදා ගත්තාය:
“නව මැතිවරණ මූල්‍ය පනත යටතේ මට තනි පුද්ගල මැතිවරණ වියදම් ගිණුම් ප්‍රකාශයක් ගොනු කිරීමට නියමිතව තිබුණි. නමුත් මාගේ පක්ෂය තරයේ කියා සිටියේ ඔවුන් එය මා වෙනුවෙන් පිළියෙළ කරන බවයි. මට රැස් කිරීමට අරමුදල් කිසිවක් නොතිබුණි. මම පෞද්ගලිකව කිසිවක් වියදම් කළේ ද නැත; මන්ද මාගේ ගමන් වියදම් සහ අනෙකුත් වියදම් මාගේ පක්ෂය විසින් දැරූ නිසා. මාගේ තනි පුද්ගල මැතිවරණ වියදම් සඳහා කොපමණ මුදලක් වැය වී ඇත්දැයි මම හරියටම දැන සිටියේ නැත. ඡන්දය ඉල්ලීමට මා වෙනුවෙන් මාගේ පක්ෂය රු. 20,000ක්වත් වියදම් කර ඇතැයි මම නොසිතමි. පක්ෂය මාගේ තනි වියදම් ද ගොනු කර ඇතැයි මම සිතුවෙමි. දිගු පොලිස් විමර්ශනයකින් පසු, මාගේ මැතිවරණ වියදම් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මට එරෙහිව නඩුවක් ගොනු කර ඇත. මෙම සිද්ධිය හේතුවෙන් පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා මට නාම යෝජනා ඉදිරිපත් කළ හැකි වේ ද, නැති ද යන්න පිළිබඳ මම කල්පනා කරමි.”
තවත් හිටපු පළාත් පාලන ආයතනයක සාමාජිකාවක් වත්කම් සහ බැරකම් ප්‍රකාශන පත්‍රිකා ඉදිරිපත් කිරීම පිළිබඳව ඇගේ කනස්සල්ල පළ කළාය.
“මාගේ පක්ෂ ලේකම්වරයා පැවසුවේ මාගේ පුතා මැද පෙරදිග සේවය කරන බැවින්, ඔහුගේ ආදායම පෝරමයේ ප්‍රකාශ කළ යුතු බවයි, මන්ද ඔහු අපේ පවුල නඩත්තු කරන තැනැත්තා වන නිසා ය. දැන්, මාගේ පුතා, මා මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් එකඟ වේ ද යන්න මට කිව නොහැක.”
මුල් කාලයේදී මෙකී වත්කම් සහ බැරකම් ප්‍රකාශනය සහ නව මැතිවරණ මූල්‍ය රෙගුලාසි, දූෂණය සහ සාධාරණ මැතිවරණ සහතික කිරීමට ගන්නා උත්සාහයන් ලෙස ප්‍රශංසා කරන ලදී. කෙසේ වෙතත්, සමහර අවස්ථාවල දී, මෙම පියවර නොදැනුවත්වම පුරුෂයින්ට කාන්තාවන් බිය ගැන්වීමට සහ ඔවුන් ව බැහැර කිරීමට භාවිතා කළ හැකි මෙවලම් බවට පත්ව ඇත. දූෂණ විරෝධී විශේෂඥයින්ට අනුව, මෙම නීති නිර්මාණය කර ඇත්තේ කාන්තාවන්ට සහ එතරම් මුදල් උපයන්ගේ නැති පුද්ගලයින් සමාන අවස්ථා නිර්මාණය කිරීමට සහ ධනවත් පුද්ගලයින්ගේ ඡන්ද වියදම් නියාමනය කිරීමේ අරමුණෙනි.
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කාන්තා කෝටාව රටේ කාන්තා දේශපාලන සහභාගීත්වයේ පුළුල් ගැටළුවක් ඉස්මතු කරයි. එය පක්ෂ ව්‍යුහයන්, නීතිමය රාමු සහ ගැඹුරින් මුල් බැසගත් සමාජ සම්මතයන් යන්නෙහි සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වය මඟින් හැඩගැසී ඇත. කාන්තා කෝටාවේ නීතිමය අවශ්‍යතාවය කාන්තා දේශපාලන සහභාගීත්වයට පහසුකම් සැලසීම අරමුණු කර ගෙන ඇතත්, එය ප්‍රචාරක ක්‍රමවලට ඇති සීමාවන් වැනි පුළුල් බාධක සමඟ ඡේදනය වේ. පාර්ලිමේන්තු සහ පළාත් මැතිවරණවලදී ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු සීමා කිරීමෙන් එක් නීතිමය අභියෝගයක් පැන නඟී. ගෙයින් ගෙට ප්‍රචාරක ක්‍රමය ඓතිහාසිකව කාන්තා අපේක්ෂකයින්ට කුඩා මැතිවරණ කොට්ඨාශවල (වසම්වල ) ඡන්දදායකයින් වෙත ළඟා වීමට කාර්යක්ෂම, පුද්ගලික සහ අඩු වියදම් ක්‍රමයක් ය. මෙම නීතිමය බාධකය කාන්තාවන්ට ප්‍රජාවන් සමඟ සෘජු, පරිසර හිතකාමී ආකාරයකින් සම්බන්ධ වීම සීමා කරයි. මෙනිසා කාන්තාවන්ට දේශපාලනික සහයෝගය ලබා ගැනීම සඳහා විකල්ප, බොහෝ විට වඩා මිල අධික ක්‍රම, සොයා ගැනීමට සිදු වේ. මීට අමතරව, මෙම සීමාව අදාළ වන්නේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ සඳහා මිස පළාත් පාලන මැතිවරණ සඳහා නොවේ. කෙසේ වෙතත්, මැතිවරණ කොමිසම විසින් යොදා ගන්නා පුළුල් අර්ථකථනය හේතුවෙන් පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා ඉදිරිපත් වන කාන්තාවන්ට ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු කළ නොහැකියි යන විශ්වාසය නිර්මාණය වී තිබේ.
“අපට ගෙයින් ගෙට යා නොහැකි බව මට පැවසුවා, නමුත් කුඩා, සමීප ප්‍රජාවන් සිටින පළාත් පාලන මැතිවරණ සඳහා, මෙම ක්‍රමය වඩාත් ඵලදායී වේ,” – තවත් කාන්තා අපේක්ෂිකාවක් පැවසුවාය. “අපේ පක්ෂය අපට රැලි සඳහා වේදිකා සකස් කිරීමට සම්පත් ලබා දෙන්නේ නෑ. එසේ වන අවස්ථාවලදීත් මැතිවරණ වේදිකා වෙන් කර ඇත්තේ පුරුෂයන් සඳහා ය. මැතිවරණ කොමිසමට අනුව මැතිවරණ ප්‍රචාරණය අප කළ යුත්තේ කෙසේද?”
පළාත් පාලන ආයතන මැතිවරණවලදී, වසම් කුඩා වන අතර, මැතිවරණ කොට්ඨාශවලට භෞතිකව පහසුවෙන් ළඟා විය හැකිය. ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු සඳහා අවසර දී ඇත්නම්, ඡන්දදායකයින්ට අනාගත මන්ත්‍රීවරුන් හමුවී අපේක්ෂකයින් තක්සේරු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම ප්‍රවේශය අපේක්ෂකයින් සඳහා අඩු වියදම් සහ සාමාන්‍ය ප්‍රජා ජීවිතයට අවම බාධාවක් සහිත කළබල නැති කටයුත්තක් වනු ඇත. එය විශාල, අධික ලෙස අරමුදල් සපයන රැලි, රැස්වීම් සහ පාරිසරික හා ශබ්ද දූෂණය වැනි ගැටළු වළක්වා ගැනීමට ද උපකාරී වනු ඇත. ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු සඳහා ඉඩ දීමෙන්, මැතිවරණ කොමිසම අවම වශයෙන් කාන්තා අපේක්ෂකයින් සඳහා වඩාත් සමාන අවස්ථාවක් නිර්මාණය කිරීමට දායක වනු ඇත.
තවත් මුස්ලිම් කාන්තා දේශපාලනඥයියක් පැවසුවේ, වත්මන් මැතිවරණ නීතිවලට අනුව, ඇය තව කෙටි කලකින් නාමයෝජනා භාර දීමට නියමිත බැවින්, ඇයට ඉෆ්තාර් රැස්වීම් (උපවාසය අත්හැරීම) පැවැත්විය හැකිද යන්න පිළිබඳව දැනුමක් නැති බවයි.
“මම මගේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් වන අතර, මගේ නිවසේ සෑම විටම කාන්තාවන් සඳහා සාමූහික ඉෆ්තාර් සහ තරාවී යාඥා (උපවාසය අත්හැරීමෙන් පසු රාත්‍රී යාච්ඤාව) පවත්වනවා. දැන් මේ සියල්ල මගේ දේශපාලන ව්‍යාපාරයේ කොටසක් ලෙස ප්‍රකාශ කළ හැකියි. පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවනු ලබන්නේ ශුද්ධ වූ රාමසාන් මාසය තුළයි. රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ ආගමික වශයෙන් වැදගත් මාසයකි. එම මාසය තුළ අපි ඇදහිය යුතු සහ ඉටු කිරීමට අපේක්ෂා කරන ඇතැම් ආගමික චාරිත්‍ර තිබේ. මගේ ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් චෝදනා නොලබා මට මෙම චාරිත්‍ර දිගටම කරගෙන යා හැක්කේ කෙසේද? මගේම පක්ෂයේ පුරුෂයින් මට විරුද්ධව පැමිණිලි කරනු ඇත.”
කාන්තා දේශපාලනඥයින් බොහෝ විට තමන්ගේම දේශපාලන පක්ෂ තුළ සිටින පුරුෂයින්ගෙන් සිදුවන කොන් කිරීම් සහ සමාජභාවය පදනම් කරගත් ප්‍රහාර පිළිබඳව පක්ෂ තුළ ම කනස්සල්ල පළ කර ඇති නමුත්, තම පක්ෂයෙන් ම සිදු විය හැකි නරක ප්‍රතිවිපාක හේතුවෙන් එයද කර ඇත්තේ ඉතා මෘදු ලෙස ය. මීට අමතරව, ඔවුන් විරුද්ධ පක්ෂවල පුරුෂයින්ගෙන් ද නින්දාවට සහ සමාජභාවය(Gender) පදනම් කරගත් ප්‍රහාරවලට ද මුහුණ දෙයි.
“මගේ පක්ෂය ඉදිරිපත් කරන්නේ පාලනය කිරීමට පහසු යැයි ඔවුන් විශ්වාස කරන කාන්තා අපේක්ෂිකාවන්. මෙහි පරමාර්ථය වන්නේ මෙම කාන්තාවන් බලගැන්වීම නොව පුරුෂ නායකත්වය යටතේ ඔවුන්ව තබා ගැනීමයි.” තමන්ගේම පක්ෂය තුළ තීරණ ගැනීමේ මට්ටමකට නැඟී සිටින තවත් කාන්තාවක් පැවසුවාය “තනතුරකට පත්වීමෙන් පසුව පවා, බොහෝ කාන්තාවන්ට තම පක්ෂ තුළ තමන්ගේ හඬ සොයා ගැනීමට අපහසු වන අතර, ඔවුන්ට නිරන්තරයෙන් කටයුතු කිරීමට සිදු වන්නේ පුරුෂාධිපති පද්ධතියක් තුළ යි”
මෙම අභියෝග මධ්‍යයේ වුවද, කාන්තා කෝටාව හරහා 2018 සිට 2023 දක්වා පළාත් පාලන ආයතනවල සේවය කළ කාන්තාවන් කිහිප දෙනෙකු සැලකිය යුතු දේශපාලන අත්දැකීම් සහ නිරාවරණයක් ලබා ගෙන ඇත. කෙසේ වෙතත්, 2023 සඳහා නියමිතව තිබූ මැතිවරණ හිතාමතාම නොපැවැත්විණි. වර්තමානයේ නව නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමත් සමඟ, මෙම කාන්තාවන් පසෙකට දමා ඇති බව පෙනෙන්නට තිබේ.
හිටපු පළාත් පාලන මන්ත්‍රීවරියක් ඇගේ කලකිරීම මෙසේ ප්‍රකාශ කළාය: “මගේ වසමේ, අපේ පක්ෂයේ ජයග්‍රහණය අඛණ්ඩව ලබා ගැනීමට අපි වෙහෙස මහන්සි වී වැඩ කළා. නමුත් දැන්, මගේ පක්ෂයේ පුරුෂයින් සිටින්නේ නැවුම් මුහුණු සොයමින්. ඒ අප වැනි පළපුරුදු කාන්තාවන් ඔවුන්ගේ තනතුරුවලට අභියෝග කරනු ඇතැයි යන බියෙන්. නාමයෝජනා ලැයිස්තුවට තරුණයින් 25% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇතුළත් කිරීමේ අවශ්‍යතාවය ඔවුන් නිදහසට කරුණක් ලෙස භාවිතා කරමින් සිටිනවා. නමුත් ඇත්ත වශයෙන්ම , ඔවුන් සිටින්නේ අපගේ දේශපාලන පරිණතභාවය සහ ජනප්‍රියත්වයට බියෙන්.”
විශේෂයෙන්, කාන්තාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඓතිහාසිකව කෝටා ක්‍රමයට හෝ ඕනෑම ධනාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයකට ප්‍රතිරෝධය දැක්වූ දේශපාලන පක්ෂ අතර මෙම බිය පැහැදිලිව දැකගත හැකිය. විශේෂයෙන් දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරන සමහර පක්ෂ ප්‍රාදේශීය මට්ටමින් 25% කාන්තා කෝටාව කෙරෙහි අකමැත්තක් දක්වා ඇත. මුල් අවධියේදී කෝටාව ඇති කළ නීති සම්පාදනයට අභියෝග කිරීමට පවා එක් පක්ෂ නායකයෙක් උත්සාහ කළේය. කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව සහ 2018 දී නාමයෝජනා භාර දීම සඳහා අවසාන දිනය පැමිණි විට, මෙම පක්ෂ නීතිමය අවශ්‍යතා සපුරාලීමට පොර බැදූ අතර, ඇතැම් විට තරඟ කිරීමට එකඟ නොවූ කාන්තාවන්ගේ නම් පවා ඉදිරිපත් කළහ.
“සමහර පක්ෂ, කාන්තා අපේක්ෂකයින්ගේ අත්සන් පවා ව්‍යාජ ලෙස සකස් කර ඇති අතර, ඔවුන්ගේ භාර්යාවන්, මව්වරුන් සහ දියණියන් පවා ඉදිරියට තල්ලු කර ඇත,” මෙම ව්‍යාජ වංචාවට ගොදුරු වූ අයෙක් හෙළි කළාය. “කෝටාව අනිසි ලෙස භාවිතා කරනු ලබන අතර, අර්ථවත් කාන්තා නියෝජනයක් නිර්මාණය කිරීමේ අභිප්‍රාය කඩාකප්පල් කරලා තියනවා.”
එහෙත් මෙම පසුබෑම් තිබියදීත්, බොහෝ විට “පසුපස ආසන” හෝ “සංකේත නියෝජිතයින්” ලෙස ලේබල් කරන ලද බොහෝ කාන්තා දේශපාලනඥවරියන් ඔවුන්ගේ දක්ෂතාවය ඔප්පු කරමින් සිටිති. කාන්තා කෝටාව හරහා දේශපාලනයට පැමිණි මෙම කාන්තාවන්, ඔවුන්ගේ ප්‍රජාවන් සහ පළාත් පාලන ආයතන තුළ සැබෑ බලපෑමක් ඇති කිරීම සඳහා ඔවුන්ගේ තනතුරු භාවිතා කර ඇත. සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය සහ නව රෙගුලාසිවලට අනුවර්තනය වීම පිළිබඳ මග පෙන්වීම සඳහා කාන්තා සංවිධානවල සහාය පවා සමහර කාන්තා දේශපාලනඥයින් පතා ඇති අතර එමඟින් ඔවුන්ගේ නායකත්ව කුසලතා තවදුරටත් වර්ධනය වී ඇත.
වර්තමානය වන විට මෙම කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රාදේශීය දේශපාලන තනතුරුවල වසර හතරකට වැඩි පළපුරුද්දක් ලබාගෙන ඇත. ඔවුන්ගේම පක්ෂ නාමයෝජනා ලැයිස්තුවෙන් ඔවුන් බැහැර කරන බැවින්, ඔවුන් දැන් නව පක්ෂ හරහා හෝ ස්වාධීන අපේක්ෂකයින් ලෙස මැතිවරණවලට තරඟ කිරීමට උත්සාහ කරති. මෙම නව අධිෂ්ඨානශීලී අපේක්ෂක රැල්ල දේශපාලන භූ දර්ශනයේ සැලකිය යුතු වෙනසක් ඇති කරමින් සිටින නමුත් එක් ප්‍රශ්නයක් තවමත් පවතී: දේශපාලන පක්ෂ සැබවින්ම සමාජභාවී සමානාත්මතාවය වැළඳ ගනීවි ද? නැතහොත් තවදුරටත් පීතෘමූලික සම්මතයන් ආරක්ෂා කරාවී ද?
කාන්තා කෝටාව යනු කාන්තාවන්ට දේශපාලන අත්දැකීම් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති ධනාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයකි. මෙහි ඉලක්කය වන්නේ අවසානයේ ඔවුන්ට සාමාන්‍ය දේශපාලන ධාරාවන් හරහා ඉදිරියට යාමට හැකියාව ලබා දී, අවසානයේ කෝටාව අනවශ්‍ය කිරීමයි. කෙසේ වෙතත්, දේශපාලන පක්ෂවල පුරුෂයින් හිතාමතාම කාන්තාවන්ට අඛණ්ඩ දේශපාලන අත්දැකීම් නොලැබීමට කටයුතු කිරීම සහ පක්ෂ තුළ කාන්තාවන්ට ප්‍රමුඛ පුද්ගලයින් බවට පත්වීම වැළැක්වීම සහතික කරමින් ඇත. ඒ වෙනුවට, කාන්තාවන් පක්ෂ ධූරාවලියට සේවය කිරීමට භාවිතා කරනු ලැබේ. කාන්තාවන් තවමත් සිටින්නේ යටත්වැසි තත්ත්වයක ය.
මැතිවරණ සමය තීව්‍ර වන විට, එක්තරා වැදගත් ප්‍රශ්නයක් පැන නගී: දේශපාලන සංස්ථාපිතය පළපුරුදු කාන්තා අපේක්ෂකයින් සමඟ සැබවින්ම සම්බන්ධ වේවී ද?, නැතහොත් සමාජභාවී සමානාත්මතාවය සඳහා සංකේතාත්මක අභිනයන් මත විශ්වාසය තබනු ඇත්ද ? ස්ථාපිත දේශපාලන පක්ෂ සැබෑ වෙනසක් සඳහා කැපවී සිටිනවා ද?, නැතහොත් ඕනෑම වියදමක් දරා තම ආධිපත්‍යය පවත්වා ගැනීමට පමණක් උනන්දු වන්නේ ද? යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇත.
ශ්‍රීන් අබ්දුල් සරූර් | Shreen Abduhl Saroor