iMage: Vikalpa/ Sampath Samarakoon

අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය (International Day of the Victims of Enforced Disappearances, 30 August) මුල්කර ගනිමින් උතුරු-නැගෙණහිර අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල් විසින් අගෝස්තු 30 දා යාපනය, කිට්ටු උද්‍යානය අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කළේය. සිය ගණක් සහභාගී වූ එම පාගමන, මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති චෙම්මනී සමූහ මිනී වළ අසලින් අවසන් විය. චෙම්මනී සමූහ මීනී වළ පිළිබද සත්‍යත්, යුක්තියත් මූලික කර ගනිමින් සහ අතුරුදහන්කිරීම් ඇතුලු අනෙකුත් සියලු අපරාධයන්ට එරෙහිව සංවිධානය කර තිබූ එම පාගමනේදී ඔවුන් ඉල්ලා සිටියේ අන් කිසිවක් නොව තමන් ට අවශ්‍ය වන්නේ සත්‍ය සහ යුක්තිය ම පමණක් බවය.

“හමුදාවට බාර දුන් අපේ දරුවන්ට මොකද උනේ?” ඔවුන් ඇසූ තවත් එක් ප්‍රභල ප්‍රශ්ණයක් පමණි.
ශිෂ්ට සම්පන්න බව පිළිබද අදහසක් ඇත්නම් එම ප්‍රශ්ණයට රාජ්‍ය පිළිතුරු දිය යුතු නොවේද?

කෙසේ නමුත්, බලහත්කාරයෙන් අතුරුදහන් කළ පවූල්වල ඥාතීන්, සිය ආදරණීයයන් පිළිබද තොරතුරක් ලබා දෙන ලෙස ඉල්ලා දින 3000+කට වඩා උතුරු – නැගෙනහිර ප්‍රදේශවල සාමකාමී විරෝධතාවයන්/ උපවාසයන් වල යෙදෙමින් සිටියි. එසේම 1980 ගණන්වල සිට 2009 සන්නද්ධ ගැටුම අවසන් වන විට 60,000 -100,000 අතර පිරිසක් බලහත්කාරයෙන් අතුරුදහන් වූ බවට ගණන් බලා ඇතැයි පැවසේ(මෙම සංඛ්‍යාවන් මෙයට වඩා වැඩි විය හැකි බවත්, විශේෂයෙන් මේ අතුරුදහන්වීම් තුළ හමුදාවට බාර දුන් සිය සමීපතමයින් ද සිටින බවට උතුරු-නැගෙණහිර මව්වරුන් පවසයි). නමුත්, මේ කිසිදු අතුරුදහන්වීමකට කිසිදු ආකාරයක ‘යුක්තියක්’ ලබා දීමට ශ්‍රි ලංකා රාජ්‍ය තවමත් අසමත් වී තිබේ.

ඒ අතර උතුරේ සංචාරය නිරත වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ, “පළමු කොටම මේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි. ඔවුන්ගේ ඉඩම් අයිතිය, භාෂාව රාජ්‍යයත්වයට ගනුදෙනු කිරීමට තියෙන අයිතිය, ඔවුන්ගේ සංස්කෘතිකමය අයිතීන්, අතුරුදන් වුවවන්ට සිදුවුයේ කුමක්දැයි දැනගැනීමට ඇති අයිතිය, මුලික අයිතින් ලෙස අපි දකිනවා. ඒ අයිතින් ආරක්ෂා කරගැනීමට ගත හැකි පියවර රැසක් අපි ආරම්භ කරලා තියෙනවා.” යනුවෙනි. (https://www.sinhala.adaderana.lk/news/214074)

“වන්දි ගෙවන බව කියන්නේ අපරාධය වසන් කිරීමට යි” යන පාඨය මෙම පාගමනේදී ප්‍රදර්ශනය කළ තවත් අදහසකි. එය උතුරු-නැගෙනහිර වින්දිතයන්ගේ වේදනාබර හඬ හී සංකේතයකි. තවත් අදහසක් වූ “OMP එපා, යන්න යි” යන ඔවුන්ගේ අඛණ්ඩ හඬ පසුගිය වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම පැවසුණේ, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් ගොදුරු බවට පත්වූවන්ගේ කටුක, වේදනාකාරී ගමනේ අත්දැකීම්වල හඬ කි. මෙම හඬ ඇසෙන ඕනෑම සංවේදී හදවතකට එහි සත්‍යය තේරුම් යයි: එනම්, යුක්තිය යනු වන්දිවලින් හෝ රාජ්‍ය යාන්ත්‍රණවලින් ලබෙන හුදු පිළිගැනීමක් නොව, වින්දිත හදවත්වලට අවශ්‍ය වන්නේ සත්‍යය, වගවීම, යුක්තිය සහ ගෞරවය යළි ගොඩනැගීමකි. මෙම ගැඹුරු වේදනාව නොතේරෙන, ඔවුන්ගේ හඬට සවන් නොදෙන ලාංකීය රාජ්‍යයේ ඕනෑම යාන්ත්‍රණයක්, බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ට යුක්තිය ගෙන එනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක.

අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්ණය මෙන්ම යුද වින්දිතයන්ගේ අනෙකුත් ප්‍රශ්ණ මේ රටේ ‘අභ්‍යන්තර යුක්තිය’ පිළිබද ප්‍රශ්ණයකි. එම ප්‍රශ්ණය යුක්ති සහගත අයුරින් විසදීමට ශ්‍රී ලංකා රාජ්‍ය දැඩි දේශපාලන අභිලාශයකින් යුතුව මැදිහත් නොවන්නේ නම්, ආණ්ඩුව විසින් ‘කතා කරන’ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි අගයන් පසුගිය වසර ගණනාවේ මෙන්ම ‘හිස් වචන’ පමණක් වීම වැළැක්විය නොහැකිය. එබැවින් වර්තමාන ජනාධිපතිවරයා විසින් අදාළ ගැටලු සහ තත්ත්වයන් පිළිබදව උතුරේදී කළ ප්‍රකාශය ක්‍රියාකාරීත්වයෙන් පෙන්වීම නොවුනහොත් ඔහුත් වැටීමට නියමිතව ඇත්තේ පරාජයට පත්ව ඇති රාජ්‍ය පාලකයන්ගේ කුණු කූඩයටමය.